දෙහිතක කතාවක් 35

දෙණියායේ එන්සල්වත්තට වැස්ස නුපුරුදු නැත.  වැහි බීරුමක් නැතත් තෙත බරිත එන්සල්වත්ත කොහොමත් හිඳින්නේ වැස්ස එන තුරු මග බලමින් දෑත් විහිදාගෙනය.

මෙදාත් ඒ වැස්ස වැටුනේ නොසිතූ විලසිනි. අරවින්ද කොහොමත් උන්නේ කැලුමිනී බලන්නට යන්නටය. එදා නිම්න ඇවිදින් ගිය දවසට පසුව තේ වත්තේ බොහෝ වැඩ රාජකාරි අස්සේ හිරවෙන්නට සිදුවීම නිසාවෙන් කැලුමිනී බලන්නට යන්නට තියා දුරකතන ඇමතුමක්වත් දෙන්නට පුලුවන්කමක් තිබුනේ නැත. අනෙක් අතට හේතුවක් නැතුව ඇයව අමතන්නට හැටියක් ඇත්තේද නැත.

ගතින් දුරස් උනත් සිත තිබුනේ ඇයට ළඟය. නැත ඇයට ළඟව නොවේ ඇය ළඟය. ඉතින් ආදරය තිබුනේ පිරී ඉතිරි යමිනි.

අරවින්ද ආවේ තේ පැක්ටේරියෙන් කොලඹට පටවා යැවූ තේ පැකට්ටු කිහිපයක්ද අරගෙනය. වැස්ස ආවේ කැලුමිනීගේ නිවෙස කරා යන්නට කන්ද නගිද්දීය. තේ පැකට් දැමූ මල්ල එක අතකින් තදින් අල්ලාගෙන අරවින්ද කන්ද නැග්ගේ දුවමින් මෙනි.

සීතල වැහි බිඳු සිරුර තෙමාලමින් යද්දී අරවින්ද පබෝදාගේ නිවසේ ඉස්තෝප්පුවට ගොඩ උනාය.

කැලුමිනී උන්නේ ඉස්තෝප්පුවේ තබා තිබු මිටි වේවැල් පුටුවේ වාඩි වී වැස්සෙන් තෙමී යන කඳුත් තේ වගාවත් දෙස බලමිනි. කල්පනා කරන්නට බොහෝ දේ තිබුනද ඒ සියල් කල්පනා අවසන් වෙන්නෙ එකම තැනකිනි. ඒ කෙලවර වේදනාවක් නිසාම කැලුමිනී කිසිවක් ගැන නොසිතා හිඳින්නට කටයුතු කලාය. එහෙත් තනි උන මොහොතක කල්පනා නොකර හිඳින්නට හැකියාවක්ද නොමැත.

නැන්දා උන්නේ නිවසින් බැහැර ගොසිනි. දිනෙන් දින වැඩෙන කුසත්, පුලුල්වන උකුලත් නිසාවෙන් කොළඹ සිට එද්දී ගෙනා ඇඳුම් පැලඳුම් අඳින්නට අපහසු වුවද නගරයට ගොස් ඇඳුමක් පැලඳුමක් ගන්නටවත් උවමනාවක් තිබුනේ නැත. එහෙත් ගෙනා ඇඳුම් හිරට හෝ අඳින්නට හැකියාව ඇත්තේ තව මද කාලයක් පමණක් බව දන්නා නිසාවෙන්ම සඳරුගේ අක්කාට කියා සැහැල්ලු ඇඳුමක් දෙකක් මසා ගන්නට උත්සුක වූයේත් නැන්දාය. ඒ වෙනුවෙන් රෙදි ගෙන එන පිණිස නිවසින් බැහැර ගිය නැන්දාට මේ වෑස්සේ යලි නිවසට ඒම පහසු නොවන බව කැලුමිනී දනී.

අරවින්ද ආවේ එවන් මොහොතකය. නොසිතූ මොහොතක

කඩා වැටුන වැස්සක් මෙන් අනපේක්ෂිතවය.

“මහත්තයව දැක්කෙත් නෑ මේ දවස් ටිකේ” කියා නැන්දා කියුවද කැලුමිනීට එවෙලේ එහි විශේෂත්වයක් දැනුනේ නැත.

එහෙත් සීතල වැහි බිඳු වැටුණ කෙහෙ රැලිත්, ඒ යටින් වූ මදහසින් ආලෝකමත් මුහුණත් ඒ මොහොත විශේෂ කරවන බවක්

කැලුමිනීට දැනුනාය. 

අරවින්ද සිනාව තවත් පුලුල් කරමින්ම තේ පැකට් රැඳි බෑගය කැලුමිනි අත තිබුවේය. කොතෙක් සීතල සුලඟ හැමුවද, වැහි හිරිකඩ වැදුනද ඒ වගක් නොමැති තරම්ය. කැලුමිනීගේ දෙතොල්

තිබුනේ වෙව්ලමිනි. ඒ සිනහවකට අර අදිමින්ද නොඑසේනම් සීතල නිසාවෙන්ද කියා නොදන්නා නමුත් ඒ දෙතොල් උණුසුම් කරනු පිණිස සිපගන්නට තිබුණා නම් අපූරු බව නොසිතුනා නොවේ.

ඇහි පිය ගැසිල්ලක් අරවින්ද ඒ සිතුවිල්ල වෙනස් කරගත්තේ නොසිතාම එය එසේ වේ යැයි සිතා බියෙන් මෙනි. එහෙත් අරවින්දගේ දෑස් අස්සෙන් එලියට පැන තම දෙනෙත් මත තැවරුණ කුමක්දෝ මෙයැයි කියා කියන්නට අපහසු හැඟීම්ක තම දෙපා ගල් කර ඇති බවක් කැලුමිනීට දැනෙමින් තිබුනි.

අරවින්ද විසින් දුන් බෑගය එතන තිබුන කුඩා කනප්පුව මත තැබූ කැලුමිනී ඒ ගල් වීමෙන් නිදහස් වෙන්නට වෙර දැරුවාය

“සර්ගෙ කොන්ඩෙ වතුර බිංදු. පිහදාන්න තුවායක ගෙනැල්ල දෙන්නද?” 

“එපා එපා එහෙම මහ ගොඩක් තෙමිල නෑ” කියමින් අරවින්ද අතෙන් හිස පිසදැමුවේය. කෙහෙ රැලිවල තැවරී තිබුන වතුර බිඳු විත් කැලුමිනීගේ මුහුණ සිප ගත්තාය.

අරවින්ද තාමත් උන්නේ සිනාව මුහුණ මත තබාගෙනය. ඒ සිනාව මත දෙනෙත් බිමට බර කරවන යම් හැඟීමක් තිබෙන බවක් කැළුමිනීට දැනුනි.

“නැන්දා නෑ සර්” කැලුමිනී කිව්වේ ඒ සිනහවත් දෙනෙතත් විසුරුවන කැලුමන් දරාගන්නට අපහසු තැනය. 

එහෙත් අරවින්ද ඒ වචන වලට කලබල වූවාය. නොසිතා, නොමනා යමක් සිදු වූ ලෙස කලබල වුණාය.

“අනේ සොරි කැළුමිනි. මම දැනගෙන හිටියෙ නෑ. නැත්තම් මම එහෙම ඔයා තනියෙන් ඉන්න වෙලාවක එන්නෙ නෑ” ඒ කලබලයට හේතුව කැලුමිනී තේරුම් ගත්තේ මොහොතේය. එහෙත් තමා විසින් පෙර කී දේ කිව්වේ අරවින්ද ගැන වරදක්වත් සැකයක්වත් නොසිතා නොවන බව දන්නේ තමා පමණකි.

අරවින්ද උන්නේ යන්නට මෙනි. 

“නෑ සර් නෑ, මම හිතුවෙ සර් නැන්දව හම්බෙන්න ආව කියල. යන්න කියල නෙවෙයි”

අරවින්දට සිනා ගියේය. ඒ මනමාල සිනාවක් යැයි බලා හිඳින්නෙකුට සිතන්නට වුවත් ඉඩකඩ තිබුණි.

“එහෙනම් ඉන්නද?” 

මේ කෝලම් වලට සිනා නොවී ඉන්නට කැලුමිනීට පුලුවන් කමක් තිබුනේ නැත. වේදනා කන්දක ගිලී ඉද්දී එවන් දෙයකින් වුව සිනාසෙන්නට පුලුවන් කම ලැබීම සතුටකි. 

“මං පබෝදා මිස්ව හම්බෙන්නත් එක්කම තමයි ආවේ. ඒ වුනාට ඔයාව හම්බෙච්ච එකේ අර ජොබ් එකේ වැඩේ ගැනත් කතා කරන්න පුලුවන් නේ නේද?”

“ජොබ් එකේ වැඩේ කිව්වේ?”

“පහුගිය සතියක පබෝදා මිස් හම්බෙලා කිව්වා ඔයා ජොබ් එකක් හොයනව කියල. මගෙන් ඇහුව හොයල දෙන්න විදියක් නැද්ද කියල. මං අහන්න හිටියෙ ඔයා රස්සාවක් කරන්න හිතාගෙන ඉන්නෙ සල්ලි ප්‍රශ්නයක් නිසා නම් කැලුමිනී මේ වගේ සිටුවේශන් එකක එහෙම මහන්සි වෙන එක හොඳ නෑ නේද?”

අරවින්ද ඇසුවේ ඇත්තටම වේදනාවකිනි. තමන් ළඟ මහ ධනස්කන්දයක් තබාගෙන එය තමන් ආදරය කරන ගැහැණිය වෙනුවෙන් වියදම් කරන්නට බැරි වීම ආදරවන්තයෙකුට කෙතරම් වේදනාවක්ද?

“අනේ නෑ සර්, එහෙම දෙයක් නිසා නෙවෙයි. සල්ලි ඕන. නැත්තෙ නෑ. දැන් ඉතින් කොහොමත් තව කෙනෙක් වෙනුවෙන් මම හම්බ කරන්න ඕනනෙ” කියමින් කැලුමිනී නැගූ සිනහව දුක්බර ය. එහෙත් එහි කඩා වැටුණි බවක් නොදැකීම අරවින්දට මද අස්වැසිල්ලක් විය. 

“ඒත් මම ඇත්‍තටම ජොබ් එකක් හොයාගන්න හිතුවෙ ගෙදරටම වෙලා ඉද්දි දේවල් කල්පනා කෙරෙනව වැඩි සර්. අතෑරල දාන්න හිතපුව ගැනත් ආයෙ ආයෙ හිතෙනව. 

මට බයයි එහෙම හිතල හිතල මම ආයෙම ආපස්සට යන්න හිතාවි කියල. ඒකයි මම ඔලුව වෙන දේකට යොදවන්නත් එක්ක ජොබ් එකක් හොයාගන්න හිතුවෙ

සමහර වෙලාවට ගෙදරටම වෙලා ඉද්දි මට හිතෙනව මම ගත්ත තීරණේ හරිද වෑරදිද කියලත්. මොන දේ කරත් ඉවසගෙන ඉන්න තිබුනා කියලත් හිතෙනවා. 

ඒ උනාට ආපස්සට හිතෙනව මම එහෙම ලැජ්ජ වෙන්න බාල්දු වෙන්න ඕන ද කියලත්. ආපස්සට හිතෙනව තමන්ගෙ හස්බන්ඩ් මොන දේ කිව්ව කරත් ඒක ඉවසගෙන දරාගෙන ඉන්න බාල්දු වීමක්ද කියලත්. 

ඔය වගේ මටවත් තේරුම්ගන්න බැරි දේවල් මහ ගොඩක් හිතෙද්දි මට හරි බයයි සර්. මට බයයි මට පිස්සු හැදේවි කියල. කොළඹදි ත් මම එහෙම ලොකුවට එලියට හෙම නොගියට කරන්න වැඩ තිබුනා අනික ඔලුවෙ කරදර තිබුනෙ නෑ. 

ඒකමයි මම හිතුවෙ මොකක් හරි ෆුල් ටයිම් වැඩක් කරන්න තිබුනනම් හොඳයි කියල. ඒ උනාට කොලඹ වගේ ඉතින් මෙහෙ ජොබ් ඔපචුනිටිස් නෑනෙ. අනික ටවුන් එකට උනත් සෑහෙන දුර එකේ. 

නැන්දා ඒත් කිව්ව සර්ට කිව්වොත් උදව්වක් කරාවි කියල. ඒ උනාට මට කරදර කරන්න හිතුවෙ නෑ දැනටම මේ කරන උදව් කොච්චරද? නේද?”

ඇය නැගු සිනහව දරාගන්නට අපහසු ය. එහි වූයේ මහා ඉවසීමකුත්, වේදනාවකුත්, අසරණ බවකුත් එක්‍ වූ හැඟීමකි. ඒ දරුවෙකු සමග අවිවාහකව තනි වෙන්නට වුවත් කැලුමිනී වැනි උගත්, කොළඹ ඉපදුණ යුවතියක විසින් පෙන්විය යුතු හැඟීමක් බවට සිතුනේ ඇයිදැයි පෑහැදිලි කරන්නට අරවින්දට නොහැකි විය.

එහෙත් ආදරය පෙන්වන්න එය බාදාවක්ද?

“ඔයා අකමැති නැත්තම් මට පුලුවන් ජොබ් එකක් හොයල දෙන්න. මගේ ඔෆිස් එකේ දැනට අකවුන්ට්ස් බලන්නෙ සඳරු. ඒත් දැන් සඳරු කැම්පස් සිලෙක්ට් වෙලා ගියාම කොහොමත් කෙනෙක් ගන්න වෙනවා. ඔයා කැමති නම් එන්න”

ඒ ආරාදනාව පිලිගන්නත් බැරි අහක දමන්නත් බැරි එකකි. 

සිත ඇත්තේ දෙපසට වැනෙමිනි.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles