රටකජු වලින් ලැබෙන සෞඛ්‍ය ප්‍රතිලාභ 

බොහෝදෙනෙක් එක්වරම පිළිගන්න අකමැති වුනත් රටකජු (peanuts) කියන්නෙ ග්‍රීන් පීස්, සෝයා බෝංචි, පරිප්පු වගේ රනිල කුලයට අයත් ශාකයක් මිසක් ඇට වර්ගයක් නම් නෙමෙයි. 

ප්‍රෝටීන, ෆයිබර් සහ මේදය වගේ පෝෂ්‍ය පදාර්ථ වලින් පරිපූර්ණ රටකජු ඇත්තෙන්ම ගුණාත්මකද කියන ගැටළුව ඇති කරන්නෙ එහි අඩංගු තරමක් වැඩි මේද ප්‍රතිශතය නිසා වුනත් පර්‍යේෂකයන් පවසන්නෙ නම් මේ අඩංගු මේදයෙන් වැඩි ප්‍රමාණයක් සෞඛ්‍යයට හිතකර ලෙස සලකන හොඳ මේදය වන බවයි. 

රටකජු අපේ ආහාර වේලට එකතු වෙන්නෙ අද ඊයෙ නම් නෙමෙයි. අවුරුදු 3500 ක අතීතයක් ඇති බවට සැළකෙන රටකජු වල හැඩය ගත්ත, රටකජු වලින් සරසපු මැටි භාජන දකුණු ඇමෙරිකාව ආශ්‍රිතව කරන ලද කැණීම් වලදී සොයාගන්න විද්‍යාඥයන් සමත් වුණා වගේම වාණිජ බෝගයක් ලෙස වර්ෂ 1800 දී වගේ ඉඳල රටකජු වගා කිරීම ආරම්භ වුණා කියලත් සොයාගන්න අපිට පුළුවන් වෙලා තියන්නේ එකයි.

අද වෙද්දී යුරෝපා රටවල් වල වගා කරන රටකජු වලින් වැඩි ප්‍රමාණයක් peanut butter හදන්න භාවිතා කරනව වුනත්, තාමත් ශ්‍රී ලාංකීය අපිට නම් ඇට විදිහට රටකජු ආහාරයට ගැනීම වඩා හුරුපුරුදුයි කියලත් සඳහන් කරන්න පුළුවන්. 

කලින් කතා කරපු පෝෂක වලට අමතරව, මැග්නීසියම්, ෆෝලේට්, විටමින් E, කොපර් සහ ආජනයින් වැනි පෝෂක අඩංගු රටකජු වලින් අපිට ලැබෙන සෞඛ්‍ය ප්‍රතිලාභ මොනවද කියල ඔබත් එක්ක කතා කරන්න අපි සූදානම්. 

එහෙනම් ඒ ගැන දැනගන්න අද ලිපියත් එක්ක එකතු වෙන්න කියල අපි ඔබට ආදරෙන් ආරාධනා කරනව. 

හදවත නීරෝගීව තබයි

හදවත නීරෝගීව තබන අසංතෘප්ත මේද අම්ල අඩංගු ආහාර විදිහට බහුලව පිළිගැනෙන ආමන්ඩ් සහ වෝල්නට්ස් වගේ තරමක් මිළ අධික ඇට වර්ග වලට නොදෙවෙනි සහයක් රටකජු වලිනුත් අපේ හදවතට ලැබෙනව කියල පරීක්ෂණ මඟින් සනාථ කරගෙන තිබෙනව. 

රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම සහ රුධිර නාල වල අවහිරතා ඇතිවීමේ අවධානම අඩුකර හෘදයාබාධ වැනි හදවත් රෝග වලින් ආරක්ෂා කිරීම ඒ අතරින් ප්‍රධානයි කියල සොයාගෙන තිබෙනවා.

අනවශ්‍ය බර අඩුකරයි 

ඇට වර්ගයක් විදිහට සැලකුවොත් රටකජු වල අඩංගු ප්‍රෝටීන ප්‍රතිශතය දෙවෙනි වෙන්නේ ආමන්ඩ් වලට පමණක් බව තමයි පර්‍යේෂකයන් පවසන්නෙ. 

ප්‍රෝටීන වැඩි ප්‍රමාණයක් අඩංගු නිසා රටකජු ආහාරයට ගත්පසු බඩ පිරී ඇති බව සහ තවදුරටත් කුසගිනි නැති හැඟීම ඔබට දැනෙන නිසා වැඩිපුර කැලරි ශරීරයට එකතු වීමට ඇති ඉඩකඩ ඇහිරීම රටකජු වලින් සිදුවෙනවා. 

ඒ නිසා ආහාර පාලනයේදී නිසි පරිදි රටකජු ආහාරයට ගැනීම ඔබට ඉතාම පහසු සහ මිල අඩු හොඳ විසඳුමක් විදිහට හඳුන්වන්න පුළුවන්. 

ආයු කාලය වැඩි කරයි 

තවදුරටත් පරීක්ෂණ අවශ්‍ය වුනත්, රටකජු ඇතුළු අනෙකුත් ඇට වර්ග නිතරම ආහාරයට ගන්න බොහෝදෙනෙක්ගේ ආයු කාලය කලාතුරකින් ඇට වර්ග ආහාරයට ගන්න පුද්ගලයන්ට වඩා වැඩිබව පර්‍යේෂකයන් පවසනවා. 

දියවැඩියාව ඇතිවීමේ අවදානම අඩු කරයි

රටකජු අඩු – ග්ලයිසමික් දර්ශකයක් සහිත ආහාරයක් ලෙස සළකනවා. ඒ අනුව රටකජු ආහාරයට ගැනීමෙන් ඔබේ රුධිරයේ සීනි මට්ටම ඉහළ නැංවීමක් සිදුවෙන්නෙ නෑ. 

ඒ වගේම කාන්තාවන්ට දෙවෙනි වර්ගයේ දියවැඩියාව ඇතිවීමේ අවදානම අඩු කරන්නත් රටකජු ආහාරයට ගැනීම හේතුවෙනව කියල පර්‍යේෂකයන් සඳහන් කරනවා. 

ප්‍රදාහ තත්වයන් සමනය කරයි 

රටකජු කියන්නෙ ඉහළ ෆයිබර් ප්‍රතිශතයක් අඩංගු ආහාරයක් කියල අපි මුලින් සඳහන් කරා ඔබට මතක ඇතිනෙ.

එය ශරීරයේ ඇතිවන ප්‍රදාහ තත්වයන් වළක්වා ආහාර ජීර්ණ පද්ධතියේ ක්‍රමවත් ක්‍රියාකාරීත්වයක් පවත්වා ගන්නත් ඔබට උදව් කරනවා. 

පිළිකා ඇතිවීමේ අවදානම අඩු කරයි 

සනාථ කිරීම සඳහා තවදුරටත් පරීක්ෂණ අවශ්‍ය වුනත්, බඩවැල් ආශ්‍රිතව පිළිකා ඇතිවීමේ අවදානම peanut butter ආහාරයට ගන්න වැඩිහිටියන් අතර අඩුබව පර්‍යේෂකයන් සොයාගෙන තිබෙනව.

කොතරම් ගුණදායක වුනත් අපි අතරින් සමහරකට රටකජු ඉතාම භයානක ආසාදන / allergies ඇතිකරන්න පුළුවන්. 

ඒ නිසා එවැනි ආසාදන තත්වයන් වගේම ඔබ දෛනිකව ආහාරයට ගන්න රටකජු ප්‍රමාණය ඔබට සුදුසුද යන්න ගැන ඔබේ වෛද්‍යවරයා හමුවී උපදෙස් ලබාගන්න කියලත් අපි මතක් කරන්න කැමතියි. 

ඉතිං, අද අපේ ලිපිය ඔබට ප්‍රයෝජනවත් වෙන්නට ඇතැයි අපි විශ්වාස කරනවා. මෙවැනිම වැදගත් ලිපියකින් අපි නැවත හමුවෙමු. 

සටහන – දුලානි නවෝද්‍යා 

Related Articles

Don't Miss


Latest Articles