දෙවන නෙත් සේයාව…
චත්‍ර කාමරයට පැමිණියේ කෝපයෙනි. ඒ කෝපය පියා කෙරෙහිද, මව කෙරෙහිද අඩු වැඩි වශයෙන් විය. තමා දැන් විසි හය වැනි වියෙහි වන, සමාජය තුළ වගකීම් දරන පුද්ගලයෙකි. මිල මුදල් අතින් පවා තනිව සහ පියාගේ සහයෙන් ගොඩ නංවා ගත් යම් ස්ථාවර බවක් තමා සතුය. එය එසේ තිබියදී ලොකු අප්පච්චී විසින් කලායැයි පැවසෙන යමක් වෙනුවෙන් මෙලෙසින් බයාදු ස්වරයෙන් කතා කරන අප්පච්චී ගැන දැනෙන්නේ කෝපයකි.
“එක එකාගේ පද අහ අහ තව ඉන්නවා …”
ඔහු තමාටම කියා ගත්තේය. අප්පච්ච්ට ඔහුගේ සහෝදරයා නිසා ලොකු අප්පච්චීට එරෙහි වන්නට නොහැකි වීම වටහා ගන්නට හැක. එහෙත්, අම්මාට තමාගේ පසින් සිට ගත හැක. මේ පැරණි පන්නයේ නිවෙස අත් හැර නගර සීමාවේ නිවෙසකට පහසුවෙන් මාරු වීමට ඇයට අප්පච්චී උනන්දු කල හැක. එහෙත්, අම්මා අප්පච්චී පරයා යන්නට සිතන්නේ හෝ නැත.
“අයියේ ..”
සිහිනි කාමරයට එබුණාය. චත්‍ර ඇය දෙස බැලුවේ යහනේ උඩු බැලි අතට වැතිරී උන් ඉරියව්ව වෙනස් නොකරමිනි. සිහිනි හිස පමණක් කාමරය තුළට රිංගවාගෙන ඉන්නීය.
“මොකෝ …”
” තේ ගේන්නද කියලා මාලා ඇන්ටි ඇහුවා…”
“එපා…”
සිහිනි ආපසු හැරුණාය. චත්‍රට කුසගින්නක් දැනුණි. මෙහෙම සිදුවීම් වලට පසු මාලා හෝ අමිතා අවසරයකින් තොරව තම කාමරයට නොපැමිනෙන බව චත්‍ර දනී.
ඔහු ජංගම දුරකතනය අතට ගත්තේය. ඌබර් සැකසුම හරහා උණුසුම් සුප් කෝප්පයක් ඈණ්වුම් කලේය. එය නිවෙස වෙත පැමිණීමට විනාඩි තිහක් ගත වන බව පෙන්වයි.
“කැලෑවක් අස්සේ ගෙයක් හදාගෙන…. හදිසියකට දෙයක් ගේන්න පැයක් යනවා….”
ඔහු කෝපය එහෙමද පිට කලේය.
චත්‍ර දෑස් පියාගත්තේ දවස පිළිබඳව ස්මරණය කරමිනි. සිදුවූ සියල්ල සිදුවූයේ අයහපත් පස ඉස්මතු කරමිනි. එක් පැත්තකින් පොලිසිය තුල සිදුවූ සිදුවීමය. අනෙක් පැත්තෙන් මිතුරා වෙනුවෙන් කිසිවක් කර ගන්නට නොහැකි වු ලැජ්ජාවය.
“මන්ත්‍රී වෙලත් මේක ගොඩ දාගන්න බැරි වුනා කියලා අරුන් පස්ස පැත්තෙන් හිනා වෙනවා ඇති ..”
රවීන්ගේ මිතුරන් වූ චත්‍ර හා අමනාපව උන් පිරිසක් සිහි කර ඔහු එලෙසද හිතුවේය. කල්පනාවේ උන් නිසාම ඔහුට කාලය ගත ව යනු දැණුනේ නැත.
“අයියේ..ඔයා මොනවා හරි ඕර්ඩර් කලාද?..”
චත්‍ර වහා නැගිට්ටේය. පහත මාලයට ගොස් සියල්ලන්ම මඟ හැර ගේට්ටුව වෙත ඇවිද ගියේය.
“එයාද ඕර්ඩර් කරලා තියෙන්නේ?…”
අම්මා විමසනු ඇසුනද චත්‍ර ඒ බවක් නෑසුනා සේ යළි උඩු මහලටම ගියේය. අප්පච්චිගේ අතුල් පහරේ වේදනාව වඩා දැනෙන්නේ දැන් ය. ඔහුට එලෙස නොහැසිරෙන්නට තිබුනායැයි චත්‍රට සිතුණි. එහෙත් ඔහු ඒ සිතුවිල්ල වැඩි දුරටත් පෝශණය කලේ නැත.
සුප් කෝප්පය අවසන් කල නාගෙන පැමිනෙන විට සිහිනි උන්නේ චත්‍රගේ කාමරය තුළට වීය. චත්‍ර ඇයට පිටතට යන්නයැයි නොපවසා තුවාය ඇය වෙත විසි කලේය.
“කොණ්ඩේ පිහිදනවා..”
“මට බෑ… මට වැඩ තියෙනවා… මම ආවේ පොඩි කතාවක් කියලා යන්න …”
චත්‍ර කලබලයෙන් සිහිනි දෙස බැලුවාය. ඇය ගෙන එන පණිවිඩය අයත්මා සම්බන්ද එකක් විය යුතුය. නොඑසේ නම් මෙහෙම කලබලයක් මැද ඕ දෙවන වතාවටද කාමරයට එබෙන්නේ නැත. සිහිනිගෙන් තුවාය උදුරාගත් චත්‍ර හිස කේ තෙත ඇය මතටද වැටෙන සේ ගැසුවේය. සිහිනි අයියා හා කෝපයෙන් කෑ ගැසුවාය.
“කියනවා… මොකෝ සීන් එක …”
“අර අයත්මා නිල්නදිය අලුත් සර්ට සෙට් වෙයි වගේ…”
සිහිනි කිසිඳු පැකිලීමක් නැතුව එලෙස කීවාය. සිහිනිට අයත්මා නිල්නදීව පෙනෙන්නේ ආඩම්බරකාරියක ලෙසිනි. ඒ නිසාම ඇය තම එකම සොයුරාගේ ප්‍රේමය වීම ගැන ඇයට තිබුණේ නොසතුටු හැඟීමකි. එහෙත් අයියා ඇය පිළිබඳව වන උනන්දුවේ දිග පලල පිළිබඳව දන්නා නිසා, ඕ පණිවිඩ මඟ නොහැර සිටින්නට උත්සාහ කලාය.
චත්‍ර සිහිනිව පසෙකට කරමින් කුඩා මේසය මත හිඳ ගත්තේය. පාසැලට අලුතින් පැමිණි තරුණ ගුරුවරයා ගැන අයත්මා උනන්දු වන බවට වන පණිවිඩය සිහිනි පලමු දිනයේම ගෙන ආවාය. එදින දැනුනේ පිළිස්සීමකි. එහෙත් ඔහුට පෙර තමා ඉක්මන් වෙමියි සිතා ඒ පිළිස්සීම සන්සිදුවා ගත්තේය.
“කොහොමද කියන්නේ එහෙම ?…”
“පොර නැවතිලා ඉන්නේ අයත්මා ගේ මාමලාගේ ගෙදර කාමරේකලු …. අයත්මා තමා සෙට් කරලා දීලා තියෙන්නේ…”
” තමුසේට කවුද කිව්වේ?..”
“කිව්ව කෙනා වැඩක් නෑනේ… කරන දෙයක් දැන්ම බලලා කරගන්නවා.. ආයේ පස්සේ ඉතින් අනන් මනන් කරන්න ගිහින් අප්පච්චීගෙන් අද ප්‍රතිචාරයට සමාන ප්‍රතිප්‍රහාර එල්ල වෙන්න පුලුවන්..”
සිහිනි නැගිට්ටාය. පසු දින සඳහා ඉගැන්වීම් සටහන් සාදා ගැනීමට ඇති බව පවසමින් ඕ පිටව ගියාය. මොහොතකට පෙර කුස පිරී තිබුනද දැන් චත්‍රට දැනෙන්නේ නිරාහාරව සාගත කාලයක් පසු කල හැඟිමක් ය. දිය නා පිරිසිදු වීමෙන් දැනුන සිසිලස පරයන ගින්නකින් තමා දැවෙන්නේය.
” කපිල උඹ කොහෙද?…”
“පහල පොඩි සර් ..”
“ලෑස්ති වෙයන් … එළියටයමු ..”
“කොහෙ යන්නද දැන් .. අටටත් නේ..”
“උඹ කියපු එක කරහංකෝ..”
“ලොකු සර් දැන් තරහෙන් ඉන්න වෙලේ, ඔන්න ඔහේ ඔය ගමන හෙට යමු පොඩි සර් ..”
එහෙත් ඒ වනවිට ඇමතුම විසන්ධිව ගොස් තිබුණි. කපිල කැබ් රිය වෙත ඇවිද ගියේය. චත්‍රගේ කෝපය සහ නොඉවසිලිමත් හැසිරීම් නිසා ඊලඟට සිදුවන සිදුවීම කෙලෙසකින් හෝ වලකා ගත යුතුයැයි කපිල තමාටම අවධාරණය කරගත්තේය.
අයත්මා යහනේ වැතිරුනේ විදුලි පහන් නිවා දමමිනි.
අලුත් ගුරුතුමා පිලිගැනීමෙන් පසු ගුරු හමුවට පසුව ගෙවුණ දින කිහිපය පුරාම තමා මඟ හරිමින් උන් කලණ සර් අද තමා හා ඉතා සමීප සල්ල්ලාපයක් වෙනුවෙන් සූදානමින් සිටිමේ ප්‍රීතිය අයත්මා සිත් පුරා විඳිමින් උන්නාය.
ඔහු ගෙවුණ සතිය පුරාම තමා මඟ හැරීම ගැන අයත්මා උන්නේ සිත් වේදනාවෙනි. විදුහල්පතිතුමා ඇතූළු සියළු දෙනා සමඟම කෙටි සල්ලාපයක හෝ වෙලා සොයා ගත් අලුත් ගුරුතුමාට දින කිහිපයක්ම තමා මඟ හැරීම අයත්මාගේ හිතට ගෙන ආවේ මදිපාඩුවකි.
ඒ නිසාම ඔහු මඟ හැර කල් ගෙවන්නට ඇයද සිතා ගත්තාය. පාසැලෙන් නික්මෙද්දී පවා ඔහු තමා දෙස නොබලාම පිටව යෑම අයත්මා කෝපයක හෙලා තිබුණි. එහෙත් ඔහු අනෙක් සියල්ලන්ටම සමු දෙන්නට අමතක කලේ නැත.
“නුවර කීවට, කොළඹ කාක්කෙක්ද කොහෙද ?”
තුරුණු වියේ විසි ගනන් වල අවසාන භාගයේ උන් අයත්මා, ඒ හැම දිනකම එසේ සිතා ගනිමින් ඔහුගේ පසුපසට රැව්වාය.
“අලුත් සර් නාට්‍ය හා රංගකලාව උපාධිදාරියෙක් .. ඒත් ඉතින් දැනට අපේ පාසලේ නාට්‍ය හා රංගකලාව විෂය තෝරගත්ත එකම ළමයෙක්වත් නෑ..
ඉංග්‍රීසි භාශාවටයි, සිංහල සාහිත්‍ය විෂයටයි ගුරුවරු දෙන්නෙක් ඉල්ලලා ලියුම් ලියලම දැන් අපේ නිලූකා මිස්ට හති..ඕන් ඉතින් බලන්නකෝ කලාපෙන් කල දේ …
අලුත් සර් දුෂ්කර සේවය ඉල්ලලා තිබුනා කියලා අර නුවර පැත්තේ ඉඳන් මෙහෙටම පත්වීම් දීලා…
ඒකත් අපේ අවශ්‍යතාවය ගැන වගේ වගක් නැතුව…
කොහොමින් හරි අලුත් සර් එකඟ වුනා, ඊළඟ අවුරුද්දේ සර්ගේ විෂයට ළමයි එකතු වෙනකල් ඉංග්‍රීසි භාශාවයි , සිංහල සාහිත්‍යයේ කොටස් කිහිපයකුයි කරන්න…ඉතුරු කොටස් ටික පුරුදු විදියට මමම කරනවා …
ඔය විස්තර ටික ඉතින් දැනට ඇතිනේ …”
විදුහල්පතිතුමා අලුත් ගුරුතුමාව හඳුන්වා දුන්නේ එලෙසින් වග අයත්මා මේ සිහි කරන්නේ සියවෙනි වතාවට විය හැක. ඒ දිගු දෑස්, පැත්තට බෙදා සැකසූ කොන්ඩය, පිරුණු කොපුල්, පිළිවෙලට සැකසූ රැවුල, වැලමිට තෙක් නවා හඳින ලා පාට කමිස, අයත්මා තත්පරයෙන් තත්පරය සේ වන උන්මාදයකට හෙලුවාය..
“උපාධිය ඩ්‍රාමා.. ඒ වුනාට ඉංග්‍රීසි උගන්නලා සිංහල සාහිත්‍යත් උගන්නවලූ…පුහ්..”
ඕ යටි සිතින් එලෙස සිතමින් ඔහු පහතට හෙලන්නට සිතූ වාර ගැන සිහි කරමින් ඕ හිනැහුණාය.
“හැටි විතරක් ඉන්න හැටි හිනා කඳුලක් නැතුව. පුස් නාම්බෙක්.”
අයත්මා ට කෝපය දැනුනේම ඔහු තමා මඟ හැර උන් එකටය. අඩුම තරමේ සිනහවක් දෙන්නට බැරි කමක් නැතැයි තමා කී වතාවක් නම් සිතුවේද?
සියල්ල වෙනස් වූයේ එක් පැයක් තුළය. විදුහල්පතිතුමා අද උදෑසන තමා කාර්යාලයට කැඳවා තිබුණි. අලුත් ගුරුතුමාට නවාතැන් ගැටලුවක් ඇති වී ඇති බැවින් අයත්මාගේ මාමාගේ නිවසේ නවාතැන් සකසා ගැනීමට ඇති හැකියාව පිළිබඳව විමසන්නයැයි ඉල්ලා උන්නේය. තමා ඒ මොහොතේම මාමාට ඇමතුමක් ගත්තේ කුස පුරා සමනල්ලු ඉගිලෙද්දී වග අයත්මාට මතකය. මාමා වහා එකඟව , අලුත් ගුරුතුමාට උඩු මහලේ කාමරයක් වෙන් කර දෙන්නට පොරොන්දු වූ පසු, අලුත් සර් දෙස නොබලාම තමා ඒ පිළිබඳව විදුහල්පතිතුමාට පවසා, මාමාගේ දුරකතන අංකයද ලබාදී, පන්තියට ප්‍රමාද වන වග පවසා පිටව ආ බව ඇය සිහි කලේ යම් කිතියකිනි.
“එහෙ කිසි ප්‍රශනය්ක් නෑ කලණ සර් .. මීට කලින් මෙහෙ ආව විද්‍යා පීට සර්ලා දෙන්නෙක්ම එහෙ නැවතිලා හිටියා… එහෙ ඉන්නේත් ඕලෙවල් කරන පුතෙක් .. ආයේ අයත්මාගේ නැන්දයි මාමයි ඉන්නේ..”’
විදුහල්පතිතුමා එලෙස පවසනුද අයත්මාට අසුණි. ඕ සිතින් විදුහල්පතිතුමා ට පින් දුන්නාය.
| අපේක්ෂා ගුණරත්න |