සැරිසරන්නී -45

කෝපි බොමින් තවත් ටික වෙලාවක් ආගිය කතා කතා කිරීමෙන් පස්සේ රවීන් නික්ම ගියේ ය. ඒ මැදියම් රැයේ වී ද මට නම් දැනුණේ හිරු සඳු දෙක ම එක වර අහසේ පායා ඇතිවාක් මෙනි.

අපේ මුළු පවුල ම ඔහු වෙනුවෙන් පසු ගමන් කළහ. ඒ හින්දා මගේ ඇඟිලි තුඩක් හෝ ස්පර්ශ කරනා ඉඩක් රවීන් ට වූයේ නැත. දැඩි ව වැළඳ ගන්නට ඕනෑ ය කියා හිතෙනා අවස්ථා වල ඒ විදිහට ලං වෙන්නට නො හැකි වෙත්දී දැනෙනා සාංකාමය මිහිර කෙතරම් රසවත් ද කියා ආලවට්ටම් කියන්නට මම නොදනිමි. 

රියට නැගෙත්දී ඔහු ගේ දෙතොල් මත්තේ මා වසඟ කළ සිනහව වූයේ ය. කාන්දම් ඇස් වල ආදරය නො වෙනස් ව තිබිණි. රිය නික්ම යත්දී මට දැනුණේ මගේ හදවතින් කොටසක් හිස් ව ගියා සේ ය. මේ වසර තුනට නො දැනුණ විදිහේ අමුතු හිස් කමකි එය.

“පරිස්සමෙං යන්න”

මම ඇස් වලින් කීවෙමි. අවුරුදු තුනකට පස්සේ ඔහු ඇස් වලින් මා සිම්බේ ය. 

ඒ මතකය පපුවේ තුරුලු කර ගෙන මම කාමරයට ගියෙමි. මොහොතකින් නංගී එහි කඩා වැදුණා ය.

“හිතෙනව ඇති නේ…අද රෑ මේ රූම් එකේ නතර තර ගන්න තිබුණනං කියල..”

“බණ කතා කරනව. ඇඟිල්ලකින් අල්ලන්නවත් බැරි වුණානෙ කියල මං හූල්ලද්දි මෙයා රූම් එකේ නතර කර ගන්න කතාවක් කියනව”

“ආ…ඇඟිල්ලෙන් අල්ලන්න බැරි වුණාලු. සනුහරේටම පේන්න කොල්ලව බදා ගෙන පපුවෙ මූණ තියං හිටිය. කාට කියන්නද මේව ඉතිං…අපිටනං ලැජ්ජාවෙ බෑ”

“අනේ මේ. මෙයාට ලැජ්ජ මං ගැන තමයි. එයා සිල් ගන්නව ඇති අර නීති කාරයව හම්බ වුණාම”

“අපි ඉතිං හැමදාම හම්බ වෙන එකනෙ. ඒක නිසා කිසි ගතියක් නෑ අප්පා. නිකං කසාද බැඳල එක ගෙදර අවුරුදු ගාණක් තිස්සෙ ඉන්නව වගේනෙ”

“වෙනසක් දැනෙන්න වෙන කොල්ලෙක් දිහා බලන්න හිටතනවද එතකොට..තමුසෙට මම කියන්නෑ ඉතිං”

“මට හරී සතුටුයි අක්කෙ. ඉසුරු එක්ක සතුටෙන් ඉන්න හැම වෙලාවෙම මට ඔයා මතක් වුණා. කට්ටිය එකතු වෙලා නැති කරපු සතුට ඔයාට ආයෙ ගෙනත් දෙන්න කියලයි මං හැම දාම දෙවියන්ගෙන් ඉල්ලුවෙ. ඒ සතුට අද ආයෙ ඔයාගෙ ඇස් වල තියෙනව”

නංගී තව ටික වෙලාවක් මා හා කතා කරමින් සිටියා ය. දැන් ඉස්සර වාගේ නොවේ. ජීවිතය හා ආදරය ගැන නංගී ට පෙරට වඩා මොළොක් හැඟීමක් තිබේ.

උදේ ම දෙවෙනි මාමලා ගේ ගේ පැත්තෙන් කලබලකාරී බවක් පෙනිණ. දිලුම් තරමක් සුව වී ගෙදර ඇවිත් හිටියේ ය. නමුත් සම්පූර්ණ සුවයක් නැති නිසා ඊයේ මගේ උපන් දින සාදයට ඔහු ආවේ නැත.

කලබලයට හේතුව ආරංචියක් ව ඉගිල්ලී ආවේ ය. දිලුම් ට වෙඩි කන්නට පවා හේතු වූ ගැබ් ගත් ගෑනු ළමයා ව දෙවෙනි මාමලා ගේ ගෙදරට ම ඇගේ අයියාවරුන් විසින් ගෙනැවිත් තිබේ.

“දිලුම් මේ කෙල්ලව කසාද බඳින්න ඕනෙ. එහෙම නොවුණොත්…ඉස්පිරිතාලෙං ගෙදර එන්න වෙන්නෙ කකුල් දෙකෙං නෙවෙයි. පෙට්ටියෙං. තේරුණානෙ…”

ඒ සජිනි ගේ සොයුරන් ගේ තීරණය විය. එය එක්තරා විදිහක බලහත්කාරයක් සේ දැනුණ ද ගෑනු ළමයෙක් ට අසාධාරණයක් කොට අසරණ කර දැමීම අපරාධයක් බව ද මම සිතුවෙමි.

“ඒ වුණාට මෙහෙම චණ්ඩි කමෙං කෙල්ලංව ගෙවල් දොරකඩට ගෙනත් දාන එක වැරදියිනෙ. ඕන දෙයක් කෙරෙන්න ඕන පිළිවෙලක් තියෙනව. අපි හැදුවෙත් ළමයි මිසක් බලු පැටව් බළල් පැටව් නෙවෙයිනෙ. අනික කවුද දන්නෙ දිලුම් කියනව වගේ… ඔය හම්බ වෙන්න ඉන්නවයි කියන ළමය දිලුම් ගෙ නෙවෙයිද කියලත්”

නිමාලි නැන්දා ඉස්සරහාට පැන එරෙහි වූවා ය. ඇය කොයි විදිහේ අම්මා කෙනෙකු වී ද දරුවන් ගැන ඇගේ හිත ඇයට වද දෙන එක ගැන මිනුම් කරන්නට අපට නො හැකි ය..නිමාලි නැන්දා මුල සිට ම ළමයින් ගේ වැරදි වලට දඬුවම් නොදී ඒවා හංගමින් ලෝකයට ඔවුන් ව ඉතා හොඳ සේ හුවා දක්වන්නට තැත් කළ අම්මා කෙනෙකි. ඇගේ ඒ ක්‍රියා කලාපය අනුමත කළ නො හැකි වීම වෙනම දෙයකි. නමුත් ඇය ට මේ වෙලාවේ අම්මා කෙනෙකු ට විඳිත හැකි ලොකු ම රිදුම දැනෙනා බව පිළි ගත යුතු ය.

“නෝනා…ඔහේට පුතා කිරි සප්පයෙක් වගේ ඇති. අපේ එකීත් දැන් අම්ම කෙනෙක් වෙන්නනෙ යන්නෙ. නෝනාට පුතා ගැන දැනෙන ඔය ආදරේ එයාගෙ දරුවට දෙන්න අපේ එකීටත් අයිතියක් තියෙනවනෙ. අන්න ඒ අයිතිය ඒකිට දෙන්න තමයි අපි මේ විදිහට ගෙනත් දැම්මෙ. මොකද එහෙම නොකර හිටියනං නෝනාගෙ පුතා ඇවිත් පෙරහැරකින් මේකිව කැන්දං එන්නෑ කවදාවත්”

නිමාලි නැන්දා පැමිණ සිටි පිරිසට රැව්වා ය. දිලුම් නො සන්සුන් ව සිටිනා බවක් පෙනිණ.

“කුම්බලා මාළු කෑවනං විඳෝපං බළලෝ”

ආච්චා මගේ කන ළඟ කොඳුරනු ඇසිණ. 

“දැං කාලෙ ඕන තරං පරීක්ෂණ තියෙනවනෙ නෝනා. එයිං එකක් කරල බලන්න දරුව මේ කිරි සප්පයගෙ නෙවෙයිද කියල. ඒක එහෙමනං අපි මේකිව විනාඩියක්වත් මෙහෙ තියන්නෙ නෑ ඊට පස්සෙ. එහෙනං…යන්නං හොඳේ…”

සියලු දෙනා මුව අයා බලා සිටියදී නික්මෙන්නට ගිය සජිනි ගේ සොයුරෙක් නතර වී තර්ජනයක් කළේ ය.

“හැබැයි අපේ එකීට අනං මනං පාට් දාල තිබුණොත් ඒ පාට් දාපු එකාගෙ පාට්ස් ගලවන්න ඕනෙ කොයි විදිහටද කියලත් අපි දන්නව හරී”

එතැන උන් කිහිප දෙනෙකු ම සුසුම් හෙළු හඬවල් ඇසිණ. 

“යකෝ මේක මාර මගුලක්නෙ. මේ විදිහට බලෙං ගෑනු ගෙනත් දානවද ගෙවල් දොරකඩට. උදේ පාන්දර මූසල කමේ බෑ”

නිමාලි නැන්දා ගේ ඒ රැවුමත් ඇනුම් පදත් සජිනි ට ය. මොනවා වුණත් මේ නාඳුණන පිරිස ඉදිරියේ ඇය කෙතරම් අසරණදැයි මට සිතිණ. ගෑනු ළමයෙකු ලෙස, පිරිමියෙකු ඇසුරු කිරීමේ දී කල්පනාකාරී වෙනවා නම් මෙහෙම වන්නේ නැත. හැඟීම් වලට ම අවනත වී ඉන් පසු කෙසේ හෝ පිරිමියෙකු ගේ කරේ එල්ලෙන්නට බලා සිටිනු වෙනුවට තමන්ගේ ම වූ ස්වාධීන ජීවිතයක් යනු ගැහැනු ළමයෙකු ගේ පැතුම විය යුතුය. එසේ නොවුණ කල මේ ආකාරයෙන් පිරිමින් ළඟ හා නැන්දම්මලා ළඟ පයට පෑගෙන දුහුවිලි බවට පත් වන්නට වේ.

“දිලුම්”

මා කිසි සේත් බලාපොරොත්තු නොවූ පරිදි ලොකු අයියා පිරිස අතරින් දිලුම් ට සමීප වූයේ ය.

“මේ ළමය මෙච්චරම බාල්දු වෙනී උඹ මත්තෙ එන එකක් නෑනෙ උඹ මේකට ගෑවිලා නැත්තං…නේද…එහෙනං මේ මගෙ පස්සෙනුත් එන්න බැරියෑ ළමයා මගේ කියල”

මම පපුවේ අතක් තබා ගතිමි. ලොකු අයියා නම් පුදුම හදවතක් ඇති මිනිසෙකි.

“ගෑනියෙක් තමංව විශ්වාස කරල ළඟට ආවනං පිරිමියෙක්ට කොන්දක් තියෙන්න ඕන ඒ විශ්වාසය රකින්න. මං හිතනව අපේ පවුලෙ එකක් විදිහට උඹට ඒ කොන්ද ඇති කියල. ඉක්මනට තීරණයක් ගනිං. එහෙම නැත්තං මේ දෙනෝදාහක් ඉස්සරහ හෑල්ලු වෙන්නෙ උඹේ ගෑනියි උඹේ ළමයයි කියන පමුතැවීම උඹට විඳින්න වෙයි”

නිමාලි නැන්දා ගස්සා ඉවත බැලුවා ය. තත්පර කිහිපයකට ගෙවෙන්න හැරි දිලුම්,

“ඔය ඇඳුම් බෑග් එකත් අරං කාමරේට යනව”

කියා සජිනි ට ගුගුළේ ය. ඇගේ මූණේ මලක් පිපෙනා හැටි මට දකිත හැකි විය. මගේ මුව මතත් හසරැල් මලක් පිපී ආවේ ය.

“මට බයත් හිතුණා ඇත්තටම”

ඩිව්ස් ඇන්ඩ් බඩ්ස් වෙත යන ගමන් මම ලොකු අයියා ට කීවෙමි.

“බය…”

ඔහු වරක් මදෙස හැරී බලා ඉදිරිය බලා ගෙන රිය පදවන්නට වූයේ ය.

“මෙයා හීරෝ වගේ අර ගෑනු ළමය ඉස්සරහට ගිහිං දිලුම් අකමැති වුණත් මං ඔයාව බාර ගන්නව කියයි කියල”

ලොකු අයියා ගේ සිනහව පුපුරා ගියේ ය. 

“ටැමිල් ෆිල්ම් වල ඉන්න කොල්ලො එහෙමනෙ. ඔයා කොහොමටත් හින්දි මූවි එකක ඉන්න කොල්ලෙක්වත් කොරියන් ඩ්‍රාමා එකක ඉන්න කොල්ලෙක්වත් නෙවෙයි. ඒ හීරෝ ඔයාම විතරයි අයියෙ”

ලොකු අයියා මගේ හිස් මුදුනේ කෙහෙ රැල් අවුල් කළේ ය.

ඩිව්ස් ඇන්ඩ් බඩ්ස් හි එදින මගේ ප්‍රථම රාජකාරිය වූයේ රවීන් මුණගැහෙන එක ය. අප යන විටත් ඔහු පිළිගැනීමේ අංශයෙහි අසුන් ගත ව සිටියේ ය. 

“ඩිව්ස් ඇන්ඩ් බඩ්ස් ඩිරෙක්ටර් මහත්තය”

ලොකු අයියා ඔහු ව වැළඳ ගත්තේ ය.

මගේ පුංචි කාර්යාල කාමරයේ මේසය දෙපැත්තේ රවීන් ව සම්මුඛ වූ අවස්ථාව, ජීවිතයේ සදානුස්මරණීය මතක ගබඩාවේ සදාකාලිකව නිදන්ගත වනු ඇත. ඔහු ගේ කාන්දම් ඇස් මා අල්ලා ගෙන ම සිටියේ ය. මගේ ඇස් වල බර ගතියක් මට දැනිණ. 

“රවීන්…”

“මට අමතක වුණානෙ ඊයෙ බර්ත් ඩේ ගර්ල් ට ගිෆ්ට් එක දෙන්න. ඒකයි මේ එළි වෙනකොට ම මෙතනට ආවෙ”

ඔහු කුඩා මංජුසාවකින් රන් දම් වැලක් ගෙන ඇඟිල්ලකින් එය එල්ලෙන්නට සැලැස්වී ය. එහි එල්ලෙමින් තිබූ, සුදු ගලක් පසෙකින් ඔබ්බවා තිබූ හදවත් හැඩැති පෙන්ඩන්ට් එක විදුලි පහන් එළියට දිළුණේ ය. අසුනෙන් නැගිට ගත් රවීන් මවෙත විත් ඔහු ම සිය දෑතින් එය මගේ ගෙල පැළඳවූයේ ය.

“හීනෙකින්වත් හිතුවෙ නෑ මේක මගෙ අතින් ම ඔයාගෙ කරට දාන්න පුළුවන් වෙයි කියල”

මම ඔහු ගේ අතක් මගේ ගෙලෙහි සිර වන සේ හිස පහත් කොට ඒ අත සිප ගතිමි. මෙවන් අහඹු නිමේශයන් පෙර දැනුම් දීමකින් තොර ව පැපරාසි ලීලාවෙන් ජීවිත කරා එළඹෙන එක හොඳ ය. ඒ ප්‍රීතිය තිගැස්මක් සහිත ව විඳ ගත හැකි වන්නේ එතකොට ය.  මම මගේ අතකින්, මගේ ළය මත වැතිර හොත් ඒ රන් හදවත අල්ලා ගතිමි. මෙය වූ කලී බැඳීමකි. මේ රන් හදවත, මට සසරක බැඳීම සිහි කරවයි.

“හුඟක් දේවල් වෙන්නෙ හොඳටමයි කියල හිතෙනව අයියෙ. මෙචච්ර ආදරයක් පිරිමියෙක් නිසා පපුවෙ පිරෙයි කියල මං දැන ගන්න එකක් නෑ…අපි වෙන් වුණේ නැත්තං…මං ම දන්නෑ ඇයි මට ඔයා අමතක කරන්න බැරි වුණේ කියල. විශේෂයෙන් අමාරුවෙන් හිතේ නතර කරං හිටිය නෙවෙයි. එහෙම බැඳීමුත් මේ ලෝකෙ තියෙන්න පුළුවන් කියල තේරුං ගත්තෙ ඔයා නිසා”

අම්මලට කියන්නං දවසක් දාගෙන ඕගොල්ලංගෙ ගෙදර එන්න කියල”

“කොච්චර වුණත් ඊට වැඩිය ලස්සන අර අඬන්නවත් අවසර නැතුව ඉකියත් හිතේ හිර කරගෙන උන්න කාලෙ නේද…”

“අපි ට්‍රයි කරමු…අපි හිනා වෙලා ඉන්න කාලෙ ඊට වඩා ලස්සන කර ගන්න”

එය අලුත් හීනයකි. ප්‍රේමයේ වියෝගය හදවතෙහි වේදනාත්මක මිහිරක් ශේෂ කරනා බව සැබෑ ය. නමුත් ආදරය ළං ව හිඳ විඳ ගැනීම කියන්නේ ඉන් ඔබ්බට ගිය වාසනාවකි.

රවීන් ගේ මව් පියන් අපේ ගෙදර එන්නට දින දන්වා එවා තිබුණේ ඔය ආසන්න දිනක ය

අනෙක් කොටස්

More Stories

Don't Miss





Latest Articles

හසරැලි වැස්සේ -36

"මෝඩ විදියට හැසිරුණු කාලේ නම් හැදෙයිද කියලා අපි ඉවසගන බලාගෙන හිටිය.ඒ උනාට දැන් වැඩ කරන්නේ මහම මහ ගොබ්බ විදියට.."

(අ)හිමි සිහින -19

සංසාරගත බැඳීමක් බව සිතූ ප්‍රේමය හැරදා පැමිණි පසු මම අසංකට ආදරය කළාද කියලා ඔයාලාට හිතෙනවා ඇති.අම්මට තාත්තට අසංක සැලකීම ගැන ඇතිවෙන්න තරම්...

සඳ කත් මිණි ඇස් 15

සූර්යා දැන් භුක්ති විඳිනා නිදහස ඇගේ යෞවනයේ දී නො ලැබුණ එකකි. ඇය දෙමව්පියන් ගේ දැඩි නීති රීති හා පාලනය යටතේ හැදුණ වැඩුණ...

හසරැලි වැස්සේ – 35

"මම්මේ…."රෝහල් කාමරයේ ඇත්තේ පාළු ස්වභාවයකි.මට මම්මා සමග එක්වී අතීතය දිග ඇවිද යාමට සිත් විය.මා වෙනුවෙන් තේ සාදමින් සිටි...

(අ)හිමි සිහින -18

යුද්ධය නිසා ජීවිතය අහිමි විය හැකි, ආබාධිතයකු බවට පත් විය හැකි, තමන්ගෙ මහන්සියෙන් උපයා ගත් දෙයක් මිසක ඒ තරමට දේපල නැති සුදාරක...
Click to Hide Advanced Floating Content
Click to Hide Advanced Floating Content