සැන්දෑ අහස පුරා ලා රත් පාට ඉහිරී ඇත.
නිදන කාමරයේ සඳලුතලයේ සිට බැලූ කල ඈතින් දකින්නට හැකි නමක් නොදන්නා මහ රූස්ස ගසට ඉස්මත්තෙන් සූර්‍යයා බැස යන අයුරු බලා හිඳින අතරම වේවැල් පුටුවේ නින්ද ගොස් සිටින්නී අත තිබූ නර්මදා රංගොඩගේ බාඳුරා නවකතාව බිම සිඹිමින් වැතිර හිඳී.
කාමරය පුරා පුරවා ඇති විවිදාකාරයේ නවකතා කෙටිකතා කවි පොත් මෙන්ම පසෙක බිත්තියකට හේත්තු වී මකුළු දැල් සලුවක් අස්සේ සැඟවී සිටින ගිටාරයත්, නිවසේ තැනින් තැන බිත්තිවල එල්ලා ඇති වන සතුන්ගේ ජායාරූප ද දුටු අයෙකුට නම් මෙය සරස්වතිය ලැගුම් ගෙන සිටින තැනක් බව හඳුනාගැනීමට තවත් හේතු කාරණා අවශ්‍ය නොවේ. එයම තව දුරටත් සනාත කරන කාලින්දීගේ අපූරු ගායන හැකියාව මෙන්ම භාෂා ද්විත්වයේම චතුර ලිඛිත – කතික හැකියාව!
“ටිං” නමින් හැඬවෙන මේසය මත වූ දුරකතනය අතට ගෙන නැවතත් වේවැල් පුටුවටම බර වෙන අතරම මුහුණු පොතේ නොටිෆිකේශන්ස් පිරික්සන්නට කාලින්දී පටන් ගත්තාය.
“ගෑණියෙක්ට තියෙන වටිනම දේ වර්ජිනිටි එක නෙවි. අනිත් එක අද වගේ දියුණු කාලෙක ඔය වගේ දේවල් ගැන හිතන මිනිස්සු ඉන්නව කියල මම නං හිතන්නෙ නෑ. ඔය වගේ දෙයක් නිසා ජීවිත කාලෙම තනිකඩව ඉන්නව කියන එක නං බොරු වැඩක්”
මුහුණු පොතේ ඇඩ් වී සිටින ආදරයත්, විරහවත් සම්බන්දව විවිධ කතිකාවත් ගොඩනැගෙන ගෲපයකින්, කවුරුන් හෝ අසා තිබෙන කන්‍යාභාවය පිළිබඳ ගැටළුවකට ලැබී ඇති එකී පිළිතුර කාලින්දීව වසර ගණනාවක් ඈතට ගෙනයන්නට සමත් වී තිබේ.
දියුණු වුව, නොදියුණු වුව අදටත් තරුණියක් තම කන්‍යාභාවය පිළිබඳව කෙතරම් සැළකිලිමත් ද යන්නට හොඳම උදාහරණය තමා බව කාලින්දී නොදන්නවා නොවේ.
අද වන විට ලංකාව පුරා ප්‍රචලිත ඩිජිටල් මාධ්‍ය ප්‍රචාරණ ආයතනයක, නිර්මාණ අධ්‍යක්ශවරියක ලෙස වගකිවයුතු රාජකාරියක නියැලුනත්, මෙයට අවුරුදු හය හතකට පෙර, කනිශ්ඨ පිටපත් රචිකාවක ලෙස තම වෘත්තිමය ජීවිතය ඇරඹූ, කන්‍යාභාවය යනු ගැහැණියකට ඇති වටිනාමය දේ බව සිතා එයත්, තම පළමු හා අවසාන පෙම්වතාත් අහිමි වූ දින පොළොවේ හැපෙමින් “අනේ මාව අසරණ කරන්න එපා” යැයි කියමින් හැඬූ තරුණියක් කාලින්දීගේ හදවත පතුලේ කෙළවරක නිදා හිඳී.
අනුරාධපුරේ මිහින්තලේ සිට, ඇඳුම් කැඩුම් දෙක තුනක් හා පොත් පත් කීපයක් පමණක් දැමූ මල්ලක් කරලාගෙන කැළණිය සරසවියට භාෂා පරිවර්තන උපාධියක් හදාරන්න පැමිණ, අතිරේක රැකියාවක් ලෙස කුඩා මාධ්‍ය ප්‍රචාරණ ආයතනයකට කනිශ්ඨ පිටපත් රචිකාවක ලෙස එක් වූ කාලින්දී අමායා කග්ගොඩආරච්චිට, කොළොම්තොටින් හමු වූ සමුද්‍ර අබේසූරියගේ ආදරය මුහුදක් තරම් විසල්ව දැනීම අරුමයක්ද?
ආදරය යැයි කාලින්දීගේ පසින් විරුදාවලි ලත් ඒ හැඟුම් කන්දරාව මුලින්ම වැඩ අවසන් වූ පසු එළඹෙන හවස් යාමවල ප්‍රසිද්ධ කෝපි අවන්හල්වලත්, අනතුරුව හෝටල් කාමරවලත් දෝරෙ ගලා යන්නට විය.
මහ මුහුදකට එකතු වුණු ගංගා රැසක් ඇති බවද, කාලින්දී යනු එකී ගංගාවකුත් නොව, ගඟකට එකතු වන අතු ගංගාවක් බවත් තේරුම් යන විට, කාලින්දීගේ පසින් කාලය සහ වටිනාකම්ද, සමුද්‍රගේ පසින් ආදරය ද ගිලිහී ගොස් තිබිණි.
“ඔයා ඔය හිතන තරං දෙයක් නෙවි කාලින්දී වර්ජිනිටි එක කියන්නෙ. ඕවා මේ දැන් කාලෙ මිනිස්සු හිතන දේවල්ද? අනිත්තෙක අපි මේ අෆෙයාර් එක පටන් ගනිද්දි කිව්වෙ නෑනෙ කවදහරි මේක මැරේජ් එකකින්ම ඉවර වෙනව කියල”
බම්බලපිටියේ සුපුරුදු ලැගුම් හල් පොළක් වූ සී බ්‍රීස් අවන්හලේ කාමරයක තනි වූ මොහොතක හිතට ගිනි බෝම්බයක් අතාරින්නට සමුද්‍රට සිතී තිබුණේ ආලිංගන සියල්ල අවසානයේ ය.
සුදු පැහැ ඇඳ රෙද්ද මත නිරුවතින් වාඩි වී, කැරළි කෙහෙ රැළි පිටත් පපුවත් දෙපස විදහා සිටින, දුඹුරු පැහැ ගමේ කෙල්ලකට, වර්ජිනිටි එක මහා දෙයක් බවත්, විවාහයක් පිළිබඳව සම්මුතියකට එළඹුණු නොනමුදු, විවාහයට පෙර සිරුරෙන් එක් වීම ඇයට අනුව එකී සම්මුතිය ක්‍රියාවෙන් ඔප්පු කරන්නත් බවත් කාමරයේ වන් වේ මිරර් වීදුරුවෙන් ඈත එපිටින් පෙනෙන මහ සයුර දෙස බලා සිටින සමුද්‍ර නොදැන සිටියා විය හැකිද?
ලොව පුරා විහිදුන, ජේම්ස් සහ මිලර් සමාගමේ ලංකාවේ මව් ආයතනයේ ජ්‍යේෂ්ඨ සන්නාම කළමණාකරුවෙකු ලෙස එවකට සේවය කළ සමුද්‍ර, දිවයින පුරා විහිදුන, ප්‍රසිද්ධ කාන්තා සබන් වර්ගයක සන්නාමය මෙහෙයවන්නා ලෙස සේවය කළ සමුද්‍ර, ගමෙකින් ආ කෙල්ලකගේ ආත්ම ගෞරවය ගැනත්, හැඟීම් ගැනත් නොදැන සිටියා විය හැකිද?
“ඕනම බ්‍රෑන්ඩ් කැම්පේන් එකක් සක්සස්ෆුල් වෙන්න නං රිසර්ච්, ඔබ්සර්වේශන්ස් වලින් පස්සෙ ආව ස්ට්‍රෝන්ග් ඉන්සයිට් එකක් තියෙන්න ඕන. ඒකෙන් තමයි අපිට අපේ ටීජී එකට හොඳටම රිලේට් වෙන අයිඩියා එකක් ක්‍රියේට් කරන්න පුලුවන් වෙන්නෙ” යැයි බොහෝ අවස්තාවල තමා යටතේ සේවය කරන කනිෂ්ඨ සේවකයන්ටත්, ප්‍රචාරණ ආයතනවල සේවය කරන්නන්ටත් ගුරුහරුකම් ලබා දුන් සමුද්‍ර ගමේ කෙල්ලකගේ හැඟීම්, දැනීම් ඔබ්සර්ව් කර පැමිණි ඉන්සයිට් එක ගැන වගක්වත් නැතුව හැසිරුණේ කෙසේද?
අවසානයේ මහා කඳුලු සයුරක කාලින්දී ගිල්වමින් අවසන් වූයේ සමුද්‍රගේ ඒ ආදරය නම් කැම්පේන් එකයි.
හමුවීම් සිදු වූයේ රැකියා ආයතනය හරහා නිසාත්, දරුණු ලෙස හිත් වේදනා ලබා දී තමාගෙන් වෙන්ව ගිය පෙම්වතා සමග තවදුරටත් ගනුදෙනු කරන්නට නොහැකි තැන, විශාදයේ මූලික ලක්ෂන පෙන්නුම් කරමින් හිඳ සරසවි අද්‍යාපනය යාන්තමින් අවසන් කර, රැකියාවෙන් සමුගෙන ආපසු මිහින්තලය බලා යන්නට කාලින්දී තීරණය කර තිබිණි.