(අ)හිමි සිහින -151

මම දිගින් දිගටම සුධාරකට සුව වෙන ලෙස අයදිමින් ඔහු සමීපයට වී ඔහු සමඟ කතා කරද්දී සුධාරකගේ අම්මාට ද ඔහුට අමතන්නට උවමනා වුණා.එයට ඉඩ දෙන්නට වෛද්‍ය කණ්ඩායම් ක්‍රියා කළේ ඉතාම කැමැත්තෙන්.එවැනි මොහොතක අම්මා කෙනෙකු දරුවෙකුට පවසන වචන ලෙස ඔවුන්ට මින්පෙර ඇසී ඇති සංවේදි වචන මෙතැනදීත් ඇසේවියැයි ඔවුන් සිතන්නට ඇති.

“මගේ පුතේ නැගිටින්න.දරුවෙක් මෙහෙම දුක්විඳිනවා අම්මා කෙනෙකුට බලාගෙන ඉන්න බැහැ.මම යන්න ඕන ගමනක් මගේ පුතා ඉස්සරවෙලා යන්න හදන්න එපා.දැන් ඔහොම හිටිය ඇති මගේ පුතා නැගිටින්න.”

එවැනි මොහොතකදී අම්මාවරුන් එසේ වැලපෙන අන්දම දැක ඇති අසා ඇති වෛද්‍යවරුන් මේ ආකාරයෙන්ම දේවල් කියමින් සුධාරකගේ අම්මාද ඔහු වැළඳ ගෙන හඬා වැලපෙනු ඇතැයි විශ්වාස කරන්නට ඇති.

නමුත් ඇය සියල්ලන්ටම විහිළුවක් බවට පත් වන්නට ගියේ සුළු මොහොතක්.

“පුතා,පුතා.මට බෙහෙත් ගන්ඩ යන්ඩ වාහනයක් ඕනෑ.මට ලබන සතයේ බේත් ගන්ඩ යන්ඩ තියේ තියෙන වාහනයක් දෙන්ඩ.”

ඉතා ඉක්මනින් නැගිට අම්මා කියා අමතන්නැයි පුතු වැළඳගෙන හැඬීම වෙනුවට ඇය ගිලන් යහනට කිහිපයක් පිටුපසට වී මහ හඬින් එසේ කතා කතා කිරීම ඇරඹුවා.වෛද්‍ය කණ්ඩායම සහ හෙද කණ්ඩායම එකිනෙකාගේ මුහුණු බලා ගනිමින් දින අන්දම මා හොඳින් දුටුවා.

නමුත් මොනවා කරන්නද?

මම සෑම දිනකම පවසන අන්දමට මව්වත්කම බලෙන් ආරෝපණය කරන්නට බැහැ.

“මේ අම්ම කෙනෙක් ද මැඩම්? මොනවද ඒ කතා කරපු කතා?”

සුදාරකගේ කනිෂ්ඨයන් එසේ කියමින් මා සමග සමඟ බොහෝ වේලාවක් දොස් තැබුවා.නමුත් පුතුට යමක් වන්නට වස් කවි කිවූ බව කියන ගැහැනියට ආදරයෙන් ඔහු ඇමතීම නොහැකි බව මා හොඳින් දන්නවා.ඒ නිසා මට ඒ ගැන කිසිම හැඟීමක් දැනුනේ නැති තරම්.

ඊළඟ නාට්‍ය ජවනිකා වෙන්වූයේ සුදාරකගේ පෙර විවාහයේ දරුවන්ටයි.මගේ සහ දියණියගේ කට හඬට සුදාරක ප්‍රතිචාර දක්වන බව ආරංචි වී ඔවුන් ඥාතියෙකු අත හඬපට කිහිපයක් එවා තිබුණා.

“අපි මේවා ප්ලේ කරාට කමක් නැද්ද?”

හෙදියන් මගෙන් එසේ විමසන්නට යෙදුණා.නමුත් මේ මොහොතේ සැමියකු බෙදාගැනීමට බිරින්දෑවරුන් දෙදෙනෙකු අතර සටනක් පවත්වා ගැනීම මට අනවශ්‍ය බවත් කාගේ හෝ කටහඬකින් සුදාරක සුවපත් වීම පමණක් අවශ්‍ය බවත් මම ඒ මහත්මීන්ට පවසා සිටියා.ඔහු අතීතයේ කුමන හෝ සිදුවීමකට සංවේදී ඉක්මනින් සුවපත් වීම මිස වෙන කිසිවක් මට උවමනා වූයේ නැහැ.

තමන්ගේ තාත්තා තමන්ට විවිධ අඩන්තේට්ටම් කළ බව කියමින් විදේශ සරණාගත කඳවුරකට ලිපි ලියා රටින් පිටවෙන්නට යෙදුණු දරුවන් අවසානයේ තාත්තා අමතන්නට තීරණය කර තිබුණා.නමුත් ඒවායේ කිසිම ආදරයක් නම් තිබුණේ නෑ.අනිත් කාරණාව සිංහල මාධ්‍යයෙන් අධ්‍යාපනය හදාරමින් හිඳ රටින් පිටව ගොස් සුළු කාලයක් ඇතුලත ඔවුන්ට සිංහල උච්ඡාරණය කිරීම පවා අමතක වී ගොස් තිබුණා.සිංහල භාෂාව ඉතා අසීරුවෙන් කතා කරන ආකාරයට ඔවුන් සුධාරක ඇමතුවේ කවුරුන් හෝ ලියා දුන් වචන මාලාවක් බව අපට පැහැදිලි වුණා.

“අනේ මගේ තාත්තා ඉක්මනට සනීප වෙන්න අපි ඉක්මනින් ඔයාව බලන්න එන්නම්.”

වැනි වචන කිසිවක් එහි තිබුණේ නැහැ.”හෙලෝ තාතා..”ලෙස ඇරඹි පාසලේදී My self රචනාවක් කියවන අන්දමට ඔවුන් ඔහේ කියවාගෙන ගියා.මේ මගේ දියණිය මෙන් ළාබාල වියේ පසුවන ළදැරියන් ද නොවෙයි.නව යෞවන වියට පා තබා සිටි දැරියන්.ඒ යන්ත්‍ර ලෙස සුළු හඬවල් සුදාරකගේ ඇඟිල්ලක් වත් චලනය කරවන්නට හේතු වූයේ නැහැ.

ආදරය බලහත්කාරයෙන් ලබා ගන්නට බැහැ.සිරුරේ දුවන ලේ බැඳීම්වලට ආදරය තීරණය කිරීමේ හැකියාවක් නැහැ.ආදරය උපදින්නේ ආදරය ලබා දීමෙන් පමණයි.සුදාරකට අසීමිත ආදරයක් ලබා දුන් මා සහ මගේ දියණියට ගිලන් ඇඳක සිට පවා ප්‍රතිචාර දක්වන්නට හේතුව එයම වන්නට ඇතැයි මා සිතනවා.

ඒ ආදරයේ බලයෙන් මින් පෙර නොකල බොහෝ දේ කිරීමට මා කටයුතු කරමින් සිටියා.එවැනි මොහොතක මට දෙන්නට සිදුවූ අද්භූත සිදුවීමක් ගැන හෙට ඔබට කියන්නම්. 

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles