ආකාස මෝස්තර – 20

පාරුල් දෙව්රූ ඇල්ලගේ හිතේ රහසක් තියාගෙන එදා පසන් ගෙන් සමුගත්තා ය. ඔහු ඇයට නීති මාලාවක් පනවා තිබේ. ඔහු ට දැනුම් දී මිස සායනික පුහුණුවීම් ඇති දින වල රෝහලේ සිට වෛද්‍ය පීඨය වෙත නො යා යුතු බව ද එක් නීතියකි. එහෙම නීති දමත්දී පාරුල් ට හිත් වෙහෙසක් දැනේ. නිදහස සීමා වී ඇති බවක් දැනේ. නමුත් ආදරය කියන්නේ එය යයි පසන් පවසයි.

“මං ඔයාට නීති දාන්නෙ ඔයාව හදාගන්නනෙ දෙව්. කවදහරි අපි එකට ජීවත් වෙන්න ඕනෙ. අපි අපිට සෙට් වෙන විදිහට අජෙස් වෙන්න ඕනෙ. දැම්ම ඒකට හැඩගැහුන්නැත්තං අමාරු වෙනව”

පසන් ආදරය ඒ යයි ඒත්තු ගැන්වීමේ උත්සාහයකින් කියයි. ඒ ආදරය ද කියා පාරුල් දන්නේ නැත. ඒ ආදරය නම් හැකි තාක් පසන් කැමති ආකාරයට ඉන්නට ඇය තීරණය කොට තිබේ.

“රාජා මට කැමතියිනං එයා ඔළුවෙං හිටං ඉන්න කිව්වොත් මං එහෙමත් කරයි”

උමා ඒ ගැන දරන්නේ එබඳු අදහසකි. එබැවින් වරද තමා මත ම පටවා ගෙන තමන්ගේ පැත්ත නිවැරදි කර ගැනීමට පාරුල් උත්සාහ කරයි. ඇයට නො දැනෙන එක ම දෙය අයියා ගැන උමාට දැනෙනාකාරයේ පිස්සුවක් ඇයට පසන් අරබයා නො දැනෙන්නේ ඇයි ද යන්නයි. වෙලාවකට ඔහු ඇයට මහත් හිසරදයක් දනවයි. සුවදායී හැඟීමක් ඇති නොකරයි. ඔහු නො දැක හිටියා කියා නො ඉවසිල්ලක් ඇය නො පෙළයි. ඔහු කතා නො කළා කියා ඇතැම් විට ඇයට මතක් වෙන්නේත් නැති වෙයි.

“ඔයාට මං කතා කළේ නෑ කියලවත් කිසි ගාණක් නෑ නේද… කෝල් එකක්වත් දීල බලන්න මතක් වෙන්නෑ නේද..”

එවන් අවස්ථාවක ඔහු ඇඟට කඩාගෙන පනී. එතකොට පාරුල් කරන්නේ නිහඬ වෙන එකයි. ඇයට එසේ කරන්නට ඉබේ හිතුණොත් මිස බලයෙන් එසේ කරවා ගන්නේ කෙසේ ද? කරවා ගත්තත් ඒ කුමට ද?

පෙර දා රාත්‍රියේ පාරුල් කතා කරත්දී ගඟුල් සිටියේ ඇල්කොහොල් මතකින් බමනා හිසිනි. පාරුල් කැළඹීමකට ලක් වූවා ය.

“මට කියන්න ගොඩක් දේවල් තියනව. මං බලං හිටිය ඔයා කෝල් එකක් හරි දෙයි කියල. අඩු ගානෙ ෆැකල්ටි එක ළගටවත් ආවෙ නැති නිසා”

එහෙව් බලාපොරොත්තුවක් තමන් තුළ තිබී ඇති බවක් පවා පාරුල් වටහා ගත්තේ ඒ වෙලාවේ ය.

“මං එහෙම ඔයාව මීට් වෙන එක හරි නෑනෙ. ඒක ඕන්නැති ප්‍රශ්නයක් වෙයි”

බමනා සිතින් යුතුව වී ද ගඟුල් සිනහ වෙවී කීවේ ය. නමුත් මීට පෙර ඔහුට ඊට වඩා වෙනස් දේවල් ද සිතී තිබේ. පසන් කියන දොස්තරයාව සිය මාවතෙන් අයින් කරනු වස් ඕනෑ ම දෙයක් කරන්නට සිතී තිබේ. එක්කෝ ඔහු ව හද්ද වන්නියට මාරු කොට යැවිය යුතු ය. නැත්නම් ජීවිතයෙන් ම පලවා හැරිය යුතු ය. නමුත් එසේ කිරීමෙන් කිසි සේත් පාරුල් දිනා ගත නො හැකි බව ඔහු ගේ ම හිතේ එක පැත්තක් විසින් ගඟුල් ට කෑ ගසා කියනා ලදී.

“පසන් දන්නව ඔයා මගෙ යාළුව කියල”

පාරුල් අසීරුවෙන් කියාගත්තා ය. ඒ වෙලාවේ ඇගේ උගුරේ ගිනියම් යකඩ බරුවක් හිර වී තිබුණා මෙනි.

“හරි… එහෙනං අපි හෙට හම්බවෙමු. මං ෆැකල්ටි එක ළගට එන්නං. මට ඔය දොස්තර මහත්තයව බලන්නත් ආසාවක් තියනව”

වේදනාවක් අතරින් සිනහ වෙවී ගඟුල් පොරොන්දු වූයේ ය.

“මතක තියෙයිද… ඔය කතා කරන්නෙ ඇල්කොහොල් එහෙම නෙවේනෙ…”

ගඟුල් හඬනගා සිනහ වූයේ ය.

“මං ඔයාට දීපු පොරොන්දුවක් කඩල එහෙම තියනවද…ම්… මැරෙනකල් ඒක වෙන්නෑ”

පාරුල් ගේ බඩ පපුව දෑවේ ය. නමුත් ඕ හවස තුන වනතුරු ම නො සන්සුන් බලාපොරොත්තුවක එල්ලී සිටියා ය. ගඟුල් පසන්ව හමුවන්නට කැමැත්තෙන් සිටිනා බවක් ඇය ඔහු ට කීවේ නැත. අද ඇයට ඔහු හමුවෙන බවක් පවා පසන්ගෙන් රහසක් කොට තබාගත්තා ය. සාමාන්‍යයෙන් ඒ වෙලාවට ඔහු ට වාට්ටුවේ වැඩ තිබේ. එබැවින් පාරුල් සමගින් රෝහලෙන් පිටතට පැමිණෙන්නේ නැත. නමුත් වෛද්‍ය පීඨයේ බොහොමයක් දෙනා දැන් පාරුල් හා පසන් අතරේ වන සම්බන්ධය ගැන දැන හිඳිති. එබැවින් ගඟුල් පීඨය අසලට පැමිණෙන එක පසන් ගේ කනට යන්නට බැරිකමක් ඇත්තේ ද නැත. එබැවින් ඔවුන් තේ බොන අවන්හලට පැමිණෙන ලෙස කියා පාරුල් ගඟුල් ට පණිවිඩයක් යැව්වා ය.

ඇය යන විටත් ඔහු එහි පැමිණ සිටියේ ය. කෙළවර මේසයක හිඳ දුක් දෑසක් ඇය එන පෙරමගට පා කොට එව්වේ ය. ඒ බැල්ම පාරුල් විසින් බාරගන්නා ලද්දේ සුසුමකිනි. අවන්හලේ දොරටුවේ සිට ඔහු හිඳ උන් මේසය වෙත ඇය ඇවිද ගියේ ඉගිලීගෙන මෙනි. බෑග් එක මේසය මත අතැර ඔහු ඉදිරියේ අසුනට බර වෙත්දී, ඔවුන් අතරේ වන ඇසුර මාස දෙක තුනක දැන හැඳුනුම්කමක් නොව බෝ කාලයක් තිස්සේ පවතින්නක් සේ හැඟී ගියේ ය.

“මං පරක්කු වුණාද…”

ඈ ඇසුවේ හුරතලයෙනි. පසන් ළඟදී කවදාකවත් මේ නිදහස් පාරුල් තටු සලන්නේ නැත. රත්තරං කූඩුවක හිර වී සිටිනවා පමණකි. ගඟුල් ඇදෙස බලාගෙන ම සිටියා මිස වදනක් හෝ මුවින් බිනුවේ නැත. නමුත් ඔහු ගේ සිත කීවේ “කවදාවත් ඔයා පරක්කු නෑ” කියා ය. “ඔයා එනකල් ඕනතරං කාලයක් මට බලං ඉන්න පුළුවන්” කියා ය.

“මොකද ආ මේ හැටි… පොලිටික්ස් වලට හරියට එන්නත් කලින් ම බොන්න පටංගත්තද… බලන්නකො හැටි. ඇස් බොරපාට වෙලා… රැවුල එහෙං මෙහෙං වැවිල… මූණ තඩිස්සි වෙලා… ඔහොම කොහොමද රටක වගකීම් ගන්නෙ… අපේ අහිංසක මිනිස්සුංව බාරගන්න ඉන්න පොලිටීශියන් කෙනෙක්ද මේ… ඔයාට ඔයාව බලාගන්නත් බෑ වගේ එකක්නෙ දැන්නං පේන්නෙ. ලස්සනට වැඩ ටික කරං ආව නේද… ඉතිං ඒවගෙ රිසාල්ට්ස් එන්නත් කලින් බේබද්දෙක් වෙන්න ගත්තද…අනේ මන්දන්නෑ”

පාරුල් එක හුස්මට කියවාගෙන ගියා ය. ගඟුල් කළේ ඇදෙස ඔහේ බලා ඉන්නා එකයි. මේසය මත වැලමිට තබා ඔහු නිකට අතෙහි රුවාගෙන සිටියේ ය.

“බැනල ඉවරද…”

ඇගේ දොස්කීම අවසන් වූ පසු ඔහු හෙමිහිට අසාගත්තේ ය.

“ඉවර නෑ තව. මතක් වෙන වෙන සැරේට බනී. මං හිතුව කවුරු කොහොම කිව්වත් ඔක්කොම පොලිටීශියන්ස්ල එක වගේ නැතුව ඇති… ඉඳහිට හොඳයි කියන්න පුළුවන් එක්කෙනෙක් හරි ඇති කියල. බලාගෙන යනකොට එහෙම නෑනෙ”

“මහන්සි වැඩිකමට පොඩ්ඩක් ඩ්‍රිංක්ස් ගත්ත. ඕක ඉතිං මහලොකු වරදක්ද…”

ගඟුල් දෑස් කුඩා වෙන සේ සිනහ වූයේ ය. ඒ සිනහව පොඩි ළමයෙකු ගේ වාගේ අහිංසක එකකි. පාරුල් නළල රැලි ගන්වා ඉවත බලාගත්තා ය.

“ඉස්සරහට තව වැඩ වැඩිවෙනවනෙ. ඒ කියන්නෙ දවස ම ඩ්‍රිංක්ස් අරං තමයි ඉන්න වෙන්නෙ”

“එහෙම නෑ අනේ… අපෝ මේ ගෑනුනං…”

“ඊයෙ රෑ ඉඳලම මට පුදුම කේන්තියක් තිබුණෙ”

“හරි ඉතිං බණින්නද මට එන්න කිව්වෙ…”

“ඒකටත් එක්ක තමයි”

පාරුල් ගේ නෝක්කාඩුවට නැවත ද ගඟුල් සිනහවක් නගා ගත්තේ ය.

“එතකොට අනිත් එක…”

පාරුල් මේසය මත වූ බෑගය ළඟට ඇද එහි නිකට තබා ගත්තා ය. ටික දවසක් තිස්සේ හිතේ හිර වී තිබූ යමක් ඉවත් වූවා වන් පහසුවක් ඇයට දැනේ. දුකක් ද සතුටක් ද සම අනුපාත වලින් මුහු වූවා වන් දයාර්ද්‍ර හැඟීමක් දැනේ. ඈ හා ගඟුල් අතරේ මෙතෙක් තිබුණා වූ ගව් ගණනක පරතරයක් සැනෙන් අහෝසි වී ගිය සෙයක් දැනේ. ඇයට ඔහු හමු වන්නට, දකින්නට, කතා බහ කරන්නට උවමනා වූ අනිත් හේතුව ඔහු ට කියන්නට තබා ඇය දන්නේත් නැත.

“මට බඩගිනියි. ඔයා කාලද ඉන්නෙ…”

ගඟුල් ට ඒ දැනුණා වූ කුසගින්න හදිසියේ පහළ වූවකි. පහුගිය දින කිහිපයට ම ඔහු හරියට කෑමක් ගෙන තිබුණේ නැත. කුස ගින්නක් කියා දෙයක් දැනී තිබුණේ ද නැත. පාරුල් ගේ කුසෙහි කෑ යමක් ඉතිරි වී තිබුණා නම් එයත් දැවී ගියා සේ ය.

“මටත් බඩගිනියි”

ගඟුල් කෑම ඇනවුම් කළේ ය. මේ මොහොත ගෙවී යන්නේ නැතිව මෙතන මෙහෙම ම නතර වී තිබෙනවා නම් හොඳ යයි පාරුල් සිතුවා ය.

“මං හිතුව ඔයාගෙ දොස්තර මහත්තයත් එයි කියල”

එකවර පිළිතුරක් සොයා ගත නො හැකි ව පාරුල් මඳක් හිතෙන් රස්තියාදු වූවා ය. ඊළඟට දඩබ්බර සරකින් මෙසේ කීවා ය.

“මන්නෙ ඔයාගෙ යාළුව”

ගඟුල් ට දැනුණේ අතරමං වීමකි. පාරුල් පෙර දී සේ ම ය. ඇතැම් විට පෙරදීටත් වැඩිය සමීප හැඟීමක් දැනේ. ඇය පසන් ගැන කියන තුරු ඔහු ගේ හදවතෙහි නො ඉවසිලිමත් බවක් වූ බව ඇත්ත ය. නමුත් ඇය ඔහු ගැන කතා නොකරන එක ගැන ගඟුල් වඩාත් කැමති වූයේ ය.

ඔවුන් ට කතා කරන්නට බොහෝ දේ තිබිණ. ටික දවසකට පස්සේ දෙදෙනා ගේ ම හදවත් වලට සැහැල්ලුවක් ද සතුටක් ද කාන්දු වෙමින් තිබිණ. ඔවුන් ට තර්ක කරන්නටත් එකඟ වීමටත් කාරණා බොහෝ විය. ගඟුල් ගේ දේශපාලන දැක්ම පෙරදීටත් වඩා පුළුල් වී තිබීම පාරුල් ගේ සතුටට හේතු වූයේ ය. ඇය දැන් පසන් ගේ පෙම්වතිය බව ගඟුල්  පමණකුදු නොව ටික වෙලාවකට හෝ පාරුල් ද අමතක කොට සිටියා ය.

එදා පාරුල් ගෙදර යන විට උමා තෝසේ හා වඩේ සාදාගෙන විත් තිබිණ. ඒ චන්දුල ගී තරු වැඩසටහනේ මූලික පරීක්ෂණය සඳහා යන්නට එකඟ වූ සතුට සමරන්නට ය.

“මේ මුරණ්ඩු අලියව මෙල්ල කරගන්න පුළුවන් වුණ එක මෙහෙම සමරල බෑ කෙල්ලෙ. ඇත්තටම අපි ඔයාට සලකනව මදි වගේ නේ…”

බංකුව මත හිඳ මසාල වඩයක් හපනා ගමන් පාරුල් උමාට විහිළුවක් කළා ය.

“මට ආදරේට නෙවෙයි ඒකට යන්න කැමති වුණේ. ඊට පස්සෙ එයාට කරදර කරන්නැතුව මං ශිවම්ව බඳියි කියන බලාපොරොත්තුවෙන්ද කොහෙද”

පාරුල් මුලින් ම හඬ නගා සිනහ වූවා ය. නමුත් වැඩි වෙලා ඒ සිනහව පැවතුණේ නැත. සිනහව තුනී ව ගොස් ඇගේ මූණ කල්පනාබර වෙන හැටි උමා බලා සිටියා ය.

“ආදරේ කියන දේ ළඟදි අපිට හැමවෙලේම වරදිනවද උමා…”

“ඇයි ඔයා එහෙම කිව්වෙ… පසන් කියන්නෙ වැරදි සිලෙක්ශන් එකක් කියල දැන් ඔයාට හිතෙනවද පාරු…”

“මන්දන්නෑ. පසන්ව මැරි කරන්න කැමති වුණාට… එයා ගැන මට කිසිම ෆීලින් එකක් නැද්ද කියල වෙලාවකට හිතෙනව උමා”

ඒ කතාව අතරමග නවතා පාර දෙස බලන්නට ඔවුන් ට සිදු වූයේ, පාපැදියක් පැදගෙන පැමිණි ශාරුක් ලී ගේට්ටුව ඉදිරියේ එය පෙරළාගෙන බිම පතිත වූ බැවිනි.

“පාරෝ… එහෙනං මේ ශාරුක්ට පිටුපෑව නේ…”

ඔහු හොඳට ම බීමතින් හැඬුවේ ය. යුවතියෝ මුහුණෙන් මුහුණ බලාගත්දී ගෙතුළ සිට ඉක්මන් ගමනින් පැමිණි චන්දුල ශාරුක්ව ඔසවා කෙළින් කළේ ය. නමුත් ඔහු කෙළින් සිටගෙන සිටිය නොහී ඒ මේ අත වැනුණේ ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles