අමාගී සිටියේ ආයු වඩාගෙන රෝහල් කුටියේ විසල් වීදුරු කවුළුවෙන් පිටත කොළඹ නගරය දෙස බලාගෙන ය. මුළු නගරය කණාමැදිරි තිත් ගොඩක් වන් ආලෝක පුංජ සමූහයකට කැටි වී කැන්වසයකට සීමා වී ඇති සිතුවමක් සේ ය. ඒ වූ කලී නො නිදන නො සැලෙන නගරයකි.
ආයු හයියෙන් හුස්ම ගනී. අමාගී ගේ ගෙල වැලඳ උන් ඔහු ගේ ග්‍රහණය ලිහිල් වී ගොසිනි. දරුවා ගැඹුරු නින්දකට වැටී තිබේ. අමාගී නෙතු පහළට හරවා සිඟිති පුතු දෙස බැලුවා ය. ගැඹුරින් හුස්මක් ගත් ඕ ඔහු යහනෙහි සතපවා පැති ඇන්ද මඳක් ඉස්සුවා ය. කොට්ටා ලං කොට, ෆ්ලැනල් එක පොරවා දරුවාට සුව පහසුව තැනුවා ය. අනතුරුව ඔහු ගේ කම්මුලක සිනිඳු හාදුවක් තබා “ඉක්මනට සනීප වෙන්න මගෙ පණ” කියා මිමිණුවා ය. යාබද ඩිවානය මතට වී දුරකතනයට දෑස් ඔබාගෙන සිටි ආර්ය ලොකු සුසුමක් අත්හැරියේ ය. කලිසම් සාක්කු වල දෑත් ඔබාගනිමින් නැගී සිටි හෙතෙම, යහනද්දර අසුනේ හිඳ සිටි අමාගී අසලින් නතර වූයේ ය. ඒ පිරිමි සුවඳින් ඇගේ ඇතුළාන්තය මුළුමනින් පිරී ගියේ ය. සුවඳ පොදක් හෝ අපතේ නොයනු වස් ඕ ඉතා හෙමිහිට හුස්ම ගත්තා ය.
“තෑන්ක් යූ අමාගි. මං දන්නව ඔයාට එහෙම වචනයක් මොකටද කියල. ඒත්… වෙන මොනා කියන්නද කියලත් මං දන්නෑ. මේ වෙලාවෙ මට තියන ලොකුම හයිය ඔයා”
අමාගී ගේ ඇස් වලට තෙතමනයක් දැනිණ. ඇය අනිමිස ලෝචනයෙන් ආයු දෙස බලාගෙන ම සිටියා ය. සියල්ල සිහිනයක් මෙනි. ආයු ගේ අසනීපය කුමක්දැයි සොයා ගන්නට සියලු වෛද්‍ය පරීක්ෂණ අසමත් ව තිබිණ. ඒ කිසිදු වෛද්‍ය වාර්තාවකට අනුව නිශ්චිත කළ හැකි රෝගයක් ආයු ට වූයේ නැත.
“අම්ම නැත්තං එයා ගොඩක් ආදරේ කෙනෙක්ව හරි බබා එක්ක තියල බලමු”
අවසන ආයු ගේ වෛද්‍යවරයා පවසා තිබිණ. අමාගී අද හැන්දෑවේ රෝහල් කුටියෙහි නැවතුණේ ඉනික්බිති ය. අනියත හැඬුම් නවතා මඳක් සන්සුන් වූ ආයු නින්දට වැටුණේ පවා ඇය පැමිණි පසුයි.
“අනේ මට කොහොමහරි ආයුව සනීප කරල දෙන්න ලොකයියෙ. මට… ම් මට දරාගන්න බෑ මේක”
මෙතෙක් හදවත ඇතුළේ තියාගෙන විඳවූ හැඟීම පිටමං වූයේ ඒ විදිහටයි. අමාගී ගේ කොපුල් ඇසිල්ලකින් කඳුලු ඉවුරු බවට පත් විය. ඇයට ඉකිබිඳිණි. ආර්ය ගේ අතක් ඇගේ හිස් මුදුනෙහි නතර විය. අනිච්ඡානුගව ඇය ඔහු ගේ සිරුරට හිස බර කළා ය.
“එයා සනීප වෙයි. ඉක්මනට සනීප වෙයි මාගි. දවල්ට වැඩිය දැං එයා චුට්ටක් සනීපෙන් වගේ මට දැනෙනව. ඔයා බය වෙන්නෙපා”
අමාගී ට ඉකිබිඳිණි. මේ හඬන්නට සිටි මොහොතක් නොවේ. විශේෂයෙන් ම ආර්ය ඉදිරියේ මේ විදිහට හඬා වැටෙන්නට ඇයට ඕනෑ වූයේ නැත. නමුත් කඳුලු මේඝය හදිසියේ ම ඉහිර ගියේ අනපේක්ෂිත ලෙසයි.
“ඉතිං ඔයත් මෙහෙම දුර්වල වෙනකොට මං කොහොමද හිත හයිය කරගෙන මේකට ෆේස් කරන්නෙ…”
අමාගී අසුනෙන් නැගී සිටියා ය. සිරුරෙහි පණ කෙන්දක් ඉතිරි වී නැති අප්‍රාණික බවක් ඇයට දැනේ. පෙර දා ආයු රෝහල් ගත කළ වෙලාවේ පටන් ඇගේ කුසට අහරක් වැටී නැත.
“මං ආයු ළඟ ඉන්නං”
කියා ඒ වෙලාවේ ඇය කීව ද මණී ඊට එකඟ වූයේ නැත.
“ඒක කරන්න බෑ පුතේ. ඔයා ආයුට ආදරේ වුණාට මහ ගෑනියෙක් නෙවේනෙ. ඉතිං කොහොමද අම්මෙක් වගේ දරුවෙක් එක්ක හොස්පිට්ල් එකක නවතින්නෙ. මාගි ගෙදර ඉන්න. මට පුළුවන් ඉස්පිරිතාලෙ නවතින්න. පුළුවන්නං චූටි පුතා එක්ක එකතු වෙලා අපේ කොල්ලො තුන්දෙනාටයි අංකල්ටයි මොනාහරි උයල දෙන්න. එකක් හදල බත් දුන්නත් ඇති පුතේ”
ඉන් ඔබ්බට යමක් කියන්නට අමාගී ට හැකි වූවා නොවේ. ආර්ය සමගින් මණී රෝහල් කුටියෙහි ආයු තබාගෙන රැඳුණහ. අමාගී ගේ උදව් ඉල්ලා සිටින්නට වූයේ වෛද්‍ය නිගමනයත් සමගයි. ඒ යෝජනාවත් සමග බලාපොරොත්තුවෙන් දීප්ත වූ අමාගී ව රෝහලේ නතර කරන්නට අශ්විනී කැමති වූයේ නැත.
“මං නැතුව ආයුට සාංකාව ඇති. මං ගියාම එයාව ඉක්මනට සනීප කරගන්න පුළුවන්නං ඇයි මං නොයා ඉන්නෙ…”
අමාගී බිඳුණු හඬින් ප්‍රශ්න කළා ය. අවසන ඇයට ඒ අවස්ථාව ලැබුණේ දුරේශ් ගේ මැදිහත් වීමෙනි.
විඩාපත් ගතින් ද හදවතේ අවිනිශ්චිත බවෙන් ඔත්පල වී සිටි යුවතිය හිස කේ අවුල් කරගෙන, උමතු වීමට ආසන්නව සේ සිටියා ය.
“ආයු සනීප වෙනව කියල ඔයාට හොඳටම විශ්වාසයි නේද ලොකයියෙ…”
“ඔව් අමාගි”
ආයුව ළයෙහි හොවා නිදි කරවීම නිසා ඇගේ ඇඳුමෙහි උඩුකය කොටස පහළට ඇදී යන්තම් ළැම නිරාවරණය වී තිබිණ. ආර්ය කතා කළේ ඇඟිලි තුඩින් ඒ සකසමිනි. වැරදීමකින්වත් අතැඟිලි ඇගේ සිරුරෙහි ස්පර්ශ නොවන්නට ඔහු වගබලා ගත්තේ ය.
“ප්‍රොමිස්…”
“ප්‍රොමිස්. මොන දෙයක් කරල හරි එයාව සනීප කරගන්නව මං. නැත්තං මට කෝ ජීවත් වෙන්න හේතුවක්…”
ආර්ය ගේ හඬ බිඳී ගියේ ඒ වෙලාවේ ය. ඉක්මන් කඳුලක් ඇස් දවමින් ඇස් කෙවෙනි වලට පිරීගත්තේ ය. ඔහු වහා සිය ඇඟිලි තුඩගින් දෑස් තදකොට ගත්තේ ය.
“ඉතිං ඔය ඔයත් අඬනවනෙ ලොකයියෙ”
“නෑහ්. ආයුට ඔයාවයි ඔයාට ආයුවයි ඕනෙ කියල මං හොඳටම දන්නව. මගෙ අසරණයට එයාගෙ කියල දැනෙන කෙනෙක් වුණාට පිං ඔයාට”
ඒ රාත්‍රිය අතිශය දිගු වූයේ ය. වේදනාබර වූයේ ය. වරින් වර හෙදියක විත් ආයු ගෙන් රුධිරය ලබාගත්තා ය. එතකොට ඔහු හඬමින් අවදි වෙයි. යළි නින්දකට ඇරලවන එක පහසු නැත. වේදනාවෙන් ආයු හඬත්දී අමාගී ගේ පපුව රිදේ. කඳුලු ග්‍රන්ථි දිය වී වැගිරෙයි. එතකොට ඇය අතැඟිලි වලින් කොපුල් පිසදාගෙන හිත හයිය කරගනී.
“ඉතිං මාට ඉදුණද…”
අමාගී ගේ කඳුලක් දුටුවොත් ඇගේ දෙකොපුලින් අල්වා මූණට එබී ආයු අසයි.
“මගෙ මැණිකට රිදෙනකොට මටත් රිදෙනව තමයි පැටියො”
“බබාට ඉදෙන්නෑ. මා අඬන්නෙපා ඔඳේ”
“නෑ මගෙ මැණික”
ඔවුන් ගේ ආදරය දෙස ආර්ය බලා සිටියේ හකු තද කරගෙන දෑත් තදින් පපුවෙහි බැඳගෙන, වාං දමනා හැඟුමන් කෝටි ගණනක් ඉවසීමෙන් රඳවාගෙනයි. වරින් වර අවදි වෙමින් ද හඬමින් ද යළි නිදි සුව ලැබූ ආයු ගේ දේහ උෂ්ණත්වය උදේ වන විට අඩු වී තිබුණේ හාස්කමකින් සේ ය. වෛද්‍යවරයාගේ මුවට සිනහවක් ආවේ ය.
“ඒකනෙ. රිපෝට් වලට අහු නොවෙන ලෙඩක්නං ඉතිං හොඳ කරන්න බෙහෙත් වලට බෑ”
ආර්ය අමාගී වෙතට කෘතඥ බැල්මක් හෙළුවේ ය. මණී ඇගේ අතක් ආදරයෙන් පිරිමැද්දා ය.
“බබාට තිබිල තියෙන්නෙ ශොක් එකක් වෙන්න ඕනෙ. ඒක හෙමිහිට ඇරිල යයි. අම්ම මොකද මා මොකද…නේද කොල්ලො”
වෛද්‍යවරයා ආයු ට විහිළුවක් ද කළේ ය. ඒ විහිළුවෙන් කළබල වී ආර්ය විගස ඉවත බලාගත්තේ ය.
“මේනකාව එහෙම ආයෙ ගෙන්නන්න බෑ ඔන්න. එයාව දැක්කොත් ආයුට ආයෙත් ඒ සිද්ධිය මතක් වෙලා ලෙඩ වෙයි. ආයෙ ඒ හොල්මනව ගෙනාවොත් එහෙම මං ආයුව අපේ ගෙදරට අරං යනව”
රෝහලෙන් පිටත් වීමට පෙර ම අමාගී අනතුරු ඇඟවීමක් කළා ය. ආර්ය ඇදෙස බලා හිඳ ඉවත බලා ගත්තේ ය.
“ලොකයියවත් එක්කම ගෙනියන්න බැරිද…”
අමාගී ගේ සවනට ලං ව හෙමිහිට එසේ විචාලේ රුසිරු ය. ඔහු ගේ මුහුණේ දඟකාර සිනහවක් විය. අමාගී ඔහු දෙස බැලූයේ රවාගත් බැල්මකිනි. නමුත් රුසිරු ගේ විහිළුව ගැන කිසිදු අමනාපයකට නො පත් බවක් ඇගේ ඇස් වල වූ සිනහව කීවේ ය.