සතුටු මන්තර 24

ඉනික්බිති සියල්ල යහපත් ලෙස සිදු වෙමින් පැවතිණ. සතියකට දින තුනක් සයුරංගනා තුලන ටීවී හි උදෑසන වැඩසටහන ඉදිරිපත් කළා ය. දවසින් දවස ඇගේ ප්‍රතිභාව ද ප්‍රභාව ද ඉස්මතු වන්නට විය. ඉක්මනින් ම ඇය තරුවක් වී රසික හදවත් වල පායා දිළෙන්නට ගති. අසල්වැසියන් අතරේ ඕ වෙනදාට වැඩියෙන් ගෞරවනීය වෙමින් සිටියා ය. සයූ’ කිචන් යූ ටියුබ් නාලිකාව වැඩි වැඩියෙන් ජනතාව අතරට යන්නට ද ඇගේ ජනප්‍රියත්වය හේතුවක් වූයේ ය. ගව් ගණනක් දුරින් වාසය කළ ඇගේ දෙමාපිය සහෝදරාදීන්ට ද සයුරංගනා උපයා ගනිමින් සිටි කීර්තිය කාන්දු වන්නට විය.

“අනේ රංගි අපි පාරෙ ගියත් කවුරුහරි කෙනෙක් දෙන්නෙක් කතා කරල අහනව සයුරංගනා දැං හොඳ තැනකට ගිහිං නේද කියල. පන්සලේ හාමුදුරුවොයි ඉස්කෝලෙ ප්‍රින්සිපලුයි විශේෂෙන්ම මට එන්න කියල පණිවිඩ එවල ඔයා ගැන සතුටු වෙනව කියල කියන්න කිව්ව. මේක අපි හීනෙකින්වත් හිතපු දෙයක් ද දෙයියනේ”

යමුනා දියණිය ට ඒ බව කියන්නට ම කතා කළා ය. ඒ තරම් ආඩම්බරයක්, ගෞරවයක් හා සතුටක් ඔවුන් වෙත ගෙන එන්නට ඇයට හැකි වීම ගැන තවමත් ඔවුන් ට විශ්වාස කළ නො හැකි තරම ය. ගම තුළ අබේසේකර බාසුන්නැහේ ගේ පවුල හදිසියේ ම ඉහළට එසවී පෙනෙන්නට ගති. ඔවුන් තරම් අමාරුවෙන් ජීවත් වුණ පවුලක් ඒ ගමට ම වූයේ නැති තරමි. ළමයින් හය දෙනෙකු උස් මහත් කර ගැනීම කොයි තරම් අභියෝගයක් වී ද වැලේ ගෙඩි වැලට බර නැතැයි යමුනා හැමදාමත් සිතුවා ය. දරුවන්ගේ තාත්තා ට අත මිට ගැවසුන දින වල සේ ම මාස ගණන් වැඩ නැතිව හාල් ටිකක් ගන්නට බැරි අමාරු කාල වලදීත් යමුනා යනු එක ම දිරියකින් වැඩ කළ ගැහැනියකි. ඇගේ සිහිනය වූයේ මොන දුකක් විඳගෙන හෝ දරුවන් අනාගතයේ දී වඩා යහපත් තැන් වලට යවා ගැනීම ය. මුලින් ම සයුරංගනා ව ගිම්හාන් ට විවාහ කොට දුන්නේ ද ඒ පුළුල් වූ අරමුණෙනි. කොළඹ රටේ වැදගත් බැංකු රස්සාවක් කරනා මහත්මයෙකු ගේ බිරිඳ වීම යනු ගම් වල හැටියට ලොතරැයි දිනුමක් ඇදීම වාගේ වාසනාවකි. දරුවා එවන් තැනකට යවා ගැනීම යනු ඇගේ ජීවිතය හෝ වාසනාවන්ත කිරීමකැයි යමුනා සිතුවා ය. සයුරංගනාට පසුව ඉන්නා දරු දෙදෙනා ම සරසවි වරම් ලැබුවෝ ය. ඊළඟ එක්කෙනා මෙවර උසස් පෙළ ලියයි. ඇය ද අනිවාර්යයෙන් උසස් පෙළ ඉහළින් සමත් වනු ඇති බවට පාසල බලාපොරොත්තු වෙයි. ඒ අනුව දැනට ම අබේසේකර පවුලේ ළමයින් තිදෙනෙකු ම අනාගත ලෝකයට අධ්‍යාපනය ඔස්සේ දොර කවුළු විවර කර ගෙන තිබේ. අඩු වයසින් විවාහ වූ, සුදුසුකම් ලැබුණත් විශ්ව විද්‍යාලයට යා නො හැකි වූ සයුරංගනා දැන් සිය වෘත්තීය ඔස්සේ අනිත් අයට නො දෙවෙනි ගෞරවයක් ඔවුන් ගේ පවුලට අත්පත් කරමින් සිටී. දෙමව්පියන් වශයෙන් ඔවුන් දෙදෙනාට මේ ඉහටත් උඩිනි. වේල් ගණන් නොකා නොබී වුව දරුවන්ට ඉගැන්වීම එක ම අරමුණ කර ගත් අම්මා කෙනෙකුට හා තාත්තා කෙනෙකුට දිනෙක ඒ ගැන සතුටු කඳුළු වැගිරිය හැකි මොහොතක් උදා වන්නේ ය. අබේසේකරලා මේ අස්වනු නෙලමින් හිඳිනුයේ වැපිරූ බිජුවට වලයි.

වැඩසටහන කරනා දවසට සයුරංගනා උදේට යන්නේ යශෝදර සමග මෝටර් රථයෙනි. ඔහු ළඟින් ඉන්නා නිසා රිය පදවන්නේ ඇය යි.

“වාහන යන්නැති කැලෑ පාරවල් වල නෙවෙයි…ඩ්‍රයිව් කරල එක්ස්පීරියන්ස් ගන්න ඕන ට්‍රැෆික් වැඩි පාරවල් වල. හොඳ ඩ්‍රයිවර් කෙනෙක් කියන්නෙ එහෙම කෙනෙක්ට”

යශෝදර පවසයි. ඒ අභියෝගය ගැන සයුරංගනා ගේ විරෝධයක් නැත. නමුත් ඇය රූපවාහිනී නාලිකාව ළඟ දී ඔහු ට මෝටර් රථය භාර දෙයි.  ඇය ගෙදර යන්නේ කැබ් රථයක් ගෙන්වා ගෙන ය. බස් එකේ යාම වියදම් අඩු වී ද එතකොට මගට ගත වෙන කාලය වැඩි ය. එසඳි ගෙදර එන්නට පෙර එහි ගොස් දිවා ආහාර ද පිළියෙල කළ යුතුව තිබේ. ප්‍රවාහනය සඳහා යම් වියදමක් දරන්නට සිදු වී ද එවැන්නක් දරා ගැනීම අපහසු නැති තරම් වැටුපක් ඇයට ලැබේ. මාධ්‍ය ආයතනයෙන් මුල් ම චෙක් පත ලැබුණ දා සයුරංගනා ට හැඬෙන්නට ආවේ ය. චෙක් එකක් මුදල් කරගන්නා ආකාරය ගැනවත් ඇය දැන නො සිටියෙන් එය මාරු කර ගන්නට ගියේ පාරමී එක්ක ය. එදා ඇය ගෙවල් තුනේ ම අය වෙනුවෙන් හොඳ බොජුන් හලකින් රෑ කෑම ගෙනාවා ය. 

“අනේ මන්දා…අපේ කොල්ල නැතුව මෙහෙම පාටි දාන එක මගෙනං හිතට හරි නෑ”

තිලකා ගෙට ගොඩ වූයේ එහෙම කියමිනි.

“මේක පාටියක් නෙවේනෙ තිලකා. මේ ළමය සතුටට එයාට උදව් කළ අයටයි පවුලෙ අයටයි රෑ කෑමෙන් සංග්‍රහයක් කරනව. මොකෝ ගිම්හාන් මැරුනට පස්සෙම තිලකා නොකා නොබී හිටියද…”

ජයරත්න අවඥා සහගත බවකින් කීවේ ය. 

“ඔයාට ඉතිං දැං මම මොනා කිව්වත් කළත් ඇදේටමනෙ පේන්නෙ”

ඒ කතාබහ ඊට වැඩිය දිගට දුරට ඇදුණේ නොවේ. එසඳි ඇයට අම්මා ගෙනැවිත් දුන් අලුත් බෝනිකි බබා නිසා ප්‍රීතිමත් ව සිටියා ය. යශෝදර ඉන්නා නිසා ඇයට වෙන කවුරු හිටියත් එහි වෙනසක් වූයේ ද නැත.

“අනුංගෙ ළමයි හුරතල් කර කර ඉඳල හරියන්නෑ. හොඳ ගෑනු ළමයෙක්ව හොයල දැං යශෝදර පුතාවත් පිළිවෙළක් කරන්න කාලෙ හරි මල්කාන්ති”

තිලකා නැවත වෙනත් ආකාරයකට ඉඳිකටු තුඩු ඇනීමේ උත්සාහයක් දැරුවා ය. මල්කාන්ති “ඔව් ඔව්” කීවා විතර ය. පාරමී තේමිය ට ඇසක් ඉඟි කළා ය. ඔහු උගුර පෑදුවේ ය.

“සයූ’ස් කිචන් චැනල් එකත් ළඟදිම මොනටයිස් වෙයි රංගි අක්කෙ. හැබැයි අලුත් වීඩියෝ ටිකක් අප්ලෝඩ් කරන්න ඕනෙ. අපි ටික දවසකින් අලුත් මුකුත් දැම්මෙ නෑ”

“ඊට පස්සෙ ඉතිං රංගි ට සල්ලි එන්නෙ ඩොලර් වලින්. රුපියල් වලින් නෙවෙයි ඩොලර් වලින්”

පාරමී එවන් කයිවාරුවක් ගැසුවේ ශක්‍යා ට හා තිලකා ට වදින්නට ය. ශක්‍යා  ඇහුණේ නෑ වාගේ ඉවත බලා ගත්තා ය. සයුරංගනා ගේ මේ විච්චූර්ණ වැඩ නිසා නිතර ම දැන් මංජුල ඇය පහත් කොට කතා කරයි. ඒ නිසා ම සයුරංගනා ගැන ශක්‍යා ට දැනෙන්නා වූ ඊර්ෂ්‍යාව වැඩි ය. ඇය පාදක කර ගෙන දෙන්නා අතරේ බහින් බස් වීම් කිහිපයක් ද සිදු වී තිබේ.  ඉක්මනින් කා බී ඇය ගෙදර යන්නට සූදානම් වූයේ ද ඒ නිසා ය.

“තව ටිකක් රෑ වෙලා යං ඉතිං”

මංජුල අදිමදි කළේ ය.

“රෑ වෙවී ඉන්න බෑ. මේ ළමයි නිදියන්න දාන්න ඕනෙ. නැත්තං යන ගමං බයික් එකෙත් නිදියයි”

පිටස්තර අය ද ඉදිරියේ ඇය  සැමියා ට උස් හඬින් කතා කොට සිය ආධිපත්‍යය පෙන්වීමට උත්සාහ කළා ය. මංජුල නිහඬ ව ගොස් යතුරු පැදියට නැගුණේ ය. තිලකා එදා එහි නතර වූවා ය. සයුරංගනා සිය ප්‍රථම වැටුපෙන් හැම කෙනෙකුට ම සුළු ත්‍යාග මිලදී ගෙන තිබුණා ය. තිලකාට ගත්තේ බතික් ගවුමකි.

“අපෝ මං ආසම නැති පාටක් අරං තියෙන්නෙ”

එය දිගහැරි ගමන් ඇය කීවේ එසේ ය. හිත රිදෙනු වෙනුවට සයුරංගනා ගේ දෙතොල් අතරට මඳහසක් ආවේ ය. ඊළඟ උදයේ යශෝදර ඇන්දේ සයුරංගනා තිළිණ කළ ලා දම් පාට කමිසයයි.

“ආව් ආව්. ඒකනං කෙල්ලො බලන විදිහෙ පාටක්”

පාරමී කාමරයට විත් කීවා ය. යශෝදර ගේ මුහුණේ දඟ සිනහවක් ඇඳිණ.

“අපි දිහා කොහොමත් කෙල්ලො බලනව”

“හැන්ඩි කොල්ලන්ට කෙල්ලො නෑ කියන කතාව ඇත්ත බ්‍රෝ. පූජා වට්ටියක්වත් තියල දෙයියන්ට බාරයක් වෙනව…බබෙක් ඉන්න අම්ම කෙනෙක්වත් බලන්න කියල”

“අඩෝ”

ඒ දවස් වල රසවත්කමක් තැවරී තිබිණ. උදේට රූපවාහිනී නාලිකාව ළඟ දී සයුරංගනා ව රියෙන් බස්වන යශෝදර ගේ හිතේ අමුතු ආඩම්බරයක්  එහෙ මෙහෙ වෙයි. ඇය ඇතුළට යන තුරු ම ඔහු රියෙහි පැති වීදුරුව පහත් කොට බලා ගෙන හිඳී. 

 “ඔයා මේ පාටට කැමතිද යශෝදර…නැත්තං ගිම්හාන්ගෙ අම්ම වගේම ආස නැද්ද…”

රියෙහි දී සයුරංගනා ඇසුවා ය. යශෝදර එක වර පිළිතුරක් දෙන්නට ඉක්මන් වූයේ නැත. නමුත් ඔහු ගේ මුව යම් කිසිවක් සඳහා නළියමින් තිබිණ.

“මටනං මේ පාට ලස්සනයි”

“ලස්සනයි මං ඇඳපු හින්ද”

ඔහු ගේ මුහුණ ආකර්ෂණීය කරවනා පිරිමිකාර සිනහව උපන. සයුරංගනා මොහොතක් ඇස් ඉවතට ගන්නට අමතක ව එදෙස බලා සිටියා ය. 

“හ්ම්. එහෙම වෙන්නත් ඇති”

ඇගේ සිත ක්ෂණිකව කල්පනාවකට වැටිණ. මුව මත වූ මඳහස වියැකී යමින් තිබිණ. යශෝදර හිස ද මඳක් හරවා බැලුවේ ය.

“අනේ මට ගිම්හාන් ඉන්න කාලෙ එයාට ශර්ට් එකක් නෙවෙයි ලේන්සුවක්වත් අරං දෙන්න පුළුවන් වෙලා නෑනෙ”

හිතේ ඈත කොනක නුහුරු රිදුමක් ඇති වූයේ ය. සයුරංගනා බිම බලා ගත්තා ය. යශෝදර සුසුමක් හෙළනු ඇසිණ. මිතුරා වෙනුවෙන් ඔහු ගේ දරුවාටත් බිරිඳටත් කළ හැකි යමක් නොකොට සිටියේ නෑ කියන සැනසීම ඔහු මොහොතකට වින්දේ ය. 

සයුරංගනා රියෙන් බැස්සේ ටිෂූ එකකින් ඇස් වල තෙත මාත්තු කොට ගෙන ය. 

“මූඩ් එක හදං යන්න”

යශෝදර ඇගේ ඇස් ගැඹුරට රිංගා කීවේ ය. සයුරංගනා ට ඒ කටහඬ තුළ දැනුණේ තමුන්ගේ කමකි. 

පාරේ සිට ආයතන ගොඩනැගිල්ලට පියගැට කිහිපයක් නැගිය යුතු වේ. සයුරංගනා රියෙන් බසිත්දී නිරංග ද තවත් තරුණයෙකු ද පාරේ සිට එහි අවතීර්ණ වූහ. ඔවුන් පියගැට පෙළෙහි දී කතාවට වැටුනහ.

“ප්‍රෝග්‍රෑම් එකට රෙඩි වුණාද සයුරංගනා…අද හෙණ බුලට් එකක් ඉන්ටර්වීව් කරන්න තියෙන්නෙ හොඳේ…”

“මං ලෑස්ති වෙලා ආවෙ”

“මේකි හොඳ කෙල්ල. මං තමයි ෆීල්ඩ් එකට අරං ආවෙ හරිද…ඒක අමතක කරන්න බෑ”

කියමින් නිරංග සයුරංගනා ගේ උරහිස වටා අතක් දැම්මේ ය. හැමදාමත් ඇය වීදුරු දොර තල්ලු කොට ගෙන ඇතුළට යන තුරු බලා සිටින යශෝදර ඒ දුටුවේ ය. ඔහු වහා පැති වීදුරුව ස්වයංක්‍රීයව වැසෙන්නට හැර රිය පෙරට ගත්තේ ය. සයුරංගනා හැරී පිටුපස බැලුවේ එතකොට ම ය. වෙනදා නම් යශෝදර ඇය හැරී බලන තුරු ම නික්මෙන්නේ නැත. සයුරංගනා ගේ හිත ඇතුළේ අකුණක් පිපිරුවේත්, ඇය පහත් වී නිරංගගේ අත සිය උරහිසින් මුදා හළේත් එකට ම ය. ඇගේ හිතට වෙනදා දැනෙන නිශ්චල සැනසිලිදායක බව දැනුණේ නැත. වැඩසටහන අතරේත් හිත ඉබාගාතේ ඇවිද යමින් තිබිණි. එදා දවසේ වැඩසටහන ඉදිරිපත් කරන්නට වූයේ වෙනදා වාගේ භාවනාවක් මෙන් අරමුණට සමවැදී නොව අසීරුවෙන් හිත එක්තැන් කරගනිමිනි.

යශේදරට ද යමක් දැනෙමින් තිබිණ. හිතේ කොතැනක හෝ කටුවක් ඇනුණා සේ ය. පැටලි පැටලී එය වද දුන්නේ ය. ඕනෑ නම් එය ගලවා දමා නිදහස් වන්නට ඕනෑ තරම් හේතු නො තිබුණා නොවේ. නමුත් එහෙම කරන්නට ද ඔහු ට ඕනෑ වූයේ නැත.  හෙලවෙන දතක් දිවෙන් තද කොට රිදුමක් විඳි ළමා වියේදී මෙන්, ඔහු අර පැටළුණ කටුවත් එක්ක ම දවස ගත කළේ ය.

💜️සතුටු මන්තර ගැන ඔබේ අදහස් වචන වලින් කියවා ගැනීම මට සතුටකි. ඒ නැතද කතාව කියවූ බවට ඇඟිලි සලකුණක් හෝ තබා යනු ඇතැයි බලාපොරොත්තු වෙමි.

💜️මගේ අලුත් ම කතාව 

💜️මගේ අලුත් ම කතාව ‘කුසුම් නිම්නය’ කියවන්නට Shinie’s Writings  යූ ටියුබ් නාලිකාව වෙත ඇවිත් යන්න!

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles