ඔබේ මනස සන්සුන් නැද්ද ? පීඩාකාරීද ? මනස සන්සුන් කරන සාර්ථක ක්‍රම 

අද පවතින උද්ධමනයත් එක්ක දිනෙන් දින ඉහළ යන ආර්ථික ගැටළු, සෞඛ්‍ය ගැටළු, අයහපත් කාළගුණික දේශගුණික විපර්‍යාසයන්, අධ්‍යාපන කටයුතු, කාර්‍යාලීය කටයුතු, දරුවන්ගේ ගැටළු මේ හැමදේම එක්ක පීඩාවට පත්වෙන ඔබේ මනස නිතරම නොසන්සුන් වෙන එක පුදුමයක් නෙමෙයි. 

ඒත් මේ හැමදේම එක්ක වුනත් ඔබ ඔබේ මානසික මට්ටම යහපත්ව පවත්වා ගන්න උත්සහ කිරීම අනිවාර්‍ය කාරණාවක් . 

ඒ මොකද, අපේ ශරීර සෞඛ්‍ය යහපත්ව තියාගන්න කායික සෞඛ්‍ය වගේම මානසික සෞඛ්‍යත් ඍජුවම බලපාන නිසයි. 

ආදරණීය ඔබේ ශාරීරික සෞඛ්‍ය ගැන වගේම මානසික සෞඛ්‍ය ගැනත් අපි නිතරම කතාබහ කරනව කියල smart lady අපේ ලිපි කියවන ඔබ හොඳින්ම දන්නවනේ. 

ඉතිං ඒ විදිහට අපි අද කතා කරන්න සූදානම් වෙන්නෙ නොසන්සුන් මනස සන්සුන් කරගන්න අනුගමනය කරන්න පුළුවන් හරිම සරල ක්‍රියාමාර්ග කීපයක් ගැනයි. 

එහෙනම් අපි බලමු ඒ මොනවද කියල ?

ස්වසන අභ්‍යාස

ස්වසන අභ්‍යාස කියන්නේ ඔබේ නොසන්සුන් මනස සන්සුන් කරන්න ඕනෑම වේලාවක ඕනෑම තැනක ඉඳල කරන්න පුළුවන් හරිම සරල සහ ප්‍රතිඵලදායක ක්‍රියාකාරකමක්. 

ඒත්, නිහඬ සහ ආරක්ෂිත ස්ථානයක ස්වසන අභ්‍යාස කරන්න පුළුවන් නම් එයින් ඔබට ලැබෙන ප්‍රතිඵල වැඩිබවත් අපි මතක් කරන්න කැමතියි. 

මුලින්ම, ඔබ තෝරාගන්න ස්ථානයේ (ඇඳක්, පුටුවක් හෝ බිම වෙන්න පුළුවන්)වැතිරිලා එහෙම නැත්තන් වාඩිවෙලා ඔබේ දෑත් බඩ මත තබාගන්න ඕන. 

ඊළඟට, අංක 3 දක්වා හිතින් ගණන් කරමින් ගැඹුරු හුස්මක් ගන්නත් නැවත අංක 3 දක්වා ගණන් කරමින් හුස්ම පිටකරන්නත් ඕන. 

මේ විදිහට වාර 05 ක් හෝ ඔබේ මනස සන්සුන් වෙනතුරු ස්වසන අහ්‍යාස කරන්න ඔබට පුළුවන්. 

බඩට හුස්ම පුරවගෙන ඔබේ පෙණහලු හුස්ම වලින් පිරෙන විදිහ හුස්ම නිදහස් වෙන විදිහ විඳින්න ඔබට පුළුවන්. 

ශාරිරක පීඩනය මුදාහරින්න

අපි මානසිකව පීඩාවට පත්වෙලා ඉන්න අවස්ථාවල් වලදී ඒ පීඩනය අපේ ශරීරයෙන් දැනෙන අවස්ථාත් තියෙනව. 

මානසික පීඩනය වගේම ශාරීරක පීඩනය මුදාහැරීමත් සන්සුන් මනසක් ඇති කරගන්න හොඳ උදව්වක්. 

මේ සඳහා මුලින්ම ඔබ, සමතලා බිමක මුහුණ උඩට සිටින සේ අතපය හොඳින් දිගහැර වැතිර ගන්න ඕන.

ඊලඟට ඔබේ ශරීරයේ කොටසෙන් කොටසේ මාංශපේෂි තද කරමින් ලිහිල් කිරීමයි සිදුකළ යුත්තේ. 

මුලින්ම මුහුණේ මාංශපේෂි වලින් පටන්ගෙන කකුලේ මාංශපේෂි දක්වා කරගෙන යාම වැඩි ප්‍රතිඵලදායක බව තමයි බොහෝ දෙනෙක් පවසන්නේ. 

සෙමින් මාංශපේෂි තදකර සෙමින් ලිහිල් කරන්නත් වැඩිපුර මාංශපේෂි තද නොකර ඉන්නත් ඔබ කල්පනාකාරී විය යුතුමයි. 

ඔබේ සිතුවිලි ලියන්න

දිනපොතක් පවත්වාගෙන යාම කොතරම් වැදගත්ද කියල smart lady අපේ සමූහයේ පළවූ ලිපිය ඔබට මතක ඇති. https://smartlady.lk/article/30143/why-do-you-need-to-use-a-diary/

එහි සඳහන් වුන විදිහටම කෙටියෙන් හෝ ඔබ දෑන් ඉන්න, ඔබ මුහුණදෙන තත්වය ගැන සටහන් කිරීම ඔබේ මානසික වියවුල් අඩුකර මනස සන්සුන් කරන්න තවත් හොඳ ක්‍රමයක්. 

ඔබ සටහන් කරන දේවල් 100% ක් නිවැරැදි හෝ ධනාත්මක වියයුතු නෑ කියලත් අපි ඔබට මතක් කරන්න කැමතියි.

අවශ්‍ය වන්නේ සටහන් කිරීම පමණයි. 

ඔබ කැමතිම තැන

මේ ලෝකයේ ඔබ වඩාත් ප්‍රියකරන ස්ථානය මොකක්ද ? 

අපි හිතමු ඒ ඔබේ පුංචි කාමරය කියල. 

ඔබේ කාමරයේ බඩු භාණ්ඩ තියෙන විදිහ, ජනේලෙන් පේන දර්ශනය, කාමරයට හුළං එද්දී ඔබට දැනෙන හැඟීම්, ඔබ කාමරයේ ඉද්දී ඔබට ඇහෙන හුරුපුරුදු සද්ද ඔබට මතකයි නේද? 

හොඳයි එහෙනම් ඊළඟට, මනස නොසන්සුන් වුන වෙලාවක ඇස් දෙක පියාගෙන ඔබේ කාමරය හෝ ඔබේ සුවපහසු ස්ථානය හිතින් මවාගෙන අපි කලින් සඳහන් කරපු දේවල් ගැන නැවත මතක් කිරීම කරන්න පුළුවන් නම් එයත් මනස සන්සුන් කරගන්න හොඳ විදිහක්. 

පරිසරය සමඟ බැදෙන්න

පරිසරය සමඟ ගතකරන විනාඩි කීපෙකට ඔබව සන්සුන් කරන්න පුළුවන් කියල ඔබ දැනන් හිටියද? 

ඔබ නොසන්සුන් බව හැඟුනොත් පිටත පරිසරයේ විනාඩි කීපයක් ඇවිදින්න හෝ පරිසරය විඳිමින් විනාඩි කීපයක් වාඩිවී හිඳින්න ඔබට පුළුවන්. 

හිතන්නකෝ ඔබ ඉවතට යන්න අපහසු කාර්‍යාලයක රැකියාවක් කරන කෙනෙක් කියල. 

එහෙමනම්, කොළ පාට පින්තූරයක් ඔබේ ජංගම දුරකථනයේ එහෙමත් නැත්තන් පරිඝනක තිරයේ නිතර දර්ශනය වෙන විදිහට සකසා ගන්න වුනත් පුළුවන්. 

මනස සන්සුන් කිරීම අවශ්‍ය වෙන්නෙ වැඩිහිටියන්ට විතරක් නෙමෙයි. අද වෙද්දී කුඩා දරුවන්ගේ මනස සන්සුන් කිරීමේ අවශ්‍යතාවයත් ඉතාම තදින් තිබෙන බව අපි නිතරම අහන දකින දේවල් වලින් අපිට තේරුම් ගන්න පුළුවන් වෙලා තියෙනව. 

මේ අභ්‍යාස කුඩා දරුවො එක්ක එකතු වෙලා කරන්න වුනත් ඔබට පුළුවන්. 

නමුත් එයින් ප්‍රතිඵලයක් නැත්නම් කුඩා දරුවන් සහ ඔබ සුදුසුකම්ලත් වෛද්‍යවරයෙක් හමුවෙලා ඒ සම්බන්ධව උපදෙස් ලබා ගැනීම ඉතාම වැදගත් කියලත් අපි ඔබට ආදරෙන් මතක් කරන්න කැමතියි. 

එහෙනම්, මෙවැනිම වැදගත් ලිපියකින් අපි නැවත හමුවෙමු. 

සටහන – දුලානි නවෝද්‍යා 

Related Articles

Don't Miss


Latest Articles