විහඟ පියාපත් 20

අමයුරු සමුදීමෙන් පසු, ශයිනි තිළිණිට ඇමතුමක් ගනිද්දී ඕ උන්නේ නින්දේය. ඒ වගක්  ශයිනිට සිහිපත් වූයේ නැත. රාත්‍රී එකොළහ පසුවී තවත් විනාඩි පහලොවක්ම ගෙවී ගොසිනි. තිළිණි ඇමතුමට පිළිතුරු දුන් හඬින්වත් ශයිනිට ඈ සිටින්නේ නින්දේ වග දැනුනේ නැත. එතරමටම උන්මාදනීය හැඟීමක් ඇය වසාගෙනය.

“මට බඩගිණි තිල්… රයිස් එකක් …?”

තිළිණි ඇඳේ කෙලින් වී හිඳ ගත්තේ වෙලාවද බලමිනි. ශයිනි නම් සිටින්නේ පියවි සිහියේ විය නොහැකිය. ඇය අද සවස සිට යම් හොර පූස් සෙල්ලමක උන්නාය. මේ එහි උච්චතම හරියක් විය යුතුය.

“බුෆේ එක ක්ලෝස් …. පිස්සු හැදීගෙන එනවද ශයි… “

තිළිණි ගේ මහ හඬින් ශයිනි උන් ලොවෙන් මෙලොවට වැටුණාය. ජනෙල් වීදුරුවෙන් නොදන්නා පිරිමි ඇස් දෙකක් සිනාසුනේය. ඒ ඇස් අකලංක ට සම බව එක්වරම පෙනෙන්නට ගත්තේය. ඒ ඇස් අතුරුදන් විය. ශයිනි යළි පියවි සිහියෙන් මිදුණාය. 

“ඈ….”

යළි පියවි ලොවට පිවිසියාය. තිළිණි ට හේතු පැවසීමට වඩා පහසු වන්නේ ඇමතුම විසන්ධි කිරිමය. ඕ වහා එලෙස කලාය. දැනෙන කෝල කම ඇයට අපහසුය. ඕ යළි අමයුරු හා සංවාදය කියෙව්වාය. කියෙව්වා කීවාට ඒ මත පියෑබුවාය. කුස මතින් සිහින් සරින් යමක් වැයෙනු දැනෙයි. 

ශයිනි කෙතරම් වෙලා එහෙමම උන්නාදැයි ඇයට මතක නැත. කිසිවෙකු දොරට තට්ටු කලේය. ශයිනි  උන්නේ බාත් රොබ් එක හැඳගෙනය. ඕ දඩිබිඩියේ ඇඳුමකට මාරු වූවාය.  

දොර හැරියාය. උන්නේ තිළිණිය.

“අහ්හ්. මළ වදේ..දවසම නැහිලා නැහිලා, නිදාගන්න ගිය ඩිංගට කන්න ඉල්ලනවා.. කනවද කනවද සිය පාරක් ඇහුවා.. කෑම එකක් එවන්නද ඇහුවා… ඒ එපා කියලා කියලා, දැන් මෙතන ….”

තිළිණි ගේ කෝපය ඉතා සාධාරණ ලෙසින් ගෙන, ශයිනි ඇගේ අතෙහි වු බත් පිඟාන ගත්තාය. ඇයවද ඇතුළට ඇද ගත්තාය.

“ඕර්ඩර් කලේ ..”

තිළිණි ඒ අතරේ  කීවාය. 

ශයිනි එයට හිස සලමින් ආහාර බඳුන මේසය මත තබා තිළිණිටද හිඳ ගන්නට ඉඟි කළාය. තිළිණිගෙන් ආහාර ගන්නවාදැයි විමසන්නේ හෝ නැතිවම අතිශය කුසගින්නේ සිටියෙකු පරිද්දෙන් ආහාර බඳුනම හිස් කලාය.

 වතුර වීදුරුවේ ඉතිරි අඩද හිස් කලාය. ඉන් පසුව අත සෝදාගෙන විත් ඇඳට වැටුණාය. තිළිණිට ශයිනිගේ විකාරරූපී හැසිරීම් විමසන්නට සිතක් වූයේම නැත. ඕ උන්නේද නිදිමතිනි. වෙහෙසිනි. ඕ කාමරයට යන්නට නැගිට්ටාය. නැගිට්ටාට වඩා වේගෙන් යළි අසුනට වැටුණාය. 

“මං අරයාට කැමති වගේ…”

ශයිනි කීවේ සිවිලිමටය. ඇස් අග්ගිස්සෙන් වායු  සමීකරණය පෙනුණා හැරෙන්නට සියල්ල සුදු පැහැය. තිළිණි ශයිනි දෙස බලාගෙනම උන්නේ ඇය යළි කුමක් හෝ පවසනතුරුය. එහෙත් ශයිනි කිසිත් කීවේ නැත.

තිළිණි ට තව වෙලා නිහඬව බලා සිටින්නට හැකි වූයේ නැත. ඕ ශයිනි පැවසූයේ කුමක්දැයි නෑසුණා සේ යළි එය විමසුවාය. එහෙත් ඕ පැවසූයේ කුමක්දැයි ඇයට හොඳින්ම ඇසුණ අතර, එහි දිග පළල හොඳින්ම අවබෝධය කරගන්නට නොහැකිව උන්නාය.

එහෙත් විමසුවාය. ශයිනි යහනේ කෙලින් වී, එරමිණියා ගොතාගෙන හිඳ ගත්තාය. අනතුරුව තිළිණි දෙස ඍජුවම බැලුවාය. පෙර පැවසූයේ කුමක්දැයි හඬ නඟා කීවාය. ඉන් පසුව දෑස් විසල් කර, ඇහි බැම නළලටම ඔසවා තිළිණි ට එය වැටහුණා දැයි විමසුවාය. 

තිළිණි වහා ශයිනිගේ යහන මතට පැන්නාය. දෙදෙනාටම රිදුණි. එහෙත් කිසිවෙක් එකිනෙකාට දොස් කියා ගත්තේ නැත

“මොකද්ද කියන්නේ ?”

“ඇයි ආයේ ආයේ අහන්නේ ?”

“තේරුනේ නැති නිසා අහන්නේ ?”

“ප්ලීස් ඕයි…”

“අරයා කියන්නේ කවුද ? අකලංක ද ? අර මූණ පේන්නේ නැති පත්තරකාරයද ?”

ඇසුණ නම් දෙකම ශයිනි නොසන්සුන්කමකට ඇද දැම්මේය. අකලංක, මැජික්මය ඇස් දෙකක්, ඇස් අග්ගිස්සේ වැටුණු රැලි තුනක් , ඉතා ඝණ ඇහි බැම යුග්මයක් සහිත වත විදුලි සරක් පරිද්දෙන් ඇඳී ගියේය. ශයිනි කෙළ පිඬක් ගිල්ලාය.

ඉන් පසුව මැජික්මය ඇස් දෙකට ඉතා සම, සැබැවින්ම ඇයට වෙනසක් පවා හැඳිනිය නොහැකි මැජික්මය ඇස් දෙකක් මැවුණේය. 

ඕ දෑස් පියා ගත්තාය. යළි දෑස් හැරියාය. ඉන් පසුව පෙනුනේ තිළිණි ගේ දෑසය.

“කවුද ?”

තිළිණි ඇයව සොල්ම්වමින් ඇසුවාය 

“අකලංක නෙවෙයි …”

ශයිනි හිස පසෙකට ඇල කරමින් කීවාය. තිළිණි ඇය දෙස බැලුවේ ඒ පැවසූව විශ්වාස කරන්නට අකමැතිව මෙනි. ඕ පැවසූව විශ්වාස කරන්නට අවශ්‍ය නැතිවා මෙනි. 

ශයිනි තිළිණි ඉදිරියේ වුවද පහසුවෙන් බිඳෙන්නේ නැත. කෙතරම් සමීප මිතුරියන් වුවද ශයිනිට යම් උඩඟුකමක් තිබුණි.  එහෙත්,  අද ඇයට කිසිවක් නඩත්තු කරගන්නට නොහැක. ඕ උන්නේ නොසන්සුන්කම උපරිමෙනි. තිළිණිට මේ කතාව පවසා අවසන් කරන නොඉවසිල්ලෙනි.

“පිස්සුද යකෝ.. ඒ මිනිහා කරපු හරිය මදිද ? දෙය්යනේ ශයිනි.. ඔයාගේ ඔලුව හොඳ නැති වීගෙන එනවද ? මොන විකාරයක් ද ? ඒ මනුස්සයා කොහොම කෙනෙක් වෙන්න පුලුවන් ද දෙය්යනේ ? පත දාර ෆේක් එකක්… ඒකත් ජර්නලිස්ට් කෙනෙක්… අපිටම වද දෙන්න ආව එකෙක්….”

තිළිණිට ඉන් එහා කිසිවක් පහදාගන්නට නොහැකිව  කෝපයෙන් ගල් වූවාය. සැබැවින්ම ඇයට   තවදුරටත් පැවසිය යුතු දෙයක් වැටහුණේ නැත. ශයිනි මෙතරම් අමනෝඥ ලෙසින් තීරණ ගන්නේ කෙලෙසද ? 

තිළිණි ට රිසි පරිදි රිසි දෙයක් පවසන්නට දී ශයිනි අසා සිටියාය. කොහොම වුනත් තිළිණි මේ සියල්ල ධනාත්මක ලෙසින් ගනීවි යැයි අදහසක් වූයේ නැත. එහෙත් තිළිණි ගේ අදහසින් මෙවෙලෙහි තමාට පලක් නැති වග ඕ හෙමින් සීරුවේ අවධාරණය කර ගත්තාය.

“ශයි ?”

“හරි ඉතින් …. මං කැමතියි කිව්වා විතරයි … එච්චරයි …”

“මට හිතාගන්න පුලුවන් කැමැත්තේ තරම… ඇත්තටම ඔය මොළේ ඇතුළේ මැටිද තියෙන්නේ ගොනියේ ?”

“චරිත් ට කියන්න එපා… මට තව කල් ඕනි…”

ශයිනි එවර  එක්වරම සිහිවූ යමක් පවසන්නාක් මෙන් කීවාය. තිළිණි එයට හෙලුවේ නොරිස්සුම සහ අප්‍රසාදය මුසු බැල්මකි. 

එහෙත් ශයිනි ඒ වගක් නැතිවා මෙන් උන්නාය. ඇයට අවැසි වූයේ දැනෙන හැඟීමෙන් අරික්කාලක් වත් බෙදා ගැනීම පමණි…

| අපේක්ෂා ගුණරත්න | 

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles