” වැස්ස කාලෙට ළමයි ඉස්කෝලේ එන්නේ නෑ.. එන්නේ නෑ නෙවෙයි, උන්ට එන්න විදියක් නෑ…”
ලොකු සර් එහෙම කියනකොට චන්දිම ඒ ගැන තව දැනගන්න උනන්දු වුණා. අලුත් පත්වීම අරගෙන චන්දිම අලුත් ඉස්කෝලෙට ආවේම වැස්සත් ඉස්සර කරගෙන. ඒ හින්දාම ඉස්කෝලේ ළමයි දකිනවට වඩා චන්දිමට දකින්ම වුණේ හිස් පුටු බංකු.
” මේ අවුරුදු දෙකක වෙලේ ඉඳන් , උඩහට හය්යෙන් වැස්සම ඔය ලී පාලමට උඩින් වතුර දානවා.. එතකොට එහායින් එන ළමයින්ට ඉස්කෝලේ එන්න විදියක් නෑ.. වටෙන් එන්න පාරක් තියෙනවා .. ඒත් ඒ පාර කිලෝමීටර් අටක් විතර… බස් එකක්වත් නැතුද ඉතින් කොහෙ කරන්නද ?”
ලොකු සර් කෙටියෙන් කිව්වා.
“අනෙක චන්දිම සර්.. මේ අම්මලා තාත්තලා ගොවිතැනෙන් නේ ජීවත් වෙන්නේ.. ඉතින් වැස්ස එක්ක මහා පාඩුත් වෙනවා… එතකොට සමහර වෙලාවට ඒ ගෙවල් වල ලිප පත්තු වෙන්නේත් නැහැ…”
“ඉතින් මේ ගැන දැනුවත් කරන්නේ නැද්ද ?”
“ඒ ගැන නම් ඉතින් කුමට කතාද ? මමම ලියුම් කියක නිර්දේශ අත්සන් කරන්න ඇතිද ? අපිම ලියුම් කීයක් ලියන්න ඇතිද ? ප්‍රමුඛතා පිලිවෙලට නේ තෝරගන්නවා කියන්නේ … ඉතින් මේවා යට යනවා…”
” ඒත් මෙතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා නෙහ් …”
” ඒක තේරෙන්න මේ පාලමෙන් එහා දේශපාලනයට සම්බන්ධව ඉන්න අය නෑනේ.. ඔන්න එහෙම උනා නම් මේවත් දඩි බිඩියේ යන ව්‍යාපෘති….”
එක වසරේ ඉඳන් පහ වසරට විතරක් පන්ති පැවැත්වෙන පාසැලේ ළමුන් හැට අටක් ඉගෙනගන්න බව චන්දිම පත්වීම ගන්නකොටම දැනුවත් වුණා. නුදුරින් තියෙන කණිෂ්ඨ යේ හය වසරේ සිට එකොළහ වසර වෙනකල් පන්ති පැවැත්වෙන බව දැනගත්තේ ඉස්කොලේට ආවම. ප්‍රාථමිකය අවසන් කරන ළමයි කණිෂ්ඨ යේ ඉගෙනුමට යොමු කිරීමම අපහසු බව දැනගත්තෙත් ලොකු සර්ගෙන්.
” සතියම මෙහෙම වැස්සොත් සතියම ළමයි ඉස්කොලේ එවෙන්නේ නෑනේ …”
චන්දිමට ඉබේම කියවුණා. ලොකු සර් අතීත කතා එක්ක ඒ බව තහවුරු කලා.
එදා හවස ගුරු නිවාසෙට ගිහිල්ලා චන්දිම කල්පනා කලේ මේ ප්‍රශ්නේට විසඳුමක් හොයන විදිය. ළමයි හැට අටකින් පැමිණීම විසි දෙකක් වෙන එක ඉතාම ඉක්මනින් විසඳුමක් ලැබෙන්න ඕනි ගැටළුවක් බව චන්දිමට වැටහුණා. පාසැලේ විදුහල්පතිතුමා සහ ගුරු මණ්ඩලයේ හත් දෙනා ළමයින් වෙනුවෙන් කැප වෙන සහ වගකීම් දරන අයවළුන් වුනත් මේ ගැටළුවට ඔවුන්ට කල හැකි යමක් තිබිලා නැති බවත් චන්දිම වටහා ගත්තා.
චන්දිම රෑ තිස්සේම ඒ ගැන කල්පනා කලා. පහුවෙනිදා මහ වැස්ස නිසා ළමයි පාසැලට පැමිණීම පෙර දිනයේ මට්ටමේම තිබුණා.
” පාලමෙන් එගොඩ වෙන්න ගිහින් තුන වසරේ යහින්සාගේ තාත්තා වතුර පාරට අහුවෙලා… යන්තම් බේරගෙන..දැන් කරදරයක් නැහැ…”
ඉස්කෝලේට ඒ ආරංචිය එනකොටත් මහ වැස්ස.
“හෙට යහින්සාගේ උපන්දිනේට ගවුමක් මහන්න දුන්න එකක් ගන්නලු ඇවිල්ලා තියෙන්නේ …”
තව විස්තර ආවා.
හවස චන්දිම ගුරු නිවාසේට යනකොට හීතලට ගත හේබාලා ගිහින් තිබුණේ. ඒ වගේම නොතේරෙන හැඟීමක් නිසා හිතත් හේබාලා වග වැටහුණා.
ඒ හවස් වරුවත් චන්දිම කල්පනා කලේ මේ ගැටලුවට විසඳුමක් හොයාගන්න විදිය.
කලින් දවසේත් චන්දිම ඉතාම කෙටි ඇමතුමකින් සමුගත්ත නිසා ඉමල්කාගේ හිත කලබල වෙලා තිබුණේ. උදේ ඇමතුම විසන්ධි වුණා. කෙටි පණිවිඩයක් විතරයි. හවස චන්දිම අමතනකල් ඉමල්කා බලාගෙනම හිටියේ ඒ තිගැස්ම එක්ක. ඒත් හවස හය පහුවෙනකල්ම චන්දිම නිහඬයි. ඉමල්කා චන්දිමගේ නංගිට ඇමතුමක් දීලා ආරංචි කරලා බැලුවා.
“අය්යා ෆෝන් ආන්සර් කරන්නේ නෑ අක්කේ.. අනේ ඔයාට ආන්සර් කරාවි… අම්මට ගන්න කියන්න්නකෝ…. ඒ පැත්තට හොඳටම වහිනවලු .. අම්මා මේ බය වෙලා…”
ඉමල්කා ජංගම දුරකථනය දිහා බලාගෙන හිටියා. චන්දිම ඉන්නේ යම් පැටලැවීමක නම් එය ඔහු තමාට පවසන්නට අවැසි ඉඩකඩ හදන්න තීරණය කලා.
“හෙලෝ… “
“ඔයා නිදිද මේ ?”
“ඔව් අප්පා.. එද්දී තෙමුණා.. මට එහෙමම නින්ද ගියා..”
ඉමල්කා වෙනසක් නැතිව ආ ගිය තොරතුරු කතා කලා. පෙර දවසේ අඩුවක් ගැන විමසන්නේ නැතිවම හිටියා
ටික වෙලාවකින් චන්දිම හිතේ කලබල එලියට දැම්මා.
“මන්දා ඉමල්කා.. වෙලාවකට අපේ අම්මලා කිව්ව එක අහලා ට්‍රාන්සර් එකක් හදාගන්න ට්‍රයි කලා නම් කියලා හිතෙනවා .. මේ මිනිස්සු දු ක් විඳින විදිය දැක දැක ඒවට මුකුත් නොකරම ඉන්න එක මහ වදයක් හිතට …..”
චන්දිම ගමේ තත්වය මතක් වෙන පිළිවෙලට කිව්වා.ඉමල්කා නිහඬවම හැමදේම අහගෙන හිටියා. ඊට පස්සේ තමයි ඉමල්කා යෝජනා කලේ.
“අපි ෆේස්බුක් එකේ මේ කතාව ලියලා බලමු …. කොහොමත් වැස්ස ඉවර වෙනකල් මුකුත් කරන්න බෑනේ… අපිට සල්ලි හොයාගන්න පුළුවන් වේවි…”
ඒ යෝජනාව එක්ක චන්දිම වහාම ක්‍රියාත්මක වුණා. සියලු තොරතුරු වඩා සංවේදී විදියට ගොනු කලා. මුදල් තැන්පත් කරන්න කලින් සූම් සංංවාදයක් වෙනුවෙන් හැමෝටම ආරාධනා කලා. පාසැලේ ගුරු මණ්ඩලයෙන් ච්න්දිමට ලැබුණේ නොහිතපු සහයෝගයක්. පාසැල් සංවර්ධන සමිතියේ ගිණුමට මුදල් තැන්පත් කරවාගන්න චන්දිම කල යෝජනාව අනුමත වුණා.
මාසයක් ගෙවුණා. කාලගුණය වෙනස් වුණා. චන්දිම විදුහල්පතිතුමා එක්ක ග්‍රාම නිළදාරිවරයා හමුවුණා. ආර්ථික සංවර්ධන නිළධාරියාව හමුවූණා. පිරිසක් විදියට ඒකරාශි වෙලා ප්‍රාදේශීය සභාව දැනුවත් කලා. එතනදි මුණගැහුණු ඉංජිනේරු මහත්තුරුයි, තාක්ෂණ සහකාර මහත්තුරු යි වැඩේට උපරිමෙන්ම සහයෝගය දෙන්න එකඟවුණා. ඒ විතරක් නෙවෙයි සභාවේ සුබසාධක සංගමය වාර්ෂික විනෝද චාරිකාව වෙනුවෙන් වෙන් කරපු මුදල සම්පූර්ණයෙන්ම චන්දිමලාගේ ” අකුරු එතෙර කෙරෙන පාලම” ව්‍යාපෘතිය ට බැර කෙරුණා. ඒ අතරේ මුහුණුපොත හරහා අරමුදල තර කෙරුණා.
සෙනසුරාදා දවසක මූලික මැනුම් කටයුතු වෙනුවෙන් චන්දිම ලා ගමට එනකොට ගම්වැසියෝ කැවුම් කිරිබත් හදාගෙන මඟ බලනවා. ජීවිතේ එගොඩින් මෙගොඩට එතෙර් වෙන එක අවිනිශ්චිත වෙන වෙලාවල් තිබුණ මිනිස්සුන්ට මේ ඇරඹෙන ව්‍යාපෘතිය හීනයක්.
මැණුම් කටයුතු වලින් පස්සේ ඇස්තමේන්තු සැකසුණා. අනුමත වුණා. කරන්න යන වැඩේ දැනගත්තාම ටවුමේ හාර්ඩ්වෙයාර් එකේ මුදලාලි වැලි කියුබ් දෙකක්ම නොමිලේ ම දාලා ගිහින් තිබුණා. වැඩට ආව බාසුන්නැහෙලා කිව්වේ ඉතුරු වෙන මුදලකින් කීයක් හරි දෙන්න, දැනට කෑම බීම විතරක් ප්‍රමාණවත් කියලා. ගමේ මිනිස්සු මඟුලක්ට වගේ උයලා කෑම ගෙනාවා. තේ එක්ක කැවිලි ගෙනාවා. ටිකෙන් ටික පාදමේ ඉඳන් වැඩ ඇරඹුණා.
වැඩ කෙරීගෙන යනකොට අමුද්‍රව්‍ය මිල එකපාරටම ඉහළ ගියා. සිමෙන්ති වල ඉහළ ගියපු මිලේ වාසිය නොගෙනම සිමෙන්ති දෙන්න හාර්ඩ්වෙයාර් එකේ මුදලාලි එකඟ වුණා. ඒත් යම් මුදල් අවහිරකමක් පැන නඟින බව චන්දිමා කල් තියාම දැනගත්තා.
” යකඩ වලට සල්ලි මදි වේවි …”
එදා රෑ චන්දිම ඉමල්කා ට කිව්වා.
.
පහුවෙනිදා ඉස්කෝලේ උගන්නන අතරේ චන්දිම ගේ ජංගම දුරකථනයට කෙටි පණිවිඩයක් ආවා. ලක්ශ පහළොවක තැන්පත් කිරීමක්. චන්දිම විනාඩියක් එ දිහාම බලාගෙන හිටියා
ඒ සැනින් ඉමල්කාගෙන් ඇමතුමක්.
” මං ලක්ෂ පහලොවක් දැම්මා ඔයාට…”
චන්දිම ඒ ඇහුණ දේ ආයෙම කල්පනා කලා.
“ඉමල්කා …?”
“ඔව් … ඒ සල්ලි මෙවෙලේ වැදගත් … අපි පස්සේ වෙඩින් එකට සල්ලි එකතු කරගමු ……”
චන්දිම ඇස් වල කඳුළු හංගගගන්න ගුරු විවේකාගාරයට ඉක්මන් ගමනින් ගියා. ඉමල්කා ගේ කැපකිරීම ගැන නොකියා ඉන්න පුළුවන් වුනේ නැහැ.
හැමෝම ,නොදුටු ඉමල්කා වෙනුවෙන් මහා ගෞරව ආදරයකින් පිරිලා ගියා.
කිසිම අඩුවක් නැතිව පාලමේ වැඩ අවසන් වුණා. ඊළඟ වැහි පොද අස්සෙන් පාලම විවෘත කෙරුණා. රෑ මහ වැස්ස අස්සේත් මිනිස්සු පාලම උඩින් එහෙ මෙහෙ යනවා උඩහ ගුරු නිවාසේ ඉඳන් චන්දිම බලාගෙන හිටියා. වීඩියෝ ඇමතුමක් අරගෙන ඉමල්කාටත් පෙන්නුවා.
” පෞද්ගලික හීන අතෑරලා ,මනුස්සකම් ඉස්සර කරන් හදපු පාලමක් ඒ… “
පහුවෙනිදා මහ වැස්ස අස්සේ ළමයි ඔක්කොම ඉස්කෝලේ පන්ති වල උන්නා.
අපේක්ෂා ගුණරත්න