උදාරා විවාහ නොවෙන්න තීරණය කලේ අවුරුදු හයක ප්‍රේම සම්බන්ධතාවය ඇතුලේ තමන් රැවටිලා කියලා දැනගත්තාම. ජීවිතේ දරාගන්න පුලුවන් උපරිම සීමාව සංජක වෙනුවෙන් දරාගෙන අවසන් බව උදාරා විශ්වාස කලා. ඒ නිසාම උදාරාගේ ජීවිතේ ඉලක්කය වුනේ ලංකාවෙන් පිටමං වෙලා අම්මවයි තාත්තවයි ලඟට ගන්න එක.
උදාරාගේතීරණය ඒක බව දැනගෙන උනත් උදාරගේ අම්මයි, තාත්තයි, අයියයි උදාරාට මනමාලයෝ හොයන එක නැවැත්තුවේ නෑ. සමහර අය උදාරාගේ දැනුවත්කමක් නැතිවම උදරව බලන්න පවා ආවා ගියා. ඒත් ඒ කිසිම තැනක උදාරා නැවතුනේ නැහැ.
“මට දැන් තිස් අටක් .. කසාද ඕනි නෑ මට ..”
උදාරා නෑනා එක්ක එකහෙලාම කිව්වේ එහෙම ඇවිල්ලා ගිය මනමාලයෙක් ගැන කතාවක් ඇදුන වෙලේ.
“වයස නෙවෙයි අදාල නංගී .. ඔයාට ජීවිතේ වෙනස් පාරකට දාගන්න තියෙන උවමනාව..”
“වෙනස් පාර මම තීරණය කරලානේ ඉන්නේ අක්කේ… ඒක කියලනේ තියෙන්නේ.. ඇයි වද දෙන්නේ?”
උදාරා නෑනා එක්කත් කෝපයෙන් කෑ ගහ ගත්තා. ඒත් උදාරාගේ නෑනා බොහොම ඉවසිල්ලෙන් උදාරට සවන් දෙන පුරුද්ද නැවැත්තුවේ නැහැ. මාස දෙකට විතර පස්සේ උදාරා හවස් වරුවක අයියාගේ ගෙදර ගියා. අයියාව මඟෑරලා නෑනා එක්ක කතාවකට ඉඩ හදාගත්තා.
“අර එදා ආවේ එක්කෙනෙක්…”
උදාරා ජනේලෙන් එහා බලාගෙන කියනකොට උදාරගේ නෑනා උනන්දුවෙන් උදාරා දිහා බැලුවා.
“කවදා?..”
” එදා අර පෝය දවසේ ඇවිල්ලා ගියේ…’
” ඕ ඕ.. අර ගාල්ලේ කොල්ලා?..”
“හ්ම්ම්..”
“ඉතින්….”
“එයා මගේ ඔෆිස් ලයින් එකට කතා කලා දවසක් …. ෆේස්බුක් රික්වෙස්ට් එකකුත් දලා තිබ්බා..”
“ඊට පස්සේ..”
නෑනා අතිශය පලවෙනි වතාවට අහන කතාවකට වගේ උද්යෝගය පෙන්නුවා.
“ඔෆිස් ලයින් එකට ගන්න එපා කියලා මම නම්බර් එකත් දුන්නා පස්සේ… හරි නැති නිසා..”
“හා ඉතින්?”
“දැන් මාස දෙකක වෙලෙ ඉඳන් ඉතින් අපි කතා කරනවා…”
“ඉතින්?”
“ඉතින් එච්චරයි … එයා ට මාව බඳින්න ඕනිලු … තව කල් ගනිමුලු ඉතින් තීරනේකට එන්න … දැනට එයාගේ තීරණේ එහෙමලු ..”
නෑනා කෑ ගහගෙන උදාරව බඳාගත්තා. අයියා කාමරේ දොර ලඟ ට නැවතිලා හිටියේ කඩාගෙන බිඳගෙන දුවගෙන ඇවිල්ලා.
“මොකෝ මේ..?”
“මස්සිනා හම්බුනා.. මස්සිනා හම්බුනා..”
උදාරාගේ නෑනා හිමින් සැරේ කිව්වා.
“මොන මස්සිනෙක්ද?’
අයියා එහෙම ඇහුවට උත්තර ලැබුනේ ණෑ.
එදයින් පස්සේ උදාරගේ අම්මා දෙනුවන්ගේ අම්මලා එක්ක කතා කලා. ළමයින්ගේ තීරනය ගැන දැනුම්දෙනකල් ඉන්න තීරණය කලා.
කාලේ ගෙවිල ගියා. මාස අටකට පස්සේ උදාරා දෙනුවන් ට වචනයක් දුන්නා.
” ඔයාට ආදරෙයි කියලා මම කියලා තියෙනවා… මං හිතන්නේ මට ඔයාව බඳින්න ඕනි …”
මාස හතරකට පස්සේ විවාහයට දින නියම වුනා. උදාරට ඒ හැම දේම ගැන තිබුනේ නැවුම් හැඟීමක්.
දෙනුවන් හැම දේටම උදාරා එක්කම හිටියා. ගෙඩ්ගර අයට ඒ වෙනුවෙන් වෙහෙසෙන්න ඉඩක් නොදුන්න තරම්.
සැලෝන් යන්න, රෙදි තෝරන්න යන්න, සපත්තු ගන්න යන්න, ආරධනා පත්‍ර තෝරන්න, කේක් හදන්න , හෝටලේ තෝරන්න ආදි නේක විද කාරණා වලට දෙන්නම එකතු වෙලයි ආවේ ගියේ.
“දෙන්නට දෙන්නා වටහාගන්න මේක හොඳ අවස්තාවක්…”
දෙපැත්තේ අම්මලා මුන ගැහුන වෙලාවට එහෙමත් කතා කලා.
“අපි ප්‍රි ශූට් ෆොටෝ ටිකක් ගහලා පොඩි වීඩියෝ එකක් කරමු?”
දෙනුවන් ගේ යෝජනාවට උදාරා අකමැත්තෙන් වගේ බලාගෙන හිටියේ. ඒ දේවල් තමන් ඇනි තිහේ දශකය අවසාන කරමින් ඉන්න යුවතියකට ගැලපෙන්නේ නෑ කියලයි උදාරට හිතුනේ.
” පිස්සු විකාර … ශූට් වලට ඒජ් ලිමිට් නෑ.. මෙන්න මෙහෙ එන්නකෝ…අපි ඇඳුම් දෙක තුනකින් ෆොටෝ ගමු ..”
දෙනුවන් උදාරව එකඟ කරගත්තා. උදාරටත් එ ගැන යම් උනන්දුවක් සහ ආස හිතෙන හැඟීමක් ආවේ දෙනුවන් ඒ වැඩේ සැලසුම් කරන අපූරුව දැක්කාම.
කොහොම හරි ෆොටෝ අරගෙන ඉවර වුනා. දවස් දෙකකින් ෆොටෝ ටික ලැබුනා. උදාරා ෆේස්බුක් කවර් ෆොටෝ එකට එයින් වඩා ආදර්ණීයම ෆොටෝ එක දැම්මා. කාර්යාල සගයන්ගෙන්, සරසවි මිතුරන්ගෙන් සුබ පැතුම් වැහි ලැබෙන්න ගත්තා.
“දැක්කද?..කොච්චර ශෝක්ද?..”
කොමෙන්ටු වලින් සුබ පැතුම් කියවන ගමන් දෙනුවන් අහනකොට විහාරා ඇස් හීනි කරලා හිනා වෙලා නිහඬ වුනා. ඒත් ඒ හීනි ඇස් වල කඳුලු බේරෙන්න වැඩි වෙලා ගියේ නැහැ.
උදාරලාගේ නෑදෑ වෙන කට්ටිය ඉන්න වට්සැප් සමූහයක උදාරා ගැන කතාවක ස්ක්‍රීන් ශොට් එකක් උදාරට එවලා තිබුනේ ඒ සමූහයේම උන්න කෙනෙක්. ඒක උදාරව රිදවන්න හිතාගෙන එව්වාද, එහෙම නැතිනම් උදාරට මිනිස්සු ගැන දැනගන්න එව්වාද කියන එකවත් උදාරාට හිතාගන්න බැරිව ගියා.
” නාකි කමට බලන්න නේ උදාරා අක්කගේ කෝලම්..”
“අනේ කියලා වැඩක් නෑ…. වයසට එපැයි වැඩ කරන්න..”
“කොල්ලාව නටවනවා ඇති .. නැත්නම් ඔය වයසක මිනිහෙක් ඔහොම දේවල් කරනවද?”
“ඔව්… ඒ මනුස්සයට තිස් නවයක් ලුනෙ..”
“අන්න ඒකනේ … උදාර ඔය ඔක්කොම කරන්නේ අපිට පේන්න… රස්සාව හරි ගියා කියලා පුදුම ලොකුවනේ තිබුනේ… දැන් ඉතින් පරස්තාවත් හරිනේ … “
“ඔහොම වෙඩින් වලට නම් යන්නත් ලැජ්ජයි ..ඇයි ඉතින් තමන්ගෙ මට්ටම නොදැන නෙ වැඩ කරන්නේ..”
ඒ කියමනට ඒ සමූහයේ උන්න අට දෙනාම එකඟ බව පෙන්වන සලකුණු දාලා තිබුණා. උදාරා එදා වරුවම හිටියේ කඳුලු පුරවගෙන. කාරණාව ගැන දැනගත්ත අයියා විසඳුම ගෙනාවා.
“ඔය එකෙක්ටවත් මඟුල් කියන් නෑ…එච්චරයි..උදාරා ඕකුන්ට කොච්චර උදව් කලාද..එහෙමත් තියෙද්දී…….උන්ට ලැජ්ජ නම් නෑවිත් ඉන්න තැනට වැඩ කරමු..”
අම්මගේ පැත්තේ නෑදෑයෝ වුනත් අම්මත් ඒකට එකඟ වුනා.
එතකොට ආරාධනා කෙරුවේ දාල අය නැතිව පවුල් වල අයට. නම් වෙන වෙනමම ලියලා තිබුනා ආරාධනා පත්‍ර වල.
“මේ..අපේ සුදූගේ නම නෑනේ…”
උදාරගේ ලොකු අය්යාගේ බිරිඳ ඇමතුමක් දීල ඇහුවා. උත්තර් දුන්නේ උදාරගෙ අයියා.
” අහ්… සන්දීපා නංගීට මේ වෙඩින් එකට එන්න ලැජ්ජයි කියලා තිබුනා… ඒකයි …ඔන්න මම ඒ විස්තරේ සන්දීපා නංගිට එව්වා.. බලන්නකෝ…”
පහුවෙනිදා උදේ වෙනකොට නෑදෑ පිරිසේම ළමයි ටික උදාරලගෙ ගෙදර ඇවිල්ලා හිටියේ.
“උදාරා අක්කේ… අනේ සමාවෙන්න …. ඇත්තටම තව කෙනෙක්ගේ ජීවිතේ විනිශ්චය කරන්න අපිට අයිතියක් නැහැ… අයියා ඒ බව අපිට පැහැදිලි කරාම ඒක හොඳටම තේරුනා.. අනෙක් අතට අපි එකිනෙකාගේ ටයිම් සෝන් වල තියෙන්නේ එක එක සැලසුම් බව අපි නොදන්නවා නෙවෙයි … සමාවෙන්න අක්කේ..අනේ…මේ වගේ සිතුවිලි ආයෙම අපේ ජීවිත වල තියාගන්නේ නෑ… නෑමයි…. ඔයා අපි වෙනුවෙන් කරපු හැමදේම අපිට මතකයි, අනේ අපි එක්ක තරහ වෙන්න එපා අක්කේ….”
උදාරා කට්ටියම එක්ක සාලෙන් වාඩි වුනා. අඬ අඬා දේවල් කතා කලා. දෙනුවන් එතැනට ආවම එතැන කතා බහ වෙනම පැත්තකට හැරුනා.
” අක්කට ගැලපෙනම කෙනා දෙනුවන් අයියා.. එයාගේ මැරේජ් එක පහුවෙන්න හේතුව දෙනුවන් අයියාව මුන ගැහෙන්න නියමිත කාලේ එනකල් එයාට ඉන්න වුන එක…”
වට්සැප් සමූහයේ ඊලඟ පණිවිඩය එහෙම තිබුනා.
අපේක්ෂා ගුණරත්න