මියුරු පෙම් වසන්තේ – 54

“මම අද අම්මලට කතා කරන්න ඉන්නේ නදී මේ ගැන. අම්මට කිව්වට අම්මට නෙවෙයි තාත්තට” මියුරු කිව්වේ සුපුරුදු විදියට හවස් වරුවේ නදී එක්ක තේකක් බොන්නට එලියට ගොස් හිඳින වෙලාවේය. සුපුරුදු සැඳෑවටම ආවේණික රත්තරන් තැඹිලි පාට වැටුණු මියුරුගේ කඩවසම් මුහුණ නදී දැක්කේ වෙනදාටත් වඩා සුන්දරවය.  එහෙත් ඒ සුන්දර මුහුණට එහයින් රැඳී තිබෙන්නේ ලොකුම ලොකු ගැටලුවක් බව නදී දැන නොඋන්නා නොවේ.

“ඔයා හිතන්නෙ මොකක් වෙයි කියලද?”

“දන්නෙ නෑ, මම ඉතින් හිතන්නෙ පොසිටිව් දෙයක් වෙන්න කියලා. ඒ උනාට එහෙමම වෙයිද කියල මම දන්නෙ නෑ. ඒ කොහොම උනත් අපි එදා කතා වුනා වගේ මේක තව ඉස්සරහට අරගෙන ගිහින් තේරුමක් නෑ නදී. කොහොමකලත් කවද උනත් අපිට ඕකට මූණ දෙන්න වෙනවනෙ. එහෙම එකේ අපි දැන්ම ප්‍රශ්නෙට මූණ දෙමු

හැබැයි එක පොරොන්දුවක් උඩ” කියා මියුරු මේසය මත තිබුන නදීගේ අත උඩින් තමන්ගේ අත තිබ්බේය. අනතුරුව මදක් ඉදිරියට නැඹුරු වී නදීගේ දෙනෙත වෙත එබුණේය.

“මොකද්ද?” 

“ඔයා මට පොරොන්දු වෙන්න ඕන මොන ප්‍රශ්නෙ ආවත් ඔයා මාත් එක්කම ඉන්නවා කියලා. මොන ප්‍රශ්නෙ ආවත් මම ඔයාව අතාරින්නෙ නෑ වගේම ඔයා මාව අතාරින්නෙත් නෑ කියලා. මොන විදියෙ ප්‍රශ්නයක් අපි ඉස්සරහට ආවත් අපි දෙන්න ඒ හැම ප්‍රශ්නයක්ම කතාකරලා විසඳගන්නවා කියලා” කියූ මියුරුගේ දෙනෙත් අස්සේ ගිලී තිබුණේ ආදරයක සේයාව බව හඳුනගන්න නදීට බැරි වූයේ නැත. ඒ ආදරය වනාහී තමන් කිසිදිනක කිසිවෙකුගේ දෙනෙත් අස්සේ තමන් වෙනුවෙන් වෙන් කර හඳුනාගන්නට නොහැකි වූ ආදරයකි. මේ ජීවිතයේ තමන්ට දැන් හිමිවන්න තියෙන්නේත් නැතිවෙන්න තියෙන්නේ මියුරුගේ මේ ආදරය පමණක් බවම නදී දනී. මේ ආදරය පරිස්සම් කල යුත්තේද ඒ නිසා ආදරයෙන්මය.

“ඒක ඔයා මගෙන් ඉල්ලන්න ඕන පොරොන්දුවක් නෙවෙයි, මම කොහොමත් ඔයාට දීලා තියෙන පොරොන්දුවක්. ඒ හන්ද බයවෙන්න එපා. මොන දේ උනත් මම හැමදාම ඔයා ලඟ ඉන්නවා.

මම දන්නව ඔයාලගෙ තාත්තා මේකට කොච්චර කැමති උනත් ඔයාලගෙ අම්මා කීයටවත් මේකට කැමතිවෙන්නෙ නැති බව, ඒ කොහොම වෙතත් ඔයාට මාව ඕන අන්තිම තප්පරේ වෙනකම්ම මම ඔයා ලඟ ඉන්නවා” නදී කිව්වේ හිත පත්ලෙන්ම ආ හැඟීමකිනි.

“ආදරේ කියන්නෙ මෙහෙම බයෙන් කරන්න ඕන දෙයක්ද කියලත් මම වෙලාවකට හිතනවා නදී”

“අපේ මේ බයෙන් කරන්නෙ ආදරේ කරන එක නෙවෙයි”

“එහෙනම්”

“අපි බය වෙලා ඉන්නෙ සමාජෙ ඉස්සරහ ආදරේ කරන්න. අපි බය ආදරේට නෙවෙයි සමාජෙට”

“සමාජෙට තියෙන බය හන්දා නේද ඉතින් අපිට මෙහෙම ආදරේ කරන එක, කසාද බඳින එක ගැන සෑහෙන ගැඹුරු විදියට හිතන්න වෙලා තියෙන්නෙ”

“ආදරේ කරන එකයි කසාද බඳින එකයි කියන්නෙ කොහොමත් ගැඹුරු විදියට හිතන්න ඕන දේවල් දෙකක් තමයි. අපේ ආච්චි කියනවා කසාදයක් කරනවනම් අපි හැම පැත්තෙන්ම ගැලපෙන්න ඕන කියල. ඒ කිව්වෙ වත්කම්, උගත්කම්, රූමත්කම් ඔක්කොම. එහෙම උනත් විතරලු ඒ කසාදෙ නිසා අපේ ජීවිතේට එන හැම හිතවත්කමක්ම ලස්සන වෙන්නෙ සහ පවතින්නේ”

“මං නම් හිතන්නේ නෑ ආදරේ කරන්න, කසාද බඳින්න අපේ පෙනුම වත් ස්ටේටස් එකවත් ගැලපෙන්න ඕන කියල. මමත් ඉස්සරහ එහෙම හිතුවා ඇත්ත, මමත් ඉස්සර හිතාගෙන හිටියෙ ආදරේ කරලා හරි නැතුව හරි මම මැරි කරනවනම් කරන්නේ කවද හරි මම වගේම ෆැමිලි එකකින් එන කෙනෙක්ව කියල. හැබැයි ඒ හැමදේම එහෙම හිතුවෙ ඔයාව හම්බෙනකම් විතරයි. ඔයාව හම්බුනාට පස්සෙ තමයි මට ඇත්තටම තේරුණේ කසාද බඳිද්දි හරි ජීවිතේට පාට්නර් කෙනෙක්ව හරි හොයාගනිද්දි අපි බලන්න ඕන ආදරෙ ගැනම තමයි කියලා”

‘ඒකට තමයි ආදරේ අන්ධයි කියන්නෙ” කියා නදී මියුරුගේ අතට තට්ටු කලේ ආදරයෙනි. මියුරු බලාගෙන උන්නේ ඒ දිදුලන සුන්දර දෙනෙත දෙසය. ඒ දෙනෙත් හිමිකාරිය තමන්ගේය කියා කියන්නට ලැබීම මියුරු භාරගත්තේ සතුටක් ආඩම්බරයක් ලෙසින් ය.

“අපි දැන් යන්ද?” කියා නදී ඇහුවේ සැන්දෑව හෙමින් සැරේ රාත්‍රිය විසින් තුරුල් කරගන්නා බව තේරිච්ච හන්දාය.

“ඇයි? පරක්කුද? මං ඉතින් ගිහින් ඩ්‍රොප් කරන්නම්” කියා මියුරු කියන්නේ නදී එක්ක තව මොහොතක් ළඟට වී ඉන්නට තියෙන උවමනාව හන්දාය. 

“නැ අද පොඩ්ඩක් කලින් යන්න ඕන, ආච්චිට අද හවස බණ ගෙදරක යන්න තියෙනව කිව්වා, මට එන්න කිව්ව පුලුවන් තරම් කලින්, ඒකයි. ආයෙ ඉතින් අපිට නෙක්ස් මන්ඩේත් එන්න පුලුවන් නේ”

“හෙට කොහෙද යන්නෙ අපි?”

“ඔයා බලල කියන්නා, මම එන්නම්”

“ඕකේ හරි ම්ම්ම්ම්ම් මම රෑට ප්ලෑන් කරල ඔයාට කියන්නම්කො” කියා මියුරුත් නදීත් විදුලි සෝපානය දිගේ පල්ලෙහට ආවේ එකිනෙකාගේ දෑත පටලාගෙනය. දකින අයෙකුට ඒ සුන්දර ප්‍රේමණීය දසුනක් ලෙස පෙනෙන්නට ඉඩ තිබුණත් ඒ ප්‍රේම කතාව යට පුපුරන්නට ඔන්න මෙන්න බලා හිඳින ගිනි කන්දක් තරමේ දුකක් කරදරයක් තිබෙන විත්තිය පෙනුනේ නැත.

කොටින්ම ඒ මියුරු ප්‍රේමය දරාගෙන උන් නදීවත් මියුරුවත් එය දැන උන්නේ නැත. 

මියුරු සුපුරුදු පාර දිගේ නදීව ඇගේ ගෙදර වෙත එක්කරගෙන යමින් උන්නත් නදී උනේ වචනයෙන් කියාගන්න බැරි හැඟුම් සමුදායක් හිතේ හිරකරගෙනය. තමන්ට මේ මොහොතේ මෙයැයි කියා පැහැදිලිව පවසන්නට නොතේරෙන යම් භයංකාර හැඟීමක් හිත අස්සේ කැලතෙන බව තේරුනත් ඒ කුමක් අරබයා කුමක් නිසාවෙන් හටගත්තක්ද කියා නදීටවත් තේටුම් කරගන්න පහසු උනේ නැත. 

“සමහරවිට ඒ අද මියුරු අපි ගැන එයාලගෙ තාත්තට කියනවා කිව්ව හන්දා” වෙන්නැති කියා නදී ඒ හැඟුම් සමුදාය අර්ථ දක්වන්න හිතුවේ ඊට එහා ගිය කිසිමාකාර හේතුවකින් එය අර්ථ දක්වන්න නදී දැන උන්නේ නැති නිසාවෙනි.

“මොකද්ද කල්පනා කරන්නේ?” මියුරු ඇහුවේ වාහනය පදවන අතරේම තමන්ගේ එක් උරහිසකට හේත්තු වී දිගම දිග කල්පනාවක ගිලී ඉන්න නදීගෙනි. සාමාන්‍යයෙන් වෙනදාට නම් වෙන්නෙ නදී විසින් කියන වත්තෙ හෝ වෙනත් විහිලු කතාවකට හිනාවෙමින් හෝ සින්දුවක් කියමින් මේ ගමන යන එක නිසා අද නදීගෙන් පෙනෙන මේ නිහඬ බව මියුරුට දරාගන්නට පොඩ්ඩක් විතර අමාරු අපහසු එකක් උන හන්දාය.

“ම්ම්ම්”

“මං ඇහුවේ මොකද්ද ඔච්චර කල්පනා කරන්නෙ කියලා”

“කල්පනා කරන්න දේවල්ද නැත්තෙ?”

“ආ මම මේ මෙච්චර ලඟ ඉද්දි ඔයාගෙ කල්පනාව එච්චර දුර යන්නෙ කොහොමද? ඔයාගෙ කල්පනාව තියෙන්නෙ මං ළඟ නෙවෙයිද?” කියා මියුරු ඉතින් අහන්නේ බොරු අමනාපයකින් ය.

“ඔයා ලඟ තමයි, මං කල්පනා කලේ මට වෙලාවකට බයයි මියුරු ඔයාලගෙ අම්මලා තාත්තලා මොන විදියෙ රියැක්ශන් එක පෙන්නයිද කියලා ඔයා අපි ගැන කිව්වම?”

“මං කිව්වනෙ කවුරු මොනව කිව්වත් මං වෙනස් වෙන්නෙ නෑ. එහෙම එකේ ඔයා බයවෙන්න එපා. මොන දේ උනත් අන්තිමට කසාද බඳින්නෙ එකට ජීවත්වෙන්නෙ අපි දෙන්නනෙ. ඉතින් එහෙම එකේ අපි දෙන්නට කාගෙන් බාධා ආවත් අපි දෙන්නගෙන් බාධා නොතියෙන තාක්කල් මම ඔයාගෙ ඔයා මගේ. එච්චරයි”

මියුරු එච්චරයි කියා කිව්වාට ජීවත්වෙද්දී එච්චරක් දේවල් මෙච්චරක් වෙන බව වත්තක ඉපදිච්ච කෙල්ලෙක්ට අමුතුවෙන් කියා දෙන්න උවමනා නැත. එහෙත් නදී මියුරුගේ වචනවලට එරෙහි වෙන්න හිතුවේ නැත. මොන දේ නැතත් ඔහු මේ හැමදේම කියන්නෙ කරන්නේ ආදරයෙනි. එහෙම එකේ ඒ ආදරය පිරිච්ච හිත රිදවන එක පවකි.

විස්සෙ කණුව අද්දරින් නදීව බස්සවන්න කලියෙන් මියුරු නදීගේ නලල මත උණුසුම්ම හාදුවක් තිබ්බේ වඩා ආදරයෙනි.

“ආදරෙයි” කියා ඒ හඬ ඇදී ආවේ හදපත්ලෙන්ම බව නදීට හැඟුනේ ඒ වචන එක්කම කවදාවත් නොවූ විරූ ලෙස දෙනෙත කඳුළින් පිරුණ හන්දාය.

මේ සමුගැනීම තාවකාලික බව ඇත්තකි. එහෙත් දරාගන්න අමාරු වියෝවක හැඟීමක් හිත ගිළගත්තේ ඇයි කියා නදී නැවත නැවත සිතුවාය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles