“ඔයා කොහෙන්ද ආවෙ, ඔයා කාගෙ කවුද කියන එක ඔයාට ආදරේ කරන්න මට ප්‍රශ්නයක් නෙවෙයි නදී” කියා මියුරු කිව්වේ ඊටපස්සෙන්දා සෙනසුරාදා දවසේ නදී එක්ක කතාකරන්නත් රවුමක් දාන්නත් හිතාගෙන කාර් එකේ හයි වේ එකේ ගාල්ලට යන අතරවාරයේය.
කලින්දා රැයේ නදී විසින් කියන්නට යෙදුන කතාව තමන්ට දිනන්නට අපහසු ගේම් එකක් බව දැන උන්නත් කෙල්ලෙක් ඉපදිච්ච තැන ඒ කෙල්ල රැඳිය යුතු තැන තීරණය කරන්න හේතුවක් වන්නම ඕන ද කියා මියුරු මුලු රාත්‍රිය පුරාම අවදි වී හිතුවේය. නදී ජීවත් වෙනවා යැයි කියන ප්‍රදේශය කියන්නෙ කවදාවත් තමන් වගේ කෙනෙක්ට පෑහෙන්න බැරි තැනක් බවත්, තමන් වගේ කෙනෙක්ට පැලවෙන්න බැරි තැනක් බවත් දන්නවා උනත් තමන්ට නදීව හිතෙන් ගලවන එක එතන ගොස් පැලවෙනවට වඩා අමාරු බව මියුරු දනී.
“ඒ උනාට එකට ජීවත්වෙන්න, දෙන්නෙක්ට එකතුවෙන්න ආදරේ කියන එකම විතරක් මදි සර්. අපි කොච්චර ඔය පොත්වල ෆිල්ම්වල රොමෑන්ටික් කතා කියෙව්වට ඇහුවට ඇත්ත ජීවිතේදි ඒව කරන එක කොච්චර අමාරුද කියල දන්නෙ එහෙම දෙයක් වෙච්ච කෙනෙක්ම විතරයි”
“ඒක ඇත්ත වෙන්නැති නදී. ඒ උනාට මං ඔයාට ආදරේ කරේ කිසිම හේතුවක් උඩ ඔයාව අතාරින්න හිතාගෙන නෙවෙයි. මං මේ එහෙම රොමෑන්ටික් කොල්ලෙක්වත්, එහෙම ගහ මරාගන්න පුලුවන් ජාතියෙ කොල්ලෙක්වත් නෙවෙයි. හැබැයි මට පුලුවන් ප්‍රශ්නයක් උනොත් ඒක විසඳගන්න පුලුවන් විදියෙ තීරණේකට එන්න. ඒ නිසා මම අපේ ගෙදර අය එක්කවත් ඔයාලගෙ ගෙදර අය එක්කවත් වලි දාගෙන, අර කතා වල ඉන්නව වගේ බම්බු ගහගන්න කියල සද්ද දාල එන මිනිහෙක් වෙයි කියල හිතන්න එපා.
මම පිස්සු නටන බව ඇත්ත. හැබැයි මම ඒ වගේ දේවල් නම් කරන කෙනෙක් නෙවෙයි. මම අපේ ගෙදර එක්කයි, ඔයා ඔයාලගෙ ගෙදර එක්කයි කතා කරල බලන්න”
“අපිට කතා කරන්න පුලුවන්. ඒ උනාට කවදාවත් ඕක වෙන්නෙ නෑ. ඒ නිසා නොවෙන දෙයක් වෙනුවෙන් දුක් මහන්සි වෙන එක අපරාදෙ”
“අපරාදෙ නෑ නදී. අපරාදයක් නෑ. අපරාදයක් වෙන්නෙ මම හිත අස්සෙ ආදරේ හංගගෙන ඉඳලා ඒක අයිති කරගන්න ෆයිට් කරන්නෙ නැතුව උන්නොත් තමයි. එහෙම උනොත් තමා මුලු ජීවිත කාලෙම මට පසුතැවෙන්න වෙන්නෙ අපරාදෙ කියලා. ඊට වඩා මං කැමති මේ දේ වෙනවනම් ඒක මගෙ විදියට වෙනවට”
“ඒ උනාට අන්තිමේ…” මියුරු නදීට කතාව ඉවරකරන්න ඉඩක් දුන්නේ නැත. නදී ඉන්නේ මේ හැම දෙයක් ගැනම බයෙන් බව මියුරුට රහසක් නොවේ. එක් පැත්තකින් නදී බය වෙන එක සාධාරණ කතාවකි. නොපෑහෙන තැන් දෙකක දෙන්නෙක් ආදරේ කරන්න පෙළඹීම එක්තරා විදියකින් මල පිස්සුවකි. ඒ උනාට ආදරේ කියන්නෙ එහෙම ලේසියෙන් අතැර දාන්න පුලුවන් දෙයක්ද නොවේ.
“ඒ මොක උනත් අන්තිමේ ඔයා මටත් මම ඔයාටත් කැමති නම් අපි දෙන්න කවදාවත් වෙන් වෙන්නෙ නෑ නදී. අපි පොඩි ළමයි නෙවෙයිනෙ. දෙපැත්තෙ කවුරු අකමැති උනත් අපි දෙන්නට දෙන්න ගිහිල්ල බඳින්නත්, අපිට තැනක් අරගෙන එකට ජීවත් වෙන්නත් පුලුවන්. ඒ නිසා ඔයා නෙගටිව් විදියට හිතන්න යන්න එපා. පොසිටිව් විදියට අර සුරංගනා කතාවල වගේ අපේ කතාව එන්ඩ් එකකට ඒවි කියල මං ඔයාට බොරු හෝප්ස් දෙන්නෙ නැ.
බට්, අපි දෙන්නම උපරිම ඒ වෙනුවෙන් වැඩ කරමු” කාර් එක අධිවේගී පාරේ හසුරුවන ගමන්ම එකාතකින් උකුල මත තිබූ නදීගේ අත අල්ලාගෙනම මියුරු කිව්වේ “ආයෙ අපි මේ ගැන කතා කරන්න ඕන නෑ” කියන එක නොකියා කියමින් ය.
“ඒත් කෙල්ලෙක්ට ඔහොම දෙයක් උනාම ලේසියෙන් හිත හදාගන්න බෑ සර්” කියා කියන්න නදීට හොඳටම උවමනාව තිබුනාය. ඒත් නදී කටපියාගෙන උන්නෙ මියුරු කිසිසේත්ම මේක නතර කරන තැනක නොඉඳින බව තේරුම් ගත්ත හන්දාය.
පින්නදූව එක්සිට් එකෙන් එලියට ඇවිත් දෙවටෙන් දකුණු පැත්තට දමා කාර් එක ගාල්ල පැත්තට අරගෙන යන අතරවාරයේත් නදී කල්පනා කරමින් උන්නේ මියුරු ගැනය. මියුරු කටයුතු කරන්නේ ආදරයේ නාමයෙන් උනත් මියුරු නොදකින, මියුරුට නොහැඟෙන යම් කිසි අන්ධකාර අනාගතයක පෙර නිමිති තමන්ට පෙනෙන්නේ ඇයිද කියා නදී හිතුවාය.මියුරු වාහනය පැදගෙන ආවේ මාගාල්ලේ ක්ලෝසන්බර්ග් හෝටලයටය.
“යන්න ඕන තරම් පොශ් තැන් තිබ්බා, ඒත් මෙතනට වැඩිය කට්ටිය නොඑන නිසයි, නිස්කලංකයි නිසයි තමයි මම මෙහෙට ආවේ. මෙයාලගෙ පූල් එකේ නාන්න තිබ්බා ඇඳුම් අරගෙන ආවනම් ඒ උනාට අපි දවල්ට කාලා කතා කර කර ඉඳල යන්, ඔයා අවුල් ද මෙහෙම තැනකට ආවට?” මියුරු අහන්නේ වඩා ආදරණීයව නදී ගේ අත තම අතෙන් අල්ලාගෙන ඒ මොහොතකටවත් ලෙහාදමන්නේ නැතුවය.
නදී “තරහා නෑ’ කියා කිව්වේ හිස හොලවමින් මද සිනාවක් එක්කය. ලා රෝස පාට මල් පිපිච්ච බෝගන්විලා පඳුරු අස්සෙන් නදී ක්ලෝසන්බර්ග් හෝටලයේ සුදු පාට පඩිපෙල නැග්ගේ මියුරුගේ අතේ එල්ලීය. ඒ පිළිඅරගත්තේ නැති ආදරයක මිහිරියාවක් හිත අස්සේ හිරකරගෙනය.
මියුරු කෑම ඕඩර් කර එයට මුදල් ගෙවන තුරු නදී ක්ලෝසන්බර්ග් හෝටලයේ කොල පාට තණකොල වවා තිබූ ද, මුහුද දිහාවට මූණ ලා තිබූ ද ගාඩන් එකේ ඇවිද්දාය. මූදු හුළඟ විත් ඇඟේ හැපෙන්නේ ගත සීතල කරමිනි. මෙතෙක් වෙලා හිත අස්සෙ පිරී තිබුන ආදරේ ගැන බයංකාර හැඟීම් ඒ හුලං පාර සමගම ටිකෙන් ටික සිහිල් වෙමින් තිබුණි.
“අවුලක් නෑ නේද ම්ම්ම්” මුද දිහා බලාගෙන කල්පනා කරමින් උන් නදීගේ පිටිපස්සෙන් හිටගෙන හීන් සැරේ නදීගේ ඉණ ලඟින් අත තබා මියුරු අහන්නේ වඩා ආදරණීය විලාසයෙනි. නදීට ඉතින් ලැජ්ජය. ඔක්කොටම වඩා යාලුවෙන්නෙම නෑ කියා තමන් තමන්ගේම හිතට දාගත්ත තහංචි මියුරුගේ මේ ආදරණිය හැසිරීම් ලඟ එකින් එක බිඳිලා යද්දී ඉතින් ලැජ්ජ හිතෙන එක වැඩිය. අනෙක් අතට මෙහෙම හැසිරීම්වලට නදී තාම ආගන්තුකය.
පහල පූල් එක හදා තිබෙන්නේ ඉන්ෆින්ටි පූල් එකක් විදියට මුහුද හා සමාන්තරව තියෙන පරිද්දෙනි. එතන තිබූ පූල් බෙන්ච් එකක වාඩි වෙච්ච මියුරු නදීටත් “මෙතනින් වාඩිවෙන්න” කියා කිව්වේ ඇස් දෙකෙන් ය.
නදී වාඩි උනේ පුටුවේ කෙලවරෙනි. මියුරුගේ හිස ඇවිත් සැතපුනේ නදීගේ උකුල උඩය. නදී උන්නේ හිනාවෙන්නද අඬන්නද කියා හිතාගන්න බැරි තැනකය. මේ ප්‍රේම ජවනිකා තමන්ට නුපුරුදු බව කියන්නද කියන ප්රශ්නය ළඟය.
“ඒ උනාට මං තරහයි” මියුරු කියන්නේ බොරු තරහකින් මූණ නොරොක් කරගෙනය.
“ඇයි?”
“මං මෙච්චර කියලත් ඔයා තාම කිව්වෙ නෑනෙ”
“මොකද්ද?”
“ආදරෙයි කියල”
මියුරු අහන්නේ තමන්ට දෙන්නට උත්තරයක් තිබෙන නමුත් ඒ උත්තරය දෙන්නට බය ප්රශ්නයකි. ඒ උනාට තවත් මේ කතාව මෙහෙම අරගෙන තව දුර යන්න බැරිබව නදී දනී.
“ඔයා මට ආදරේ බව මම දන්නවා. ඒ උනාට ඔයා ඒක නොකියන්නෙ තව මට නොකියපු මොකක් හරි හේතුවක් හන්දද?”
“එහෙම දෙයක් නෙවෙයි”
“එහෙනම්?”
“මට බයයි, හදිසිවෙලා තීරණ අරගෙන කවදකහරි වෙන් වෙන්න උනොත්, මං හින්දා ඔයාට මොකක් හරි ප්‍රශ්නයකට මූණ දෙන්න උනොත්, ඔයාලගෙ ගෙදරින් ඔයාට ප්‍රශ්න දැම්මොත්, කොහොමද මං ආයෙ හිත හදාගන්නෙ?” කඳුලු ඉස්සර උනේ වචනවල තැවරී තිබිච්ච ආදරේ ඕනවටත් වඩා වැඩි හන්දාය.
“ඒ හැමදේම ළඟ මම ඉන්නවා කියල පොරොන්දු වෙනවනම්, මට ආදරේ කියනවද ඔයා?” මියුරු අහන්නේ වඩා ප්‍රේමණීය, ගැඹුරු හඬකිනි. සුපුරුදු පරිදිම ඒ ගැඹුරු හඬ ඇවිත් හදවත අස්සේ නින්නාද දෙද්දීත් නදීගේ හඬ තිබුණේ ගොලුවෙලාය.
එහෙත් හිත තවදුරටත් නිහඬව ඉන්න තීරණය කරේ නැත. මේ ආදරේ දැන් නිහඬව තියාගන්න බැරි තරම් විසාලය.
“අදරෙයි” හඬ ආවෙ නැතත් දෙතොල් මෑත් කර නදී එහෙම කිව්වේ ඔලුව ඩිංගක් විතර බිමට හරවා උකුල උඩ ඔලුව තියන් ඉන්න මියුරුගේ ලස්සන ඇස් දෙක දිහාවම බලාගෙනය.
ඉතින් මියුරු පෙම් වසන්තේ ඇරඹුණේ ඔන්න ඔහොමය.