ප්‍රබෝධමත් ලෙස අවදි වීමට නම්..

උදෑසන අවදි වීම කියන්නේ බොහෝ දෙනෙක්ට පහසුවෙන් හුරු වෙන්න අමාරු කාර්‍යයක්. මෙය ඔබේ දවස අසතුටුදායක වීමටත් එක හේතුවක්. නමුත් නිසි සැලසුමක් ඇතිව සුව නින්දක් ලබා ගන්නවා නම් මේ කාර්‍ය්ය එතරම් අපහසු වන්නේ නැහැ. අද අපි ඔබට කියන්නේ ප්‍රබෝධමත් ලෙස උදෑසන අවදි වීමට සහ කාර්‍යක්ශම විය හැකි කාරණා කිහිපයක් ගැනයි. 

එලාම් ඔරලෝසුව තිබෙන ස්ථානය වෙනස් කරන්න

ඔබ සාමාන්‍යයෙන් ඔබේ එලාම් ඔරලෝසුව ඔබේ නිදන ඇඳ අසලම තබා ගෙන සිටිනවා නම් එය නිදන ඇඳට මදක් නුදුරෙන් තබන්න. එවිට උදෑසනදී එය නාද වන විට ඔබ එය කරා යන නිසා වෙනදා මෙන් එය ක්‍රියා විරහිත කර නැවත නින්දට යාම වළකිනවා. 

රාත්‍රියේ Screen Time අඩු කරන්න 

නින්දට පෙර ඩිජිටල් තිර භාවිතා කිරීම ඔබේ සුව නින්ද කෙරෙහි සෘජුවම බලපානවා. එය වරින් වර නින්දට බාධා කිරීම සහ නින්දට බලපෑම් එල්ල කිරීම සිදු කරන නිසා ඔබ නිදා ගැනීමට පැයකට පමණ පෙර වත් ඩිජිටල් තිර භාවිතා කිරීම නතර කල යුතුයි.ඒ වෙනුවට පොතක් කියවීම , භාවනා අභ්‍යාස වල යෙදීම හෝ ජර්නල් කිරීම සිදු කිරීම ඔබට කල හැකියි.

දුරකථනය භාවිතා කිරීම අවම කරන්න

බොහෝ දෙනෙකුට තියෙන පුරුද්දක් තමයි උදෑසන අවදි වූ සැණින් දුරකථනය පරික්ශා කිරීම සහ දුරකථනය සමග කාලය ගත කිරීම. මෙමගින් ඔබ කාලය නාස්ති කිරීමක් සිදු කරනවා වගේම ඔබේ ශරීරයට තවත් උදාසීන බවක් දැනීම සිදු වෙනවා. මෙම පුරුද්ද වළක්වා ගැනීම සඳහා ඔබේ දුරකථනය නිදන කාමරයෙන් පිටත හෝ නිදන ඇඳට දුරකින් තබා නින්ද යන්න.

ක්‍රමානුකූලව හුරු වන්න

උදෑසන අවදී වීමේ වේලාව වෙනස් කිරීම කිසි සේත්ම එකවර සිදු කරන්නට බැහැ. එයට හුරු විය යුතු වන්නේ ක්‍රමානුකූලවයි. උදාහරණයක් ලෙස ඔබ උදෑසන හයට අවදි වෙනවා නම් ඊලග දිනයේ උදෑසන 5.45ට අවදි වන්න.ක්‍රමයෙන් එම වේලාව අඩු කරමින් ඔබට අවශ්‍ය වේලාවට අවදි වීමට හුරු වන්න.

උදෑසන හිරු එළිය ලබා ගන්න

උදෑසන කාලය ප්‍රබෝධමත් ලෙස ගත කිරීමට හැකි හොඳම ක්‍රමයක් ලෙස උදෑසන හිරු එළිය ලබා ගැනීම හඳුන්වන්නට පුලුවන්. මේ සඳහා එළිමහනේ ව්‍යායාම කිරීම, ඇවිදීම,  පොතක් කියවීම හෝ කෝපි පානය සඳහා සුලු වේලාවක් එළිමහනේ ගත කිරීම ඔබට කල හැකියි.මෙය මිනිත්තු තිහක් පමණ සිදු කිරීම වුවත් ප්‍රමාණවත්.

ව්‍යායාම කරන්න

උදෑසන කාලයේදි ව්‍යායාම කිරීම මගින් ඔබට වඩාත් ජවසම්පන්න සහ ප්‍රබෝධමත් දවසකට මූලාරම්භය ලබා දෙනවා. සෑම උදෑසනකම අවම වශයෙන් විනාඩි තිහක් හෝ විනාඩි හතලිස් පහක කාලයක් වත් කුමක් හෝ ශාරිරික ක්‍රියාකාරකමක නිරත වීම ඔබට කල හැකියි. ව්‍යායාම කිරීම, යෝගා අභ්‍යාස කිරීම , දිවීම , ඇවිදීම හෝ පිහිනීම වැනි ක්‍රියාකාරකම් සිදු කිරීමට හුරු වීම මගින් උදෑසන කාලයේදි ඔබට දැනෙන අලස බව බොහෝ දුරට මග හරවා ගන්නට හැකියාව ලැබෙනවා.

පෙර දින රැයේ සූදානම් වන්න

උදෑසන කාලය කලබලයකින් හෝ තදබදයකින් තොරව ගත කිරීම මගින් ඔබට සන්සුන් හා ප්‍රබෝධමත් බවක් දවස පුරාම දැනීම සිදු වෙනවා. මේ සඳහා සෑම දිනකම රාත්‍රියේ ඔබේ ඊළඟ දවස සඳහා සූදානම් වීම පුරුද්දක් බවට පත් කර ගන්න. උදාහරණයක් ලෙස ඊළඟ දිනයේ ඔබට අවශ්‍ය ඇඳුම් සූදානම් කර තැබීම , ආහාර පිසීම සඳහා අවශ්‍ය දේවල් සූදානම් කර තැබීම ආදී ඔබට කල හැකි සියල්ල සූදානම් කර තබන්න. මෙමගින් ඔබට කලබලයකින් තොරව ඔබේ උදෑසන කාලය ගත කිරීමට වගේම වැඩිපුර වේලාවක් නින්ද ලබා ගැනීමටත් හැකියාව ලැබෙනවා.

මේ සරල උපදෙස් අනුගමනය කිරිමෙන් ඔබට උදෑසන කාලයේදි ප්‍රබෝධමත් ලෙස අවදි වීමට වගේම කාර්‍යක්ශම දිනයක් ගත කරන්නට පුලුවන්. 

ReplyForwardAdd reaction

Related Articles

Don't Miss


Latest Articles