බාධාව

කසුන්සලා ගේ වටේ හිටපු කට්ටිය කීව  විදියට ඇගේ ජීවිතේ ට තිබුණ ලොකුම බාධාව ඇගේම රූපය. පොඩි  කාලේ ඉඳන්ම කලු කෙල්ල කියලා අහලා අහලාම කසුන්සලා ගේ ඔලුවෙන් ඒ අදහස ඉවත් වුණේම නෑ. උසස් පෙළ ඉහළින්ම සමත් වෙලා සරසවියට ඇතුලු වෙන්න ලැබීම විතරයි මතක ඇති කාලෙකින් කසුන්සලා ගේ ජීවිතේට ලැබුණ ලොකුම ජයග්‍රහණය. ඒත් කුඩම්මාට නම් ඒක පිනට කඩාගෙන වැටුන දෙයක්. කසුන්සලා ඒ හැම අවලාදයක්ම නෑහුණ ගානට කාමරේ ඇතුලට වෙලා ජීවිතේ සැලසුම් කලා. 

“ඔය කාපිරි පාට කෙල්ලොන්ට ඉතින් කොච්චර ඉගෙනගත්තත් අච්චර තමා…”

සමහර දවස් වලට කන්න යමක් ඉල්ලගෙන ගෙදරය එන ඉන්දීය දමිළ කාන්තාවන්ව පෙන්නලා කසුන්සලා ගේ කුඩම්මා කියනකොට කසුන්සලා කරන්නේ නෑහුණ ගානට පැත්තකට වෙන එක. තාත්තා වුනත් කුඩම්මගේ වචන වලටම එකඟ වෙලා හිනා වෙන එක දැක්කේ නෑ වගේ මඟාරින්න කසුන්සලා පුරුදු වුණා.

කසුන්සලාගේ තාත්තා ගේ දෙවෙනි විවාහයේ දරුවෝ දෙන්නෙක් හිටියා. කුඩම්මා කියන විදියට ඒ දෙන්නා තමයි ලෝකේ ඉන්න සුන්දරම තරුණියෝ දෙන්නා. කසුන්සලා ව දකින දකින වාරයක් ගානේ කිව්වේ  ” මේ අජූව රූපේ මුලිච්චි වෙලා මගේ කෙල්ලොන්ගෙත් පාට යනවා ” කියලා. ඒ හින්දාම නංගිලා ගෙදර ඉන්නකොට කසුන්සලා කාමරේම ඉන්නත් හුරු වෙලා හිටියේ.

කසුන්සලා ට ඇතුළත් වෙන්න ලැබුණේ කොළඹ විශ්ව විද්‍යාලයට. ගෙදර ඉඳලාම යන දුර තිබුන නිසා නේවාසිකාගාර පහසුකම් ලැබුණ නැති එක කසුන්සලා ගේ හිතට හරි අපහසුවක් ගෙනාවා.  කුඩම්මාගේ අවලද නිසා එක දවසකවත් හිතේ සැනසීමෙන් ගෙදරින් එලියට යන්න වුනේ නැහැ. ඒ නිසාම  දෙවෙනි සමාසිකයේ මුල් හරියේදි  කසුන්සලා හිතුවක්කාර තීරණයක් ගත්තා.

අම්මාගෙන් ලැබුණ ආභරණ ටික කසුන්සලා ළඟ තිබුණා. කුඩම්මා ඒ ටික ඉල්ලන වාරයක් ගානේම කසුන්සලා කලේ ඒව බැංකුවේ කියපු එක. ඒත් ඇත්තටම ඒවා තිබුණේ සිවිලිමේ උඩ කලේක දාල. කසුන්සලා   ඒ ටික බැංකුවට උකස් කරලා උපරිම මුදලක් ගත්තා. ඊට පස්සේ ස්ථාවර තැන්පතුවක් දැම්මා. 

ඊට පස්සේ කලේ නවාතැනක් හොයාගන්න උත්සාහ කරපු එක. සරසවියේ යාලුවෝ කිහිප දෙනෙක් කසුන්සලාගේ සහයෝගයට හිටියා. ඒත්, තනියම ඉන්න පුළුවන් තරමේ නවාතැනක් මුණ ගැහුණේම නැහැ.  අන්තිමේදි හයදෙනෙක් එකතු වෙලා කුඩා නවාතැනක් වෙන් කරගත්තා. කට්ටියටම උයාගෙන කන්න පුළුවන් ඉඩක් එක්ක ලැබුණ ඒ නවාතැන නිසා කසුන්සලා ට ගෙදර කියන හැඟීම දැනෙන්න ගත්තා. කුඩම්මා නිසා තුවාල  වෙලා තිබුණ හිත සම්පූර්ණයෙන්ම සුවපත් වෙන්න ඒ අලුත් ගෙදර නිසා පුළුවන් කම ලැබුණා. 

කසුන්සලා ජීවත් වෙන්න පටන් ගත්තා. අලුත් යාලුවෝ කසුන්සලාගේ ජීවිතේ හැම ගෙවුණ දවසක්ම අහගෙන හිටියා.

“සුදු , කලු කියන්නේ මෙලනින් අඩු වැඩි වීමකුයු, ඉර අවුවට පිච්චෙන එකයි එහෙ මෙහෙ වෙලා ලැබෙන හමේ පාට කියලා ඔයාට නොතේරුණ එකයි අවුල… අනෙක , ඔයාඔයාට ආදරේ කරලා නෑ….අභ්‍යන්තරවවත්, බාහිරවවත්.”

යාලුවෝ කසුන්සලා ට පැහැදිලි කලා.

කසුන්සලා හෙමින් හෙමින් හැමදේම වෙනස් කරගන්න පටන් ගත්තා.   තුනීයට තිබුණ කොණ්ඩේ කොටටම කපලා සත්කාර කරන්න ගත්තා. දරාගන්න පුළුවන් මිලක් යටතේ තිබුණ සන්නාමයකින් ආලේපන, ශැම්පූ කිහිපයක් මිලදී ගත්තා. ඒ වෙනකල්ම කසුන්සලා ඇන්දේ කුඩම්මාගේ ඇඳුම් වලට දෙපැත්ත ගහලා හදලා දුන්න ඇඳුම්. ඒකට ප්‍රධානම හේතුව වුණේ, අලුතින් ඇඳුම් ගත්තම කුඩම්මා ඒවා නංගිලට දෙන එක. ඒ නිසා එහෙම ඇඳුම් අරගෙන තියාගන්න ඉඩක් තිබුනෙ නැහැ. 

 කසුන්සලා  මහරගම පුරාම ඇවිදලා, ඇඟට පහසු, කල් තියෙනවා කියලා හිතෙන කලිසම් කමිස, ටී ශර්ට් කිහිපයක් ගත්තා. සපත්තු ජෝඩු දෙකකුත් ගත්තා. කැම්පස් දාන්න බෑග් එකකුත් ගත්තා.

එදා බස් එකේදී කසුන්සලා ට කුඩම්මාව මුණ ගැහුණා.  හිතපු විදියටම තාත්තාගෙන් ඇමතුමක් ආවා.

“උඹේ අම්මගේ රත්තරන් බඩු වලින් මටත් කොටසක් ඕනි.. හොඳ හිතින් ඒ ටික ගෙනල්ලා දීපං ..”

කසුන්සලා කලේ තාත්තා ට කැමති තරමින් කියවන්න දීලා ඇමතුම විසන්ධි කල එක. යාලුවෝ කිව්වේත්, ඒ දේවල් අම්මා දුන්නේ කසුන්සලා ට නම් ආයෙම ඒ ගැන කියන්නවත් ඕනි නැහැ කියලා. 

කසුන්සලා ගේ අධ්‍යාපන කටයුතු වල පැහැදිලි දියුණුවක් වුණා. දෙවෙනි වසරේදි කසුන්සලා අර්ධ කාලීන රැකියාවකුත් හොයාගත්තා. ඒ ප්‍රවර්ධන නිළධාරිනියක් විදියට. සෙනසුරාදා, ඉරිදා දවස් දෙකම කලේ ඉපයීම. ඇඳුම්, සපත්තු ඒ ආයතනයෙන්ම ලැබුණ නිසා කසුන්සලා ට මීට කලින් නොපෙනුණන පෙනුමකින් ජීවිතේ පේන්න ගත්තා.

පවුල කියල තිබුණ ලේ බැඳීමෙන් කසුන්සලා සම්පූර්ණයෙන් වගේ ඉවත් වෙලා හිටියේ. යාලුවෝ එක්ක ජීවිතේ යම් සැනසීමක් තිබුණත්, ඒ අයගේ ලෝකවල කසුන්සලා ට ලොකු ඉඩක් ලැබුණේ නැහැ. කසුන්සලා ඒ බව තේරුම් අරගෙන ඔවුන්ට බාධා නොවෙන්න ජීවත් වෙන්න පරෙස්සම් වුණා.

කසුන්සලාට චරක මුණ ගැහෙන්නේ ප්‍රවර්ධන කටයුත්තක් වෙනුවෙන් රාජගිරියට ගිය වෙලාවක. චරක ඒ වෙනකොට ජයවර්ධන විශ්ව විද්‍යාලයේ සිව් වැනි වසරේ ශිෂ්‍යයෙක්. මුලදී අහම්බෙන් මුණ ගැහුනට පස්සේ දෙන්නා එක්ක සැලසුම් කරලා වැඩ දාගත්තේ එකම තැනට.

මාස හයකට විතර පස්සේ එක දවසක චරක කසුන්සලා එක්ක ගාලු මුවදොර පිටියේ ඇවිදින ගමන් උන්නේ.

“පවුලක් කියන්නේ පිරුණ හැඟීමක් කියන්න යාන්තම් මතකයක් මට තියෙන්නේ… අම්මා ඉන්න කාලේ… ඒත් අම්ම්ම නැති උනාම පවුල කියන එක මට පේන්නෙ මාව මරාගන්න ආව යකෙක් වගේ.. ඒ නිසා මට පවුලක් ඇතුලේ ජීවත් වෙන්න බැරි වේවි….”

චරක සැරෙන් සැරේ දෙන ප්‍රේමාරාධනා වලට කසුන්සලා උත්තර දුන්නා. 

“අපේ ගෙදර ඇවිල්ලා බලන්න…”

ඒ හැම වෙලාවකම චරක ආයෙම උත්තර දුන්නා.

“මං පවුලට හා වෙන්න ගැලපෙන කෙනෙක් නෙවෙයි …”

කසුන්සලාගේ යටි හිත ආයෙම කිව්වා.

මතුවට……………,

| අපේක්ෂා ගුණරත්න |

More Stories

Don't Miss


Latest Articles