ආකාස මෝස්තර – 4

පාරුල් දෙව්රූ ඇල්ලගේ, මව් පාර්ශවයෙන් උරුම වූ ලොන්ඩරිවත්තේ ගෙවල් පේළියෙහි ගෙදර සිමෙන්ති පඩිය මතට නැගගත්තා ය. හැරී බලත්දී ඇගේ ඇස් වලට මුහුණු රැසක් හසු විය. අව්වට කර වූ, දරිද්‍රතාවයෙන් හැකිළුණු මුහුණු! පරම්පරා ගණනක් තිස්සේ අනුන්ගේ කුණු සේදූ – ඒ කුණු වැදුණු සමාජයෙන් කිසි දා කිසිදු සාධාරණයක් නො ලැබූ මුහුණු! ඒ හැම නෙතක් ම ඇය දෙස විශ්මිතව දැල්වීගෙන තිබිණ. තවමත් පෙඟුණු පාද ඇතිව සිටි චන්දුල, අඩියක් දෙකක් පෙරට තැබුවේ ය. ඔහු ගේ හදවත හරහා කම්පන තරංගයක් නො දන්නා සංඛ්‍යාතයකින් පැතිර ගියේ ය. ඔහු පාරුල් දෙස වඩා හොඳින් බැලුවේ ඇගේ ඉරියව්වෙහි වෙනසක් දැනුණා වූ බැවිනි. ඇගේ මුහුණට ලේ පුරා රතු වී තිබිණ.

“අනේ මේ වත්තෙ ඉන්නෙ හරි අහිංසක දුප්පත් මිනිස්සු”

පාරුල් හඬ අවදි කළා ය. ඒ හඬ පිට වූයේ උගුර යටින් අසීරුවෙන් සේ ඇයට දැනිණ. චන්දුල අතින් මුව වසාගත්තේ ය. ඇය මේ කරන්නට අරාඳින්නේ කුමක් ද?

“අවුරුදු සීයකට වැඩි කාලයක් තිස්සෙ මේ මිනිස්සු මේ නරා වළේ දුක් විඳිනව. කාලෙන් කාලට සැරෙන් සැරේට එක එක පාට මිනිස්සු ඇවිත් මේ අසරණයන්ට එක එක පාට හීන පෙන්නල යනව. මේ මිනිස්සුත් ඒ කවුරුහරි කෙනෙක් තමංගෙ කළුසුදු හීන පාට කරයි කියන බලාපොරොත්තුවෙන් ගිහින් කතිරෙ ගහල එනව. මාරුවෙන් මාරුවට එක එක පාටට. ඒ අය කාලෙං කාලට මේ නූගත් අහිංසකයන්ගෙ කරපිටින් පාර්ලිමේන්තු ගිහිං මේ මිනිස්සුන්ව අමතකම කරල දානව. ආයෙ මතක් වෙන්නෙ ඉලෙක්ශන් කාලෙට. මං වැඳල කියන්නං…”

පාරුල් සිය දෑත් පපුව මත අංජලීකරණීය කොටගත්තා ය. ඈ පිටුපසින් උන් උමා යෙහෙළියගේ අත් බාහුවෙන් ඇල්ලුවා ය. යමක් කියාගන්නට උමා ට උවමනා වුණත් ඇය ඊට සමත් වූයේ නැත. නමුත් ඇගේ කරලකට ගෙතූ වරලෙහි ගැවසූ පිච්ච මල් වල සුවඳ ඒ මොහොතේ පාරුල් ට දැනී නො දැනී ගියේ ය.

“හීන නොපෙන්නුවට කමක් නෑ. ජනතාවගෙ අවශ්‍යතා වෙනුවෙන් නියෝජිතයො හැටියට පාර්ලිමේන්තු යන ඔබතුමාල අඩුගානෙ මේ මිනිස්සුන්ගෙ මූලික අවශ්‍යතා ටිකවත් ඉෂ්ට කරල දෙනවනං ලොකු දෙයක්. මේ ගෙවල් අවුරුදු සීයකට වැඩිය පරණයි. මෙතන ඉන්න මිනිස්සු මෙතනට ආවෙ ඉංග්‍රීසි හමුදාවෙ යුනිෆෝම් හෝදන්න. තාමත් ඒ මිනිස්සු එතනමයි. මේ ගෙවල් කොයි මොහොතෙ කඩං වැටෙයිද කියන්න බෑ. වැස්ස කාලෙට ගේ ඇතුළෙ අඩිය තියන්න බෑ තෙතයි. උල්දිය උනනව. මේ සිංහල උළු හෙවිල්ලපු වහල වල නොතෙමෙන තැනක් නෑ. වැස්සට ටොයිලට් වළවල් උතුරනව. කාණු නිසා මදුරු වසංගතේ. ඩෙංගු බෝවෙනව. මේ මිනිස්සු වැඩි දෙනෙක්ට හරිහමං අධ්‍යාපනයක් ලැබිල නෑ. නිදහස් අධ්‍යාපනේ කියල දෙයක් තියනව තමයි. ඒ වෙනුවෙන් මං මගෙ අත් දෙක එකතුකරල වඳින්න ඕනෙ ඒකට මුල්වෙච්ච අයට. ඒත් මේ මිනිස්සුන්ට හරිහමං අධ්‍යාපනයක් නෑ. මේ ඇබිත්තං ගෙයක් ඇතුළෙ සමහර විට පවුල් හත අටක් ඉන්නව. රෑට නිදියද්දි හුස්ම ගන්න ඔක්සිජන් පොදක් ඇතුළෙ තියෙනවද කියල හිතාගන්න බෑ. ඒක නිසා හරියට බෝවෙන ලෙඩ. මිනිස්සු ඒ ගැන දැනුවත් නෑ. දැනුවත් කළත් එක අතකට ඒ මිනිස්සුන්ට කරකියාගන්න දෙයක් නෑ. ඒක නිසා ඔබතුමාලට පුළුවන්නං අන්න ඒ මූලික අවශ්‍යතා ටික විසඳල මේ මිනිස්සුන්ගෙ ජීවිත ගොඩදාල දෙන්න බලන්න. දැන්වත් මේ මිනිස්සුන්ගෙ ඡන්ද වලින් ගොඩ යන්න හිතන එක නවත්තන්න. ප්ලීස්…”

ඇය ඒ අන්තිම ටික කියත්දී ඇගේ ඇස් නතර වී තිබුණේ ගඟුල් විජයවීර ගේ මුහුණ මත ය. ඔහු සිටියේ ඇයට අඩි තුන හතරක් ඈතිනි. තරුණයා ඇගේ මුහුණ දෙස ම බලා සිටියේ ය. තරුණිය කතා කළේ ව්‍යක්ත ලෙසයි. ඇයට පිරුණු පියකරු මුහුණක් තිබේ. ආවේගශීලී මන්දස්මිතයකින් යුතුව කියවාගෙන ගියාට අත්‍යන්ත වූ වේදනාවකින් ඇය පෙළෙමින් සිටියා ය. ඒ වූ කලී තමන් වෙනුවෙන් පමණක් හදවත කකියවූ වේදනාවක් නොවේ. නමුත් පෙර කිසි දාක ඉස්මතු නොවූ ධෛර්යයක් මේ මොහොතේ පාරුල් ට දැනෙමින් තිබිණ.

වත්තට ආ වෙලාවේ සිට දකින්නට ලැබුණ සියල්ලන්ට වඩා ඇය වෙනස් යයි ගඟුල් ට සිතිණ. ඇගේ පෙනුම පවා වත්තේ අනිත් මිනිසුන් ගේ වාගේ නොවේ. ඒ ඇස් දීප්තිමත් ය. බැල්ම එඩිතර ය. නමුත් ඇය සන්සුන් ය.

කතා කොට අවසානයේ පාරුල් සිනහවකින් ගෙතුළට හැරුණා ය. ජුලී හිටියේ තැතිගෙනයි. නමුත් රිදී ගේ මුහුණේ මඳහසක් විය. පාරුල් ඉපදෙන්නටත් කලින් ඈ නැරඹූ චිත්‍රපටයෙහි කුළහීන තරුණිය වාගේ ඇගේ දියණිය ද සිය පැළැන්තියේ මිනිසුන් වෙනුවෙන් හඬක් නැගුවා ය. රිදී ගේ උගුර රිදෙමින් ද ඇස් කෙවෙමින් ද තිබිණ. චන්දුල මුහුණ පහළට හරවා අතැඟිලි තුඩින් ඇස් මුල තෙරපාගත්තේ ය.

“කවුද ඒ…”

සුරත් ඇස් කුඩා කොට යටපත් කළ නො හැකි විශ්මයකින් ජුලී විමසුවේ ය.

“මගෙ මිණිපිරී. දොස්තර නෝන කෙනෙක් වෙන්න ඉගෙනගන්නව වයිද්ද විද්යාලෙ”

සුරත් ගේ මුහුණ මඳක් හැකිළිණ. කිසියම් පසුබෑමක් ඔහු ට දැනුණා විය යුතු ය.

“එහෙනං වත්තෙං දොස්තරලත් එළියට එන්න යන්නෙ නේ… හොඳයි හොඳයි. එ්කට මොකෝ පාලකයො නරකයිලු”

හෙතෙම ආයාසයෙන් කට කොන් සිනහවක් නගා ගත්තේ ය. තවත් ටික වෙලාවක් හෝ පමා නොවී සුරත් ඇතුළු පිරිස වත්තෙන් ලිස්සා ගියහ.

එදා ලොන්ඩරි වත්තට විශේෂ දවසක් වූයේ ය. දේශපාලකයෙකු ඉදිරියේ, හඬක් නැති තමන් වෙනුවෙන් හඬක් නැගූ කෙල්ලක වත්තෙන් ම බිහි ව සිටීම කාට කාටත් ආඩම්බරයක් දනවන ලදී. හැම ගෙදරක ම හැම පිලක ම හැම හන්දියක ම කතා වූයේ පාරුල් ගැන ය. ඇගේ අභීත හඬ නැගීම ගැන ය. ඇතැම් කුස්සියක ඉදුණු මාළුවක් ව්‍යාංජනයක් තෝසේ එකක් වඩේ එකක් දීසියකින් රිදී ගේ ගෙදරට ආවේ ය. ඔවුන් සතුට බෙදා හදා ගන්නා අහිංසක ක්‍රම ඒවා ය.

ලොන්ඩරි වත්තට ඉස්මත්තෙන් සඳ පායා ආවේ ය. තඹ පාට සඳපාන අබලන් සිංහල උළු වහල මත ද කුඩා වැලි මිදුල් මත ද තැවරී සෙවනැලි රටා මැව්වේ ය. අඹ ගහ යට තනා තිබූ ලෑලි බංකුව මත හිඳ පාරුල් දෙව්රූ ඇල්ලගේ සඳ දියෙහි දෝවනය වෙමින් සිටියා ය. ඇගේ මුවග පේන නො පෙනෙන සිනහවක් සරැලි නගයි. දණහිස ළඟින් නවා කකුලක් ද බංකුව මතට ගෙන ඕ එහි නිකට තබාගෙන ඔහේ බලා සිටියා ය. දොරකඩ බිත්තිය අයිනට වන්නට වැවුණු මැජෙන්ටා වර්ණැති මල් පිපෙන බෝගන්විලා වැල මත රෝස පාට රෙද්දක් එලා ඇතිවා මෙනි. හැමදාමත් එය වියනක් සේ මල් දරයි. එහි කඳ මහත් ය. අරටුවක් සේ දැඩි ය. එය සිටවූයේ කවදා කවුරුන්දැයි පාරුල් දන්නේ නැත. මීට පෙර එහෙව් පැනයක් ඇගේ සිත්හි නැගී ද නැත. කවුරුන් වුණත් ඒ මේ ගෙදර දිවි ගෙවූ  සිය පරම්පරාවේ ම මුතුන් මිත්තෙකු විය යුතු ය. ලෑලි දොරෙහි ගැල්වූ කොළපාට තීන්තයෙහි තැන් තැන් පතුරු ගැලවී ගොසිනි. ඒ යටින් ඊට කලින් ගල්වන ලද නිල් පැහැයක් පෙනේ. ඇතැම් තැනෙක කිළිටි ගැසුණු සුදු පාටක් ද දැකිය හැක. වහිනා කාලයට වහළවල් මත බැඳුණු දිය සෙවල දීප්තිමත් කොළ පැහැයකින් බබලයි. තෙත් බැසි සිමෙන්ති පොළොවේ සමහර තැන් කැඩී ගිය හා ඒවාට පැලැස්තර දැමූ කැළැල් ය. පාරුල් සිය ජීවිත වල ඒ අසිරිමත් පැල්ලම් අතරෙහි සරමින් හුදෙකලාවේ සිටියා ය.

“නංගි”

කියාගෙන චන්දුල ඈ ළඟින් ඇවිත් වාඩි වූයේ ය. ඔහු හැඳ උන් පිජාමා සරමෙන් අලුත් රෙදි සුවඳක් හැමුවේ ය. පාරුල් ට ඒ නංගී කියන වචනය එතරම් හුරු නැත. ඈ කටපුරා අයියා කීවාට චන්දුල වැඩිපුර ඈ අමතන්නේ නම කියා ය.

“මට තමුසෙ ගැන ආඩම්බරයි ඕයි”

ඔහු සිය ලොකු අතක් ඇගේ හිස මත තැබුවේ ඉහ වහා ගිය පීතෘ ස්නේහයෙනි. පොඩි කාලේ සිට ඔහු ඇය බලා කියාගත්තේ තාත්තා කෙනෙකු ගේ සෙනෙහසින් බව නො රහසකි.

“ඒ වුණාට වත්තට ඉල්ලීම් දිනාගන්න නෙවෙයි ඕනෙ. පුළුවන් තරං ඉක්මනින් තමුසෙ මේ වත්තෙන් තොලොංචි වෙලා යන්නයි ඕනෙ. දෙයියනේ කියල ඒකට පාර හැදිලනෙ තියෙන්නෙ. එතන ඉඳං අලුත් ජිවිතයක් හදාගන්නව මිසක් ආයෙ මේ පැත්ත හැරිලවත් බලන්න ඕන නෑ”

“අයි…යෙ…”

පාරුල් ගේ ස්වරය නෝක්කාඩුවක් වූයේ ය. චන්දුල ඉවත බලාගෙන සුසුමක් හෙළුවේ ය. අහල පහල ගෙවල් ඇතුළෙන් එකවර පිරිස කතාකරන ඝෝෂාව ද ඒ හඬවල් යටපත් කරගෙන ගුවන් විදුලියක දමිළ ගීතයක් හෝ රූපවාහිනියක ඉලෙක්ට්‍රෝනික හඬක් නැගී එයි. වත්තේ රාත්‍රිය එබඳු ය. දවල් දවසේ අව් ගින්නෙහි දැවෙනා, කෝස්ටික් වතුරෙහි පෙඟෙනා මිනිසුන් ජීවිතයට සුවයක් මිහිරක් සොයන්නේ එවන් සරල ලාබ ක්‍රම වලට ය.

“මීට ටික කාලෙකට කලින් මටත් මේ වත්ත ලැජ්ජාවක් වුණා තමයි අයියෙ. අඩුගානෙ ඉස්කෝලෙ ළමයෙකුට මං දැනෙන්නවත් තියල නෑ අපි රෙදි හෝදන මිනිස්සු කියල. ඒත් දැං මං මේ වත්තටයි ඒකෙ මිනිස්සුන්ටයි හරි ආදරෙයි. මගෙ වැඩේ කරගෙන හැංගිලා යන්න නෙවෙයි අයියෙ මට ඕනෙ. මේ අහිංසක අසරණ මිනිස්සුංව මෙතනිං එක අඩියක්හරි උඩට ගන්න පුළුවන් දෙයක් කරන්නයි ඕනෙ”

“මෙයාට චන්දෙ ඉල්ලන්නවත් හිතිලද…”

චන්දුල අඩ සිනහවකින් විහිළුවක් කළේ ය.

“මිනිස්සුන්ට වැඩ කරන්න කියල ඡන්දෙ ඉල්ලන්න එන මිනිස්සු අන්තිමට වැඩක් කරගන්නෙ තමන්ටයි තමන්ගෙ පවුල් වලටයි විතරයිනෙ අයියෙ. මිනිස්සුන්ට වැඩක් කරන්නනං පාලිමන්ට් යන්නම ඕන නෑ”

දැන් දැන් පාරුල් කතා කරන ඇතැම් දේවල් ඔහු ට වටහාගත නො හැකි සෙයක් චන්දුල ට දැනෙමින් තිබිණ.

ඒ වෙලාවේ සුරත් විජයවීර හිටියේ වෙඩි කෑ ඌරෙකු සේ නො සන්සුන්ව ය. ඔහු ආලින්දයේ ඒ මේ අත ඉක්මන් සක්මන් කළේ ය. නිර්ධා හා ගඟුල් විජයවීරවරු සුවැති අසුන්වලට වී මහ විජයවීරගේ විප්‍රකාරය දෙස බලාගෙන සිටියහ.

“ඔය කොළඹ මුඩුක්කු වලිං එකෙක් ඉස්සරහට එනව කියන්නෙ අපිට බඩේපාර වදිනව කියන එක. දොස්තර වෙන්න ඉගෙනගන්නවලු. නිදහස් අධ්‍යාපනේ කියන්නෙ හෙණයක් කියල මං කියන්නෙ ඕකනෙ. රෙදි අපුල්ලන එවුන්ට රෙදි අපුල්ලගෙන ඉන්න අරින්නෙ නැතුව දොස්තරල කරන්න යනව. දැක්කද ඒකි කතාකරපු හැටි… දැක්කද ගඟුල්… හරියට ස්ටේජ් එකකට නැගල කතාකරනව වගේ. අනිත් එවුං කට බලියගෙන බලං හිටියෙ. ඊළඟපාර ඕකුං එකතුවෙලා ඔය කෙල්ලව ඉලෙක්ශන් එකට එවන්න පුළුවං උන් වෙනුවෙන්”

“ඉතිං මොකද… අනික සුරත් මං ඉගෙනගත්තෙත් නිදහස් අධ්‍යාපනේ නිසා. මං ඩොක්ට කෙනෙක් වුණෙත් ඒ නිසා. ඉතිං ඒ ළමයට ඒ වරප්‍රසාදෙ ලැබුණ එකේ වරද මොකද්ද…අනික මේක වංශ කබල්ගාන කෝපි කාලයක් නෙවෙයි. ඕගොල්ලො වගේ අය රට පාලනය කරනකල් මේක සංවර්ධනය වෙමින් පවතින රටක් විතරයි. කවදාවත් සංවර්ධිත රටක් වෙන්නෑ”

“තේරෙයි ඉක්මනටම අපිට කෙළවෙනකොට”

සුරත් කේන්තියෙන් දත්මිටි කෑවේ ය. නිර්ධා නිකටෙහි අතක් තබාගත්තා ය. සුරත් වූ කලී යමක් කියා අවබෝධ කළ නො හැකි මිනිසෙකු බව ඇය දනී.

“මේ ගොන්තඩියට මං මුල ඉඳන්ම කිව්ව මේක තමයි නිවන් යන්න හොඳම පාර ඒකට ටිකක් ඉගෙනගනිං කියල. මේකට ඉල්ලන ගමන් මුන්දැට දැංවත් බැරිද ඔය මොකක්හරි ප්‍රයිවට් යුනිවසිටි එකක් අල්ලල එල් එල් බී කරන්න. දැං කාලෙ මිනිස්සු චන්දෙ දෙද්දි උගත්කම බලනව. මොනාද තියන ඩිග්‍රි කියල බලනව. මං අමාරුවෙන් අතට ගත්ත බැට්ල් එක ලේසියෙං අරං දුවන්නයි දැං මේ හරක් පැටියට තියෙන්නෙ. පිස්සු කෙළ කෙළ හිටිය කියල මුකුත් වෙන්නෑ ගඟුල්. මං එච්චරයි කියන්නෙ”

සුරත් දමා ගසා මතු මහලට යන පියගැටපෙළ නැග ගියේ ය. ඔහු යනතුරු බලාසිටි නිර්ධා ගඟුල් ගේ මුහුණ දෙස බැලුවා ය.

“චන්ද ඉල්ලිල්ලක් කොහොම වුණත් ඔයා තවටිකක් ඉගෙනගන්නවටනං මං කැමතියි. මොකද ඉගෙනගත්ත දෙයක් අපිට අමතර වටිනකමක් එකතුකරනව”

වෙනදා සේ “අයියෝ මට ආයෙත් පොත් ගොඩකට යටවෙන්නනං ඕන නෑ අම්මෙ” කියමින් ගඟුල් මුරණ්ඩු වූයේ නැත. ඔහු ගේ හිතේ ඇය හොල්මන් කරමින් සිටියා ය. ඒ තියුණු දීප්තිමත් ඇස් බැල්ම ඔහු අඩපණ කරමින් තිබේ. ඒ මුවහත් ස්වරය ඔහු තුළ පිළිරැව් දෙමින් තිබේ. වෙන්නට යන්නේ කුමක්දැයි ගඟුල් දැන සිටියේ නැත. නමුත් තවත් වතාවක් ඇය දැකිය යුතු බවට ඔහු ගේ මුරණ්ඩු පිරිමි හිත අරගලයක් කරමින් හිඳිනා බවක් ගඟුල් ට දැනී නො දැනී යමින් තිබිණ.

💙කතාව ගැන ඔයාලගෙ හැඟීම් මට දැනගන්න ඉතිරිකරල යන්න. ඒ හැම අදහසක්, හදවත් සලකුණක්, ඇඟිලි සලකුණක් ම මහ හුඟක් වටිනවා.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles