මල් බිඟුන් – 09

සන්දේශ් ගෙන් දුරකතන ඇමතුමක් බව දුටු ගමන් අශ්විනී වටපිට බලා තාත්තා එහි නොවන බව තහවුරු කරගත්තා ය. මුව මත දබරැඟිල්ල තබා කලබල නොකරන ලෙස අමාගීටත් අවධාරණය කළා ය. අමාගී ගල් ගිල්ලා සේ බලා සිටින්නට වූවා ය. ආයු ඇය සමග සිටින බැවින් කිසිවක් කර කියා ගත නො හැකි ය. ඔහු කෑ ගසනා නිසා, දුරකතනයත් ගෙන කාමරයට වැදුණු අක්කා පස්සෙන් එහි යාමට ද නො හැකි ය. ආයු ඔක්කේ ගසාගෙන අමාගී ගෑනු ළමයින් ගේ කාමරයේ දොරකඩට වී කුතුහලයෙන් දැල්වීගෙන සිටියා ය. මේ මොහොතේ සාන්වී නාන කාමරයට වැදීගෙන සිටීම ගැන අශ්විනී ගේ හිතට දැනුණේ සැනසුමකි. ඇය හෝරාවකටවත් දිය නා පිටතට නො එනු ඇත. දිවා ආහාරයෙන් පසු යුරේශ් කෙටි නින්දකට ඇඳට වැටී සිටියේ ය.

“කොහෙද තමුසෙ ඉන්නෙ…”

අශ්විනී දුරකතනයට පිළිතුරු දුන්නේ ම එහෙම ය. ඒ හඬ වඩාත් පහළ විය. නමුත් ඉතා දැඩි වූයේ ය. අඩු තරමින් දොරකඩ සිටිනා අමාගී ට වුව ඇය කතා කරනා දෙයක් නො තේරෙන තරම් විය.

“නෑ නෑ. සිද්ද වෙච්ච දේවල් මට ෆෝන් එකෙන් දැනගන්න ඕන නෑ. තමුසෙ කොහෙද ඉන්නෙ කියල මට කියනව. මං එන්නං හම්බවෙන්න”

සන්දේශ් කියනා දෙයක් අමාගී ට ඇහෙන්නේ නැත. අශ්විනි ගේ බැල්ම තියුණු බව විතරක් ඇයට පෙනේ.

“හ්ම්. මං එනව. නෑ. කවුරුත් දැනගන්නෙ නෑ”

වහා දුරකතන සම්බන්ධය බිඳ දැමූ අශ්විනී එහෙම ම අල්මාරිය හැර අතට හසු වූ ඇඳුමක් ගත්තා ය. අමාගී පොළොවටවත් නො දැනෙන තරම් හෙමිහිට පිය තබා කාමරය තුළට ඇතුළු වී ආයු ව යහන මතින් තැබුවා ය. ඇය අක්කා දෙස බැලුවේ ප්‍රශ්නාර්ථයෙනි.

“කවුරු ඇහුවත්… මං එළියට ගියේ බඩු ටිකකුත් අරං කසුන්ගෙ අම්මවත් බලල එන්න. එච්චරයි. අයිය කතා කළා කියල දන්නෙ ඔයා විතරයි. හරිද… තාත්වත් දැනට ඒක දැනගන්න ඕන නෑ. ඉතුරු ඒව මං ආවට පස්සෙ”

ඇය ලහි ලහියේ සූදානම් වී නික්ම ගියා ය. අමාගී බිත්තියට හේත්තු වී කොට්ටයක් උකුලේ දමාගෙන ආයු එහි සතපවා ගත්තා ය. මේ දෙතුන් දිනට ඔහු ඇගේ නැලවිලි ගී වලට පුරුදු වී තිබේ.

“තින්දූක් කීන්න”

යනුවෙන් ඔහු ගේ ඉල්ලීමට ඇය ගීයක තාලයක් මිමිණුවා ය. නමුත් අමාගී ගේ හිත තිබුණේ වෙනම ම තැනකයි. සිදු වෙන්නට යන්නේ මොනවාද? අක්කා ඇය මත රහසක් පටවා තබා නික්ම යාම හිතට බරකි. ආයු ඉක්මනින් නින්දට වැටුණේ ය. සාන්වී දිය නාගෙන විත් ඇගේ පෙම්වතා සමග දුරකතනයෙන් දිගු පිළිසඳරකට වැටුණා ය. ඇස් පියාගෙන හිටියාට හිතේ කැළඹීම අමාගී වෙත නින්ද නො ගෙනාවෙන්    ඇය නැගිට පිටතට ගියා ය. ආයු දැන්ම අවදි නොවෙනා බව දැන් ඇය අත්දැකීමෙන් ම දනී.

“දරුව නිදිද මාගි…”

තාප්පයට ඉස්මත්තෙන් අමාගී දුටු මණී ඉක්මන් ගමනින් මල්වත්තගේ ද්වාරයෙන්      ඇතුළට ආවා ය. අමාගී සිටින්නේ හිත හොඳින් නොවෙන බව ඕ තොමෝ දන්නී ය. ඇය කල්යල් බලමින් සිටියේ අමාගී සමගින් ටිකක් තනිව කතා කරන්නට යි. මේ ඊට කදිම අවස්ථාවක් සේ ඇය වහා තීරණය කළා ය.

“ආයුට නින්ද ගියා මණී ආන්ටි. ඒත් මට අද නිදිමත නෑ”

මණී සේ ම අමාගී ද ගමන් කළේ සේපාලිකා ගස යට තණ පලසෙහි ඉදි කොට ඇති බංකුව වෙතට ය. එතන නිදහස් ය. සෙවනැති ය. හෙමිහිට කතා කළොත් ගෙතුළට ඇසෙන්නේත් නැත.

“මං පුතාට කතා කරන්නමයි හිටියෙ. අනේ මාගි අපේ ලොකු පුතා කාඩ් එක දීපු එක ගැන මුකුත් හිතන්නෙපා”

අමාගී ලා සිනහවකින් බිම බැලුවා ය.

“අපි කවුරුත් දන්නව ඔයා මේ වෙලාවෙ පොඩි එකාගෙ හිත හදන එක මොනතරං දෙයක්ද කියල. ලොකු අයියගෙ හැටි දන්වනෙ මාගි… එයා ඔය වගේ  දේවල් ගැන ලොකුවට හිතන්නෑ. එයාට ඒව හුරුත් නෑ. එයා හිතුවෙ මාගි කරන උදව් වලට තෑග්ගක් දෙන්න විතරයිලු”

“මණී ආන්ටි ලොකයිය එක්ක ඕක ගැන කතා කළාද” කියා අසන්නට ඕනෑ වුණත් අමාගි ඒ නාසා සිටියා ය.

“ශාක්‍යයි පූජනයි දෙන්නත් දොස් කිව්ව ලොකු පුතාට… මාගිට කාඩ් එක දීපු එක ගැන”

“ඒගොල්ලො මොකටද ඒ පණ්ඩිත වැඩේ කරන්න ගියේ…”

අමාගි එසේ විමසුවේ පපුව පත්ලෙහි හටගත් ඉසිහින් රිදුමක් එක්ක ය. ඇය මොන තරම් කෑගැසුව ද ශාක්‍ය හා පූජන ආර්ය ට දොස් කීවායි ඇසීම ඇයට පහසුවක් දැනවූයේ නැත.  ඈ සමග කෙතරම් අමනාප වී ද ආර්ය ට ගෙදර සැනසීමෙන් සිටීමේ අවකාශය තිබිය යුතු වේ. පොඩි කාලේ පටන් ම ඔහු වැඩි කතා බහකින් තොර පාඩුවේ ජීවත් වන පුද්ගලයෙකු වූ බව ඈ දනී. මල්ලිලා සමගින් වුව ආර්ය ගේ පයුරු පාසානම සීමිත ය. නිධී ගේ මේ පලායාම ඔහු කළඹා තිබේ. එහෙම වෙලාවක අනිත් අයත් වද දීම ඔහුට කොහොම දැනේවි ද? ඔහු ව කොහොම තැනකට ගෙන යයි ද?

“අනිත් අය මොනාත් කියන්න යන්න ඕන නෑ ඉතිං. ලොකයියට පොඩි කාලෙ ඉඳලම මාව පේන්න බෑනෙ මණී ආන්ටි. මට හැමදාම කළේ වෙනස්කංනෙ”

අමාගි ගේ හඩ බිඳිණි. උගුරෙහි හිරවීමක් දැනිණ. ලොකු කඳුළු ගුලි දෙකක් දෑස් බොඳ කළේ නිමේශයෙනි.

“අනේ… එහෙම හිතන්නෙපා පුතේ. පොඩි අයියල දෙන්න ලොකු අයියට දොස් කිව්වෙ වුණත් මාගිවත් නැති කරන්නද හදන්නෙ කියලයි. ඔයා හැදුනෙ අපේ දරුවෙක් වගේ. මගෙ කොල්ලො ටික ඔක්කොම ඔයාට හරි ආදරෙයි. කොල්ලෙක් නැති අපේ ගෙදර හැමදාම තිබුණ සිරියාව ඔයා. ලොකු අයිය ඉතිං කවදටත් ටිකක් ලැජ්ජකාරය. තරමක් ආඩම්බරකාරය. එයා කොහොමත් ගෑනු ළමයි එක්ක ලොකු ආස්සරයක් තිබිල නෑනෙ පුතේ. ඒක ඔයාට කරන වෙනස්කමක් කියල හිතන්නෙපා.  මේ ප්‍රශ්නෙ නිසා අනේ මාගි අපේ ගෙදර එන්නැතුව ඉන්නනං එපා. නැත්තං ඕකටත් අයිය මලෝ පැටලෙන්න බැරි නෑ. මං කියන්නෙ ලොකු පුතා හිත රිදෝගෙන ඉන්න වෙලාවනෙ. අනිත් එවුංගෙ කටවල් මට නවත්න්නත් බෑනෙ”

“මං එන්නං මණී ආන්ටි. කොහොමත් මගෙ තරහක් නෑ. ඒ වෙලාවෙ දුක හිතුණ. එච්චරයි”

අමාගී ගේ හිතට සැහැල්ලුවක් දැනිණ. ඇය යළි කාමරයට යන විට සාන්වී ආයු පසෙකින් නින්දට වැටී සිටියා ය. අක්කාත් නැති එකේ තාත්තා ට තේ එකක් තනා දිය යුතු යයි සිතා ඕ මුළුතැන්ගෙට ගියා ය. දිනක් දෙකක් තුළ මේ ගෙදර පසුබිම එහෙම පිටින් ම වෙනස් වී තිබේ. සන්දේශ් නික්ම ගොස් තිබෙන්නේ ගෙදර සතුටත් අරගෙන ය. දැන් අක්කා කෙබඳු පුවතක් රැගෙන ඒවිද කියා කවුරු නම් දනිත් ද?

“අක්ක කෝ සුදු පුතා…”

දුරේශ් මුළුතැන්ගෙට ආවේ අශ්විනී ගෙදර නැති අඩුව වඩාත් දැනෙමින් තිබූ බැවිනි.

“අක්ක ටවුන් එකට ගිහිං කසුන් අයියලගෙ අම්මවත් බලාගෙනම එනව කිව්ව තාත්ති”

අශ්විනී විසින් උගන්වා යන ලද බොරුව, අමාගී තේ වල පිටි සීනි දිය කරමින් කියා දැමුවා ය. දුරේශ් බංකු පුටුවේ අසුන් ගත්තේ ය. කිසි දෙයක් නො සිදු වූ සෙයින් ඉන්නට උත්සාහ කළ ද දුරේශ් ගේ හිත තෝන්තු වී ගොස් තිබේ. ඔහු ට දැනෙන්නා වූ වේදනාව හදවතේ අත්‍යන්තයෙන් පැන නගින්නකි. නමුත් එය නිවාගනු වස් සුසුමකුදු පිට කිරීමෙන් ඔහු තමන් පාලනය කරගනී. ඔහු ව හා දරුවන් අතැර නිරෝෂා නික්ම ගිය දිනවලත් හදවත් පටක ඉරෙමින් තිබුණේ මේ රිදුමෙනි. නමුත් ඔහු නො සැලී සිටියේ ය. රිදුමට මිදෙන්නට හැර නිශ්චල ව සිටියේ ය. දැනුයි කියාත් කරන්නට ඇත්තේ එය ම නොවේ ද? සන්දේශ් ඔවුන් අතැර ගොස් තිබේ. ඔහු ට පවුලේ සියලු දෙනාට වැඩිය ඒ තෝරාගැනීම වැදගත් වී තිබේ. දැනෙනා රිදුම් නිවාගනු වස් යන්නට ගිය මිනිසුන් යළි කැඳවීම දුරේශ් ගේ විදිහ නොවේ. කෙනෙකු තෝරාගන්නේ තමන්ට වැඩියෙන් වටිනා දේ ය. වැදගත් ම දේ ය. එහෙම තෝරාගැනීමකට හැම කෙනෙකුට ම නිදහස තිබිය යුතු වේ.

“තාත්ති හොඳින් වගේ පෙන්නුවට හොඳින් නෙවෙයි කියල මං දන්නව”

දුරේශ් අතට තේ කෝප්පය දී, අක්කලා දෙන්නා ගේ තේ දෙක ෆ්ලාස්ක් එකට දැමූ අමාගී, තාත්තා ළඟ බිමින් හිඳගත්තා ය. දුරේශ් හුස්ම ගත්තේත් හඬ පිටවේවියි බියෙන් මෙනි.

“සමහර කාල එනව සුදු පුතා…ඉස්සරහට යන්න බෑ කියල දැනෙන. දැන් ඇති කියල හිතෙන. මෙතන මෙහෙම ම නතර වෙන්න ඕනවෙන. සමහර මිනිස්සු තමන්ගෙම ජීවිතේ නැති කරගන්නෙ එහෙම වෙලාවට පුතා. ඒ වේදනාව එච්චරට දරුණුයි. ඒකට මූණ දෙනවට වැඩිය ජීවිතේ අතාරින එක ලේසියි කියල හිතෙන නිසයි ඒ තීරණේ ගන්නෙ. මටත් එහෙම හිතුණ අවස්ථාවක් පහු වුණා. ඒ පුතාලගෙ අම්ම අපිව අත්ඇරල ගිය දවසෙ. ඒත් මං විතරක් ඒ වේදනාවෙන් මිදෙන්නෙ කොහොමද මට දරුවො හතරදෙනෙක් ඉද්දි… ඒ වෙලාවට අපි හිතන්නෝනෙ අපිව දාල යන අයට වඩා අපි ළඟ ඉන්න අයට කොච්චර අපිව ඕනද කියලයි. අමාරුයි තමයි. ජීවිතේ කියල කියන්නෙම අමාරු දේකට පුතා. ඒ අතරෙ පුළුවන් තරං සැනසීම හොයාගන්න එකයි අපි කරන්න ඕනෙ”

“මට තාත්ති ගැන හරි දුකයි තාත්ති”

අමාගී දුරේශ් ගේ දණහිස මතින් හිස තියාගත්තා ය. සැබවින් ඇයට හඬන්නට ඕනකමක් දැනෙමින් තිබිණ.

“තාත්ති කොච්චර ගින්දරක් උහුලගෙන ඉන්න ඇද්ද කියල ඇස් පනාපිට පේනව වගෙයි ලොකු අයිය දකිනකොට. තාත්තල වෙන සම්බන්දකං හදං එළියට ගියානං ලෝකෙට ඒව හොඳට පේනව. අම්මලගෙ හයිය ගැන ඕන තරං කවි සින්දු ලියවෙනව. ඒත් ගෙවල් ඇතුළෙ තාත්තල තනියම දරුවො හදාගන්න විඳින දුක කාටවත් පේන්නෑනෙ”

අමාගි ගේ ඇස් කෙවෙනි අගින් පිටමං වූ කඳුළක් පහළට රූටා කන් පෙත්තක් අතරින් සැඟවී ගියේ ය. දුරේශ් දියණිය ගේ හිස පිරිමැද්දේ ය.

“මං හැමදාම හිතන්නෙ… තාත්තිට ආයෙ බඳින්න තිබුණ කියල. දැං වුණත්… තාත්තිගෙ ජීවිතේ කොච්චර තනිකමක් ඇද්ද… අපි හතරදෙනාට කවදාවත් දැනුන්නැති…දැනෙන්නැති… තාත්තල එහෙම තනි වෙන්න හොඳ නෑ අප්ප. හිතේ තියන දෙයක් තාත්ති මටවත් කියන්නෑනෙ”

තවත් කතා කරගෙන යන්නට බැරි සෙයක් ඇයට දැනිණ. දුරේශ් ඇස් තද කරගෙන, දත් දෙපෙළ එකට හිර කරගෙන ඒ හැඟුම් සැඩ පහර තරණය කළේ ය. තනිකම කියන සාහසික හැඟීම ගැන පොතක් ලියන්නට ඔහු ට පිළිවන. ඒ ගැන කියා දෙන්නට මේ කෙල්ල තවම පොඩි වැඩි ය.

“අපිට අපි ඉන්නවනෙ පුතේ…ම්‍…ඔය තුන්දෙනා හොඳ කොල්ලො තුන්දෙනෙක්ට දුන්නට පස්සෙ මට තව මොනාද…”

“මටනං තාත්තිව තනියම දාල යන්න බෑ. අක්කල බැඳපුදෙං. මට බඳින්න ඕන නෑ. මං තාත්ති බලං ඉන්නව”

“පිස්සු කෙල්ල”

කෙළ බිඳක් සමගින් හද දුක ගිලදමා දුරේශ් ව්‍යාජ සිනහවක් මුහුණෙහි ඇඳගත්තේ ය.

“ආ…මෙයා හුරතල් වෙනව… මට චූටි නින්දක් ගිය ටිකට”

කියමින් ඇවිත් සාන්වී තාත්තා ගේ ගෙල වැළඳගත්තී ය. පැන්ට්‍රි කබඩ් එක මත වන කුඩා ඔරලෝසුවෙහි වේලාව හවස පහයි තිහ ලෙස සනිටුහන් වී තිබිණ.

“අක්ක මොකද තාමත් නැත්තෙ… කෝල් එකක් ගන්න බලන්න”

සාන්වී ජංගම දුරකතනයෙන් අක්කා ට ඇමතුමක් ගත්තා ය. එය හැඬවිණි ද පිළිතුරු ලැබුණේ නැත. අමාගී ගේ පපුවෙහි අලුත් ගිනි මැලයක් ඇවිලිණි.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles