පෙම් කල වරදට අත්වූ ඛේදණීය ඉරණම

ගාල්ල කිව්වම ඉස්සෙල්ලාම මතක් වෙන්නේ ගාලු කොටුව. ඊට පස්සේ සුන්දර මුහුදු තීරය. ඊටත් පස්සේ ගාල්ල අවට තියෙන සුන්දර හෝටල්. අද අපි ඔබට කියන්නේ මේ නේක විධ සුන්දරත්වයන්ගෙන් වැහිලා ගිහින් තියෙන අඳුරු කතන්දරයක් ගැන.

මීට අවුරුදු 57කට කලින්, ගාල්ලේ සමුද්‍රසිරි කියන නිවසේ සිදු වුණ පද්මිණි කුලරත්න ඝාතනය ගැන සමහර විට ඔබ අහලා ඇති. මේ ඒ ඛේදනීය කතාව.

මොකද්ද මේ සමුද්‍රසිරි නිවස

1505 දී පෘතුගීසින් ලංකාවට ඇවිල්ලා ගාලු කොටුව ඉදිකරේ ඔවුන්ගේ ආරක්ෂක උපක්‍රමයක් විදියට. ඊට පස්සේ ලන්දේසීන් ලංකාවට ආවම, ඔවුනුත් මේ ගාලු කොටුවේ තිබුණු සුවිශේෂි බව හඳුනගෙන ගාලු කොටුව තවත් නවීකරණය  කරලා ගොඩ නැඟුවා. නිවාස ඉදි කරා. මේ වෙනකොටත් ගාලු කොටුව ලන්දේසි ගාලු කොටුව කියලා හැඳින්වෙන්න මේ ප්‍රතිසංස්කරණය කිරීම් බලපාන්න ඇති. 19 වැනි සියවසේ මැද භාගය වෙනකොට මේ ගාලු කොටුවේ තිබුන  සැප පහසු නිවෙස්  වල ඉතාම ඉහල පැලැන්ති වල අය පදිංචි වෙලා හිටියා.

වෛද්‍යවරු, නීතීවේදියෝ වගේ පිළිගත්ත තනතුරු තිබුන අය මේ ගාලු කොටුවේ නිවාසයක් මිලයට ගන්න ගොඩක් උනන්දු වුනා. ගාලු කොටුවේ තිබුන සමුද්‍රසිරි කියන නිවස මිලයට අරගෙන ඒ නිවසේ ජීවත් වුන ඒ වගේ ප්‍රභූ වරයෙක් තමයි කුලරත්න කියන වෛද්‍යවරයා. මුහුදු තීරයට මුහුණ දාලා, ඉතාම සුන්දර ලන්දේසි ගෘහ නිර්මාණ ශිල්පීය ක්‍රම වලට අනුව නිමවෙලා තිබුන මේ නිවසේ වෛද්‍යවරයා සහ ඔහුගේ බිරිඳ වුන ලෝරා කුලරත්න තමයි ජීවත් වුනේ. මේ දෙන්නාට හිටියේ එකම පුතයි. ඔහු ගාලු පුරවරය පුරාම ඉතාම ජනප්‍රිය වෙලා උන්න ගාමිණි කුලරත්න.

දක්ෂ වෛද්‍යවරයෙක්

කුඩා කාලයේ ඉඳන්ම වෛද්‍යවරයෙක් වෙන්න සිහින දැකපු ගාමිණී කුලරත්න,  ඒ වෙනුවෙන් වෙහෙසිලා වැඩ කලා. ඒ අනුව ඔහු වෛද්‍ය විද්‍යාලයට ඇතුලු වෙලා වෛද්‍යවරයෙක් වෙන සිහිනය සැබැ කරගත්තා. රැකියාවේ මුල් කාලයේ කැකිරාව, අනුරාධපුරය වගේ ප්‍රදේශ වල සේවය කරපු ගාමිණි කුලරත්න පස්සේ ගාල්ලට පත්වීමක් හදාගත්තා. ඔහුගේ දක්ෂතාවය ගාල්ල පුරාම පැතිරුනා. ඒ නිසාම ඉතා ඈත ප්‍රදේශ වලින් පවා ඔහුගෙන් ප්‍රතිකාර ලබාගන්න රෝගීන් වැල නොකැඩී ආවා. ඔහු ක්‍රම ක්‍රමයෙන් කාර්‍යබහුල වුනා.

ගාමිණි කුලරත්න සහ සුසිලා පද්මිණි

රැකියා ජීවිතයේ ක්‍රම ක්‍රමයෙන් ඉදිරියට යන ගාමිණි කුලරත්නට විවාහය වෙනුවෙන් තරුණියක් හොයාගන්න ලෝරා සෑහෙන්නම මහන්සි වුනා.  ඒ අනුව තමයි කලුතර ප්‍රදේශයේ උන්න ධනවත් ව්‍යාපාරිකයෙක් වුන සී ඒ පෙරේරාගේ බාලම  දියණිය වුන සුසිලා පද්මිණි පෙරේරා ගැන ලෝරාට දැනගන්න ලැබුනේ. උසස් අධ්‍යාපනයෙන් සහ රූපයෙන් අඩුවක් නොතිබුණ මේ තරුණියට අකමැති වෙන්න ගාමිණී කුලරත්නට හේතුවක් තිබුනේ නැහැ. ඒ අනුව  1947 දී ගාමිණි සහ පද්මිණි විවාහ  වුනා. ඒ විවාහය වෙනුවෙන් පද්මිණිගේ පියා රුපියල් විසිපන්දහසක්, කලුතරින් නිවෙස් දෙකක්, රබර් අක්කර පනහක් සහ ඇඹිලිපිටියෙන් මැණික් ඉඩමකුත් දුන්නා. හදිසි විවාහයක් වුනත් මේ දෙන්නා ඉතාම සතුටින් ජීවත් වුණා. ඒ අතරවාරයේ පද්මිණි ඔවුන් දෙදෙනාගේ පලමු දරුවාට  උපත ලබා දුන්නා.

ගාමිණි කුලරත්නගේ නොනැවතෙන ඉගෙනීම

වෛද්‍යවරයෙකු විදියට ඉදිරියට යන ආශාවේ ඊළඟ පියවර සාක්ෂාත් කරගන්න ගාමිණී කුලරත්න ඇමරිකාවට යන්න සූදානම් වුනා. ගාමිණි ඇමරිකාවට ගියාට පස්සේ පද්මිණි ඔවුන්ගේ දරුවාවත් අරගෙන ඇගේ මවගේ නිවසේ පදිංචියට ගියා. ඒ අතරේ කාලය ඉතා වේගෙන් ගෙවුණා. අවුරුදු දෙකකට පස්සේ ගාමිණි කුලරත්න ලංකාවට ආවා. ඔවුන් දෙදෙනාගේ කැදැල්ලට තවත් දරුවන් තිදෙනෙකු එකතු වුනා. මේ පවුලට අමතරව ගාමිණීගේ මව වුන ලෝරා සහ තවත් මෙහෙකරුවන් කිහිප දෙනෙක්ම සමුද්‍රසිරි නිවසේ ජීවත් වුනා.

සියල්ල කණපිට ගැසුණු සිදුවීම

1960 දශකයෙ මැද භාගය වෙනකොට ගාමිණි රජයේ සේවයෙන් ඉවත් වුනා. ඉන් පස්සේ ඔහු පෞද්ගලික ආරෝග්‍ය ශාලාවක් ආරම්භ කලා. මුලදී ඔහුට රෝගීන් තනිව කලමණාකරන කරගන්න හැකි  වුනත්, කල් යනකොට රෝගීන් වැඩි වෙන්න ගත්ත නිසා  ඔහුට සියලු කටයුතු තනිව කලමණාකරණය කරගන්න බැරිව ගියා. ඔහු බෙහෙත් ශාලාවේ සේවය වෙනුවෙන් ආරියවතී නම් තරුණිය බඳවා ගත්තා. ආරියවතී ඉතාම උනන්දුවෙන් වැඩ ඉගෙනගත්තා. කිසිම ප්‍රශ්නයක් නොවී මාස ගානක් ගෙවුනා. ඒත් ආරියවතී නිසා ගාමිණි සහ පද්මිණි අතර ගැටුම් ඇති වෙන්න වැඩි කාලයක් ගියේ නැහැ.

ආරියවතී සහ ගාමිණි

ගාමිණි කුලරත්න වෛද්‍යවරයා ඉතාම ඉක්මනින් ආරියවතීගේ සුන්දර  රුවට වශී වුනා. ඔහු ඇයට ආරියා කියලා කියන්න ගත්තා. ඒ අනුව  ඔහු ආරියවතී සමඟ ඉතා සමීප ඇසුරක් පටන් ගත්තේ තමන්ගේ බිරිඳ වුන පද්මිණි මේ ගැන සැක කරන බව දැන දැනම.දවසක් පද්මිණි හදිසියේම ආරෝග්‍ය ශාලාවට ආවා. ඒ ඇගේ හිතේ තිබුණ සැකය ගැන සාක්ෂි එකතු  කරගන්න. ඒ යන වෙලාවෙත් ගාමිණි සහ ආරියවතී හිටියෙ එකිනෙකාට ඉතාම ආසන්න වෙලා.පද්මිණි ඉතා කෝපයට පත් වෙලා ආරියවතීට බැණ වැදුනා. එදා ඉඳන් ගාමිණි සහ පද්මිණි අතරේ ගැටුම් වැඩි වුනා

ලෝරාත් ආරියාගේ පැත්තට

මේ අතරේ ගාමිණීගෙ මව වුන ලෝරාත් ආරියවතී වෙනුවෙන්  පෙනී උනන් නිසා පද්මිණි තව කෝපයට පත් වුනා. දවසින් දවස කුලරත්න නිවසේ තත්වය ගැටුම් වලින්ම පිරුනා. නිවසේ ඉතාම පැරණි සේවකයෙක් වුන රොමියෙල් ආරියවතීව මුණ ගැහුණා

” උඹ මේ ලස්සන පවුල කඩා ඉහිරවන්නෙ නැතුව වැඩක් බලගනිනි..’

රොමියෙල් ආරියවතීට බැණ වැදුනා. ආරියවතී වහාම මේ සිදුවීම ගාමිණි වෛද්‍යවරයාට කිව්වා. එතැනින් වුනේ රොමියෙල්ගේ රැකියාව අහිමි වුන එක.

නිවසේම සිර කල පද්මිණි

දවසින් දවස ගාමිණි ආරියවතීටම බැඳුනා. පද්මිණි සමඟ ගැටුම් ඇති කරගන්න එකත් දවසින් දවස වැඩි වුනා. අන්තිමේදී ඔහු පද්මිණීට මානසික රෝගයක් තියෙන බව කියලා ඇයව මානසික ප්‍රතිකාර වෙනුවෙන් යොමු කරවන්නත් උත්සාහ කලා. පද්මිණිගේ සොයුරිය පද්මිණිව වහාම නේවාසික රෝහලෙන් මුදවාගෙන පෞද්ගලික වෛද්‍යවරයෙක්ට යොමු කලා.

” මෙයාට කිසිම මානසික රෝගයක් නැහැ.. තියෙන්නේ දරුණු හිත් වේදනාවක්. ඒක හරි යාවි .. අපි බලමු ….”


වෛද්‍යවරයා පද්මිණිට ආයේ නිවසට යන්න  හැකි වෙන විදියට දේවල් සූදානම් කලා.  ඒ අතරේ ගාමිණි සහ පද්මිණිගේ  ගැටුම් තව තව වැඩි වුනා. අශ්වයාට තලන කඹයෙන් පවා පද්මිණිට පහර දෙන්න ගාමිණි කටයුතු කලා.

” පද්මිණිව උඩ මැද කාමරේ හිර කරන්න .. කෑම අරන් කිසිම කෙනෙක් උඩට යන්න තහනම්.. ලණුවක  එල්ලලා කෑම යවන්න …”

ගාමිණී සේවකයන්ට උපදෙස් දුන්නා. ඔවුන්ගේ දරුවන් මේ හැම  සිදුවීමක්ම නිසා ඉතා කම්පනය වෙලා උන්නත්, ගාමිණීට ඒ ගැණ වගක් තිබුනේ නැහැ. තමන්ගේ බිරිඳව  කාමරේ හිර කරලා ගාමිණී ඉතාම සෙල්ලක්කාර ජීවිතයක් ගෙව්වා.

අශ්ව පිටින් වැටී රෝහලට

මේ අතරේ ගාමිණි කුලරත්න අශ්වයාගේ පිටින් වැටිලා රෝහල් ගත කල. ඔහුට ආයෙම ගෙදර එන්න වුනේ කිහිලි කරු වලින්. මෙහෙම ඇවිදන ගාමිනිව දැකලා පද්මිණි ඉතාම කෝපයෙන් බැන වැදුනා. මේ සිදුවීම අවසන් වුනේ රුපියල් පනස්දාහක වන්දියක් එක්ක පද්මිණිව දික් කසාද කරන්න ගාමිණි තීරනය කිරීම එක්ක. ඒත් පද්මිණි මේ යෝජනාවට එකඟ වුනේ නැහැ.

” දරුවන්ට තාත්තා ඕනි..”

ඇය ඒ ගැන කිව්වේ එහෙම. මේ නිසා ගාමිණි ඉතාම කෝපයට පත් වුනා. ඒ වගේම ලෝරාත් මේ ගැන හිටියේ කෝපෙන්.

පද්මිණිගෙ අවසන් ගමන

1967 එක දවසක පද්මිණිට ලණුවක් ආධාරයෙන් උදේ කෑම ලැබුනා. මේ කෑම කාපු පද්මිණිට නොනවත්වා වමනය සහ වැසිකිලි යෑම සිදු වුනා.

” අනේ අක්කේ මට අමාරුයි.. මාව හොස්පිටල් එක්ක යන්න ..”

ඇය තම සොයුරියට කීවා. ඒ අතරේ සේවකයන්ටත් කෑ ගැහුවා. සේවකයන් මේ ගැන ගාමිණීට කීවත් ඔහු මෙය වගකට ගත්තේ නැහැ.

පැය කිහිපයක් මරුවා එක්ක සටන් කරමින් උන්න පද්මිණි සදහටම ඇස් පියා ගත්තා

පොලිස්  පරීක්ෂණ

සිදුවීම වාර්තා වුන සැනින්ම පොලිසිය එම ස්තානයට ආවා. මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණයට අරගෙන ගියා.

“මෙය හුස්ම හිර වීමෙන් සහ ආමාශය හානි වීමෙන් මිය යෑමක්..”

පොල්සීය ඇගේ පිඟාන සහ වමනේ කොටසුත් පරික්ශා කලා. එතැනදි පොලිසිය සොයාගත්තා . ඒ අතරේ  ඒ සාම්පල් වල පොටෑසියම් කාර්බනේට්  තියෙන බව හොයාගත්තා.පොටෑසියම් කාර්බනේට්  බෝතල දෙකක් වෛද්‍යවරයා අසලින් හොයාගත්තම මේ නඩුව  පැහැදිලි මානයකට වැටුණා.

ඊට පස්සේ,  ගාමිණි, ලෝරා සහ ඔවුන්ට හිතවත් සේවකයන්ව වහාම අත් අඩංගුවට ගත්තා. ටික කාලයක් යනකොට එක මෙහෙකාරියක් නිදහස් කලා. අනෙක් තිදෙනාගේ දඬුවම් වෙනුවෙන් මුලු රටක්ම බලාගෙන උන්නා. මාස කිහිපයක් තිස්සේ තිබුන නඩු තීරනය විදියට ගාමිණි ඇතුලු  තිදෙනාට මරණැ දඬුවම ලබා දුන්නා.ඒත් විත්තියේ නීතිවේදින් ආයේම අභියාචනයක් ඉදිරිපත් කරලා ඔවුන්ව නිදහස් කරගත්තා. අන්තිමේදී පද්මිණි කුලරත්න හැමෝගෙන්ම හැංගිලා , කාටත් අමතක වෙලාම ගියා.

අපේක්ෂා ගුණරත්න. 

Related Articles

Don't Miss


Latest Articles