සඳක් තනියම – 18

0
5809

දිනාරා දුරකතනයට පිළිතුරු සැපයූවේම පපුවට අත තබාගෙනය.වලව්වෙන් පිටතට පැමිණ ගෙවී ගිය සය මසකට ආසන්න කාලයක් තුළ වලව්වේ ස්ථාවර දුරකථනයෙන් මිස වෙනත් කිසිදු දුරකථනයකින් ඇයට ඇමතුමක් පැමිණ තිබුණේ නැත.අත්තම්මාට කරදරයක්වීදැයි  තිගැස්සුණු සිත අපහසුවෙන් වාවා ගත යුවතිය මදක් එහාට ඇවිද ගියේය “ සිරිසේන මාමේ..” යැයි පවසාගෙනය.

“ මම මේ අත්තම්මා කතා කරන්නේ….”

“ අනේ අත්තම් මේ මම බය වුණා….”

“ සුදු මැණිකේ දැන් අපි කොළඹට කිට්ටු වෙලා ඉන්නේ.පෑලියගොඩ පාලමත් පහු උනා.මෙන්න මේ සිරිසේනට එන පාර ගැන විස්තරයක් කිව්වනං හරි “

“ අනේ අත්තම්ම කොළඹ එනවද..මට කිව්වෙත් නැහැනේ ආත්තම්මේ..මේකනම් මාර සප්‍රයිස් එකක් තමයි.”

“ කිය කිය ඉන්න වෙලාවක් තිබුණෙ නැහැ. හදිසියේම මට එන්න ඕනේ කියලා හිතුනා.අද මල්ලිගේ පළවෙනි උපන් දිනේ. ඌට ඉන්න එකම නෑයා  විදිහට මං නෑවිත් කොහොමද ඔතනට.ප්‍රියංකා උනත් මොනව හිතයිද..”

“  අනේ මට සතුටුයි ආත්තම්මේ.ආත්තම්මට කොහොම හරි එන්න හිතුණනේ …ඉන්න මං ප්‍රියංකා ආන්ටිට දෙන්නම්.මට හරියට පාර කියන්න තේරුමක් නෑ.”

යුවතිය දුරකථනයත් රැගෙන මුළුතැන් ගෙයට දිවගෙන ගියේ කලබලයෙන්ය.

ප්‍රියංකා වලව්වේ රියදුරාට පාර කිව්වේ ඉවසිල්ලේය. දුරකථන ඇමතුම නිමා වූ සැණින්ම දිනාරා ඇයව වැළඳ ගත්තේ සතුටින් උඩ පනිමින්ය.

“ මට මේක අදහන්නත් බෑ ආන්ටි අත්තම්ම එනවා අපිව බලන්න.අපි මල්ලිගේ උපන්දිනේ පොඩියට සමරන්න ලෑස්ති වෙනවා කියලා කිව්වට  මං කීයටවත් හිතුවේ නෑ ආන්ටි.අත්තම්මා වලව්වෙන් එළියට යන කෙනෙක් නෙමෙයි.මං ..මං හිතන් හිටියේ එක දවසකින් හරි නුවර ගිහිල්ලා අත්තම්මව බලලා එන්න.”

ප්‍රියංකා යුවතියගේ කොපුලක් අතගෑවේ ආදරයෙන්ය.මේ අයුරින් හිනැහෙද්දී ඇය තවත් සුන්දරය.

“ ඔයාලට වරදින් නෑ පුතේ… අත්තම්මට ඔයාලව වටිනවනේ.තව ටිකකින් ලෑස්තිවෙලා යාළුවත් එක්ක හෙමින් සැරේ පහළට යන්න.නැත්නම් ගේ හොයාගන්න බැරි වෙයි…”

“ ආත්තම්මට අද මං මෙහේ නවතින්න කියන්නද…”

“ අනේ..ගහනවා දෙකක් මේ කෙල්ලට.ඕක අහන්න දෙයක්ද දරුවෝ.අපි ඔයාගේ කාමරේ ආත්තම්මට දෙමු…”

තවමත් තමා මේ දකින්නේ සිහිනයක්දැයි දිනාරාට සිතුනේ කාමරයට ගොස් සැහැල්ලු කෙටි කලිසමත් ටී ෂර්ටයත් ගලවා ගවුමක් ඇද ගන්නා අතරේය. තමා කොට කලිසම් අඳිනවාට අත්තම්මාගේ කැමැත්තක් වූයේ නැත. ජයසුන්දර වලව්වට අයත් වත්තේ ගෙදර සිටියදී අමතර පන්තිවලට සහභාගීවීම සඳහා ඩෙනිම් දිග කලිසමක් ඇන්දාට අත්තම්මා එතරම් කැමැත්තක් නොදැක්වූ බව විශ්වාසය.කිසිවක් නොකියා සිටියද ව්‍යංගාර්ථයෙන් වරින් වර ඈ තම අකමැත් පිට කළාය. 

දිනක්  අම්මා තමාගේ ඩෙනිම් කලිසමකුත් එදවස විලාසිතාවක් වූ කෙටි ටී ෂර්ට් එකකුත් ඇද කන්නාඩිය ඉදිරිපසට වී හැඩ බලන අයුරු දිනාරා දුටුවේ අහම්බයෙන්ය. එදවස අම්මාගේ වයස අවුරුදු තිස් දෙකක  හෝ තිස් තුනක් වන්නට ඇත.එහෙත් ඇගේ ඇඟපත අවුරුදු විසි දෙකක නව යොවුන් යුවතියකගේ සේය.

“අනේ හරි ලස්සනයි අම්මා….මං කවදාවත් දැකලා නෑ ඔයා ස්ලැක්ස් ඇදලා ඉන්නවා.” යැයි කියාගෙන දිනාරා කාමරයට පැමිණෙද්දී ඈ ලජ්ජාවෙන් රතුව ඇඳ මත වූ තුවායක් ඇඟලා ගත්තාය.

“ අම්මට තියෙන්නේ හරි ලස්සන ඇගක්.එනිසා ඩෙනිම් කලිසම් ඇන්දහම මාර ලස්සනයි.ඇයි අම්මා ගවුම් විතරක් අඳින්නේ..අපි කලිසමක් ගමුකෝ.එක්කෝ ගන්න ඕනෙත් නෑ. මගේ ඇඳුම් අම්මට අඳින්න පුළුවන්නේ..”

දිනාරා ඇගේ දෙවුරහිස්  වලින් අල්ලා පැවසූයේ සැබෑම වූ සතුටකින්ය.පාසලේත් අමතර පන්තිවල මිතුරියනුත් අම්මාගේ රුව ගැන කතා කරන්නේ ආසාවෙන්ය. ඒ සෑම විටකම දිනාරා සතුටින් පිම්බී ගියා ඇයට මතකය.

“ ඔයාගේ අම්ම නම් මාර ලස්සනයි.ඔය දෙන්න එකට පාරේ යද්දි අම්මයි දුවයි කියලනම් කීයටවත් කියන්න බෑ. ඔයාගේ තියෙන්නෙ වෙනමම ලස්සනක්නේ.අම්මා ඊට වඩා වෙනස් එයා හරි කියුට්. මැරි කරපු නැති අවුරුදු විස්සක විසිපහක  පෙනුමක්  අම්මට තියෙන්නේ..එයා මාර ලස්සනට එයාව මේන්ටේන් කරනවා නේද..”

එදවස දිනාරා සිනහසී මිතුරියන්ගේ වදන්වලට හිස වැනුවේ කිසිවක් අවබෝධ කරගෙන නොවේ. මිතුරියන්ගේ මව්වරුන් සමග සසඳද්දී අම්මා චූටි කෙල්ලකසේ පෙනෙනවා යයි ඇයට පළමුවෙන්ම අවබෝධ වූයේ කේතකී පාසලේ පන්ති කව රැස්වීම් සඳහා පැමිණෙද්දීය.

“”මේ ඔයාගේ අම්මා දැයි…”

පහ වසරේ උන් ගුරුතුමියක පවා කේතකීගේ කේශාන්තයේ සිට පාදාන්තය දක්වාම බැල්මක් හෙළා පැවසූ අයුරු දිනාරා සිහි කළේ කණ්ණාඩිය ඉදිරිපසට වී කෙටි කොණ්ඩයට සමනළ හැඩති කොණ්ඩා කටුවක් ගසා  ගන්නා අතරේය.

තාත්තා ඇයව අතහැර ගියේ දහනමවන වියේ අග බාගයේ සිටියදීය. 

විවාහයෙන් පසුව ගැහැණු රුව වෙනස් වන්නට ඕනෑතරම් හේතු කාරණා වේ. දරුවන් දෙතුන් දෙනෙකු වැදීම, උපත් පාලන ක්‍රමවල බලපෑම , අවිවේකීබව නිසා සිරුර ක්‍රමවත්ව පවත්වාගෙන යාමට ඇති අපහසුතාව මේ අතර ප්‍රධාන තැනක් ගනී. ඒ කිසිවකින් අවුරුදු දහනවයට පසුව ඇයට බලපෑමක්ව තිබුණේ නැත.

එතැන් සිට අම්මා වරින් වර තමාගේ ඇඳුම් ඇඟලා හැඩබලනුත්. දුරකථනයෙන් විවිධාකාරයේ සේයා රූ ගෙන ඒවා පරිස්සමට ගබඩා කර තබා ගන්නා අයුරුත් දිනාරාට අමුත්තක් වූයේ නැත.එහෙත් ඕ  නිවසින් පිටව ගිය කිසිම මොහොතක එවන් කෙටි ගවුමක් හෝ දිගු කලිසමක් ඇන්දේ නැත.දිනාරාගේ බල කිරීමටවත් ඕ එසේ නොකළාය.

ඒ වෙනුවට ඇය සැරසුනේ  විලුඹ තෙක් දිගු වූ ගවුමකින් හෝ දණහිසෙන් අඟල් පහ හයක් පහළට වන්නට වූ ගවුමකින්ය.

අම්මා තමාට නොලැබුණු ජීවිතය ගැන ලෝබකමකින් පසු වූවා යයි දිනාරාට සිතෙන්නේ දැන්ය.ඇගේ ජීවිතයේ ඇයට අහිමි වී ගොස් තිබුණේ කිසිඳු තරුණියකට අහිමි නොවිය යුතු සුන්දරම කාලයකි.

ඕ යෙහෙළිය සමග පහළට බැස්සේ ඒ සිතුවිල්ලේය.

අත්තම්මා බෙන්ස් වර්ගයේ මඳක් පැරණි වූ කාරයෙන් බැස්සේම දෑස් විසල් කරගෙනය.සිරිසේනට කොළඹ ගැන අවබෝධයක් වනනිසා පාර සොයා ගැනීමේ අපහසුතාවයක් ඇති නොවණු ඇතැයි ප්‍රියංකා ආන්ටි පැවසීය.

“ මේ කොහෙද සුදු මැණිකේ….”

යනුවෙන් අසාගෙන වාහනයෙන් බැසි අත්තම්මා වාහනය අල්ලාගෙන දෑස් කරකැව්වේ හදිසියේ හදිසියේ සේය.

“ මට මෙහේ පුරුදුයි චූටි නෝනා.මාත් අවුරුදු හතරක්ම දෙමටගොඩ තේ කොල පැක්ටරියක වැඩ කලා..”

“ අපි ඇතුලට යමු අත්තම්මේ.දෙවනි තට්ටුවේ තමයි ප්‍රියංකා ආන්ටිගේ ගේ තියෙන්නේ “ යැයි දිනාරා පැවසුවත් ඕ සිටි ඉරියව්වෙන්ම විනාඩි කිහිපයක් සි⁣ටියේ ගල් ගැසී සේය.

“ මේ ඔක්කොම ගෙවල්ද සුදු මැණිකේ..”

“ ඔව් අත්තම්මේ……”

“ ලැයිම් ගෙවල්ද මේ..”

“ එහෙමම නෑ අත්තම්මේ  .එක එක විදිහෙ මිනිස්සු මේවයේ  ඉන්නවා.හොඳ ජොබ් කරන අය,  බිස්නස් කරන අය “

“ ඒක මිසක්කා ලැයිම් ගෙවල් කොළඹ තියෙන්න මේවයේ කොහෙද තේ වතු රබර් වතු…හොඳ ජොබ් කරන අය බිස්නස් කරන අය මොනවටද සුදු මැණිකේ මේ හුණ්ඩු ගෙවල්වල  ඉන්නේ.අනේ මන්දා ඉතින් මේවා…”

එවර මිලීනා පැවසුවේ දිගු සුසුමක් හෙළමින්ය.මිලීනා ඒ කුඩා කුඩා තට්ටු නිවාසවල දිග පළල මැන ගත්තේ සිතින්ය.

ඉන්පසු දිනාරාට ඉස්සර වන්නට ඉඩ දී ඒ පසු පසින් ඇවිද ගියාය.

තට්ටු නිවාසයේ දෙවන මහලට යන පඩිපෙළ නගිද්දී දිනාරා අත්තම්මාගේ දකුණතින් අල්ලා ගත්තාය. ඇගේ අත් බෑගය සුරතට ගත්තේ හිමාෂාය.තැනිතලා පොළවක පා තබනවා සේ දැනුණ වලව්වේ පඩිපෙළ මෙන් නොව තට්ටු නිවාසයට නැගීමට වූයේ කෙටි පඩි සහිත පඩිපෙළකි.දහවලටක් එය අඳුරුය.

ප්‍රියංකා කුඩා සචින්වත් වඩාගෙන දොර ඇරගෙනම බලා උන්නේ මිලීනාව පිළිගන්නටය..

කන්‍යාරාමයට ආ දෙතුන් වරකත්  කේතකීව මුණ ගැසීමට වලව්වට ගිය දෙතුන් වරකත්  මිතුරියගේ  මළගම මොහොතේදීත් මිලීනාව දැක තිබුනත් ප්‍රියංකා ඇය හා කතා කර තිබුණේ දෙඅතේ ඇඟිලි ගණනටත් වඩා අඩු වූ වදන් කිහිපයකි.

තම ලොකු පුතාගෙන් අසාධාරණයක් සිදු වුවත් මිලීනා කේතකීගෙන් වලව්වේ නම්බුව ආරක්ෂා කිරීම බලාපොරොත්තු වූවාය.

එනිසාම ඈ කේතකීව ලොවෙන් වසංගන්නට උත්සාහ දැරුවාය.

ඉඳහිට වදනක් දෙකක් හුවමාරු කරගත් දිනාරාගේ යෙහෙළියන්ගේ මව්වරු සමඟ පවා කේකීට වූයේ දුරස්ථ සබඳතාවකි. ජීවිතයේ සියල්ල අකුරක් නෑර හුවමාරු කරගත් කොළඹ සිටිනා යෙහෙළියට මිලිනා කවදත් කැමති වූයේ නැත.මිලීනා ඇයව දැක්කේම කේතකීව වලව්වෙන් රැගෙන යන්නට ආ අයෙකු සේය.

“ මැඩම්…..ගේ හොයාගන්න අමාරු උනේ නෑ නේද.”

ප්‍රියංකා ඇයව ඇමතූයේ හුරු පුරුදු ලීලාවෙන්ය.එදවස මිලීනා කන්‍යාරාමයට පැමිණෙන්නේ දානයක් දීම සඳහා හෝ කන්‍යා සොයුරිය හමුවීම සඳහාය.

කන්‍යාරාමයේ දැරියන්ට ඇය මැඩම්ය. කන්‍යාරාමයේ අඩු පාඩුත් වරින් වර ඈ විසින් සකසා දෙන්නේ පාලිකාවගේ ඉල්ලීමෙන්ය.

“ අනේ මන්ද ළමයෝ…මට නම් මේවා බලු කූඩු ගානයි..” 

නිවස තුළට පැමිණියත් මිලීනා අසුන් ගත්තේ මඳක් ප්‍රමාදවය. ඒ දෑස් යළිත් වරක් නොනවතින ගමනකින් ගේ වටා ඇවිද යන්නට විය.දිනාරා ප්‍රියංකා දෙස බැලුවේ තිගැස්සීගෙනය. අත්තම්මාගේ වදන්  කවදත් උස් වූත්  සෘජුවූත්  ඒවා විය. ප්‍රියංකා ආන්ටිගේ මුහුණෙහි පෙර වූ සිනහව එසේම තිබියදී දිනාරාට හෙළුනේ සැනසුම් සුසුමකි.

“ එහෙම තමයි මැඩම් කොළඹ..ගොඩක් තියෙන්නේ තට්ටු නිවාස තමයි.මේවායේ නම් ටිකක් අඩු පහසුකම් තියෙන්නේ.ඒ උනාට ඉතින් ඔය සමහර තැන්වල තියෙන අධි සුපෝපභෝගී තට්ටු නිවාස කෝටි ගානක් වෙනවා. වලව්වවේ අක්කර ගානක  ඉඩ කඩම් වල ඇවිදලා පුරුදු මැඩම්ට මේවා දැක්කම පුදුම හිතෙන එක සාධාරණයි..”

“ කෝටි ගානක් උනත් මොකටද දරුවෝ මෙහෙම ගෙවල්.හරියකට අතක් පයක් දිගෑරලා  ඉන්නද වලව්වේ නාන  කාමරත් මීට වඩා ලොකුයි.”

“ ඒක හුරු උනාට පස්සේ ගාණක් නෑ ආත්තම්මේ . ඔය ප්‍රසිද්ධ නළු නිළියෝ ,ගායක ගායිකාවෝ ,ඩොක්ටර්ස්ලා ලෝයර්ස්ලා..ඒවගේ අයත් මේ ප්ලැට්ස්වල ඉන්නවා.”

දිනාරා එවර පැවසූයේ සියල්ල සමනය කරනා අටියෙන්ය.

ඇය ගමෙන් ගෙන ආ එළවලු පළතුරු හා සුපිරි වෙළඳ සැලකින් මිලදී මිලදී ගත් නිවසට අවශ්‍ය බඩු බාහිරාදිය නිවස තුළට ගෙන ආවේ රියදුරු විසින්ය.

“ අනේ මැඩම් ඇයි මේ තරම් බඩු කන්දරාවක් උස්සගෙන.අපි තුන්දෙනාට මේවා මාසෙකට සෑහේවි.මැඩම් තේ බොනවද එහෙම නැත්නම් කූල් මොනවා හරි බොනවද..”

“ තේ එකක් බොමු. රස්සෙනං වැඩියි.ඒ උනාට අපිට ඔය කූල් ජාති දැන් ඔරොත්තු දෙන්නේ නෑ.  දැන් ඔය පාටිය තියෙන්නෙත් මේකේ ඇතුලෙමද..”

දිනාරා විදුලි පංකාව මදක් වැඩි කලේ අත්තම්මා සිය ඔසරි පොටෙන් ගෙලත් නළලතත් පිසදා ගනිද්දීය.

“ පාටියක් කිව්වට ලොකු දෙයක් නෙමෙයි මැඩම්. මමයි කිව්වේ අපි පොඩි කේක් එකක් කපලා ෆොටෝ එකක් ගමු කියලා.දුව නම් ඒකට කැමති උනේම නැහැ.ඒ උනාට මැඩම් දරුවෙකුගේ පළවෙනි උපන්දිනේ ආපහු එන එකක් නෙමෙයි නේ.මං දන්නේ නෑ ඉතින් මං ගත්තේ වැරදි තීරණයක්ද කියලා..කොහොම උනත් මැඩම් මේ විදිහට ආව එක අපිට ලොකු සතුටක්..”

“ නෑ ….නෑ ඒකට කමක් නෑ.ඒවා කෙරෙන්න ඕනේ.නෑ මං ඇහුවේ අහල පහල කීප දෙනෙකුත් එනවා කියපු නිසා මේ ඉඩ කඩ ඇති වෙයිද කියලා.”

“ එහෙමකට කියලා ලොකු කට්ටියක් නෑ මැඩම්. පුංචි දරුවෝ හතර දෙනෙක් ඉඳී.එයාලගේ දෙමව්පියොත් එක්ක ඔක්කොම පහළොවක් විතර වෙයි. ඒගොල්ලොත් මේ වගේම ගෙවල් වල ඉන්න නිසා අපහසුවක් දැනෙන එකක් නැහැ මැඩම්..ඇවිල්ලා කාල බීලා යනවා මිසක්කා වැඩි වෙලාවක් රැඳෙනෙකක් නෑ…”

“ ඔව් ඉතින් එහෙම ඉන්න ගියොත් එකාට එකා ඇඟේ හැප්පෙයි.”

“  පුතේ ඔයා අත්තම්මට මූණ  හෝදගෙන ඇඳුම් මාරු කරගන්න කාමරේ  පෙන්නන්නකෝ.මම ඉක්මනට තේ ටික ලෑස්ති කරන්නම්…”

ප්‍රියංකා මුළුතැන් ගෙයට ගියේ අත්තම්මාව නොඇසුණ ගනනටය.රියදුරු වූයේ ප්‍රධාන දොරටුවෙන් එහා පස කොරිඩෝයේ තබා තිබූ පුටුවකය.

“ අත්තම්මත් ඉඳලා යනවා නේද…..එන්න කාමරේට…”

එවේලෙහි සොයුරා උන්නේ හිමාෂා අතේය.අත්තම්මා දෙවරක් තුන් වරක් ඔහුව වඩා ගන්නට දෑත් දිගු කලත් ඔහු හිමාෂාගේ ගෙල බදා ගත්තේ ඇගේ ඇරයුම ප්‍රතික්ෂේප කරමින්ය.

“දැන්නේ මැඩම් නිදාගෙන නැගිට්ටේ..චුට්ටක් වෙලා යයි ඉතින්..”

“ මාත් දරුවෝ හතර දෙනෙක් හැදුවා සුදු මැණිකෙත් එක්ක…”

ප්‍රියංකා ආන්ටි පවසන සියල්ලටම අත්තම්මා කතා කලේ නුහුරුටය.සිත රිදුනේ දිනාරාගේය.

“ අත්තම්මා අද අපිත් එක්ක ඉන්නව නේද…”

දිනාරා ඇසුවේ කාමරයට පැමිණියාට පසුවය.මින් සුළු මොහොතකට පෙර රියදුරා  විසින් නිවස තුලට  ගෙන ආ මඳක් විසල් වූ ඇගේ බෑගයේ වූයේ දිනකට නැවතීමට අවශ්‍ය ඇඳුම්යැයි දිනාරා සිතුවාය.

“ එහෙම බලාගෙන තමයි සුදු මැණිකේ ආවේ. ඒ උනාට මෙහෙම  ඉන්න මට බෑ. මේක ඇතුලේ හරියකට හුස්මක්වත් ගන්නේ කොහොමද.. අර මනුස්සයටත් නිදාගන්න තැනක් තියෙන්න එපැයි.හතට මෙහෙන් පිටවුනත් අපිට දහය වෙද්දී නුවරට යාගන්න පුළුවන්.” 

“ අනේ ආත්තම්මේ.අපි තියෙන විදිහකට අදට විතරක් ඉමු.”

“ මේවා මහ පුදුමාකාර ජීවිතනේ  දරුවෝ.ඔය දරුවො ඇවිත් වැටිච්ච තැන ගැන මගේ හිතේ කිසිම පැහැදීමක් නෑ..”

එවර ඈ පැවසුවේ දිගු සුසුමක් පා කරමින්ය.

( හෙටත් හමු වෙමු දයාබරව )

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here