හද සාගරේ – 10

0
4953

මෝටර් රථයක් ගේට්ටුව ළඟ නතර වෙන හඬින් ආදියා හැරී බැලුවා ය. විවර වූ වීදුරු ජනේලයෙන් ඇය දුටුවේ කොට කලිසමක් හා ටී බැනියමක් හැඳ ඩෙක් ශූස් දැමූ තරුණයෙකු ඉන් බැසගන්නවා ය. ඒ වෙනකෙකු නොව දෙව්රම් සන්දනායක බව හඳුනා ගත්දී ඇය වික්ශිප්ත වූවා ය.

“තණකොළ කපන්න වසන්ත නෙවෙයි වෙන මනුස්සයෙක්නෙ එනව කිව්වෙ”

කියාගෙන නිශ්ශංක ආලින්දයෙන් මිදුලට බසිත්දී ය ආදියාට මේ සිදුවීම පෙරපර ගලපා ගත හැකි වූයේ. ඇගේ මුව ද දෑස් ද වඩාත් ලොකුවට විවර වී තිබිණ. ඕ අතින් මුව තද කොට වසා ගත්තා ය.

 ගෙදර මිදුලේ තණකොළ කපන්නට දෙව්රම් තල්ලු කරනා යන්ත්‍රයක් ගත්තේ එය ශාරීරික ව්‍යායාමයටත් හොඳ බැවිනි. කාලයක් තිස්සේ මේ දුරකතනයෙන් එන නිර්ණාමික ඇමතුම් හා තණකොළ කැපීමක් ගැන දෙවතාවක් පැමිණි ඇමතුමත් අතර සම්බන්ධයක් හොයා ගත යුතු බවට ඔහු ගේ හිත බල කොට සිටියේ ය. ත්‍රීරෝද රියක් ගෙන මඳක් වෙස් වලාගෙන එන්නට මුලදී සිතුවත්, සංකේත් ගේ රියෙහි ම යන්නට අන්තිමට ඔවුහු තීරණය කළහ.

දෙව්රම් ව හැඳින ගැනීමත් සමග පෙරළාගෙන දිව ගිය ආදියා කාමරයට වැදී දොර වසාගත්තා ය. ඇගේ කාමරයේ  එක් පැත්තක වන ජනේලයෙන් ඉස්සරහා මිදුල මැනවින් පෙනේ. තිර රෙද්දට මුවහ වීගෙන ඇය මිදුල දෙස බලා සිටියා ය. දෙව්රම් තණකොළ කපන කරත්තයක් වන් යන්ත්‍රය රියෙන් පිටතට ගත්තේ ය. දෙවියනි සැබවින් ඔහු තණකොළ කපන්නට පැමිණ තිබේ ද? තාත්තා නැවතත් තණකොළ වසන්තට ඇමතුමක් ගත් බව ආදියා දන්නේ දැන් ය. අන්තිමට තිබූ අංකයට ඔහු කතා කරන්නට ඇත. වසන්තට ගැනීමෙන් පසු ආදියා දෙව්රම් ට කතා කළ බව සිහි වන්නේ දැන් ය.

“ඔන්න අංකල් අපි ආව තණකොළ ටික කපල දෙන්න”

දෙව්රම් ලස්සනට සිනහ වූයේ ය. ඒ සිනහ මුහුණ පුරුදුයි වාගේ දැනුණා ට, අලුත් නළුවන් ගැන අල්ප මාත්‍රයකුදු නිශ්ශංක දන්නේ නැත. ගාමිණී ෆොන්සේකා, විජය කුමාරණතුංග, සනත් ගුණතිලක, ටෝනි රණසිංහ, ප්‍රෙඩී සිල්වා වැන්නවුන් චිත්‍රපට වල ප්‍රධාන නළුවන් වූ සමයේ නම් ඔහු ඒ එකදු චිත්‍රපටයක් හෝ අත්හැරියේ නැත. දැන් ඉන්නා නළු බට්ටන්ට ඔවුන් වාගේ හැරෙන්නටවත් බැරි ය යන්න නිශ්ශංක ගේ අදහසයි. එනමුත් මේ ඉලන්දාරියා තණකොළ කපනවා වාගේ කුළී වැඩකින් දිවි සරිකරගන්නා අයෙකු නොවන බව බැලූ බැල්මට පෙනේ.

“මට වැරදිලාද නැත්තං මේ ළමයට වැරදිලාද… මං කතා කළේ මේ තණකොළ ටික හැමදාම කපල දාන්න එන හාදයට. මේ ළමය වසන්තයගෙ කවුරුවත්…”

“අංකල්ට තණකොළ ටික කැපෙන්නනෙ ඕනෙ. ඒක කරමුකො”

කියමින් දෙව්රම් මිදුලේ  කොනකට තණකොළ කපනා මැෂිම තල්ලු කරගෙන ගියේ ය. වසන්ත කුළියට තණකොළ කපනා පෙට්‍රල් වලින් ක්‍රියා කරනා යන්ත්‍රය මීට වැඩිය කාර්යක්ෂම බැව් සැබවි. නමුත් මේ අපූරු තරුණයාගේ තණකොළ කැපීම නිශ්ශංක ගේ හිත් ගත්තේ ය.

“පුතාලට බොන්න මොනාහරි…”

“නැතත් කමක් නෑ අංකල්”

“තිබුණත් කමක් නෑ අංකල්”

දෙව්රම් ට විරුද්ධව එසේ  කීවේ බංකුව මත වාඩි වී නිකටේ අත තියාගෙන සිටි සංකේත් ය. නිශ්ශංක සිනහ වෙවී ගෙතුළට ගියේ ය. සාරාධා බරාඳයෙහි අසුන් ගෙන බඩ ඉස්සරහාට දමාගෙන සිටියා ය. ඈ අසල බිම සෙල්ලම් කළ සිතුමි බෝනික්කෙකු අතින් එල්ලාගෙන මිදුලට බැස්සා ය.

“ඔය කියන විදිහට අර අතන ඉඳං ඉන්න බඩදරු අම්මට වෙන්න ඕනෙ උඹේ කටහඬ අහන්න ඕනවෙලා තියෙන්නෙ. ශුවර් එකටම ඒ ගෑනු මනුස්සයට ආපු දොළදුකක් වෙන්න බැරිද ඕක. හරිනෙ… දැං ඉතිං ඇස් දෙකටම දැක්කනෙ කව්ද සීක්‍රට් කෝලර් කියල… තේ එක බීපු ගමං මාරු වෙමු ආ…”

සංකේත් නෝක්කාඩු කීවේ ය. නමුත් දෙව්රම් ඒ තරම් පහසුවෙන් පරාජය භාර ගන්නට සූදානම් වූයේ නැත. ඔහු වට පිට බැලුවේ ය. කිසියම් හෝඩුවාවක් සොයා ගන්නට උත්සුක වූයේ ය. ආදියා ඉතා සියුම් ලෙස, විවර කොට තිබූ ජනේල පියන වසාගත්තා ය. තිර රෙද්ද ද ඇද වීදුරුව වසා, ඒ අතරින් හොරෙන් වාගේ බලා සිටියා ය. දෙව්රම් මේ ගමන නිකං ම පැමිණියා කියා සිතිය නො හැකි ය. වසර කිහිපයක් තිස්සේ මේ නිර්ණාමික දුරකතන ඇමතුම් ගැන වගේ වගක් නැතිව සිටි ඔහු දැන් ඒ කවුරුන්දැයි සොයන්නට පටන් ගෙන ඇති බව සහතික ය. ඔහු ඒ අංකය ඇමතුවේ ඇයව අතට ම අල්වා ගැනීමට ය. දැන් මේ තණකොළ කපන්නට පැමිණි ගමන ද හොර අල්වා ගැනීම පිණිස පැමිණි එකක් බව ඇයට නො රහසකි.

“චූටි දුව…”

තරුණයන් දෙදෙනාට ද නිශ්ශංකට ද තේ හදා දුන් ජිනාදරී, ආදියා ගේ දොරට ගැසුවා ය. කුමක් කළ යුතු දැයි මොහොතක් කල්පනා කළ යුවතිය ගිලන් හඬක් ආරෝපණය කරගත්තා ය.

“ඇයි අම්මෙ…”

“දොර අරින්නකො පොඩ්ඩක්”

ඇස් කුඩා කොට ලෙඩ මූණක් හදාගෙන ගොස් ආදියා දොර විවර කළා ය.

“අනේ මං චුට්ටක් හාන්සි වෙලා අම්මෙ හිටියෙ. ඔළුව පැලෙන්න වගේ කැක්කුමයි”

“ඒ මොකද මේ හදිස්සියෙ…”

කියමින් ජිනාදරී දියණිය ගේ නළලත පිටි අත්ල තබා බැලුවා ය.

“උණක්නං නෑ”

“ඒ වුණාට තද ඔළුව කැක්කුමක්. මං හිතන්නෙ අයි සයිට් එක පෙන්නල ස්පෙක්ස් ගන්න වෙයි වගේ”

“චුට්ටක් එළියට එන්නකො බඩ්ඩක් පෙන්නන්න. අර නළුව නේද බලන්නකො තණකොළ කපන්න ඇවිත් ඉන්නෙ”

කොයි මොහොතක හෝ අම්මා ඔය ප්‍රශ්නයත් ගෙන මෙහි එන බව ඇය දැන සිටියා ය.

“අනේ අම්මෙ… නළුවෙක් මෙහෙ තණකොළ කපන්න එන්න අපේ ගෙදර ෆිල්ම් එකක් ශූට් කරන්නෑනෙ”

“දරුවො… ඇවිත් බලන්නකො. මට නමනං මතක නෑ ඔය අලුත් නළුවංගෙ. හැබැයි මට මෙයාව හොඳට මතකයි. ඔයා ඔය ජනේලෙං බලන්නකො”

“අයියෝ අම්මෙ පොඩ්ඩක් ප්‍රායෝගිකව හිතන්නකො. එක වගේ ඕනතරං මිනිස්සු ඉන්නව. අනිත් එක නළුවෙක් වුණත් පාට් ටයිම් ජොබ් එකක් විදිහට තණකොළ කපනව වෙන්න පුළුවන්නෙ. ඕක ඉතිං මහ දෙයක් කරගන්න එපා. දැං අම්ම යන්න මට ටිකක් නිදාගන්න”

“අනේ මන්ද… ගෙදර ඉන්නවනං නිදියනවට වැඩිය වැඩක් නෑනෙ ඔයාටත්”

කියමින් ජිනාදරී නික්ම ගියා ය. ආදියා වහා දොරගුළු දමාගත්තා ය. ඇගේ පපුවේ වන ගින්දර ගැන අම්මා ට තේරෙන්නේ නැත!

“අපේ නෝනා කියනව මේ පුතා වගේ නළුවෙකුත් ඉන්නවලු”

චොක්ලට් බිස්කට් පැකට් එකක් සමගින් කිරි තේ දෙකක් සහිත බන්දේසිය තරුණයන් වෙත ගෙන යමින් නිශ්ශංක කීවේ ය. දෙව්රම් මූණ දෙන්නේ නැතිව ව්‍යාජ සිනහවක් පෑවේ ය.

“ඔව් ඔව් අංකල්. මෙයා නම්බර් වන් නළුව. මේ පේන්නැද්ද දැං මේ මෙතන කරන කැරැක්ටර් එක”

සංකේත් මැද්දෙන් පැන වැඩේ වරද්දාවියි සාධාරණ බියක් දෙව්රම් තුළ ඇති විය.

“නෑ අංකල්… ඇත්තටම මට අංකල් ගැන පව් හිතුණ. ගිය සතියෙ ඉඳංනෙ ඔය තණකොළ කපන මනුස්සයෙක් හොයන්නෙ. ඉතිං මට හිතුණ ගිහිං ඒක කරල දීල එන්න ඕනෙ කියල. කොහොමත් මට අද උදේ වරුවෙ වැඩක් නෑ”

“එහෙම අනුන්ට උදව්වක් කරන ඉලන්දාරි මේ කාලෙ හරි අඩුයි”

“ඒ වුණාට මෙයා ඉන්නව. තණකොළ කපල දෙනවා… ගස් ඇදල බැඳල දෙනවා… තැඹිලි පොල් බාල දෙනවා… පරණ බේසං වලට අලුත්… ආ අංකල්… පරණ ගෑනු ළමයි එහෙම නැද්ද… හිටියනං මෙයා අරං අලුත් බේසමක් දෙයි”

සංකේත් ගේ විහිළුව මෝඩ වැඩි යයි දෙව්රම් ට සිතිණ. නමුත් නිශ්ශංක ඊට හඬ නගා සිනහ වූයේ ය.

“මේ පුතාගෙ හිතේ එහෙනං චන්දෙ ඉල්ලන්නවත් අදහසක් තියනවද දන්නෑ”

“එහෙම බැරිකමකුත් නෑ නේද අංකල්…”

“අපොයි මොකද බැරි… රටේ බවලත් උදවියගෙ මනාපෙංම පාර්ලිමේන්තු යන්න පුළුවන්”

නන්නාඳුනන තරුණයන් දෙදෙනෙකු සමග තාත්තා මේ තරම් ඉක්මනින් සුහද වූයේ කෙසේ දැයි ආදියා තිර රෙද්ද පිටුපස සැඟවී හිඳ ඔත්තු බලමින් සිතුවා ය. ඉතාමත් මිත්‍රශීලී වැදගත් වැඩිහිටියෙකු සේ පෙනෙනා නිශ්ශංක සමගින් වඩාත් කුළුපග විය යුතු යයි දෙව්රම් තරයේ සිතට ගනිමින් සිටියේ ය.

“ඇත්තටම අංකල්ගෙ ඔය තණකොළ කපන මනුස්සයගෙයි   මගෙයි ෆෝන් නම්බර්ස් දෙකේ  මොකක් හරි ළඟින් යන ගතියක් ඇති. එක නම්බර් එකකින් තමයි වෙනස් වෙනව ඇත්තෙ. ඒකනෙ එදත් අංකල් ගත්තහම මගෙ ෆෝන් එකට කෝල් එක ආවෙ”

“අනේ මන්ද… අපේ චූටි දුවගෙ ෆෝන් එකෙන් තමයි මං ඔය කෝල් එක ගත්තෙනං… “

ක්ෂණිකව දෙව්රම් ගේ සිත්හි අකුණක් පිපිරුවේ ය. එසේ නම් ඒ ඇයයි! නිර්ණාමික ඇමතුම් ගන්නී ඔහු ගේ චූටි දුවයි! තණකොළ ටික කපන්නට පැයක්වත් ගත නොවුණ තරමි. නමුත් ඊට හිලව්වට ලැබුණු හෝඩුවාව කෝටියක් වටී.

“අනේ මන්දා ඉතිං මේ පුතාට තණකොළ කපන මිනිහෙක්ට වගේ කුළියක් දෙන්නත් බෑ වගේ මට…”

දෙව්රම් ගේ කාරිය නිමා වූ පසු නිශ්ශංක ඒ ගැන කුහුල්  සහිත වූයේ ය. දෙව්රම් සිනහ වුණේ සැහැල්ලුවෙනි.

“අංකල් මොනා කියනවද මන්ද. අංකල් වගේ කෙනෙක් අඳුනගන්න ලැබුණ එකත් කොච්චර ලොකු දෙයක්ද…”

“චූටි දුවව දකින්න ලැබුණනං ඊටත් වැඩිය ලොකු දෙයක්”

සංකේත් හඬ පිට නොවෙන සේ මිමිණුවේ ය. නිශ්ශංක ට නො දැනෙන්නට දෙව්රම් ඔහුට රැව්වේ ය.

“එහෙමනං පුතාල දවල්ට කෑම ටිකක්වත් කාල යන්න ඉමු”

“අනේ බෑ අංකල්. හවසට වැඩ ටිකක් තියනව. අපි වෙන වෙලාවක එන්නංකො කෑම කාල යන්න”

“අනිවාර්යෙන්ම එන්න. ඕනම වෙලාවක අපි පුතාලව පිළිගන්නව”

“ආයෙ තණකොළ කපන මනුස්සය නැති වුණොත් මං ඇවිත් කපල දෙන්නංකො අංකල්”

නිශ්ශංක ද දෙව්රම් ද හඬ නගා සිනහ වූහ. සංකේත් ඉවත බලාගෙන මුණු මුණු ගෑවේ ය.

“හරි හිනා”

ඔවුන් යළි රියට ගොඩ වන විට නිශ්ශංක පසු ගමන් යන්නට තරම් දෙව්රම ට හිතවත් ව සිටියේ ය. තිර රෙද්ද වඩාත් ඈත් කළ ආදියා කම්මුලෙහි අතක් ගසාගෙන බලා සිටියා ය.                   

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here