“ඔයා බිසී ද? කෝල් එකක් ගන්නද?” කියා කැළුමිණී එවා තිබුණු පණිවිඩය ප්‍රභාත් නොදුටුවා නොවේ. වට්සැප් ගිණුම විවෘත කර ඒ පණිවිඩය බලන්නට නොසිතා, දුරකතන මුහුණ මතට ආ නොටිෆිකේශනය ඔස්සේ පණිවිඩය පිරික්සා බැලූ ප්‍රභාත බොහෝ වේලා ගෙන එයට දිය යුතු පිළිතුර කුමක්දැයි සිතන්නට විය.
කැළුමිණී නැවත නැවටත් තමා අමතමින් අසන්නට හදන්නේ “ආයෙ අපට එකතු වෙන්න බැරිද?” යන සුපුරුදු පැනය නම් එයට දිය යුතු පිළිතුර තමා ඇයට දැනටමත් පවසා හමාරය. ඒ පිළිබඳව තවත් කතා කරන්නට දෙයක් ඉතුරු වී නොමැති තැනක හිතට අපුල අයෙකු සමග දුරකතනයෙන් හෝ සංවාදයක් යෙදෙන්නට උවමනාවක් ප්‍රභාත්ට තිබුණේ නැත.
එහෙත් කැළුමිණී එවූ පණිවිඩයට පිළිතුරු නොදී හිඳින්නට හැකියාවක් නැති බව ප්‍රභාත් දැන උන්නාය. අනෙක් අතට තමා කොපමණ දේ සිතුවද බාගදා ඇය කතාකරන්නෙ දික්කසාදය පිළිබඳව හෝ ඇයගේ නීති වේදිනිය විසින් කියූ යමක් පවසන්නට හෝ විය හැක.
එහෙත් පණිවිඩය දුටු සැණින් ඇයට පිලිතුරු දීම හෝ ඇයව ඇමතීම තවමත් ඇය තම සිතුවිලි අතර මුල්පෙලක හිඳින බව වක්‍රාකාරයෙන් පවසන්නක්‍ය යන කුකුස ප්‍රභාත්ගේ හිත බියපත් කරන්නකි. ඉතින් පිළිතුරු දීම පමා කිරීම වඩාත් හොඳ බව සිතේ.
පණිවිඩය දැමූ පසු එයට එහාපසින් නිල් පැහැ හරි සලකුණ දකින්නට බලාපොරොත්තු වුවද කැළුමිණීට එය සිතු තරම් ඉක්මනින් දකිනට හැකි වූයේ නැත. ප්‍රභාත් කතා කරේ සවස් කාලයේ රාජකාරි අවසන්ව නිවස බලා යද්දීය. ඔහුගේ ජීවිතයෙන් තමා කෙතරම් ඈතට ගොසින්ද, තමාගේ වගකීම කෙතරම් හීන වීද යන අදහස දුකක් නොවුවා නොවේ. එහෙත් ඒ සියලු දුක්ඛ දෝමනස්සයන් මතින් ගින්දරක් සේ නැගී එන විශාල ශක්තියක් තමාට මේ දරුවාගේ පණිවිඩය සමග පැමිණ තිබෙන බව් කැළුමිණීට දැනුනාය.
ප්‍රභාත් කුමක් කීවද තමා හැකි ඉහලම අයුරින්, උපරිම අයුරෙන් ජීවිතයට මුහුණ දෙන බව කැළුමිණී සිතාගත්තේ නැන්දා සමග කල කතාබහෙන් අනතුරුවය. ඒ මොහොතේ කඳුලු වගුරවා නැන්දාගෙන් ඒ ගැන ඇසුවද නැන්දා දුන් උත්තරය මත ජීවිතයේ ඉදිරියට එන්නට නියමිත කාලයට මුහුණ දෙන්නට අවැසි ශක්තියත්, දැක්මත් තිබූ බව කැළුමිණී තේරුම් ගත්තාය.
“ප්‍රභාත් මොන දේ කිව්වත් පුතා තමයි පුතේ තේරුම් ගන්න ඕන ජීවිතේ ඉස්සරහට මේ දරුව එක්ක පුතා මූණ දෙන්නෙ කොහොමද කියලා
ජීවිතේ අපි බලාපොරොත්තු වෙන විදියටම දේවල් ඉස්ට සිද්ද වෙන්නෙ නෑනෙ”
කැළුමිණී විසින් ඇසූ තීරණාත්මක පැනයට දිය යුතු සවිමත් පිළිතුරක් සිතාගන්නට නොවුණ තැන පබෝධා කතාවට එලඹුනේ නිසොල්මනේය. ඒ කාලය අතරතුර කැළුමිණී විසින් අසන්නට යෙදුණ පැනයට දිය යුතු හොඳම පිළිතුර සකසා ගන්නට පබෝධා කටයුතු කරාය.
“දරුවා ගැන දැනගත්තයින් පස්සෙ ප්‍රභාත් ඒ ගැන මොන දේ කිව්වත් පුතා අමතක කරන්න එපා පුතාටයි පුතාගෙ ඔය ඉපදෙන්න ඉන්න දරුවටයි ඕනම දේකට මං ඉන්න විත්තිය, මං එහෙම සල්ලි බාගෙ තියෙන මනුස්සයෙක් නොවුනට පුතේ මට පුතාට පුලුවන් උදව්වක් කරන්න ඇහැකි.
අනික පුතේ මැරිච්ච අම්මයි තාත්තයි පුතා දිහා බලාගෙන ඉන්නෙ. මට ඒන ඉස්තිරයි. ඒ නිසා මේ වෙන දේවලට ඒ ඒ හැටියට මූණ දෙන්න පුතා හිත හයිය කරගන්න. පුතාට නරකක් වෙන්නෙ නෑ කවදාවත්”
“ඇයි නැන්දෙ මට මෙහෙම කරදර විඳින්න උනේ? මං කාටවත් වරදක් කරල නෑ. එහෙම එකේ ඇයි මට මෙච්චර තරුණ වයසෙදිම ජීවිතේ ලොකු දුක් කරදර වලට මූණ දෙන්න උනේ? මුලින් අම්මායි තාත්තයි නැතිඋනා. මං එතකොට හිතුවෙ කමක් නෑ මං කොහොමහරි ජීවත් වෙනවා කියල. ප්‍රභාත් හම්බුනාම මං හිතුවා කවුරු නැතත් මට ප්‍රභාත් ඉන්නවනෙ කියල. එයා නිසාමයි මම ජොබ් එකෙන් අයින් වෙලා ගෙදර ඉඳන් වැඩ කරන්න ගත්තෙත්. ඒ උනාට අන්තිමේ මට ඉතුරු වෙලා තියෙන්නෙ මොනවද? මුකුත් නෑ”
කඳුලු කැට වැගිරි තිබුන බත් පත් වාඩි වී හුන් තැන බිමින් තබා කැළුමිණී මුහුන දෙදන අස්සේ ඔබාගෙන මහ හඬින් හඬන්නට වූවාය. හිත අස්සෙන් මොනතරම් ගින්දරක් මතු ව එන බව දැනුනද පබෝධා ඉවසීම දරාගෙන කැළුමිණීගේ හිසකෙස් අතරින් ඇඟිලි තුඩු යවන්නට විය. හැඬීම නිසාදෝ ඇඟේ සිරුර ගිනි කබලක් මෙන් රත් වී ඇත.
“අඬන්න එපා පුතේ. පුතා දුකෙන් ඉන්න එක දරුවට හොඳත් නෑ. අපි එන හැටියකට මූණ දෙමු. පුතා ඉස්සෙල්ල ඔයා කාරණාව ගැන ප්‍රභාත් පුතාට කියල ඉන්න. ඉන්පස්සෙනෙ අපි අඬනවද හිනාවෙනවද කියල තීරණය කරන්න ඕන.
ඒ නිසා පුතා දැන් ඔය ගැන හිතල තැවෙන්න එපා”
කැළුමිණී ප්‍රභාත්ට කතාකරන්නට අවශ්‍ය ශක්තිය සොයාගත්තේ නැන්දාගේ ඒ වදන් ඔස්සේය. පණිවිඩය යවා බොහෝ වේලා ගත වුවද ප්‍රභාත් කැළුමිණී ඇමතුවේ හවස වැඩ රාජකාරි නිම වී නිවස බලා යද්දීය.
දෙදෙනාම එකම නිවසකට යනවා වුවද අමීශාට බොහෝ අවස්තාවල ප්‍රභාත් සමග එකට නිවස බලා යාමට හැකියාවක් තිබුණේනැත. අමීශාට බොහෝ සැඳෑවන්වල තම මිතුරන් සමග කාලය ගෙවන්නට යාමට සිදු වීම නිසා ප්‍රභාත් වැඩ අවසන් වී නිවස බලා නික්මුණේ අතරමග තැනකින් රාත්‍රී ආහාරයද ගෙනය.
“හෙලෝ”
කැළුමිණී ප්‍රභාත්ගේ දුරකතන ඇමතුම ඇරඹුවේ මහත් බලාපොරොත්තු ඇතුවය. ඒ ප්‍රභාත් මේ ආරංචිය සමග තම සිතුවිලි සහ ගත් යම් යම් තීරණ වෙනස් කරනු ඇතැයි බලාපොරොත්තුවෙනි. කුමක් කරද ප්‍රභාත් දරුවන්ට බොහෝ ආදරය කරන බව දන්නා නිසාවෙන් මේ කතාව මෙයට වඩා වෙනස් විය හැකි බව කැළුමිණී බලාපොරොත්තු තබාගෙන උන්නාය.
“ඔව් කියන්න ඇයි?”
එහෙත් ප්‍රභාත්ගේ පසින් අසන්නට ලැබුණේ ඒ බලාපොරොත්තු ඇරඹුණු තැනම බිඳ වට්ටවන අන්දමේ වදන් ය. එහෙත් පබෝධා නැන්දා කියු දෙය කැළුමිණීට අමතක නොවේ.
“ජීවිතේ වෙන්න අපිට ඕන දේවල්ම නෙවෙයිනෙ පුතේ”
“ඔයා බිසී ද ප්‍රභාත්?මම දෙයක් කියන්න කතාකරේ?”
“නෑ කියන්න ඉක්මනට”
මේ වූ කලී තම විවාහය ගැටලු සහගත නොවූ තැනක තිබුනානම් රාත්‍රියේ විශේෂ කෑමක් සකසා ප්‍රභාත්ව සර්ප්‍රයිස් කරවන අන්දමේ හේතු කාරණාවක් වුවද අද මෙසේ රටේ දෙතැනක, වේදනාවෙන් ගැහෙන හිත් දෙකක් අතර වන කතාබහක් කරවන්නට දෛවය සමත් වී තිබුණි.
“ඔයා බිසි නම් මම පස්සෙ කතාකරන්නම්…”
“අයියෝ කැළුමිණී ප්ලීස් කියන මගුලක් කියල ඉවර කරන්න. මට ඔයා එක්ක කතා කර කර නාස්ති කරන්න වෙලාවක් නෑ”
කතාව අවසාන කරන්නටත් කලියෙන් ප්‍රභාත් එසේ කඩා පැන්නේය. ඒ කෝපයට හේතුව තමා ළඟ නොරැඳීත් තමා අමතන කැළුමිණීද තමා ළඟ රැඳීත් අඳුර සහ තනිකම පිරුණු නිවසකට යන්නට පාර කැවූ අමීෂා ද කියාත් සිතාගන්නට ප්‍රභාත්ට හැකියාවක් තිබුනේ නැත.
“ප්‍රභාත් මම ප්‍රෙග්නන්ට්”
කැළුමිණීගේ මුවින් ඒ වදන් පේලිය එක වරම නික්මුණේ ප්‍රභාත්ගේ හඬේ වූ කෝපත් බව දරාගන්නට බැරිම තැනය. ඒ වදන් වල වූ බියපත් බව හෝ එහි වූ බැරෑරුම් බව මොහොතකට එපසත් මෙපසත් නිහඬ කරවන්නට සමත් වූ එකකි. ඒ නිහඬ නිමේශය කැළුමිණීට දැනුනේ කල්ප කාලාන්තරයක් තරම් දිගටය.
එහෙත් ඒ කල්ප කාලාන්තරයක් තරම් දිග නිමේශය පුරාවටම එක් කණක දුරකතනය රුවා ගෙන හුන් කැළුමිණීගේ දෙනෙත් තිබුනේ ඈත පෙනෙන නිල්වන් කඳු යාය මතය. බැසයන හිරුගේ රන්වන් පැහැ කෙඳි ඒ කඳු මත රන්මය සුන්දරත්වයක රටා මවමින් උන් අතර එවන් වූ තීරණාත්මක නිමේශයක පවා තම සිතෙහි එක් අන්තයක් ඒ සුන්දරත්වය විඳින බව කැළුමිණීට දැනුනාය.
අනෙක් අතට ප්‍රභාත් උන්නේ පුදුමාකාර අන්දමක නිහඬතාවයක ගිලීය. වැඩ ඇරී නිවස බලා යන වාහන ගඟක ගිලී උන්නද අනෙක් කිසිදු වාහනයක හෝන් හඬක් පවා නොඇසුණ අමුතුම නිහඬතාවයකය.
ඒ නිහඬතාවය බිඳ හෙලමින් තමා විසින් කිසිවක් කිව යුතු බව මතක් වුවද කිව යුත්තේ කුමක්ද යන්න ගැන පවා නිසියාකාර අදහසක් ප්‍රභාත්ට තිබුණේ නැතා.
“මොකද්ද කිව්වේ?”
ඒ ප්‍රශ්නය ඇසුවා නොවේ ඇසුණාය. ඇසුණු දෙය තව තවත් තහවුරු කරගනු පිණිස ප්‍රභාත් කැළුමිණීගෙන් ආයෙම වරක් ඒ ඇසුවේය.
“මම ප්‍රෙග්නන්ට් ප්‍රභාත්”