කැළුමිණී කෑම සකසාගෙන බලා උන්නද ප්‍රභාත් වෙනදාට ඔහු එන වේලාව පසුවී පැය දෙකකුත් වේලාවක් ගෙවෙන තුරු නිවසට ආවේ නැත. කැළුමිණී උන්නේ බියෙනි. මේ දිනවල තම නිවස ඇතුලාන්තයේ ගිනි ඇවිලෙන බව දැන ඉද්දී, නිවසේ වැඩපලක් වත් කීරීමට නිවනක් තමාට නොමැති වෙද්දී ඉතාම කාර්‍යබහුල රාජකාරියක නිරත වන ප්‍රභාත් මේ සියල්ල මැද රැකියාව කෙසේ කරන්නේද යන පැනය කැළුමිණීට ඇත. අනෙක් අතට මේ සියල්ල කල්පනා කරමින් පාරේ වාහනය පදවන්නට ගොස් ඔහුට යම් අනතුරක් වේද යන පැනය ද සිත දෙදරවන්නකි. එහෙත් මේ සියලු වේදනාවන් සනසාලිය හැකි එකම එක විසඳුමක් තිබේද යන්න කැළුමිණීට තවම අභිරහසකි.
“මං කවදාවත් හිතුවෙ නෑ නැන්දෙ මට එහෙම වෙයි කියලා”
කැළුමිණී තම පියාගේ එකම නැගණිය වන පබෝධාට කතා කරේ මේ සියලු දේ කියා සිත සනසාගත හැකි අයෙකුට ඇය දැන උන්නේ නැන්දණිය පමණක් වීම නිසාය. නැන්දා කිසිදිනක මේ සිදු වී ඇති කිසිවක් මත පදනම් ව තමාව තක්සේරු නොකරන බව කැළුමිණී දනී. අනික මේ මුලු ලොවේම තමාට සිටින හිතවත නෑයා වන්නේද ඇය බව කැළුමිණි දනී. ඉතින් සැනසුම සොයාගන්නට ඇය කරා යනු වෙනුවට කුමක් කරන්නද?
“අපි හිතන, අපි බලාපොරොත්තු වෙන දේවල්ම නෙවෙයිනෙ පුතේ වෙන්නෙ. ඒකට තමයි ඉතින් ජීවිතේ කියන්නෙ. ඒ උනාට පුතා දැන් ඔය හැටි ඒකට කලකිරෙන්න එපා. එන හැටියට එපාය මූණ දෙන්න. අනික මම හිතන්නෙ නෑ ප්‍රභාත් පුතා ඔය මක්ක කිව්වත් එහෙම දරුණු තීරණයක් ගනීව් කියල. පුතා හෙමින් සැරේ පුතාගෙ හිත හදාගන්න ගමන්ම ඒ දරුවගෙ හිත හදාගන්නත් බලන්න.
අනික පුතා ඒ දරුවට කසාද බැන්දයින් පස්සෙ කිසිම විදිහක වරදක් නොකරපු එකේ මම හිතෙන්නෙ ප්‍රභාත් පුතාට ඔක්කොටම වඩා හිත් වේදනාව ඇත්තෙ ඔය කතාව පුතාගෙන් දැනගෙන්නෙ නැතුව පිට මනුස්සයෙක්ගෙන් දැනගන්න වෙච්ච එක වෙන්නැති. ඒව ඉතින් දැන් කතා කරල තේරුමක් තියෙන ඒව නෙවෙයිනෙ. මින් ඉස්සරහට ඔය වගේ දේවල් නොවෙන්න වග බලාගන්න එකයි අපිට දැන් තියෙන්නෙ.
අනික පුතේ අම්මයි තාත්තයි කොහෙ හරි ඉඳන් පුතා දිහා බලාගෙන ඉන්නවා ඇති.
ඒ නිසා පුතා හිත හයිය කරගන්න”
පබෝධා උන්නේ බියකින් නොවේ යැයි කිය නොහැක. එහෙත් තමන්ගේ සිතේ ඇති බිය වේදනාව දරුවෙකුගේ හිතට කාන්දු කරවන්නට මව්වත් ගුණ සපිරි කිසිවෙකුට නොහැක, ඉතින් හිත සනසාගෙන, සිත සනසන වදන්ම පවසනු පිණිස පබෝධා වචන ගොනු කලේ හොඳින් සිතා බලායා.
තුරුණු වියේදීම අම්මාත් තාත්තාත් අහිමි වූ කෙල්ලට මේ ලෝකයේ හිතවතෙකුට කියා හිඳින්නේ අතලොස්සක් පමණකි. ඒ අතරිනුත් මෙවන් මොහොතක ඇය තමාව ඇමතුවේ ඇයට තමා ළඟ කෙතරම් සැනසුමක් තිබෙන නිසාදැයි කියා පබෝධාට සිතාගන්නට අපහසු නැත.
“ප්‍රභාත් මාව දාලා ගියොත් මං මොකද කරන්නේ නැන්දේ?” කියා අසන්නට තරම් තමා අසරණ වීම ගැන සිත පිලිපන් වේදනාව ගිලිහුනේ කඳුලු කැට දෙක තුනක් විලසිනි. ඒ ඇසිය යුතුම ප්‍රශ්නයක්ද කියා කැළුමිණිට සිතුනේ එකී ප්‍රශ්නය මුවින් නික්මුණ පසුවය. ඒ ප්‍රශ්නයට පිලිතුරු දෙන්නට පෙරාතුව නැන්දා විසින් ගොනුකල නිහඬතාවය තමා ඇසූ ඒ ප්‍රශ්නයේ බරපතල බව මොනවට කියාපාන්නක් බව කැළුමිණීට සිතාගන්නට අපහසු නොවේ.
මුදල් ඉපයීම සඳහා භාරගන්නා ලද ලිවීම් කිහිපයක වැඩ කටයුතු අවසන් කල කැළුමිණී කේක් එකක් සකසන්නට සිතුවේ හදිසියේ ආ සිතුවිල්ලක් නිසාවෙනි. කජු දමා සකසන මේ යෝගට් කේක් එකට ප්‍රභාත් කෙතරම් පෙරේතදැයි මතක් වෙද්දී කැළුමිණීගේ මුවගට සිනා ඒ.
“කෑම කියන්නෙ ළමයො ඕනම මනුස්සයෙක්ගේ හිත දිනාගන්න පුලුවන් දෙයක්” බව කියා දුන්නේ මීරිගම ආච්චිය. කැළුමිණී උයන්නට පිහන්නට පුරුදු වුනේ ප්‍රභාත් වෙනුවෙනි. දවස පුරාම මහන්සි වී නිවස බලා එන, කඩචෝරු කන්නට අකමැති ප්‍රභාත් ගේ කුසත් සිතත් පුරවනු පිණිසය.
ඉතින් මේ සිත තැලී බිඳී ගොසින් ඇති මොහොතකද එවන් රසබර කෑමකින්, මේ කෙමෙන් වියැකී ගොස් තිබෙන රසබර නිමේෂයන් නැවත ලඟා කරගනු හැකි වෙතැයි යන සිතුවිල්ල බොලඳද යන්න ගැන අදහසක් සිත තුල නොතිබුනා නොවේ. එහෙත් ගිලෙන්න යන මිනිසා පිදුරු ගහෙත් එල්ලේ.
ඒ කතාව මෙතනටද පොදුය.
හවස වැඩ ඇරෙන වේලාව එන තුරුම ප්‍රභාත් උන්නේ මානසිකව කුණාටුවකය. ඒ මහා කුණාටුව තුල සිතුවිලි නෞකාව ගිලෙමින්, පෙරලෙමින්, නැවත ගොඩඑන්නට මහත් පරිශ්‍රමයක් දැරූ නිසාවෙන්ද ගතත්, සිතත් තිබුණේ වෙහෙසට පත් වීය.
වෙනදාක නම් හවස පහමාර වෙද්දී වාහනයට නැගී නිවස බලා යන්නට රිය ගංගාවට නොඉවසිල්ලෙන් එක්වුවද අද එයට හාත්පසින්ම වෙනස් දවසකි. සිත උන්නේ ඉබාගාතේ යමිනි. දෙපා අඩපණ වී වාහනය වෙත ඇදුණේ ගොලුබෙලි ගමනිනි. වාහනය පණ ගැන්වුනේත්, රිය පෙලට එක්වුනේත් ඉබිගමනිනි.
බැසයන හිරු එලියේ මද මලානික හිරු එලිය කාරයේ ජනේලයෙන් පෙරී අවුත් තිබේ, ඒ මලානික හිරු එලිය තරම්ම තම ජීවිතයද මලානික බවට සිතුවිල්ලක් කොහෙන්දෝ පාවී අවුත් සිත අස්සේ ලැගුම් ගත් බවක් දැනේ.
කාරය නුපුරුදු තැනක නැවතුනේද ඒ ඉබි ගමනිනි. බීම ප්‍ර්‍රභාත්ට නුහුරු දෙයක් නොවුණද වැඩ අවසන් වී යන අතරවාරයේ මග තැනක නතර වී බීම ප්‍රභාත්ගේ ජීවිතයේ කිසිම දිනයක නොතිබූ පුරුද්දකි. ගානට මිම්මට බොන්නට දන්නා ප්‍රභාත්ට තහංචි පනනොපවන කැළුමිණී සමග රාත්‍රියේ නෙට්ෆ්ලික්ස් බලන අතරවාරයේ බියර් වීදුරුවක් හෝ වොඩ්කා මිශ්‍ර කල දෙහි වීදුරුවක් තොල ගෑම පුරුදු කරගත් ප්‍රභාත් බාරය ඇතුලට රිංගුවේ මද පැකිලීමකිනි.
එහෙත් බාරයේ මද අඳුරු වටපිටාව තුල වූයේ සිත සුවපත් කරන බවකි. තනිකමට සහ දුකට රුකුල් දෙන අඳුර කෙලවරක මද සිනහවක් මුව මත රඳවාගෙන උන් වේටර් කොලුවා ප්‍රභාත් වෙත ආවේම “එන්න සර්” කියාගෙනය.
කවුන්ටරය අසල උස් පුටුවක වාඩි වූ ප්‍රභාත් සුපුරුදු ජාතියෙන් නුපුරුදු ප්‍රමාණයක් ඇණවුම් කලේ මෙතෙක් වේලා සිත තුල වූ ඒ තිගැස්ම වේටර් කොලුවා වෙත පා කල සුහදතාවයේ සිනහව මත අතුරාලමිනි.
“කැළුමිණී ඇයි මට එහෙම බොරුවක් කිව්වේ?” යන ප්‍රශ්නය සිත මත නිරත්තරයෙන් නැගුනි. කාලය ගෙවුණි. හිරු බැස ගොසින් සඳ අහසට ආවද ප්‍රභාත් උන්නේ එකම ප්‍රශ්නය නැවත නැවටහ් සිතෙන් විමසමිනි.
“කැළුමිණී ඇයි මට එහෙම බොරුවක් කලේ”
“කැළුමිණී ඇයි මට එහෙම බොරුවක් කිව්වේ?”
දුරකතනය නාද වනු නොඇසුණද ප්‍රභාත් අසුනෙන් නැගිට්ටේ සිත බරවය. එහෙමකට කියා මත් බවක් සෙමෙන් තොල ගෑ ඒ බීම වීදුරුවෙන් නොලැබුනද සිත තිබුනේ හඬන්නට ඔන්න මෙන්න මෙන් දුකෙන් මත් වීය.
වාහනය කෙසේ නිවස වෙත ඇදුනාද කියා නිසියාකාර මතකයක් නොවුණද, සාලයේ සෙටිය මත වාඩි වී සෙටි ඇන්දේ හිස තබාගෙන උන් කැළුමිණී ගේ අඩවන්, ඉදිමුණ දෙනෙතට හේතුව නිදිබර බවද, හැඬීමද කියා තේරුම්ගන්නට ප්‍රභාත්ට හැකියාවක් වූයේ නැත.
“ඇයි ප්‍රභාත් පරක්කු උනේ? මම හොඳටම බය උනා. මම කොච්චර කෝල් කරාද? ඔයා ආන්සවර් කරෙත් නෑනෙ”
කඩිමුඩියේ සෙටිය මත අසුන්ගත් කැළුමිණී අවුල් වී ගොසින් තිබුන කෙහෙ සකසාගමිනින් ස්ක්‍රන්චියෙන් එය ගෙඩියක් කර හිස් මුදුනෙන් බැඳ ගනිම්න් ඇසුවේ ප්‍රභාත්ගේ වත මත වූ ඒ ආගන්තුක අන්දකාරය තේරුම් ගන්න්ට උත්සහ කරමිනි.
ගේ පුරා සුවඳ විහිදමින් තිබූ කේක් සුවඳ පලවාහරිමින් නැගී ඒ ඒ සුවඳ කැළුමිණීට හඳුනාගන්නට පහසු වුයේ ප්‍රභාත් වෙත සෙමි සෙමින් ලං වෙද්දීය.
“ඔයා බිව්වද ප්‍රභාත්?”
“ඔයා නිසයි මට බොන්න උනේ. ඔයා නිසයි මට මෙහෙම උනේ. ඇයි කැළුම් ඔයා මට මෙහෙම කරේ? ඇයි මගේ ජීවිතේට මෙහෙම කරේ?”
ඒ හඬා වැටුනේ තමා මෙතෙක් කලක් දැක පුරුදු ශක්තිමත් පිරිමියා නොවන් බවත් තමා විසින් අතීතයේ අවුලුවන ලද ගිනි සිලුවකින් පත්තුවුන වේදනාවකින් පිච්චෙන අසරන මිනිසෙකු බව තේරුම් යද්දී කැළුමිණී උන්නේ කෑගසා හඬන්නට තරම් භීතියකිනි. තමා විසින් කිව යුත්තේ කුමක්ද, කල යුත්තේ කුමක්ද ගැන හරියාකාර සිතුවිල්ලක් නැත. මන්මත් ය.
වැටෙන්නට ගිය ප්‍රභාත්ව උරහිස මත රඳවාගෙන කාමරයට ගෙන ගිය කැළුමිණී ප්‍රභාත්ගේ කමිසයත්, කලිසමත් ගලවා සිරුර උඩින් පෙරවන රෙද්ද ඇතුරුවාය. දහදිය නිසාවෙන් තෙත් වුණ ඔහුගේ කෙටි හිස කේ මත ඇඟිලි තුඩු යවා කැළුමිණී හැරුණාය. ඒ එලියට යන්නටය.
එහෙත් අවසඟව ඇදී ආ ප්‍රභාත්ගේ දැත කැළුමිණීගේ දෑතේ පැටලිණි.
සඳ තිබුණේ වලාකුලක් යට සැඟවී නමුදු සඳ එලිය ජනෙල් කවුලුවෙන් පෙරී අවුදින් කැළුමිණීගේත්, නිහඬ නින්දකට අවතීර්ණ වී හුන් ප්‍රභාත්ගේත් නිරුවත් සිරුර වසා දමමින් තිබුණි.