“දැන් ආපහු කොළඹ යන්න බැනෙ. අද මගේ බංග්ලෝ එකේ ඉඳල යමු” කියමින් නිම්නට නවාතැන් පහසුකම් සපයන්නට කටයුතු කලේ අරවින්දය. ඒ ආගන්තුක සත්කාර වලට ලැදි සිතුවිලි වලටත් වඩා කැළුමිනී සම්බන්ධව නිම්න කුමනාකාරයේ අදහසක් දරන්නේද යන අදහස දැනගනු පිණිස බව අරවින්ද දැන උන්නේය.
“එහෙ නං ඉන්නෙ මහත්තයො ආයෙ අමුතුවෙන් කෑම උස්සගෙන යන්න උවමනාවක් නෑනෙ නේද? මෙහෙන්ම කාලා යන්” කියමින් පබෝදා කරදර වුනේ කෑම මේසය හදන්නටය. සිතටත් ගතටත් වෙහෙසක් දැනුනද කැළුමිනී අරවින්දටත් නිම්න ටත් කතාකරන්නට ඉඩ දී නිවස ඇතුලට ගියාය.
අරවින්දත් නිම්නත් උන්නේ කතාව කොහෙන් ආරම්භ කරන්නද කියා සිතාගන්නට නොහැකිවය. ඒ නිහඬතාවය මුවින් කිසිවක් නොකී මොහොතක් වුවද සිත ඇතුලෙන් දෙදෙනාම උන්නේ තම සිතුවිලි සමග දොඩමලුවය. අනෙක් පුද්ගලයා තමාගෙන යමක් අසතැයි කියාත් ඒ අසන දෙය මෙය විය හැකි යැයි කියාත් සිතමින් එයට දිය යුතු පිලිතුරු සිතෙන් ගොනු කරගනිමිනි.
“නිම්න කොහෙද වැඩ කරනවා කිව්වේ?”
කතාව පටන් ගත්තේ අරවින්දය. මේ නිහඬතාවය දරාගන්නට අපහසු තරම් බව සිතුන නිසාවෙන්ම තමා හෝ ඉස්සර විය යුතු බව අරවින්ද සිතුවේය. එහෙත් කතාව ආරම්භ කල යුත්තේ කොහෙන්ද කියා අදහසක් අරවින්දට තිබුනේ නැත.
“මම කැනඩා ඉන්නේ. එහේ අයි ටී ෆර්ම් එකක වැඩ කරන්නේ”
“නිවාඩුවට ද ආවේ?”
“ඔව් දැන් සතියක් විතර වෙනවා ඇවිල්ල, ගියාට පස්සෙ මේ ආවමයි මම” නිම්න කියන්නේ මද සිනාවකින් මේ ආගන්තුක බව මග හරවාගන්නට කටයුතු කරමිනි.
“කැළුමිනීට වෙච්ච දේ ගැන මට හරි කණගාටුයි, මම ඇත්තටම කවදාවත් හිතුවෙ නෑ මං ඒ තරුණ කාලේ කරපු දෙයක් මේ විදියට කැළුමිනීට මෙහෙම ප්‍රශ්නයක් වෙයි කියල” නිම්න කිව්වේ පසුතැවිල්ලෙනි. මේ පුද්ගලයාව ජීවිතයේ පලමු වරට දුටුවෙ අද වුවත් ඔහුව විශ්වාස කරන්නට හැකි බවක් අරවින්ද ගැන නිම්න සිතුවේය. අනික් අතට කැළුමිනීත් ඇගේ නැන්දණියත් මේ පුද්ගලයා සමග කතා බහ කරන විදිය ඔහුට ගරුසරු කරන අන්දම අනුව මේ පුද්ගලයා සැබවින්ම යහපත් අයෙකු බව නිම්න සිතුවේය.
“වැරදි නොකරපු අතීත කතා කාටවත් නෑනෙ මල්ලි. අපි හැමෝම අතීතෙදි අපිට හරි වෙන කාටහරි වැරදිකරල තියෙනව. ප්‍රශ්නෙ ඔයාලා තරුන වයසෙදි හිතන්නෙ නැතුව කරපු දෙයක් වෙන මනුස්සයෙක් ඔයාලගෙ ජීවිත විනාස කරල දාන්න පුලුවන් විදියෙ තුරුම්පුවක් කරගත්ත එක.
ඊටත් වඩා කැළුමිනී වගේ හොඳ ලමේක්ව විශ්වාස නොකර එයාගෙ මහත්තය පිට මනුස්සයෙක් කිව්ව දේ විශ්වාස කරල කැළුමිනීව ඩිවෝස් කරන්න හිතපු එක.
ඒ ඇරෙන්න තරුණ වයසෙදි ඔය වගේ දේවල් හිතිච්ච එක, එහෙම දෙයක් කරපු එකේ වරදක් නෑ. ඒ උනාට ඉතින් අපේ රටේ හැමෝම ඔය දේවල් ඔහොමම හිතන්නෙ කරන්නෙ නෑනෙ මල්ලි”
අරවින්ද එසේ කිව්වේ මේ සියලු කතා අවසානයේ තමන්ගේ සිතට පිවිසි සිතුවිලිය.
“ඔව් මම ඇත්තටම කවදාවත් හිතුවෙ නෑ කෝසල ඔය වගේ මිනිහෙක් කියල. එහෙම දෙයක් ඒ කාලෙ අපි දැනගෙන උන්නෙත් නෑ. ඔක්කොටම වඩා මට හිතාගන්න බැරි ඒ සිද්දිය වෙලා අවුරුදු ගාණක් ගියාට පස්සෙ කෝසල මේ වගේ දෙයක් කරන්න පෙළඹුනේ ඇයි කියන එක
අනික එයාගෙ අයියගෙ ගෙස්ට් එකට ආපු එකම ගෑණු ලමය කැලුමිනී නෙවෙයි. තව මම දන්න යාලුවො ගොඩක් අය පවා එයාලගෙ ගර්ල් ෆ්රෙන්ඩ්ස්ලව එක්කගෙන ගියේ කෝසලගෙ අයියගෙ ගෙස්ට් එකට. අයියා ඇක්සිඩන්ට් එකකින් නැති උනාට පස්සෙ කෝසලලා ඒ ගෙස්ට් එක වහල දාලා වෙන ගෙදරක පදිංචියට ගියා.
කවුද හිතන්නෙ එහෙම සීක්රට් කැම් එකකින් කාමරවල වෙන දේවල් රෙකෝඩ් කරනව කියල?
අනික අපි එහෙම නරක අදහසකින් ගිය ගමනක් නෙවෙයි මචං. මම දන්නෙ නෑ උඹ මං ගැනවත් කැළුමිනී ගැනවත් කොහොම හිතනව ඇතිද කියල? ඒ උනාට ඒ තරුණ කොල්ලො කෙල්ලො විදියට අපිට ඒ කාලෙ තිබුනෙ කෙල්ලෙක්ගෙ ඇඟ ගැන තිබ්බ ඉන්ටරස්ට් එකකටත් වඩා කියුරියෝසිටි එකක්. අපි එහෙම නරක දේවල් කරන්න ගියේ නෑ. එහෙම ගියත් මම කවදාවත් කැලුමිනීව බ්ලැක්මේල් කරන්න වගේ කියල හිතුවෙත් නෑ.
එහෙම එකේ මෙහෙම දෙයක් උනාම කොහොමද කියපන් කො දරාගන්නෙ? මට හිතාගන්න බෑ”
“නෑ මචං ඔතන අපි හිතන්නෙ නැති විදියෙ මොකක් හරි ලොකු හේතුවක් ඇති. එහෙම නැත්තම් ඒක උගෙ තියෙන බලුකම ඇරෙන්න ඉතින් වෙන දෙයක් නෙවෙයි.
කැළුමිනීගෙ හස්බන්ඩ් එයා එක්ක ආයෙ සෙට්ල් වෙන්න කැමතිම නැහැ කියන එකේ මම නම් හිතන්නෙ කැලුමිනී ආයෙ ඒ මනුස්සය පස්සෙ ගිහින් බාල්දු වෙන්න උවමනාවක් නෑ. මොකද එහෙම කරන්න කැලුමිනී ඒ මනුස්සයට වරදක් කරල නෑනෙ.
කැලුමිනී එක්ක වෙච්ච ප්‍රශ්නයක් නිසා කැලුමිනී ගෙදරින් ගිය ගමන් වෙන මනුස්සයෙක් එක්ක ලිවින් ටුගෙදර් ඉන්න ඒ මනුස්සයනෙ ඔක්කොටම වඩා වැරදි.
අනික කැලුමිනීටත් මම හිතන්නෙ ආයෙම සෙට්ල් වෙන්න උවමනාවක් නෑ වගේ. එයා කිව්ව දේවල් වලින් මට තේරිච්ච දේ තමයි ඒක.
හැබැයි ඒ කොහොම උනත් ඊට වඩා ලොකු ප්‍රශ්නයක් තියෙනව මල්ලි අපි හැමෝටම විසඳන්න. මම හිතන්නෙ ඒක විසඳන්න පුලුවන් හොඳම කෙනෙක් වෙන්න ඔයා. මේක ඇත්තටම කැළුමිනීගෙ හස්බන්ඩ් කරන්න තිබුන දෙයක්. ඒ උනාට ඉතින් දැන් ඒව ගැන කතා කරල වැඩක් නෑනෙ. ඉතින් අපිවත් ඒක කරල දෙන්න ඕන”
අරවින්ද කියන්නේ කුමක්ද යන්න ගැන හිතාගන්නට බැරුවාක් මෙන් නිම්න කුතුහලය ඇඳගත් දෙනෙතින්ම අරවින්ද දෙස බලා උන්නේය.
“මොකද්ද?”
“කෝසල ළඟ ඔය තියෙනව කියන කැළුමිනීගේ වීඩියෝස් ඩිලීට් කරන එක සහ මිනිහට ඔහොම බ්ලැක්මේල් කරන ඒවට හොඳ පාඩමක් උගන්නන එක”
තවත් මොනවදෝ කියන්නට අරවින්ද කට ඇරියද ඒ මොහොතේ එහි පැමිණි පබෝදා කෑමට අඬ ගැසුවාය. ඒ ආරාධනාව ඔස්සේ අරවින්දත් නිම්නත් කෑම කාමරය වෙත ගියේ බොහෝ බර කල්පනාවක එල්ලීය.
“හදිසියේ හැදුවෙ මුකුත් ලොකු දෙයක් හදන්න බැරි උනා මහත්තය” කියමින් පබෝදා අරවින්ද දෙස බැලුවේ යටහත් පහත් සිනාවක් සමගිනි.
“අපෝ මේ හොඳටම ඇති” කියමින් අරවින්ද කැම මේසය අසල හිටගෙන උන් පබෝදා ට එපිටින් හිටගෙන උන් කැලුමිනී දෙස බලා සිනාසුනේය. සවස හැඬූ නිසාවෙන් රත් පැහැ වූ දෙනෙත් මේ මොහොත වන විට රත් පැහැය මකා දමා තිබුනද ඒ දෙනෙත් තවම තිබුනේ බොර වීය. ඒ බොර පැහැය පෑදෙන්නට නම් ඇගේ සිත ඉස්සෙල්ලාම පෑදිය යුතු බව අරවින්ද දැන උන්නේය. එහෙත් ආයාසයෙන් නගා ගත් සිනහවකින් අරවින්දට සංග්‍රහ කරන්නට කැලුමිනීට නොහැකි වූවා නොවේ.
හදිසියේ සකසාගත් තෙම්පරාදු බතට පරිප්පු තෙම්පරාදුවකුත් බොංචි කරියකුත් කූනිස්සන් දමා සැදූ අල තෙල් දැමුමත් මනාව පෑහුනි.
කෑම මේසයට වාඩි උනේ අරවින්දත් නිම්නත් පමණකි. පිටස්තර පිරිමින් දෙදෙනෙකු ඉද්දි ඔවුන් සමග එක පෙලට කෑම මේසයට වඩා වීම නොමනාය යන්නට වඩා කැලුමිනීටත් පබෝදාටත් තිබුනේ කෑම මේසයට වාඩි වී කෑම කා නොමැති පුරුද්ද වෙනස් කරගන්නට ඇති අකමැත්තකි.
“ඔයාලත් එන්න කන්න” කියමින් නිම්න අඬ ගැසුවද පබෝදාත් කැලුමිනීත් මේසයට කෑම බඳුන් ගෙන එමින් එය සිනහවකින් මග හැරියහ.
“මහත්තයට පරිප්පු බෙදන්න පුතේ” කියා පබෝදා කැලුමිනීට කිව්වේ නිම්නට අල බැඳුම් හැන්දක් බෙදමිනි.
තමන්ගේ වම් පසින් සිටගෙන මදක් මහත් වී පිඟානට පරිප්පු බෙදමින් උන් කැලුමිනීගේ ගැබ්බර බව නිසාදෝ මදක් පිරී ඇති මුහුණ දෙස බලා කල්පනා කරන්නට බොහෝ දේ තිබුනද අරවින්ද ඒ සිතුවිලි වලට ඒ මොහොතේ සිත උඩට නැගී එන්නට ඉඩ තිබ්බේ නැත
මේ ඒ සිතුවිලි වලට නිමේශය නොවේ
“ඔයත් එන්න කන්න”
අරවින්ද කිව්වේ සෙමිනි. කුඩා මේසයේ එහා පසින් හිඳගෙන උන් නිම්න උන්නේ ඒ වදම් නොඇසෙන දුරක නොවුවද පබෝදා සමග කොළඹ විත්ති බෙදාගනිමින් නිසා ඒ වදන් ඇසුනේ නැති තරම් ය
“පස්සෙ කන්නම්”
“දරුවෙක් ලැබෙන්න ඉද්දි බඩගින්නෙ ඉන්න හොඳ නෑනේ නේද? ම්ම්ම්? පොඩ්ඩක් හරි කමුද?
මාත් එක්කම”
අරවින්ද ඒ අවසන් වදන් ඇසුවේ මදක් බර කරය. එහෙත් තම දෙනෙත් තිබුනේ අසාමාන්‍ය සැනසිල්ලක් කැලුමිනීගේ දෙනෙත් වෙත පා කරමින් බව අරවින්ද තේරුම් ගත්තේ තම වචන වලට සමගාමීව කැලුමිනීගේ බොර පැහැ දෙනෙත් සෙමෙන් පෑදීගෙන එන බව දැකීමෙනි
කැලුමිනී කිසි දිනක එවන් හඬක් නොඇසුනි බව සිතට පසක් කරමින් උන්නාය. පෙම්වතියක ලෙස මද කාලයකුත් විවාපත් බිරිඳක ලෙඩ වසර කිහිපයකුත් ගෙවා තිබුනද නිම්න ඇසුරේවත් ප්‍රභාත් ඇසුරේවත් නොවිඳි කුමක්දෝ අපූරු බවක් අරවින්ද හමුවේ සිතට දැනෙන බව කැලුමිනීට තේරුනාය. සිත එයට රුචි කරද මනස තිබුනේ ඒ ඔස්සේ සැහැල්ලු වෙන ඉසව්වක නොවේ. තමා කෙල්ලක නොවේ. ගැහැණියක්ද නොවේ. විවාහකින් දික්කසාද වන්නට හිඳින ගැබ්බර මවකි.
ඉතින් මෙවැනි සිතුවිලි සිතට අකැප නොවේද?