හදිසියේ ම මේ රැයේ ලොන්ඩරිවත්ත හරහා සීත පවනක් හමා යන්නට ගත්තා මෙනි. පාරුල් දෙව්රූ ඇල්ලගේ සීතලෙන් සීත වී දෑත් පොරොවා ගත්තා ය. දෑත් වල හීගඩු පිපී ඇති බවක් ඇයට දැනිණ.
දෑත් සලිසම් සාක්කු වල ඔබා ගත් කඩවසම් යෞවනයා, ගඟුල් විජයවීර ඇය වෙත ඇවිද එන අතරේ පාරුල් ගේ දෑස් තිබුණේ ඔහු ගේ අසීමිත කඩවසම් බව තුළ දිය වෙමිනි. නගරාධිපති ධූරය ලැබුවාට පස්සේ ඔහු ගේ පෞරුෂය තවත් වැඩි වී ද කියා දෑස් වලින් කිරා මැන බලන්නට ඇය උත්සාහ කරමින් සිටියා ය. නමුත් ඒ මිනුම් කළ නො හැකි පිරිමිකාර බවකි.
“ඉතිං…”
ඔවුන් අතරේ පරතරය අඩියක් තරම් සීමාවේ දී ගඟුල් නතර වී ගත්තේ ය. පාරුල් දෙතොල් තෙරපා සිනහ වූවා ය. ඔහු ගේ කළු ඉංගිරියා මත්තෙහි ඇයට ඇය දැකිය හැකි විය.
“හොඳයි නේද මෙහෙම…”
ඔහු විමසූයේ පිටුපස, ආවරණ ඉදිකරණ, බල්බ් වැල් එල්ලන පිරිස දෙස බලමිනි. පාරුල් ‘ඔව්’ යි කියන්නට හිස සැළුවා ය.
“අද වත්ත කානිවල් එකක් වගේ. ලස්සනයි. මං ආසයි”
ඒ අවදි වූයේ පාරුල් තුළ ඉන්නා දැරියයි. ඒ දැරිය නිදහස ප්‍රිය කරන, විසිතුරු දකිනු රිසි, හුරතල්, සරල සුන්දර සිතැත්තියකි.
“කානිවල් එකට අයිය ඇඳං ඇවිත් තියන ශර්ට් එක අර… කවදාවත් අයන් එක දැකල නැති එකක්ද කොහෙද”
කියමින් උමා ඔවුන් අතරින් ඉවතට, චන්දුල සිටි දෙසට ඉක්මන් අඩි තබා ගියා ය. පාරුල් බලා සිටියේ සිනහ වෙමිනි.
“අයන් කරපු ශර්ට් එකක් නැද්ද රාජයිය… කෝ දෙන්න මං ඕක අයන් කරල දෙන්න”
පිරිස අතරේ දී ම ඈ නියෝග කළා ය. චන්දුල මඳ ලැජ්ජාවකින් අසල වූ අය දෙස බැලුවේ ය.
“ගානක් නෑ. අපි අපිනෙ ඉන්නෙ”
“අපි අපි වුණාට… පිළිවෙළට ශර්ට් එක අඳින්න බැරිද අනේ… කෝ ගලෝල දෙන්න ඕක මං ටක්ගාල මැදල දෙන්න”
රෙදි කාමරයට ගොඩ වී චන්දුල කමිසය ගලවා දුන්නේ උමා ගේ පෙරැත්තයෙන් ගැලවෙන්නට බැරි වූ නිසාවෙනි. තවමත් පොල්කටු ස්ත්‍රික්කයේ උණුහුම පැවතුණෙන් උමා ට එය පහසුවෙන් කළ හැකි විය. ඈ කමිසය යළි චන්දුල ට දුන්නේ ජයග්‍රහණය සඟවා නො ගත් බැල්මකිනි. චන්දුල ගේ මුහුණෙහි වූයේ තරහක් නොවේ. ආදරය හංගන්නට හදන තර්ජනයකි.
“මට ආසයි අද වත්ත පුරා ඇවිදින්න. රෑ වෙලා… අර බල්බ් වැල් නිවි නිවි පත්තු වෙනකොට…හරියට නිකං වෙසක් දවසක රෑ පාරෙ ඇවිදිද්දි දැනෙන පුදුම සැහැල්ලුව දැනෙයි. ජීවිතේට මෙහෙම දවස් එක දෙකක්වත් එන්න ඕනෙ. මතක් කරන්න ආස හිතෙන හීනයක් වගේ දැනෙන මොහොතවල් ටිකක් හරි අයිති කරගන්න ඕනෙ”
ඈතින් ගලා එන හීන් ඇඳිරිය ද, ඒ අඳුර මුළුමනින් පහ කරනු වස් දැල්වෙන්නට බලා හිඳින විදුලි බුබුළු ද දෙස බලාගෙන පාරුල් සිහිනයකින් සේ දෙඩවූවා ය.
“ඉතිං අපි වත්ත වටේ රවුමක් ගහල එමු. එතකොට ඔයාගෙ ඒ අමතක නොවෙන මතක එක දෙක අතරෙ පොඩි තැනක මාත් යන්තං එල්ලිලා වගේ ඉඳියිනෙ”
ගගුල් තරමක් හඬ නැගෙන සේ සිනහ වූයේ ය. පාරුල් ඒ පිරිමි සිනහව දෙස බලා සිටියේ වසඟ වීමට ඔන්න මෙන්න ව මෙනි.
“ඉතිං… කොහොමද අලුත් ජීවිතේ…”
පෙරට අඩියක් තබනා ගමන් ගඟුල් කඩඉම් ප්‍රශ්නයක් නැගුවේ ය. පාරුල් ඔහු දෙස බැලුයේ දෑස් කුඩා කොටගෙනයි.
“අලුත් ජීවිතේ කිව්වෙ…”
“ආ… අලුත්ම නෑ ඉතිං…මං ඇහුවෙ පසන් දොස්තර මහත්තය එහෙම…”
“ඉන්නව ඉතිං”
පාරුල් ඉක්මන් සිනහවක් පා ඉවත බැලුවා ය.
“අපෙං දෙන්නට උදව්වක් ඕන වෙන දවසක් ආවොත් දෙපාරක් හිතන්නැතුව කියන්න ඕන හරිද…”
ඊටත් ඇය සිනහ වූවා පමණි. තමන් සමගින් ජීවත් වන හෝ ජීවත් වීමට එකඟ වී සිටිනා පුරුෂයාගේ නුගුණක්, යහපත් ගැහැනියක විසින් වෙනත් පිරිමියෙකු සමගින් කතා නොකළ යුතු ය! ඇය ඔහු හිතා හිටියාටත් වඩා හොඳ ගෑනු ළමයෙකැයි ගඟුල් නිගමනය කළේ ය.
දිගට ම පාරුල් සිටියේ ඇය සුපුරුදු මඳහසිනි. පපුව ඇතුළේ ගිනි ගොඩක් තියාගෙන මූණිච්චාවටවත් එහෙම සිනහ වී ඉන්නා එක පහසු නැත. ඇය පපුව පිරෙන්නට හුස්මක් ගනිමින් බටහිර අහස් තලය දෙස බැලුවා ය. ගැඹුරු තද නිලැති අහස් තලාවේ පහළ ම මායිමේ රත්තරං පාට ඉතා පුළුල් වලා තීරයක් විහිදී පවතී. වලාකුළකට එහෙම රත්තරං කුට්ටියක් විය හැකි ද? ලංකාවෙහි පැහැදිලි ඍතු විපර්යාසයක් දැකිය නො හැකි වී ද අහස සමගින් සමීප සබඳතා පවත්වන අයට අහස් ඍතු හඳුනාගත හැකි වේ. අගෝස්තු සැප්තැම්බර ගිම්හානයේ හැන්දෑ යාම වල තරම් විචිත්‍ර වර්ණ මවනා අහසක් වෙනත් කිසිදු සමයෙක දැකිය නො හැකි ය. රත්තරං වලා තීරය බලා සිටියදී අනන්ත අහස් අගාධයෙහි ගිලී ගියේ ය. එකෙනෙහි එතෙක් නොවූ අන්ධකාරයක් ඇසට දැනිණ. හිරු මියෙන්නට ඇත!
“හිතේ ගොඩක් දේවල් තියනව පාරුල්”
යුවතිය නිමග්න ව උණ විචිත්‍ර කල්පනා ලෝකය මුදු ව පිරිමදිනා සරකින් ගඟුල් හෙමිහිට කතා කළේ ය.
“ඉස්සල්ලම කරන්න ඕන දේවල් ටික මුලිංම කරල ඉන්නං. මගෙ ඔළුවෙ ලිස්ට් එකක් තියනව. අද වැඩ බාරගත්ත විතරනෙ. හෙට ඉඳල ඒව එකින් එකට පටං ගන්න ඕනෙ. මේ වත්තට වගේම කොළඹ වටේ තියන අඩු පහසුකම් විඳින මිනිස්සු ඔක්කෝටම ස්තූතියක් විදිහට මේ වගේ පොඩි සංග්‍රහයක් කරන්න ඕනෙ. මේ වත්ත ගත්තොත්… වැදගත්ම දේ ගෙවල් ප්‍රශ්නෙ. හැබැයි මට ඉස්නල්ලම ඒකට විසඳුමක් දෙන්න බැරි වෙයි. අලුතෙන් හදපු ෆ්ලැට් එකේ ගෙවල් ලොන්ඩරිවත්තෙ මිනිස්සුන්ට බෙදල දෙන්න මගෙ උපරිමෙන්ම මං ෆයිට් කරනව පාරු. ඒක ඇත්තටම ලොකු සටනක් වෙයි. මං ඒක දිනනවමයි…හැබැයි ඒ කවදද කියල මට දැන්ම කියන්න බෑ. ඒ අතරෙ ආණ්ඩුවෙ ආයතන වල රෙදි හෝදන කන්ට්‍රැක්ට් පුළුවන් තරං මේ වත්තට අරං දෙන එක මුලින්ම කරන්න ඕනෙ. එතකොට ටිකක් මහන්සි වුණත් කට්ටියගෙ අතමිට ටිකක්හරි සරුවෙයිනෙ. ඊළඟට ඔය රෙදි කාමර එහෙම ටිකක් අලුත්වැඩියා කරගෙන… සැනිටේශන් ෆැසිලිටීස් ටික ගොඩදාගෙන… මේ රස්සාව කරන අයට ඕනකරන රෝ මෙටීරියල්ස් පුළුවන් තරං සාධාරණ මිලකට දෙන්න ක්‍රමවේදයක් හදන එන තමයි මගෙ ටාගට් එක. අවුරුදු සිය ගාණක් තිස්සෙ පරම්පරා හතර පහක් මේ ගෙවල් ඇතුළෙ හිරවෙලා හිටිය මිනිස්සුන්ට පිළිවෙළට ජීවත් වෙන්න ෆ්ලැට් එක බාර දෙන එක ඊළඟ ඉලෙක්ශන් එකට කලින් කරගන්න බැරිවුණොත් මං ආයෙ නොමිනේශන් දෙන්නෙත් නෑ. ඒක මං මේ වත්තෙ ඉඳං මටම දෙන ටාගට් එකක්”
ඔහු නැවතිල්ලේ වී ද දිගට ම කතා කරගෙන ගියේ ය. පාරුල් යන්තම් හිස හරවාගෙන බලාගෙන ම සිටියා ය. ගඟුල් විජයවීර ලොන්ඩරි වත්තට පැමිණි මුල් දිනවල වාගේ ඔහු ඉදිරියේ දැන් ඇය මුඛරි නැත. ඔහු ගේ හිත වැඩ කරන්නට පිඹුරුපත් සකසත්දී මැදින් පැන පණ්ඩිතකම් පෙන්වන්නට තරම් උවමනාවක් නැත. ඊටත් වැඩිය පසන් ඉරුගල්බණ්ඩාර නිසාවෙන් මුලදී හිටිය සැහැල්ලු පාරුල් මිය යමින් හිඳී.
වත්ත වටෙන් ඔවුන් යළි රෙදි වේලන අවකාශයට පැමිණෙන විට ලොන්ඩරි වත්තට ඉහළින් අහසේ මල් වෙඩි කිහිපයක් පුපුරා ගියේ ය. උමා කොහේදෝ සිට විත පාරුල් ගේ වැළමිට සන්ධියෙන් අල්වා ගත්තා ය.
“ඔයාට පිං… මේ අහිංසක මිනිස්සුන්ට මෙහෙම සතුටු මොහොතක් දුන්නට”
ඇස් වල බැඳුණු කඳුළු පටලයක් අතරින් පාරුල් මුමුණා ගත්තා ය.
“පොඩි බබාලට එහෙම බඩගිනි ඇතිනෙ… කන බොන අය කන්න බොන්න පටං ගමු නේද…”
ගඟුල් කාටත් ඇහෙන්නට ඇරයුම් කළේ ය.
“චන්දුලට තියෙන්නෙ ඉතිං සින්දුවක් කියන්න තමයි. අර මොකද්ද…නොලැබේවි කියා හිත කීව නිසා මං එක්ක පවා මම තරහ වුණා…”
චන්දුල ලස්සන සිනහවක් පෑවේ ය. උමා නම් අත්පුඩියක් ද ගසා සිනහ වූවා ය.
“අපි එහෙනං නගරාධිපතිතුමාට ඒක කියන්න කියමු නේ රාජයිය…”
“හපෝ… වොශ් රූම් එකේදිවත් වැරදිලාවත් මං සිංදු කියන්නෑ අනේ. මටම කැතයි”
ඒ කතාවට නම් චන්දුල පවා සිනහ වූයේ ය.
“ඒ වුණාට සර් සිංදු වලට කැමතිනෙ. අපි සෙට් වෙලා එකක් කියමු”
ඇයිදෝ මන්දා පාරුල් ට අයියා බදාගෙන සිපගන්නට තරම් සතුටක් දැනිණ. මේ වෙලාවේ ඔවුන් ඉදිරියේ සිටිනා ගඟුල් වූ කලී අගනුවර පුරපති නොව හුරතල්, හුරුබුහුටි, ආදරේ හිතෙනා කොලුවෙකි.
වත්තේ ඉලන්දාරි සූදානමේ පසුවූහ. එදා අතරමග නතර වූ සාජ්ජය මේ වතාවේ නම් පාන්දර යාමයක් වනතුරු නතර නො කිරීම ඔවුන් ගේ අරමුණයි.
“රාජයිය එහෙනං පටංගමු”
“සර්ත් එහෙනං කියමු හොඳේ”
මිතුරෙකුගෙන් ඉල්ලාගත් බොක්ස් ගිටාරය අතට ගනිමින් චන්දුල ගඟුල් දෙස බැලූයේ එවන් ආදරණීය ඇරයුමකිනි. පාරුල් ගේ අත පපුව මැද තද කරගත්තේ ඇයටත් නොදැනීයි.
“නෙලා ගැනුමට නො හැකි වූවද අත්හැරීමත් නොවේ ප්‍රේමය… බලා දුර හිඳ කතා නොකරම සුසුම් පපුවක හිර කිරීමය…”
චන්දුල ගේ ළයාන්විත ගී හඬ ගඟුල් ගේ පපුවේ සුසුමක් හිර කරනා ලදී. ඔහු යන්තම් මුව විවර කොට ඒ සුසුම හෙමිහිට පහළට හෙළුවේ ය. ගඟුල් ගේ ඒ ඉරියව්ව දෙස පාරුල් ඇස් පිය නො සලා බලා සිටියා ය.
“ඇස් පනාපිට බිඳුණු හීනෙක ලොවට රහසින් සැරිසැරීමය…හිත් පුරා විඳිනට වරම් නැති සොඳුරු සයනෙක නිදිවැරීමය…නෙලා ගැනුමට නො හැකි වූව ද අත් හැරීමත් නොවේ ප්‍රේමය…”
අඳුර එකළු කළ ආලෝක බුබුළු නිසා ගඟුල් ගේ මුහුණේ විවිධ වර්ණ සෙවනැලි රටා ඇඳිණි. ලවන් අතරේ මඳහසක් සිත්තම් කරගෙන ඔහු පාදයෙන් තාල ඇල්ලී ය. ගීත කිහිපයක් ම එක දිගට ගායනා වූ අතරේ විතක් මධු පිරුණේ ය. සිනහ තෙපුල් පිළිරැව් දුන්නේ ය.
ගඟුල් ට සේ ම පාරුල් ට ද ඒ මතකයෙන් කිසි දා බැහැර නො වන රාත්‍රියකි. මැදියම් රැය ඉක්ම යනතුරු ද ඔවුහු සතුටත් විනෝදයත් අතරේ කිමිද සිටියහ. එකට කමින් බොමින් ප්‍රීතිමත් සංවාදයෙහි යෙදුනහ. හෙට උදේ ම නැවත රාජකාරියට වාර්තා කළ යුතු බව ගඟුල් ට සිහි වන විට අළුයම එළඹ තිබිණ.
“මං දැං ගියොත් හොඳයි වගේ නේද… හෙට උදේ ඔෆිස් යන්න ඕනනෙ…”
පාරුල් ගේ හිතේ කොහේදෝ කොනකට පාළුවක් දැනිණ. මේ රැය තවත් දිගු වෙන්නට තිබුණා නම් යයි ගඟුල් ට ද දැනෙමින් තිබිණ.
“තෑන්ක් යූ”
ඔහු පාරුල් ගේ ඇස් වල කිමිදී යමක් සොයමින් කීවේ ය. මොහොතකට ඇයට වචන අමතක වී තිබිණ.
“හැම දේකටම. සතුට තියන තැන් වල ජීවිතේ හරි ලස්සනයි. ඒක ඉගෙනගත්තෙ ඕගොල්ලොංගෙං”
ඔහු ‘ඕගොල්ලොංගෙං’ යන පදය යෙදුවේ ‘ඔයාගෙං’ යන වචනය අමාරුවෙන් නවතාගෙනයි. ප්‍රථම වතාවට ගඟුල් වෙන්ව යන එක ගැන ලෝබී සිතිවිල්ලක් පාරුල් තුළ එහෙ මෙහෙ වන්නට විය. “තව ටිකක් ඉඳල යන්න” කියා නිකමටවත් කියන්නට බැරි හැටි!