ඉක්මණින් ලේසියෙන් චපාති හදමු

ඉන්දියාව, නේපාලය, පාකිස්ථානය, බංගලාදේශය, කසකස්ථානය, ශ්‍රී ලංකාව වගේ ආසියානු රටවල් වලත් අප්‍රිකාව සහ කැරිබියන් දූපත් වලත් ඉතාම ජනප්‍රිය ආහාරයක් විදිහට චපාති හඳුන්වන්න පුළුවන්.

උදෑසන වගේම රාත්‍රී ආහාරයක් විදිහටත් විශේෂ අවස්ථා වලදී වුනත් ඉක්මණින් පහසුවෙන් පිළියෙල කරගන්න පුළුවන් චපාති හදාගන්නෙ කොහොමද කියල ඔබත් එක්ක බෙදාගන්නයි smart lady අපි මේ සූදානම් වෙන්නෙ.

එහෙනම්, මුලින්ම පුරුදු විදිහටම අවශ්‍ය කළමණා සූදානම් කරගෙන ඉමු. 

අවශ්‍ය ද්‍රව්‍ය 

Whole wheat powder / සම්පූර්ණ තිරිඟු පිටි / ආටා පිටි කෝප්ප 02 ක් 

වතුර කෝප්ප ¾ ක් හෝ 1 ක් අතර ප්‍රමාණයක් 

ලුණු කුඩු තේ හැඳි 01 ක් 

තෙල් තේ හැඳි 01 ක් 

සාදාගන්නා ආකාරය 

මුලින්ම, භාජනයක් ගෙන එයට පිටි සහ ලුණු කුඩු එකතු කර හොඳින් කලවම් කරගන්න. 

දැන් එයට වතුර ටිකෙන් ටික එකතු කරමින් අඩුම තරමින් විනාඩි 05 ක් වත් අනමින් මෘදු අතේ නොඇලෙන බෝලයක් සාදාගන්න. 

ඉන්පසු, එයට තෙල් ටික දමා නැවත හොඳින් අනාගෙන මෘදු පිටි බෝලයක් සාදාගන්න. 

දැන් මේ පිටි බෝලය හොඳින් වසා විනාඩි 30 ක් පමණ තබාගන්න. 

විනාඩි 30 කට පසු පිටි බෝලයෙන් කුඩා පිටි බෝල 12 ක් සාදාගන්න. 

දැන්, පිටි ඉසගත් මතුපිටක කුඩා පිටි බෝලය බැගින් තබමින්, 2mm ක් 3mm ක් පමණ ඝනකමින් යුතු අඟල් 5 ක 6 ක රවුම් හැඩයක් ලැබෙන තෙක් තුනී කරගන්න. 

මෙසේ සාදාගත් රොටී පුළුස්සා ගැනීමට පහත ක්‍රම දෙකෙන් ඕනෑම ක්‍රමයක් භාවිත කරන්න පුළුවන්.

පළමු ක්‍රමය / ගිනි දැල්ලට අල්ලා පුළුස්සා ගැනීම 

පැතලි තැටියක් ලිප මත තබා එය රත් කරගන්න.

රත්වූ තැටියේ සාදාගත් රොටිය අතුරා රොටියේ උඩ පැත්තේ කුඩා බුබුළු මතුවන තෙක් තබාගන්න. 

දැන් රොටිය අනික් පැත්ත හරවා ඒ පැත්තේත් කුඩා බුබුළු මතුවන විට රොටිය තැටියෙන් ඉවතට ගෙන ගිනි දැල්ල මත තැබූ විට රොටිය පිම්බෙනව දැකගන්න ඔබට පුළුවන්. 

ඒ අවස්ථාවේ රෙදි කැබැල්ලක් ආධාරයෙන් රොටිය ගිනි දැල්ලෙන් ඉවතට ගෙන උණුසුම්වම තිබියදීම ගිතෙල් හෝ බටර් ආලේප කරගන්න පුළුවන්. 

දෙවන ක්‍රමය / තැටියේ පුළුස්සා ගැනීම 

රත්වූ තැටියේ සාදාගත් රොටිය අතුරා රොටියේ උඩ පැත්තේ කුඩා බුබුළු මතුවන තෙක් තබාගන්න. 

දැන් රොටිය අනික් පැත්ත හරවා ඒ පැත්තේත් කුඩා බුබුළු මතුවන විට පැතලි හැන්දක් හෝ රෙදි කැබැල්ලක් භාවිතයෙන් රොටියේ තැනින් තැන තද කරගන්න. 

එවිට රොටිය පිම්බෙනව දැකගන්න පුළුවන්. 

රොටිය පිම්බුණු පසු ලිපෙන් ඉවතට ගෙන උණුසුම්වම තිබියදීම ගිතෙල් හෝ බටර් ආලේප කරගන්න පුළුවන්. 

මේ ක්‍රම දෙකෙන් ඔබ කැමති ඕනෑම ක්‍රමයකට චපාති රොටිය පුළුස්සා ගන්න ඔබට පුළුවන්. 

එහෙනම්, මේ විදිහට චපාති හදල අපිත් එක්කත් රස බෙදාගන්න අමතක කරන්න එපා. 

සටහන – දුලානි නවෝද්‍යා 

Related Articles

Don't Miss


Latest Articles