මියුරු පෙම් වසන්තේ – 10

“නංගිව දැන් දකින්නත් නෑ” කියාගෙන මිලින්ද විල්සන්ගේ ගෙට ගොඩවුණේ සෙනසුරාදා හැන්දෑවේය. නදී උන්නේ දහවලේ නා වේලාගත් කෙස් කළඹ පීරමින් එහි අවුල් හරිමිනි.

මිලින්ද වනාහී නදී පොඩ්ඩක්වත් ප්‍රිය නොකරන කෙනෙක් උනත් මිලින්දව මග හැර ගොසින් හෝ, අමනාපය පෙන්වා ඉඳීමෙන් සෙතක් සැනසුමක් අත් නොවන බව නදී දනී. වත්තක ජීවිතේ ලේසි නැත. ඔක්කොටම වඩා හපන් කොළඹ වතු ය. අද බැණ ගන්නා එකා හෙට ඕන වන බැවින් හැකි හැම වෙලාවෙම වතුවල මිනිස්සු ඉන්නේ අයියේ අක්කේ නැන්දේ කියාගත්ත ගමන් ය. සම වයස් බොහෝ යුවතියන් වත්තේම කොල්ලන් හා පූට්ටු වී උන්ගේ ගෙවල් වල පැලපදියම් වී වත්තේ ජීවිතයට පුරුදු වුණද නදීත් කාවින්දිත් ගෙව්වේ එයට හාත්පසින්ම වෙනස් ජීවිතයකි. මේ වත්ත ඇතුලේ කොච්චර ඉගෙන ගත්තද කොච්චර හොඳට ජීවත්වුණද අනාගතයක් නැති බව දන්නා නිසාම නදීත් කාවින්දිත් උන්නේ මේ වත්තෙන් පිටව ගොස් මෙයට වඩා සුන්දර ජීවිතයක් ලබාගැනීමේ සිහිනයක් දකිමිනි. කාවින්දි එය හැබෑ කරගන්නට හිතුවේ පෙම්වතා වූ කලිඳු මාර්ගයෙන් වූ අතර නදී ඒ සිහිනය හැබෑ කරගන්න හිතුවේ රැකියාවක් ඔස්සේය.

එහෙත් මිලින්ද දුටුවේ එයට වඩා වෙනස් සිහිනයක් ය.

“මං කවදහරි කරනවනම් කරන්නෙ මගේම දෙයක්. මට බෑ ඔය එක එකා ලඟ දෙකට නැවිල රස්සාවල් කරන්න. අන්තිමේ උන් අපෙ පුකට පයින් ගහල එලියට දැම්මොත් හුප්පෙ තමා” කියා මිලින්ද බොහෝ දෙනෙකුට කිව්වත් ඔහු මෙතෙක් කාලයකට නම් පටන් ගත් තමන්ගේ කියා දෙයක් නැත.

“අහ් උඹ මොකද අද මේ පැත්තෙ?” කියාගෙන චන්ද්‍රකාන්ති එලියට ආවේ සර්පයා අඳුරගත් හෙයිනි.

“නිකන් ආවෙ චන්ද්‍රකාන්ති අක්කා, මොකද නිකන් ඔරොප්පුවෙන් අහන්නෙ? මොකෝ අපි එනවට කැමති නැද්ද?”

“දැන් උඹ මේ ආවෙ මගෙ කැමැත්ත අකමැත්ත අහල යන්නද? නෑනෙ. ආවෙ ඇයි කියල කියහංකො, විල්සන් හම්බුවෙන්න ආ ගමනක් වෙන්න බෑනෙ, ඌ ඉතින් මේ වෙලාවට ගෙදරක ඉන්න එකෙක් නෙවෙයි කියල නොදන්න එකෙක් මේ වත්තෙ නෑනෙ”

මිලින්ද ආවේ නදී සමග නිකන් මොනවා හෝ කතා කර කර ඉන්න බලාපොරොත්තුවෙනි. නදී රැකියාවට යාමත් සමග ඇයව වෙන කොහේ හෝ ඉන්න සීනි බෝල කොල්ලෙකු විසින් ඩැහැගන්නට ඇති ඉඩකඩ වැඩි බව දන්නා නිසාම තමාද ඉතා ඉක්මනින් සීන් එකට එන්ටර් විය යුතු බව මිලින්ද දැන උන්නේය. එහෙත් නොහිතූ විදියට චන්ද්‍රකාන්ති හෙනහුරා වගේ මෙතනට කඩා පාත් වේය කියා මිලින්ද හිතුවේ නැත.

“අප්පා විල්සන් අයියව හම්බෙන්න නම් යන්න ඕන කපිලයගෙ පොට් එකටනෙ. මං ආවෙ මේ නදී නංගියා ඉන්නව දැකල. සෑහෙන කාලෙකින් ඉතින් කතා කරන්නත් බැරි උනානෙ. දැන් රස්සාවලට යන නිසා ලොකු නෝනල වෙලානෙ” කියා මිලින්ද කිව්වේ වචන ඇද පැද මනමාල බැල්මකින් නදී දෙසද බලමිනි.
“මොකද්ද බං උඹේ ඔය නෑකන්, මට අක්ක කියනවා, විල්සනයට අයිය කියනව, උගෙ දූට නංගි කියනව, මොකෝ උඹට ආච්චියෙ, මාමෙ කියල කතා කරන්න බැරිද?” චන්ද්‍රකාන්ති මිලින්දගෙන් එහෙම අහන ගමන්ම නදීට නෙත් වලින් ඇතුලට යන්න යැයි ඉඟි කරේ මිලින්දගේ දෙනෙතින් වැගිරෙන කාමුක බැල්ම තව දුරටත් නදීට වැටෙනු නොරිසි නිසාවෙනි.

ආච්චිගේ දෙනෙත් බැල්ම තේරුම් ගනිමින් නදී ඇත්තටම එතනින් මිදී ගියේ කැමැත්තෙනි. කාමුක බව වෑහෙන මිලින්දගේ දෙනෙත් ඉස්සරහ ඉඳීම කොච්චර අපහසුවක් උනත් එතනින් නැගිට ඉවතට යාමේ හැකියාවක් නදීට තිබුනේ නැත. ගෙතුලට යන නදී පිටිපස්සෙන් මිලින්දගේ නෙතු නදී නොපෙනී යනතුරුම රැදුනේය.

“දැන් කියපංකො මොකද ආවෙ කියල?”

“දැන් කිව්වෙ ඉතින් මං මේ නදී නංගිය එක්ක ටිකක් කතාකරන්න කියල ආවෙ. කොහෙද ඉතින් චන්ද්‍රකාන්ති අක්ක ඇඉත් වැඩේ කෑවනෙ”

“මොනවද කියපංකො උඹට දැන් කතා කරන්න තියෙන්නෙ නදී එක්ක?”

“එහෙම මේ නරක දෙයක් කතා කරන්න ආවෙ නෑ, මොකද්ද චන්ද්‍රකාන්ති අක්කා නිකන් අපිව අඳුරන්නෙ නෑ වගේනේ කතාකරන්නෙ හරියට? ඇයි අපි එක්ක කතා කරා කියල නංගියට අවුලක් වෙනවද නෑනෙ?”

“අනේ කිසි අවුලක් නෑ කතා කරාට, ඒ උනාට මම මේ බලන්නෙ උඹ කවදාවත් නැතුව මොකද මේ නදිය එක්ක කතා කරන්න ආවෙ කියල. උඹ වෙනද මේ එහෙම එන එකෙක් නෙවෙයිනෙ. හරි හරි දැන් ඒකි ගියානෙ, උඹත් පලයං, පස්සෙ වෙලාවක වරෙන්”

මිලින්ද එතනින් නික්මී ආවේ චන්ද්‍රකාන්තිගේ කියවිල්ල අහගෙන ඉන්න බැරිම හන්දාය. චන්ද්‍රකාන්ති වනාහී නදීට එහෙමකට කියා වචනයෙක් ආලෙ ලීලෙ පෑවෙ නැති උනාට මොකෝ නදීගේ පරෙස්සම ගැන බොහෝ සෙයින් හිතන බව වත්තෙ සියල්ලන්ම දනී. එහෙත් මිලින්ද උන්නේ අද පැරදී ගියත් හෙට දිනනවාය යන අදිටනිනි. තමන් ඉන්නේ විවාහ වෙන්නට සුදුසු වයසේ මෙන්ම විවාහ වීමේද කෙල්ලෙකු සමග පූට්ටු වීමේද ආශාවෙනි. ඒ වනාහී තවදුරටත් යටපත් කරගන්නට හැකි ආශාවක් ද නොවේ.

දවස් ටිකෙන් ටික ගෙවී යද්දී නදී කාර්‍යාලයේදි තමන්ට ලැබෙන නොසැලකිල්ලට ටිකෙන් ටික පුරුදු වුණාය. මේ නොසැලකිල්ල වනාහී තමන්ගේ සැබෑ ජීවිතය බොහෝ දෙනාගෙන වසංකරගත හැකි ඉබි කටුවක් වූ නිසා නදී ඒ ගැන ඇත්තටම පසු තැවුනේ නැත. උදෑසනින්ම ගෙදරින් පිට වී අවුදින් සමන්පිච්ච මල් සුවඳ විහිදුවමින් කාර්‍යාලයට ඇතුලු වී පලමුව ලිඩියාගේද අනතුරුව බොහෝ දෙනාගේද සමච්ච්ලය රැඳුණු දෙනෙත මගහැර තමන්ගේ කාර්‍යාල මේසය වෙත ගොස් වාඩි වී වැඩ කරන්නට උවමනා ශක්තිය හොයාගත්තාය.

මියුරුද උන්නේ කිසිත් වෙනසක් නොකරය. නදී ගැන හිත අස්සේ කුමන ආකාරයක හැඟීම් තිබුණද ඇය වනාහී අන්සතු මලක් බව දන්න හන්දා ඇය පිළිබඳ සිතුවිලි හදවතෙන් නික්ම යන තුරුම ඇගේ දිගු දෙනයන මග හැර ඉන්නට මියුරු කටයුතු කරේය. නෙතු කොතෙක් මග හැරියද ඇය වෙතින් හමනා සමන්පිච්ච මල් සුවඳ කාර්‍යාල කාමරයේ වායු සමීකරණය හා මුසු වී අවුත් නැහැ පුඩු අස්සෙන් හදවත ඇතුළාන්තයේ තැන්පත් වීම නවත්වාලන්න හැකියාවක් මියුරුට තිබුනේ නැත.

අප්‍රකාශිත, ඒක පාර්ශ්වීය ආදරයක් පවා හිමි නොවීම අහිමි කරගැනීමේ වේදනාව මියුරු ජීවිතයේ පලමු වරට වින්දේ නදී හන්දාය.

ඕර්ගනික් ෆුඩ්ස් කාර්‍යාලයට තිස් වසරක් පිරීම නිමිත්තෙන් සූදානම් කරනු ලැබූ ඇනිවසරිය පාටිය ආවේ ඔය අතරේය. ඒ පිළිබඳව දැනුම් දීම සිදුකෙරුනේ ඊමේල් පණිවිඩයක් ඔස්සේය. කාර්‍යාලයේ සියල්ලන්ම පාහේ උන්නේ ඇනිවසරි පාටියට අඳින ඇඳුම පැලඳුම ගැන කතා බස් කරමිනි. ඒද විශේෂයෙන්ම කෙල්ලන්‍ ය.

නදීටද ඒ ගැන නොසිතා ඉන්නට හැකියාවක් තිබුනේ නැත. අනික් අතට හෝටලයක් බුක් කර ආයතනයෙ සියල්ලන්ටම පාහේ ආරාධනා කර තිබියදී නොගිහින් හිඳීම හොඳ නැත. එමෙන්ම එය තමාව මේ සමාජයෙන් තව තවත් ඈත් කරන්නටද හේතුවන්නක් විය හැක. එහෙත් මොවුන් කාර්‍යාලට අඳින ඇඳුම් පැලඳුම් ආදිය සසඳද්දී මෙහි කෙල්ලන් ඔය ඇනිවසරි පාටියට සුපිරියට ඇඳගෙන එන බව නොඅනුමානය. ප්‍රශ්නෙ තමන් ඔෆිස් එකට අඳින්නත් ඇඳුමක් හොයාගන්නේ අමාරුවෙන් එකේ පාටිවලට අඳින්නට ඇඳුමක් කැඩුමක් කොහෙන් හොයාගන්නද කියන එක ය.

“සාරියක් ඇඳන් යන්නද?” නදී කාවින්දිගෙන් ඇහුවේ ගෙදර ගිය ගමන් ඇය එක්කය.

“සාරි ඇඳන් යන්නෙ සම්මන්ත්‍රණයක් කියල හිතුවද? පිස්සුද බං පාටි එකකට යන්නෙ? ඒකත් හෝටලේක, සාරි ඇඳන් ගිහින් හරියනවද?”

“ඉතින් මොකද්ද එහෙනම් ඇඳන් යන්නෙ? මං ගාව පාටිවලට අඳින ඒව නෑනෙ. අනික උඹ දන්නවනෙ මගෙ පඩියෙන් මේ ඔය ඔහොම තැනකට අඳින්න දාස් ගණන් දීලා පාටි ගවුම් ගන්න බෑනෙ බං”

“එහෙමයි කියල නොගිහින් ඉන්න බෑනෙ, අපි බලමුකො මොකද්ද කරන්න පුලුවන් කියලා” කාවින්දි කිව්වේ හීන් හිනාවක් පා කර එවමිනි.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles