අම්මාගේ වැඩි ආදරය නිසා පෞරුෂ ආබාධයකට ලක් වූ පුතෙක්

(මනෝ උපදේශක ශ්‍රීමාල් ප්‍රභාසිරි මහතාගේ වෘත්තිය අත්දැකීම් ඇසුරෙනි. වෘත්තිය සදාචාරය වෙනුවෙන් නම් ගම් මනඃකල්පිත වේ)

“කලිඳු අනේ කෙල්ලෙක් වගේ” කියල ගෙදරට එන නැන්දල මාමව මූණ අතගාලා හුරතල් කරාට කලිඳුට මේක සෑහෙන ප්‍රශ්නයක් වෙලා තිබුනෙ. අවුරුදු දහ අටක තරුණ කොල්ලෙක් උනාට තමන් අනිත් කොල්ලො වගේ ඉලන්දාරිකම් කරන්නෙවත් එහෙම හැසිරෙන්නෙවත් නෑනෙ කියන එක කලිඳුට නොතේරුනා නෙවෙයි.

ඒත් ඇයි මං එහෙම? කියන ප්‍රශ්නෙ බාතෲම් එකේ කණ්ණාඩියෙන් මූණ බලාගෙන ඇහුවට මොකෝ බාතෘම් එකෙන් එලියට ඇඉල්ල ඇත්ත ලෝකෙට යද්දි ආයෙම අර ඉබ්බ වගේ කට්ට අස්සට රිංගනව ඇරෙන්න කොල්ලෙක් වගේ සමාජෙට මූණ දෙන්න හැකියාවක් කලිඳුට තිබුනෙ නෑ.

කලිඳු හරි බයයි, මූණ දීලා කතාකරන්නෙ නෑ, ස්ටේජ් එකකට නැගල කතාකරන්න බයයි වගේ දේවල් පුංචිකාලෙ ඉඳලම කලිඳුගෙ ගුරුවරු හෙම කලිඳුගෙ අම්මලට කියලත් තියනව උනාට මොකෝ ඒ අම්මල උනත් ඕව ඔච්චර ගණන් ගත්තෙ නෑ.

“ලොකු උනාම ඕව හරියාවි” කියල හිතුවට අවුරුදු 18 වෙලත් කලිඳුගෙ ගතිගුණ වෙනස් උනේ නෑ.

“අද යන්නෙ නැද්ද ඔයා ට්‍රේනින් එකට?”

කලිඳුගෙ අම්මා එහෙම ඇවිත් අහද්දිත් කලිඳු උන්නෙ ඇඳේ හාන්සිවෙලා සිවිලිම දිහා බලාගෙන. කලිඳු ඉන්නෙ කොහොමටවත් එලියට යන්න අදහසකින් නෙවෙයි කියල තේරුම් ගිය අම්ම ඇවිත් ඇඳ උඩ වාඩිඋනා.

“ඇයි පුතේ?”

“ඔලුව ටිකක් රිදෙනව අම්මෙ?”

“ඇයි ඒ? ඊයෙත් රෑ ඉක්මනට නිදාගත්තනෙ. රස්නෙ නිසාද දන්නෙ නෑ?”

“ඔව් අම්මෙ රස්නෙ නිසා මම හිතන්නෙ”

කලිඳුගෙ ඔලුව කැක්කුම නිසා තමයි අද නොයන්නෙ කියල හිතපු අම්ම උයන පිහන වැඩවලට කුස්සියට ගියාට මොකෝ ඒ ඔලුව කැක්කුම බොරුවක් වෙන්න පුලුවන් බව තේරුනේ කලිඳුගෙ යාලුවෙක්ගෙ අම්ම කතා කරාම.

එදා කලිඳුට රැස්වීමක කතා කරන්න තිබුන බවත්, කලිඳු නොගිහින් ඉන්න ඇත්තෙ ඒ නිසා බවත් ගැටපදේ ලෙහාගන්න අම්මට අමාරු උනේ නෑ. මේ ඔහොම දෙයක් වෙච්ච පලවෙනි වතාව නෙවෙයි.

මීට කලිනුත් ඉස්කෝලෙ මොකක් හරි රැස්වීමක කතා කරන්න තිබුණ දවසට, සභාවක් ඉස්සරට යන්න තිබුන දවසකට කලිඳු මේ වගේම බොරු ලෙඩ ගත්ත දවස් කීයක් තිබුනද කියල අම්මට මතක් උනා.

මේ ප්‍රශ්නෙට මොකද කරන්නෙ කියල දහ අතේ කල්පනා කරල තමයි මේ අම්මයි පුතයි දෙන්න උපදේශනයට මගෙ ලඟට ආවෙ.

කලිඳු ඇත්තටම කතා බහ කරන්නෙ, හැසිරෙන්නෙ ගෑණු දරුවෙක් වගේ. හරිම ලැජ්ජාශීලියි, ඔතෑනියි. අවුරුදු දහ අටක පිරිමි ලමයෙක්ගෙන් දකින්න නොලැබෙන අන්දමේ ලැජ්ජාශීලී බවක් කලිඳුගෙන් මටත් දකින්න ලැබුනා. මම මුලින්ම කතා කරේ කලිඳුගෙ අම්ම එක්ක. ඒ ඔස්සේ තමයි මේ ප්‍රශ්නයේ මුල කොතනද කියල මට හොඳින්ම තේරුම් ගන්න හැකියාව ලැබුනෙ.

“මගේ හස්බන්ඩ්, ඒ කිව්වෙ කලිඳුගෙ තාත්තා ඉන්නෙ රට. කලිඳු ගොඩක්ම පුංචි කාලෙ තමයි තාත්තට රට යන්න උනේ ඉතින් කලිඳු ගොඩක් වෙලාවට හැදුණෙ වැඩුනෙ මගේ ආශ්‍රය එක්ක. තාම අවුරුදු දහ අටක් උනාට එයා නිදාගන්නෙත් මගෙ ලඟ.

කලිඳු හරි හොඳයි. එයා කිසිම දෙයක් මගෙන් අහන්නෙ නැතුව කරන්නෙ නෑ. ඒ කියන්නෙ කොච්චර සල්ලි ලඟ තිබුනත් මොනව හරි කන්න දෙයක් ගන්න ඕන උනත් එයා මට කතා කරල අහනව අම්මෙ මම අද දවල්ට මොනවද කන්න ඕන කියල”

කලිඳුගෙ අහිංසක, ලැජ්ජාශීලී දරුවෙක් විදියට හැදෙන්න වගේම ගැහැණු දරුවෙකුගෙන් දකින්න පුලුවන් විදියෙ හැසිරීම් රටාවක් පෙන්නුම් කරන එකට හේතුව මම තේරුම් ගත්තෙ ඒ අම්මගෙ කතාව ඔස්සෙ. කලිඳු අනුකරණය කරන්නෙ තමන්ගෙ අම්මගෙ චරිත ලක්ශන. ඒකට හේතුව දීර්ඝ කාලයක් පුරා අම්මා යටතේම හැදීම වැඩීම, එකට නිදා ගැනීම, සුලු දෙයකට උනත් අම්මගෙන් අවසර පැතීම වගේ දේවල් එක්ක කලිඳු තමන්ගෙ සම්පූර්ණ ජීවිතයම පාලනය කරන රිමෝට් කන්ට්‍රෝල් එක අම්ම අතට දීල තිබුනා.

මේ තත්ත්වය අපිට Personality Disorder කියල හඳුන්වන්න පුලුවන්.

පෞරුෂය කියන්නෙ පුද්ගලයෙකු වෙනත් පුද්ගලයින්ගෙන් වෙනස් කරන සිතීමේ, හැඟීමේ සහ හැසිරීමේ ආකාරය. පුද්ගලයෙකුගේ පෞරුෂය අත්දැකීම්, පරිසරය (වටපිටාව, ජීවන තත්වයන්) සහ උරුම වූ ලක්ෂණ මගින් ඇතිවෙන්න පුලුවන්.

ඒ නිසාම තමයි දරුවන් කුඩා අවදියේ ඉඳලම හදන වඩන ක්‍රමය ගැන දෙමව්පියන් දැනුවත් විය යුතුයි කියල නිතරම කියන්නෙ. මොකද අම්මා තාත්තාව හෝ වෙන පවුලේ හිතවතෙකුව උනත් පමණට වඩා ඇසුරු කිරීමෙන් දරුවන් තමන්ගෙ ස්වාධීනත්වය තේරුම් ගන්නෙ නැතුව ඒ අනෙක් පුද්ගලයාගේ චරිතය අනුකරණය කරන්න පෙලඹෙන නිසා.

කලිඳු මූණ දීල තිබුණෙත් ඒ හා සමාන සිද්ධි දාමයකට. කුඩා අවදියෙ ඉඳලම තරුණ අවදිය වනතුරුත් දරුවන්ව තමන් ලඟ නිදිකරවගන්න අම්මල අපිට සමාජයේ බොහෝ විට දකින්න ලැබෙනව. මේ හැසිරීමට හේතුව දරුවට දක්වන ආදරය හෝ රැකවරණය ලෙස දෙමව්පියන් දැක්කට ඒ හැසිරීම නිසා දරුවාගේ මනසට සහ ඒ ඔස්සේ ජීවිතයට වන බලපෑම වැඩියි.

ඒ නිසාම තමයි නිසි වයස එද්දි දරුවන්ව තනියම නිදි කරවන්න, තනියම නැගිටින්න වගේම තනිවම තීරණ ගැනීමට පුරුදු කරන්න ඕන වෙන්නෙ.

උපදේශනය සහ කරුණු කාරණා පැහැදිලි කර දීමෙන් පසුව කලිඳුගෙත් අම්මගෙත් මේ කලිඳුගෙ මානසික තත්ත්වයට අහිතකර ලෙස බලපැම් එල්ල කරන හැසිරීම් රටා ටිකෙන් ටික මගහරවාගෙන ඒ ඔස්සේ වඩා යහපත් ජීවිතයක් කලිඳුට උදා කර දෙන්න මට හැකියාව ලැබුණා.

ඉතින් අවසාන වශයෙන් කියන්න අවශ්‍ය වන්නේ, දරුවෙක්ට ආදරය සහ රැකවරණය දෙන එක දෙමව්පියන්ගෙ යුතුකමක්. ඒත් ඒ ආදරය සහ රැකවරණය දීම එයාලට එයාලගෙ ජීවිතවල ස්වාධීන තීරණ ගැනීම් වලට බාධාවක් නොවන අන්දමින් දෙන්න අපි වගබලා ගන්න ඕන!

Related Articles

Don't Miss


Latest Articles