මියුරු පෙම් වසන්තේ – 11

“විල්සන් අයියව හම්බෙන්න ඉඳියෙ මං”

මිලින්ද බලාගෙන උන්නේ විල්සන් එනතුරු මග රැකගෙනය. ඒ නදී ගැන කතාකරන සිතුවිල්ලකිනි. හරියාකාරව රස්සාවක් නැති උනත් මිලින්ද තමන්ගෙ ටිකෙන් ටික ගෙවී යන තරුණ කම ගැන හිතාගෙන උන්නේ මහ ඉහළින් ය. කොණ්ඩ කුරුල්ලෙකු වගේ කාලෙන් කාලෙට අම්මාගෙන් ඉල්ලා ගන්නා සල්ලි වලින් පාට කරගන්න කොණ්ඩයත්, කනේ තැන් කීපයකම විද තිබූ කරාබුත්, නිතර දෙවේලේ කර සරසන රිදී දම්වැලත්, ස්කිනි ටයිප් උඩුකය ඇඳුමත් එක්ක මිලින්ද හිත උන්නේ තමන්ට “කෙල්ලො පිස්සු වට්ටන” අන්දමේ සුපිරි නලු පෙනුමක් තියෙනවා කියාය.

“මං හම්බෙලා දැන් අවුරුදු පණහකුත් ගිහින් බං” බීගත්ත වෙලාවට ඉතින් විල්සන් කියන්නෙ ඔහොම මරිමෝඩ, මෙලෝ හිනාවක් යන්නෙ නැති ගොබ්බ කතා ය. ඒ උනාට මිලින්ද මෙවෙලේ ඒකට හිනාඋනේ ලෝකෙ ලොකුම විහිලුව අහන්න ලැබුණා වගේය.

“විල්සන් අයියා බීගත්ත වෙලාවට සුපිරි ජොලි කතා නෙ කියන්නෙ”

“ඔව් ඉතින් උඹ කියපංකො මොකටද මාව හම්බෙන්න ඉඳියෙ කියල” විල්සන් මත් ගතියට වැටෙන්න යන එකෙන් වැලකෙන්න පාරේ තිබූ ලයිට් කණුවක් අල්ලගෙන වාරු ගත්තේය. හැබැයි කෙලින් හිටගන්නට බැරි හන්දා උන්නේ නිකන් ඇදවෙච්ච ද යන්නක් වගේය.

“මං ආවෙ මාමගෙන් නදී ගැන අහන්න” මිලින්ද ගොලුබෙල්ලෙකු මෙන් ලෙස්සමින් උත්තර දුන්නේ විල්සන් බීගෙන ඉන්න හන්දා පහසුවෙන් තමන් බලාපොරොත්තු වෙන උත්තරේ උන්දැගෙන් ගන්න පුලුවන් වේය කියා හිතමිනි. එහෙත් මොනතරම් බීගත්තද තමන් තාත්තෙකු බව විල්සන්ට අමතක වී තිබුනේ නැත. අනෙක් අතට රස්සාවක් නැති මිනිහෙක්ට ඉන්නා එකම කෙල්ල දී ඒකිව අනතුරේ දාන්න උවමනාවක් නැති වගත් විල්සන්ට මොකක් හෝ වාසනාවකට මෙන් මතක තිබුණි.

“ඔව් මොනවද උඹට නදී ගැන අහන්න තියෙන්නෙ? මමත් දන්න දෙයක් අහපන්, නැත්තම් ඉතින් මටත් උත්තර දෙන්න විදියක් නෑනෙ”

“මම කැමතියි විල්සන් අයියා නදීට”

“එහෙමද? ඔව් ඉතින් ඒකිට අකමැති වෙන්න කාටවත් හේතුවක් නෑනෙ. ඒකි කාටවත් වරදක් කරන එකියක් නෙවෙයිනෙ”

“ඕකනෙ විල්සන් අයියා, ඔයාට මම කියන දේ තේරෙන්නෙ නෑනෙ. ඔයා වල්ගෙ පාගගෙනනෙ ඉන්නෙ” මිලින්ද කිව්වේ කතාව වෙන පාරක යන බව තේරුම් ගිය හන්දාය.

“කෝ” කියමින් ඇදවෙච්ච දයන්නක් මෙන් තිබූ ශරීරය කෙලින් කල විල්සන් ලයිට් කණුවේ යට තිබූ විදුලි එලියෙන් බිම බලමින් වටේ කැරකෙන්නට විය. මිලින්ද උන්නේ “මූට මොන පිස්සුවක් හැදිලද?” කියල හිතාගන්න බැරුවය.

“මොනවද විල්සන් අයියා හොයන්නේ?” මිලින්ද ඇසුවේ විල්සන් ගේ මොනවා හෝ බිම වැටී තිබෙනවාද කියා බලන්නට බිම බලමිනි.

“වල්ගෙ” විල්සන් කිව්වේ මෙතෙක් වෙලා බිමට යොමු කරගෙන උන් දෙනෙත් මිලින්ද වෙත පාකරමිනි.

“වල්ගෙ?” මිලින්ද ඇහුවේ පුදුමයෙනි. විල්සන්ට මේ රෑ බිම බලාගෙන ලයිට් කණුවක් යට හොයන්නට තියෙන්නේ කාගෙ වල්ගෙද කියා මිලින්දට හිතාගන්න බැරිය.

“ඔව්, ඇයි දැන් උඹ කිව්වෙ මම වල්ගෙ පාගගෙන ඉන්නෙ කියල. මම මේ බැලුවෙ මම පාගගෙන ඉන්නෙ උඹෙ වල්ගෙද මගෙ වල්ගෙද කියල” මිලින්ද එතනින් ගියා නොවේ පියෑඹුවේය. බීගත්ත වෙලාවක විල්සන් එක්ක උගේ කෙල්ල ගැන කතාකරන්න ගිය එක අපරාදේ කියා මිලින්ද දවස් ගාණක් පසුතැවුණේය. ඕක විල්සන්ගෙන්ම අහනවට වඩා නදීගෙන් අහන එක වඩා හොඳ බව මිලින්ද තීරණය කරේ ඊට පස්සේය.

ඒ ඉරිදා නදී චන්ද්‍රකාන්ති එක්ක පොළට ගොස් එද්දී මිලින්ද ඔවුන් එනතුරු ගේ අද්දරට වී උන්නේම නදී එක්ක මේ ගැන කතා බස් කරන්න හිතාගෙනය. මිලින්ද එන්නේ එසේ මෙසේ පොටකට නොවන බව තේරුම් ගිහින් උන්නද මේ වෙලාවෙ කල යුත්තේ කුමක්ද කියා අදහසක් ඇත්තටම චන්ද්‍රකාන්තිට තිබුනේත් නැත. වත්තෙ එවුන් තරහ ගිය වෙලාවට සර්පයන් වගේ බව වත්තේම ජීවත් වෙච්ච චන්ද්‍රකාන්තිට අමුතුවෙන් කියන්න ඕන නැත. තමන්ගේ කෙල්ල පස්සෙන් කොල්ලෙකු එද්දි එයට සද්ද බද්ද දැමීම කෙල්ලට ඇසිඩ් පාරක් කන්නට හෝ බෙල්ල කපාගන්නට හෝ තනිපංගලමේ ඉන්න වෙලාවක කරදරයක් වෙන්නට ඇති ඉඩකඩ හදන්නකි. එහෙත් එහමයි කියා සද්ද නැතුව ඉන්න පුලුවන් කමකුත් නැත.

“උඹ අදත් ආවද?” කියා චන්ද්‍රකාන්ති ඇහුවේ ගේ අද්දර හිටගෙන පාරෙ එහා මෙහා ඇවිදිමින් උන් මිලින්ද දෙස බලමිනි. නදී නම් උන්නේ මිලින්දව නොදුටුවාක් මෙන් ගෙතූ කෙස් කළඹේ අග්ගිස්ස අතින් කරකවන ගමන්ම ගෙට ඇතුල් වන්නට තිබෙන ලී වැට එහාට කරමිනි.

“මං මේ ආවෙ නදී නංගි එක්ක ඩිංගක් කතාකරන්න චන්ද්‍රකාන්ති අක්කා” මිලින්ද කිව්වේ වෙනදාට වඩා පිරිමිකමක් ඇඟට අරගෙන බව චන්ද්‍රකාන්තිට නොතේරුනා නොවේ. ඒ නිසා වෙනදා තරම්ම සද්දෙට කතා නොකරත් මෙයට හේතු විමසා නොඉන්න හැටියක් අත්තම්මා කෙනෙකු ලෙස නැත.

“අර මොනව කතාකරන්නද ඒකි එක්ක?”

“ඒක ඉතින් චන්ද්‍රකාන්ති අක්කට කියල වැඩක් නෑනෙ, මම ඒක නදී නංගි එක්ක කතා කරන්නම්කො, නංගි පොඩ්ඩක් කතා කරමුද?” කියා මිලින්ද කිව්වේත් ඒ පිරිමිකම කටහඬිනුත් එලියට එන විදියට ඇඟ පුම්බා පපුව ඉස්සරහට දමාගෙනය.

චන්ද්‍රකාන්ති ගේ ඇතුලට විසිවුනේ ඒ සද්දෙට ටිකක් විතර බය වෙච්ච හන්දාය. එහෙත් ඒ යන ගමනුත් “ඔන්න කතා කරන දෙයක් ඉක්මනට කතා කරල වරෙන් කෙල්ලෙ, උයන්න තියනවා” කියා කිව්වේ නදීට ආරක්ශා වෙන්න යැයි නොකියා කියන්නට මෙනි.

මිලින්ද කියන්නට හදන්නේ කුමන අන්දමේ කතාවක්ද කියා අමුතුවෙන් තේරුම්ගන්න දෙයක් නදීට නැත. මිලින්ද මෙතුවක් කාලයක් තමා යන තැන්වල රැකවල් ලාගෙන හිටියේත් දකින හැම වාරයකම දෙපැත්තෙන් කෙල පෙරෙන ලාටු හිනාව දැම්මෙත් ඇයිද කියා දැනගෙන උන්නත් නදී ඒ නොදුටුවා නොතේරුනා සේ උන්නාය. එහෙත් හැමදාම ඕකෙන් පැනල යන්න බැරිය. ප්‍රශ්නෙන් පැනල යනවට වඩා ප්‍රශ්නෙට උත්තරේ දෙන එක හොඳය.

“ඔව් අයියෙ කියන්න”

“මං නංගි එක්ක මේ කාරණාව ගොඩක් කාලෙක ඉඳල කතාකරන්න හිටියෙ. ඒ උනාට ඉතින් නංගිල ඉගෙන ගන්න කාලෙ මේව කියල ඉගෙනීම කඩාකප්පල් කරන්න හොඳ නෑනෙ කියල හිතලයි මම කට වහං හිටියෙ” මිලින්ද කතාවට එන්ටර් වුණේ පරමාදර්ශී ප්‍රේමවන්තයාගේ චරිතය රඟපාන ගමන් ය. ඒ වනාහී කෙල්ලෙක් රවටා ගන්නට හැකි පහසුම විදිය බව මිලින්ද හිතා උන්නද නදී ඉපදුනේත් හැදුනෙ වැඩුණේත් මිලින්ද වන් කට්ට කයිරාටිකයන් ඉපදුණ අල්විස් වත්තේම බව මිලින්දට අමතක වී තිබුණි.

“ඔව් කියන්න අයියෙ” නදී උන්නේද කොහෙන්දො හොයාගත් මිලින්දගේ පිරිමිකම පරදන අන්දමේ ගැහැණුකමකින් හිත අස්සේ තියෙන බව වහං කරගෙනය. මේ වෙලාවෙ බය වීම ජීවිතාන්තය පුරා ඔලුව නවන් ඉන්න වෙන තීරණයක් ගන්නට තමාව පොළඹවනු ඇතැයි නදී බය වුණාය.

“නංගි කවුද කියල මම දන්නව වගේම, මං කවුද කියල නංගිට අමුතුවෙන් කියන්න ඕන නෑනෙ. මං නංගිට කැමතියි. වැඩි වැල්වටාරම් ඕන නෑනෙ නංගි, ඔන්න මං කෙලින්ම කිව්වා. මේ වගේම තමයි මගෙ අනිත් වැඩත් කෙලින් බව නංගිට තේරෙනවනෙ. නංගි මොකද කියන්නේ?”

චන්ද්‍රකාන්ති උන්නේ ගේ ඇතුලේ හිඳගෙන මේ වෙන සියලු දේවල් අහගෙනය. නදී වගේ හොඳට ඉගෙන ගත්ත කෙල්ලෙක්ගෙන් මෙහෙම දෙයක් බයක් සැකක් නැතුව අහන්න මූට පයිත්තියම්ද කියා හිතුනත් නදී මෙයට දෙන උත්තරේ කුමක් වේද කියා අහන්නට චන්ද්‍රකාන්ති සද්ද නොකර උන්නාය.

කට වැඩ කරේ නැතිඋනාට මොකෝ හිත නම් තිබ්බේම කියවමිනි.

“මේ හරිහමං රස්සාවක් නැතුව, ඇවිදින ස්පීකරේ වගේ සින්දු දාන් ගම පුරා රවුම් ගහන එකා ආව මෙතන ගෑණු ගන්න” කියා මිලින්දට හොඳටෝම දොස් දෙවොල් තිබ්බේ ආන් ඒ හිතය.

මිලින්දගේ ප්‍රශ්නය අවසාන වෙද්දිත් තමන් මෙයට දෙන්න යන උත්තරේ කුමක් උනත් එය ඇතිකරන්නේ භයානක ඉරණමක් වන්නට හැකි බව නදී නොදැන උන්නා නොවේ. එහෙත් උත්තරේ දෙන්න තව කල් දානවට වඩා දැන්ම කියන එක ඒ ඉරණම කුමක් උනත් එය ඉක්මන් කරන්නකි.

“මං දන්නව නංගිට එහෙම එකපාර උත්තරයක් දෙන්න බෑ, තාත්තගෙන් එහෙමත් අහන්න ඕන ඇතිනෙ. ඒ උනාට මං කැමතියි නංගිගෙන් පොසිටිව් ආන්ස්වර් එකක් අරගෙනම ගෙදර යන්න. හිත සන්තෝසෙන් මට අද නිදාගන්න ඇහැකි නංගියා එතකොට. මෙච්චර දවසක් මේක අහන්නෙ කවද්ද කියල හිත හිත ඉඳල මට නින්ද ගියේ නෑ”

මිලින්ද දියාරු හිනාව දමමින්ම නදී දෙස එක එල්ලේ බලාගෙන උන්නේ ඈ දැන් ඇගේ රෝස තොල් මෑත් කර “මං කැමතියි අයියෙ” කියා කියනු ඇතැයි බලාපොරොත්තුවෙනි.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles