හෂාන් සමග විවාහයෙන් නීත්‍යානුකූල ව වෙන් වීමට අක්කා තීරණය කළා ය. ඒ අනුව මුලින් ම මම මගේ නීති ගුරුවරියක වෙත ඇයව යොමු කොට අවශ්‍ය උපදෙස් හා නීති තත්වය පිළිබඳව දැනුවත්වීම් ලබා ගන්නට සැලැස්වීමි. අම්මා දැනුවත් කිරීමකින් තොර ව දික්කසාද නඩුව නීතීඥවරියට ලබා දීමට තරම් ඇය එඩිතර වූවා ය. විවාහයේ දී අම්මාට හිතුවක්කාර වෙන්නට අක්කා ට නො තිබූ හයිය, ඒ විවාහයෙන් වෙන් වීම සඳහා ඇයට තිබීම ගැන මම පුදුම වීමි. එක අතකට ඒ ගැන පුදුම විය යුතු නැත. සිය ජීවිත තුලින් තුවාල වී, රිදී, පෑරී, සුව වී, කබොළු ඇති වී, ගල් වී, අත්දැකීම් ලබා පරිනත වෙත්දී අපට අප ගැන තීරණ ගැනීම පහසු වේ. සදාකාලික සැනසීමක් වෙත අප කැඳවා ගෙන යාමේ මාර්ගයක් සොයා ගැනීමේ ලා අපේ ඇතුළාන්තය යුහුසුළු වේ.
නඩුවට වියදම් කිරීම සඳහා අක්කා මුදල් ලබා ගත්තේ ඇගේ විවාහයේ දී අම්මා දුන් රන් වළලු දෙකක් උකස් තැබීමෙනි.
“මේව වටින්නෙ මෙහෙම වෙලාවට තමයි. නැත්තං ඉතිං මං මේ රත්තරං එල්ලං ඉන්නෑනෙ”
අක්කා අතිශය සැහැල්ලු ලෙස සිනහ වී කීවා ය. අපේ ගෙදර නතර වෙන්නට පැමිණීමෙන් පසු ඇය මුලින් ම ඒ තරම් ප්‍රීතිමත් සැහැල්ලුවක් පෙන්වූයේ නඩුව බාර දුන් දා ය. එදා ම ඇය හෂාන් ට කතා කොට දික්කසාද නඩුවට සූදානම් වන ලෙස ද දැනුම් දුන්නා ය.
“මං මේ දැන්ම ඔයාට කතා කළේ…නැත්තං සිතාසි ලැබුණහම ඔයා කලබල වෙයි. ඇත්තටම මේ මැරේජ් එකෙන් ඔයාටවත් මටවත් ඇති වැඩක් නෑනෙ හෂාන්. ඒක නිසා මේක ඉවර කරල දැම්මයි කියල ඔයාටවත් මටවත් කිසිම පාඩුවක් පාළුවක් දැනෙන්නෙත් නෑ”
ඇය ඒ තරම් පහසුවෙන් හෂාන් ට දුරකතන ඇමතුමක් දී එසේ කියත්දී මා පවා තිගැස්සී ගියේ ය. මඳ සුළඟට සැලෙනා ළදල්ලක් බඳු ගැහැනු හිතක් සවිමත් කර ගත් පසු ඒ ශක්තියට සමාන කළ හැකි ආදේශකයක් ගැන මා දන්නේ නැත. මේ පුවත අම්මා දැන ගෙන තිබුණේ හෂාන්ලා ගෙනි. එදා හැන්දෑවේ ඇය ගෙදර ආවේ පරල වී ගෙන යි.
“කාගෙං අහලද ඔයා මේ වගේ පණ්ඩිත වැඩක් කළේ ඉසුරි…ඔහොම දෙයක් කරන්න කියල කවුද ඔයාට කිව්වෙ…”
“කවුරුවත් ඇයි මට කියන්නෙ…ඒ කසාදෙ මගෙනෙ. අම්ම බල කරපු නිසා මං ඒක කළා. ඒත් ඒ කසාදෙ ඇතළෙ ඉන්න මට කිසිම හේතුවක් නැත්තං දික්කසාද කරල දානව කියන එක මගෙ තීරණයක්නෙ. කවුරුත් කියන්න ඕනද මට එහෙම කරන්නයි කියල…”
අක්කා පිළිතුරු දුන්නේ සිනහ වෙවී ය.
“තිසුරි. ඔයා තමයි මෙයාගෙ ඔළුවට මේ විසබීජ දාල තියෙන්නෙ. මරු සහෝදරියි තාත්තයි. තමුංගෙ එකාගෙ කසාදෙ කඩල දාන එකනෙ කරන්න ඕනෙ”
එවර අම්මා මා හා තාත්තා සමගින් පැටලීමේ උත්සාහයක් දැරුවා ය. තාත්තා සිය සන්සුන් උපේක්ෂා සහගත සිනහන පාමින් අසුනෙන් නැගිට ගත්තේ ය.
“වජිරපාණි…ළමයි බය කරල උන්ට බල කරල තමුන්ට වාසි වෙන විදිහට උන්ට කසාද කරල දුන්න වගේ නෙවෙයි…ඒව පවත්තගෙන යන්න උන්ට බැරිනං දමල ගහල එනවමයි. ඒව හිතන්න හිතුණෙ මේ වගේ බලහත්කාරකං කරන්න කලින්”
අප වෙනුවෙන් අපට ඉතිරි වී ඉන්නා තාත්තා ගේ මතකය උදුරා ගෙන අපට ඔහුත් අහිමි කරන්නට එපායි ඒ වෙලාවේත් මම හිතින් පැතුවෙමි.
“අම්ම කොහොමද අම්මෙ මට හෂාන් එක්ක ඉන්න කියල කියන්නෙ…පත්තරවල හිටං යනව එයාගෙ අන්තඃපුරේ ගෑනුන්ගෙ විස්තර…මෙයා එයාලට දෙන කෝටි ගණන් වටින උපන්දින තෑගි…ඕව බල බල ලැජ්ජ නැතුව කොන්ද පණ නැති ගෑනියෙක් වගේ මට ඒ කසාදෙ ඇතුළෙ රිංගං ඉන්න කියලද අම්ම කියන්නෙ…නෑ මං තවත් එහෙම කරන්නෑ. ඔයාට චන්දෙට සල්ලි වියදං කරන්න ඕනනං වෙන ඔප්ශන් එකකට යන්න වෙයි”
“කරුණාකරල ඔයා මේ වැඩේ දැන්ම නතර කරන්න ඉසුරි. මේ මොන ලැජ්ජාවක්ද ඔයා මට කරන්න හදන්නෙ..”
“ලැජ්ජ වෙන්න ඕනෙ ඒගොල්ලොංගෙ හැටි දැන දැනත් තමන්ගෙ දුවව ඒ මිනිස්සුන්ට පාවා දෙන එක ගැනයි අම්මෙ”
“ඔයා ඔය නඩුව කෑන්සල් කරල වහාම යන්න ඕනෙ මේ ගෙදරින්. ඔයාට මෙහෙ ඉන්න බෑ. කසාද බැන්දනං හස්බන්ගෙ ගෙදර ඉන්න ඕනෙ”
“මේක තාත්තගෙ ගේ. අම්ම කොහොමද තාත්තගෙ ගෙදරින් මාව එලවන්නෙ..”
අක්කා ඉන්ද්‍ර ඛීලයක් සේ නැගී සිටියා ය. තාත්තා ගේ මන්දහාසය ඇයට ශක්තියක් ම වන්නට ඇත. අම්මා මතු මහළින් පහළට ගියේ අප දවාලන බැල්මක් එක්ක ය. ඇය ඒ තරම් පහසුවෙන් මේ සියල්ල මෙසේ වන්නට ඉඩ නො හරිනු ඇත. නමුත් අක්කා දැනටමත් නීති මගට පිවිස ඇති නිසා අම්මා ට අඩිය පසු පසට ගන්නට සිදු වන්නට ඇත. ඇය මෙතැනින් නො නැවතී කළ හැකි යමක් කරනු ඇති බව අපි දැන සිටියෙමු.
පුවත් පත් වල ද සමාජ මාධ්‍ය වල ද හෂාන් ගැන පළ වී තිබූ ලිපි එකතු කරමින් අක්කා සාක්ෂි වලින් සන්නද්ධ වීමට පටන් ගත්තා ය. එවන් කාරණා මාධ්‍ය වල පළ වීම නිසා ඇයට සිදු වූ මානසික හිංසාව මත විශාල වන්දියක් හෂාන් වෙතින් අය කර ගැනීමට නීතීඥවරිය බලාපොරොත්තු වූවා ය. අක්කා ට අවැසි වූයේ වන්දියක් නොව දික්කසාදය පමණකි. නමුත් හෂාන් වාගේ මිනිසුන්ට සුළු හෝ කෙනිතිගැසීමක් කළ යුතු යයි මා ද තරයේ කීවෙන් ඇය එකඟ වූවා ය.
මහ මැතිවරණයක් සඳහා දින වකවානු ප්‍රකාශ වූයේ මේ කාලයේ ය. අම්මා නො සන්සුන් වී සිටියා ය. ඡන්දයට වියදම් කළ යුතු නම් අම්මා මේ දික්කසාදය නැවැත්විය යුතු යයි හෂාන් ගේ පාර්ශවයෙන් අභියෝග කළේ ය. ඒ අනුව අම්මා හෂාන් හා අක්කා අතරේ ගිරයට අහු වූ පුවක් ගෙඩියක් සේ හිර වූවා ය. නමුත් අක්කා කිසිදු බුරුලක් පෙන්වූයේ නැත. හෂාන් කිහිප වරක් ම අක්කාට කතා කොට දික්කසාද නඩුව ඉල්ලා අස් කර ගන්නා ලෙස කීවේ ය. නැතහොත් අම්මා ගේ ඇමති පට්ටම් ගලවා දමන්නට ඔවුන්ට හැකි බවට තර්ජනය ද කළේ ය.
“මට ඒකෙ කිසිම ප්‍රශ්නයක් නෑ. මොකද අපේ අම්ම ඇමති කෙනෙක් වුණා කියල අපිට නැති වුණ දේවල් මිසක් ලැබුණු දෙයක් නෑ”
අක්කා තීරණය වෙනස් නොකර ම සිටියා ය. අම්මා සිය දැඩි ගති දිය කොට අක්කා ගෙන් ඉල්ලා සිටීම් කරන්නට පවා පෙළඹුණා ය. අම්මා ඒ තරම් දුර්වල වූ අවස්ථාවක් ඊට පෙර මා දැක තිබුණේ නැත. බලය විසින් මිනිසුන් ව කොයි වගේ තැන් වලට ඇද දමනවාද යන්නට ඊට වඩා සාක්ෂි අවැසි නැත. මැතිවරණ ප්රචාරක කටයුතු වෙනුවෙන් වෙනදා සේ අත දිග හැර වියදම් කරන්නට හෂාන් ලා ගේ කළු සල්ලි නොවීම අම්මාට තදබල මානසික බලපෑමක් වන්නට ඇත.
කෙසේ වෙතත් මැතිවරණ උණුහුම නිසා විදුර වරදත්ත ට යම් කිසි විවේක කාලයක් ලැබුණා කියා සිතමි.
“මේ වගේ ඡන්ද උණුහුමක් තියෙන වෙලාවක ජර්නලිස්ට්ලට අත තියන්න එන්නෑ. මොකද ඒක ඒගොල්ලොන්ගෙ ඡන්ද කැඩෙන හේතුවක් වෙන්න පුළුවන් නිසා”
ඔහු ඒ ගැන කීවේ එහෙම ය. අම්මා ද හිටියේ ඡන්ද සටන තුළ බැවින් ඕ බෙහෙවින් අවිවේකී වූවා ය. මේ දින වල විභාගය ආසන්න වී තිබි බැවින් මිතුරු මිතුරියන් කණ්ඩායම් ගැහී පාඩම් කිරීම ද සිදු විය. මම ද දින කිහිපයක් ම එසේ කළෙමි. තාත්තා බලා ගැනීමේ වගකීම අක්කා ඈ මත පටවා ගෙන පාඩම් කටයුතු වෙනුවෙන් මුළුමනින් මා නිදහස් කළා ය. මිතුරු කණ්ඩායමක් සමග විශ්ව ව්ද්‍යාලයට ආසන්න බෝඩින් කාමරයක එසේ මා පාඩම් කරමින් සිටි වෙලාවක විදුර ගෙන් ඇමතුමක් ආවේ ය.
“අද වැඩ නෑ. බෝඩිමේ. ගෙදර යන්නත් කම්මැලි හිතුන අප්ප”
“එහෙනං කොහෙ හරි යංකො. නැත්ත මං එන්නද ඔහෙ…”
“ඔයා පාඩං කරනවනෙ”
“හරි ඉතිං ඔහේ ආවත් මට පාඩං කරන්න පුළුවන්. අනේ මට ආයෙ මෙහෙම ගෙදරිං රිලීස් වෙන්න පුළුවන් වෙයි කියල හිතන්නත් බෑ. අනික…කොහොමත් මං පාඩං කරල ඉවරයි. මේ යාළුවොත් එක්ක රිවිශන් ටිකක් කරනව විතරයි”
“හ්ම්. එහෙනං ටිකක් ඇවිදින්න එළියට යං”
විදුර බෝඩිම ළඟට ආවේ ය. මගේ කුඩා මෝටර් රිය මිතුරියගේ බෝඩිම ළඟ තිබියදී මම විදුරගේ රියට ගොඩ වීමි. ඒ තරම් සැහැල්ලුවක් ඊට පෙර කිසි දාක මා ඔහු වෙතින් දැක තිබුණේ නැත. ඔහු හැමදාම ඇන්දේ කොටු කමිස ය. විවිධ වර්ණ වල කොටු කමිස, වැළමිට සන්ධිය තෙක් අත් නවා ඇන්ද විට ඔහු තරම් කඩවසම් ඉලන්දාරියෙකු අපේ විශ්ව විද්‍යාලයේවත් හිටියේ නැත. මේ වෙලාවේ විදුර තද නිල් හා සුදු කොටු කමිසයකට නිල් පාට ඩෙනිම් කලිසමක් හැඳ සිටියේ ය. නො පියවුණ කමිසයේ ඉහළ බොත්තම් නිසා නිරාවරණය වූ උඩු කය, ඔහු ගේ කඩවසම් බවට සරාගයක් එක් කොට තිබුණායි සිතමි. ඔහු වෙතින් හැමූ පිරිමි විලවුන් සුවඳ, සරාගයේ නිම් වළලු පුළුල් කරමින් තිබිණ. රිය පදවන ගමන් විදුර ගීයක් උරුහම් බෑවේ ය. මම මේ අයස්කාන්ත පිරිමියා වෙත වසඟ වූ දෑස් නො පියවා ඔහු දෙස බලා සිටින්නට වීමි.
“කොල්ලො දිහා ඔහොම බලං ඉන්නෙ…ලැජ්ජ නැද්ද ගෑනු ළමයින්ට…”
ඔහු මදෙස නො බලා ම, අඩ සිනහව සඟවා ගනිමින් ඇසුවේ ය.
“ඔහොම ගෑනු ළමයි අවුස්සන විදිහට එන්න හොඳද මං අහන්නෙ..”
මා දෙඩුවේ මඳක් ඉදිරියට බර වී ඔහු ගේ මූණට එබෙමිනි. විදුර මන බඳනා ලෙස හඬ නගා සිනහ වූයේ ය. ඒ සැහැල්ලුව කෙතරම් මා වසඟ කළේ ද යත් මම ඔහු ගේ උර මඬලෙහි ස්පර්ශ වන ලෙස මගේ හිස තියා නිමේශයකට ඇස් දෙක පියවා ගතිමි.
එදා ඔහු මාව වැල්ලවත්තේ සයිවර කඩයකට කැටිව ගියේ ය. අපි තෝසේ වඩේ කා මසාලා චායී බිව්වෙමු. ඊළඟට ඉතාලි අයිස්ක්‍රීම් පාලර් එකකට ගොඩ වී අයිස්ක්‍රීම් කෑවෙමු. ඔහු දේශපාලන උකුසු ඇස් යොමු වූ මාධ්‍යවේදියෙකු බවත්, මා වජිරපානී වික්‍රමබාහු ගේ කණිටු දියණිය බවත් අමතක කළ අපි හිතේ හැටියට නිදහසේ හැසිරුණෙමු. වැල්ලවත්ත මුහුදු වෙරළේ ඇවිද, ඇඳිරි වැටී ගෙන එත්දී විදුර ගේ බෝඩිමට ගියෙමු. ඊට පෙර ඔහු මාව මිතුරියගේ බෝඩිම ළඟ බස්වන්නට හැදුව ද ඊට ඉඩ නොදුන්නේ මා යි. මේ නිදහස් සුවය එක දවසකට හෝ මගේ මුළු ආත්මයට ම විඳ ගැනීමේ අවස්ථාව දෙන්නට මට ඕන වී තිබිණ. එය මා තුළින් ම ඉතා ප්‍රබල ලෙස නැගී ආ ඉල්ලීමකි.
දිය නෑමෙන් පස්සේ මාරු කර ගන්නට ඇඳුම් නැති බව සිහි වූයේ පසුව ය. මිතුරියගේ බෝඩිමේ නතර වී පාඩම් කරත්දී ඇඳුම් මාරු කරන්නට සිදු වන නිසා අමතර ඇඳුමක් මගේ රියෙහි වූයේ ය. නමුත් එය මෙහි ගෙනැවිත් තිබුණේ නැත. දවසේ ම ඇඳගෙන සිටි නිසා ඇඳුම් සෝදා වියළා ගන්නා තුරු මට අඳින්නට සිදුවූයේ විදුර ගේ කොටු කමිසයකි. මා එය පහළට ඇද ඇද නාන කාමරයෙන් පිටතට එත්දී ඔහු ඉවත බලා ගෙන සිනහව සඟවා ගත්තේ ය.
“හිනාවෙන්නෙපා හරිද…”
මම හුරතලයට නෝක්කාඩු වීමි.
“දැං මෙතන ඔහොම ඉන්නව වජිරපාණි වික්‍රමබාහු දැක්කොත් එහෙම…”
“ඒ දැක්කත් අම්මට දැං ඉතිං කරන්න මොනාත්ම නෑ”
විදුර ගේ පිටුපසින් බඳ වටා දෑත් යවා ඔහු වැළඳ, මම ඒ පිටෙහි මූණ තියා ගෙන ටික වෙලාවක් සිටියෙමි. ආදරය කියන්නේ ලොව්තුරු සුව දෙන හැඟීමකි. නමුත් ඒ හිතත් හිතිවිලිත් නිදහස් වූ විටයි. ඒ නිදහස ඉන් පසු එක වතාවකට හෝ විඳ ගන්නට අපට අවස්ථාවක් ලැබෙනු ඇත්ද කියා ඒ වෙලාවේ මට කිසිදු විශ්වාසයක් වූයේ නැත.
“ඔයා ටිකක් පාඩං කරන්න. මං තේ හදන්නං…ම්…”
“මං තේ හදන්නං”
“කිව්වහම අහල හොඳ ළමය වගේ පාඩං කරන්නකො”
ඔහු මාව මේස පුටුවෙහි වාඩි කරවා මුළුතැන්ගෙට ගියේ ය. මම පොතක් පෙරළා ගතිමි. විභාගය ගැන කිසිදු බියක් සැකක් මට වූයේ නැත.
“එග්සෑම් ඉවර වුණ ගමං බඳිමු. ඕන්නං ටික දවසක් කොහෙ හරි ඈතකට ගිහිං ඉමු. ඊට පස්සෙ අපේ අම්ම මොනාත් කරදරයක් කරන්නෑ කියල මං දන්නව”
තේ බොන ගමන් මම කීවෙමි. විදුර තේ කෝප්පයේ දුම අතරින් මදෙස බලා සිටියේ ය.
“වෙන දෙයක් වුණාවෙ. ඔයාගෙ අක්කලනං කියන්නෙ බැඳල ඔයා ඔය ලියන එක නතර කළානං හරි කියල. මට එහෙම කියන්න බෑ. මොකද මං දන්නව ඔයා එහෙම කරන කෙනෙක් නෙවේ කියල. තවත් මෙහෙම ඈතින් ඉන්න බෑ කියල විතරයි මං දන්නෙ. මොකද…එග්සෑම් ඉවර වෙනකොට අපේ අම්ම මට මනමාලයෙක් හොයල තියෙන්නත් බැරි නෑ. දැනටමත් කවුරු හරි බිස්නස්මන් කෙනෙක්ට එහෙම පොරොන්දුවක් දීල ඉලෙක්ශන් එකට සල්ලි අරගෙනද දන්නෑ. ඒගොල්ලොන්ට හැම දේම පොලිටිකල් ඩීල්ස්. වෙන දෙයක් වෙන්න හෙට අනිද්දම අපි බඳිමු. මං ඔයාගෙ වැඩ වලට කරදරයක් වෙන්නෑ කියල පොරොන්දු වෙන්න පුළුවන්”
විදුර මොනවාවත් කීවේ නැත. නමුත් ඔහු ගේ ඇස් වල වූ බැල්ම තීරණාත්මක බව මම දැන සිටියෙමි.
රෑ වන තුරු මම පාඩම් කළෙමි. ඔහු ලිපියකට තොරතුරු හෙව්වේ ය. නිදන්නට සූදානම් වෙත්දී විදුර මට ඒ කුඩා තනි යහන දී බිමින් ඇතිරිල්ලක් එලා එහි වැතිරුණේ ය. ඔහු බිම නිදත්දී යහනක සුවෙන් සැතපෙන්නට හිත ඉඩ දුන්නේ නැත. ඊටත් වඩා මට ඕන වී තිබුණේ මේ හැම තත්පරයක් ම අපතේ නොහැර ඔහු සමගින් ම ගෙවා දමන්නට ය. මම බිමට බැස විදුර ගේ අත් බාහුව මත හිස තියා ගෙන ඔහු ගේ පපුවට ගුලි වීමි.
“ඇඳෙන් නිදා ගන්න”
ඔහු මගේ කොපුලක් සිප ගනිමින් මිමිණුවේ ය.
“ම්හු”
“ඔයාට බිම නිදියන්න බෑ. ඇඟ රිදෙනව”
“ඔයා ඉන්න තැනක ඉන්නව”
මම තවත් ඔහු ට ගුලි වීමි. විදුර දෑතින් මා සිය සිරුර මතට ගත්තේ ය.
“නින්ද ගියාම ඇඳෙන් තියන්නං”
“නිදියන්නෑ මං..මෙහෙම ඉන්නෝ එළි වෙනකල්ම…”
මම ඔහු බදා වැළඳ ගනිමින් කෙඳිරුවෙමි. විදුර මහිස සිප ගත්තේ ය. ගෙල පිටුපසින් හිස කේ අතරේ අතැඟිලි යවමින් හිස පිරිමැද්දේ ය. කාලයක් තිස්සේ හදවත හොයමින් උන් ආත්මීය සුවයකින් මගේ ඇස් පියවී ගෙන යනු මට දැනිණ.