ආතරයිටීස් ගැන ඔබ දැන සිටිය යුතුම කරුණු 10 ක්..

ලොව පුරා වැඩිහිටියන් මිලියන ගණනාවක් පීඩාවට පත්කරන ආතරයිටීස් කියන්නෙ අපිව වේදනාවට සහ දුර්වලතාවයට පත්කරන රෝගයක් බව අපි බොහෝ දෙනෙක්ට අවබෝධයක් තියෙනව. 

එදිනෙදා ජීවිතය පහසුවෙන් ගෙනියන්න ඍජු බලපෑම් ඇතිකරන ආතරයීටීස් රෝගයෙන් අද හෝ හෙට නැතත් ජීවිතයේ කවදාකම හරි ඔබ හෝ ඔබේ සමීපතමයෙක් පීඩා විඳින්න පුළුවන්. 

සම්පූර්ණයෙන් සුව කරන්න නොහැකි වුනත් ආතරයීස් ගැන නිසි අවබෝධයකින් යුතුව ක්‍රියාකරොත් එයින් ඔබට සිදුවන බලපෑම අවම කරගන්න පුළුවන් බවයි මේ සම්බන්ධව අදහස් ප්‍රකාශ කරන වෛද්‍යවරුන් සඳහන් කරන්නෙ. 

ඒ අවශ්‍ය අවබෝධය ඔබට ලබාදෙන්න උපකාරී වෙන ආතරයිටීස් ගැන ඔබ අනිවාර්‍යෙන් දැන සිටිය යුතුම කරුණු 10 ක් ඔබත් එක්ක බෙදාගන්නයි අද මේ ලිපියෙන් අපි සූදානම් වෙන්නෙ. 

එහෙනම් බලමු මොනවද මේ කරුණු කාරණා කියල?

ආතරයිටීස් වේදනාකාරියි

ආතරයිටීස් තත්වයේදී ඔබේ ශරීරයේ සන්ධි එකක හෝ කීපයක දැවිල්ලක්, නිදන්ගත වේදනාවක් වගේම ඉදිමීමක් හෝ තදගතියක් ඇතිවෙන්න පුළුවන්. 

මේ රෝග ලක්ෂණ වලින් එකක් හෝ කීපයක් ඇතිවීමේ ඉඩකඩත් පවතිනව. 

මේ නිසා මේ සන්ධි සහ අවයව චලනය කළ නොහැකි දැඩි වේදනාවක් සහ අපහසුවක් ඔබට ඇතිවෙන්න පුළුවන් වගේම මේ තත්වය ඉවසා සිටිය නොහැකි තරම් වේදනාකාරී වෙන්නත් පුළුවන් කියල ඔබ සිහියේ තබා ගත යුතුමයි. 

ආතරයිටීස් බලපාන්නෙ අත් වලට විතරක් නෙමෙයි

බොහෝදෙනෙක් සිතා සිටින්නේ ආතරයිටීස් තත්වය ඇතිවෙන්නෙ අත් වලට සහ අත් ආශ්‍රිත සන්ධි ආශ්‍රිතව පමණක් බව වුනත් ඔස්ටියෝ ආතරයිටීස් වැනි තත්වයන් උකුල, දණහිස්, පිටුපස ප්‍රදේශය, උරහිස් සහ කොන්ද ආශ්‍රිතවත් ඇතිවෙන්න පුළුවන්. 

මේ නිසා ඇවිදීම, නැමීම වගේ සරල ක්‍රියාකාරකම් පවා කිරීමේ අපහසුතාවයනුත් ඇතිවෙනවා. 

ආතරයිටීස් කිසිසේත්ම සරල නොවේ

ඔස්ටියෝ ආතරයිටීස්, රූමටොයිඩ්, සෝටියාටික් සහ රක්තවාත වගේ විවිධ ආකාර 100 ක් පමණ දකින්න ලැබෙන ආතරයිටීස් කිසිසේත්ම සරල නොවන සංකීර්ණ රෝගී තත්වයක් විදිහට හඳුන්වන්න පුළුවන්. 

සන්ධි ආශ්‍රිතව ඇතිවෙන දැවීම්, වේදනාවන් සහ ඉදීමිම් වගේ පොදු රෝග ලක්ෂණ දකින්න ලැබුණත් මේ එක් එක් ආකාර වලට ආවේණික රෝග ලක්ෂණත් දකින්න ලැබෙනව. 

උදාහරණයක් විදිහට, ඔස්ටියෝ ආතරයිටීස් තත්වයේදී ඔබේ මුළු සිරුරේ දිරාපත් වීමත්, රූමටොයිඩ් ආතරයිටීස් තත්වයේදී ඔබේ සිරුරේම ප්‍රතිශක්තීකරණ පද්ධතිය සිරුරේ අනෙකුත් ඉන්ද්‍රයන් සහ පටක වලට බලපෑම් එල්ල කිරීමත් සිදුවෙන බව තමයි වෛද්‍යවරු පවසන්නෙ. 

සම්පූර්ණයෙන් සුවකල නොහැකි වුනත් කලින් හඳුනා ගැනීම සහ ප්‍රතිකාර අත්‍යාවශ්‍ය වේ

ඔබ වයස්ගත වනවිට ඇතිවෙන ඔබ සුළුවෙන් සලකා නොසලකා හරින ශාරීරික වේදනා සඳහා මුල් අවස්ථාවේ සිටම නිසි ප්‍රතිකාර ගැනීම අත්‍යාවශ්‍ය බව තමයි වෛද්‍යවරු ප්‍රකාශ කරන්නෙ. 

වේදනා සහ කැක්කුම් සඳහා අවශ්‍ය ප්‍රතිකාර ලබාදීමෙන් පසු සමබර ආහාර වේලක් ගැනීම, ශරීරයේ නිසි බරක් පවත්වා ගැනීම සහ දුම්පානය වැළක්වීම වගේ එදිනෙදා ජීවන රටාවේ ඇති කරගන්නා වෙනස් වීම මඟින් දිගින් දිගටම හටගන්නා අපහසුතාවයන් මඟහරවා ගන්න පුළුවන්. 

ඒ වගේම උකුල සහ දණහිස වැනි ප්‍රදේශ වල පවතින වේදනා සඳහා ශල්‍යකර්ම නිර්දේශ කරන අවස්ථාත් මීට අමතරව දකින්න ලැබෙනවා. 

චලනයන් සෑමවිටම යහපත් වේ

වාඩිවී සිටින පුද්ගලයන්ට වඩා ක්‍රියාශීලී පුද්ගලයන් අතර ඕනෑම බෝ නොවන රෝගයක් ඇතිවීමේ අවදානම අඩු බවයි පර්‍යේෂකයන් පෙන්වා දෙන්නෙ. 

ආතරයිටීස් සමඟ ශාරීරික ක්‍රියාකාරකම් කිරීම අපහසු වුනත් ඇවිදීම, පිහිනීම, බයිසිකල් පැදීම, ගෙවතු වගාව වගේ සුළු සුළු ශාරීරික ක්‍රියාකාරකම් වල හෝ යෙදීම ඉතාම වටිනා බව අපි ඔබට මතක් කරන්න කැමතියි. 

 කාළගුණය ගැන සැළකිලිමත් වෙන්න

වායුගෝලීය පීඩනයේ ඇතිවෙන වෙනස්වීම් ආතරයිටීස් වේදනාවන් සඳහා ඍ ජුවම බලපෑම් කරන්න පුළුවන්. 

ඒ අවස්ථාවන් ගැන ඔබේ වෛද්‍යවරයා සමඟ සාක්ච්ඡා කර ඒ සඳහා ආලේපන, අයිස් කැට හෝ උණුවතුරින් තැවීම වගේම අතපය ඇඳීමේ ව්‍යායාම වගේ ප්‍රතිකාර ක්‍රම ගැන අවබෝධයක් ඔබ සතුව තිබීම ඉතාමත් වැදගත්. 

උණුසුම් සහ සීතල ප්‍රතිකාර

ඔබේ සන්ධි වල කැක්කුමක් තියෙනව නම් ආරම්භක අවස්ථාවේදී ආවරණයට කරන ලද අයිස් කැට මල්ලක් වේදනාව සහිත ප්‍රදේශයේ තැබීමත් පැය 48 කට පසු රුධිර නාල විවෘත කිරීම සඳහා උණුසුම් රෙදි කැබැල්ලකින් ඒ ස්ථානය තැවීම කරන්න පුළුවන්. 

නමුත්, මේ ක්‍රම අත්හදා බලන්න කලින් ඔබේ වෛද්‍යවරයාගේ උපදෙස් ලබා ගැනීම අනිවාර්‍යයි. 

තුවාල සහ ආතරයිටීස්

දණහිසේ තුවාල ඇති තරුණ වැඩිහිටියන්ට අවුරුදු 65 වන විට ආතරයිටීස් ඇතිවීමේ අවදානම අනෙක් පුද්ගලයන්ට වඩා සය ගුණයක් පමණ වැඩි බවත් උකුලේ තුවාල සහිත පුද්ගලයන්ට එම අවදානම තුන් ගුණයක් පමණ වැඩි බවත් පර්‍යේෂකයන් පෙන්වා දෙනවා. 

ඒ නිසා අවදානම හැඳින සූදානමින් සිටීම ඉතා වැදගත් බව අපි ඔබට මතක් කරන්න කැමතියි. 

වැඩිහිටියන්ට පමණක් නෙමෙයි

මෑතකදී කරන ලද පර්‍යේෂනයන්ට අනුව එක්සත් ජනපදයේ අවුරුදු 18 ට අඩු ළමයින් ලක්ෂ 3 කට ආසන්න ප්‍රමාණයක් රූමටොයිඩ් ආතරයිටීස් තත්වයෙන් පෙළෙන බව සොයාගෙන තිබෙනවා. 

පිරිමි ළමුන්ට වඩා මේ රෝගය ඇතිවීමේ අවදානම ගැහැණු ළමුන්ට වැඩි බවත් පර්‍යේෂකයන් පෙන්වා දෙනවා. 

හඳුනා ගැනීම අපහසුයි

වැඩිහිටියන්ට අතර දකින්න ලැබෙන ආතරයිටීස් වලට වඩා කුඩා දරුවන් අතර දකින්න ලැබෙන ආතරයිටීස් හඳුනාගැනීම අපහසු බවත් වෛද්‍යවරු සඳහන් කරනවා. 

නමුත් රෝග ලක්ෂණ විදිහට, 

නිරන්තර සන්ධි වේදනාව සහ ඉදිමීම,

හේතුවක් හඳුනාගත නොහැකි සමේ කුෂ්ඨ,

වසා ගැටිති ඉඳිමීම, 

ශරීරයේ අවයව වල දැවිල්ල සහ උණ ඇතිවෙන්න පුළුවන් නිසා ඒ ගැන සැළකිලිමත් වීම ඉතාම වැදගත්. 

මේ රෝග ලක්ෂණ ඔබේ දරුවාගෙනුත් දකින්න ලැබුනොත් හැකි ඉක්මණින් ඔබේ පවුලේ වෛද්‍යවරයා හෝ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයා හමුවී අවශ්‍ය උපදෙස් ලබා ගැනීම හරිම වැදගත්. 

සුවකල නොහැකි වුනත් නිසි අවබෝධනයකින් යුතුව රෝග ලක්ෂණ හඳුනාගෙන සුදුසු පියවර ගැනීම මඟින් ආතරයිටීස් රෝගයෙන් ඔබේ එදිනෙදා ජීවිතයට විය හැකි බලපෑම් අවම කරගන්න පුළුවන් කියල ඔබට දැන් තේරෙනව ඇති කියල අපි හිතනව. 

එහෙනම්, මෙවැනිම වැදගත් ලිපියකින් අපි නැවත හමුවෙමු.

සුවෙන් ඉන්න!

සටහන – දුලානි නවෝද්‍යා 

Related Articles

Don't Miss


Latest Articles