හද සාගරේ – 12

0
6572

දිවා ආහාරයෙන් පසු ආදියා කාමරයට වැදුණේ හිරු තරමක්   අවරට හැරුණු විට බෙල්ලන්විල පන්සල් යාමට සූදානම් වෙමු කියා ය. යහනට වැටුණු කල කම්මැළි කමට වාගේ ඕ දෙව්රම් ගේ දුරකතනය අංකනය කළා ය. එක හැඬවුමකට පසු එහා ඉම “හෙලෝ” කීවේ ඔහු ද විවේක සුවයෙන් ඇඳට වැටීගෙන සිටි බැවිනි. පෙරටත් වැඩි සමීප බවක් ඒ තනි වචනය තුළ ආදියා ට දැනිණ. ඇයිදෝ මන්දා ඇගේ පපුවේ ඉසියුම් රිදුමක් ඇති වී නැති වී ගියේ ය.

“කොහොමද…”

දෙව්රම් කතා කළේ ඉතා ළඟින් ඇසුරු කරන ඉතා හොඳින් දන්නා කෙනෙකුට මෙනි.  

“කාල බීල එහෙමද ඉන්නෙ…”

ඔහු ගැන පුදුම ස්නේහ හැඟීමකින් ඇගේ ළය පිරී ගියේ ය.

“කතා නොකර ඉන්න ඕන නෑ. ඔයා කවුරු වුණත්… ඔයාට මාත් එක්ක කතා කරන්න පුළුවං. ඕනම දෙයක් කියන්න පුළුවං. මං ගැන කිසිම සැකයක් බයක් තියාගන්න ඕන නෑ. මං විශ්වාස කරන්න පුළුවං මිනිහෙක්… හරිද…”

ආදියා ට ‘හිචිස්’ ගා සිනා ගියේ ය. එකෙනෙහි ඕ මුව තද කොට පියා ගත්තා ය. දෙව්රම් මුව මඳහසින් ඒ සිනහ සර අසා සිටියේ ය. එහෙම හිනාවක් ගැන මතකයක් හදවත කොහේ හෝ තැනෙකින් හිස ඔසවන්නට හැදුවේ ය. එකෙනෙහි යටපත් ව ගියේ ය.

“හිනාවෙන්න නෙවෙයි. ඇත්තට කිව්වෙ”

ඔහු වචන තෝරාගන්නේත් ඒවා උච්චාරණය කරන්නේත් ආදරේ හිතෙනා විලාශයකටයි. ඒ ඔහු ගේ නළුකමට අදාල වූවක් නොව ආත්මීය ලක්ෂණයකි. මේ මුදු පිරිමිකම් ගැහැනු හදක් ප්‍රේමයෙන් සුසර කරවයි. පිළිවන්         කමක් තිබිණි නම් ඒ පිරිමි රුව බදා වැළඳගන්නා තෘෂ්ණාවක්          ආදියා ට නො දැනුණා නොවේ. නමුත් මෙහෙම ඔහු ගේ වටිනා කාලය කා දමන එක අපරාදේයි සිතුණෙන් ඇය දුරකතන සම්බන්ධය බිඳ දැමුවා ය. නමුත් හදවතේ ලෝභී හැඟීමක් ලියලෑවේ ය. ඇය කෙටි පණිවිඩයක් ලීවා ය.

“ඔයා හරිම හොඳ කෙනෙක්”

දෙව්රම් සේ ම ආදියා ද ඒ වැකිය දෙස බෝ වෙලාවක් බලාගෙන සිටියහ. තුනී වෙන්නට අරාඳින සිනහවක් දෙව්රම් ගේ දෙතොලතරේ විය. නමුත් ඒ සිනහව මහා විලාපයකට නැතත් දරා ගත නොහැකි වේනාවකට පැලැස්තරයක් ලෙස එලූවක් බව ඔහු ට ම දැනිණ. ආදියා නම් හිතුවේ ඒ  වචන යටින් වන නො කියූ කතා ගැන ය.

‘ඔයාට හරියට ආදරේ හිතෙනව’

‘මං ඔයාට ගොඩක් ආදරෙයි’

වැනි අදහස් ඔහු විසින් කියවාගනු ලබන්නට ඇත්ද? චණ්ඩියා වගේ හොර අල්ලන්නට ඇවිත් අනුන්ගේ මිදුලක තණකොළ කැපීම නිසා ඔහු ගේ ඇඟ පත රිදෙනවා විය හැකි ය. ආදියා දුරකතනය පපුවට තුරුලු කොටගෙන ඇස් පියාන සිටියා ය.

කාලෙකට පස්සේ පන්සලකට හෝ යන්නට ලැබෙන සතුට ජිනාදරී වෙත විය.

“පොඩි එකීවත් එක්කං යමුද…”

කියා ඈ නිශ්ශංක ගෙන් ද ආදියා ගෙන් ද දෙවරකට රහසින් ඇසූ මුත් ලැබුණේ එක ම පිළිතුරකි.

“ඊලඟට ඒකටත් වැරැද්දක් අල්ලන් අඩව්වක් අල්ලයිද දන්නෑනෙ”

පොඩි එකා ඔවුන් පිටත් වෙන්නට හදත්දී බලා සිටි විදිහට ජිනාදරී ගේ පපුව හෝස් ගා දැවිණ. නමුත් ඒ සමගින් ම සාරධා වෙඩිල්ලක් සේ පිපිරුවා ය.    

“අපිට පොල් ගහන්න වෙන්නැති පන්සල් යන්නෙ”

නිශ්ශංකත් ජිනාදරීත් ආදියාත් උනුන්ගේ මුහුණු බලාගත්හ. ඉස්සරහාට තැබූ අඩියක් පසුපසට ගෙන නිශ්ශංක සාරධා ට කිට්ටු වූයේ ය.

“ළමයො. පොල් ගහල දෙයියන්ට කියන්න ඕන නෑ ගෙයින් එළියට ඇදල දාන්න කියල. ඕන්නං මට ඒක කරන්න පුළුවං. හැබැයි අපේ දරුව නිසයි… මෙන්න මේ අහිංසක කෙල්ල නිසයි තාමත් එහෙම නොකර ඉන්නව”

“දොට්ට බහිනකොට හිතේ සැනසිල්ල නැති කරගන්න ඕන නෑ. අපි යං…”

ජිනාදරී ඉක්මන් වූයේ තවත් මොනවා හෝ කියවී මේ ගමන වැළකෙන්නට බැරි නැත කියා සිතුණ බැවිනි. ආදියා නිශ්ශංක ගේ අතක් යන්තම් අල්වාගෙන ගේට්ටුවෙන් පිටතට පැමිණියා ය. දැන් දැන් මේ ගෙදර සිදු වන්නේ ම හිත රිදෙන දේවල් ය.

“අපේ තුන් හිතකවත් නැති දේවල් මේ සාරධා හිතන්නෙ. ඇත්තටම මේ අපේ ළමයද කියල හිතෙනව වෙලාවකට මට. දැන්නං අර පොල් බූරුවටම ගැලපෙන ගෑනි. ජාඩියට මූඩිය වගේ”

ජිනාදරී ගේ කතාවට ආදියා ට සිනහ ගියේ ය. නමුත් මේ සිදු වෙන දේවලට සිනහ විය යුතු ද නැත්නම් හැඬිය යුතු ද කියා සිතිය යුතුව තිබේ. ඔවුන් ගෙදරින් පිටව ගියේ  බර වූ හදවත් වලිනි. නමුත් පන්සලට ගොස් ආමිස පූජාවන් හි නිරත වන විට හිත් බර මඳින් මඳ ලිහිල් වී යන්නට විය. සාරධා ගෙදරින් පැන යන තුරුම, ඊටත් පස්සේ දරු පවුලක් සමගින් ඇවිත් වැටී ඉන්නට ඉඩක්  ඉල්ලනා තුරු ම නිශ්ශංක, ජිනාදරී හා ආදියා සැහැල්ලුවෙන් ජීවත් වූහ. ජීවිතයෙහි ඔවුන් ට මුහුණ දෙන්නට සිදු වූ ආසන්න ඛේදවාචකය, සාරධා හිතුවක්කාරකමක් කර ගැනීම හැරුණු විට සැබවින් ඔවුන්ට වෙනත්  හිත් කරදරයක්  වූවා නොවේ. සාරධා ගෙදරට අලුත් කරදරයක් ගෙන ආවා නොවන්නට දැනුදු ඔවුන්ට පෙර සතුටෙන් ම සැනසිලිදායක ජීවිතයක් ගෙවන්නට ඉඩ තිබිණ. දිනේශ් නිසා ඔවුන් ගේ පවුලට සිදු වී ඇති චිත්ත පීඩා දුරු කොට දෙන ලෙස ඉල්ලා ජිනාදරී පඬුරු ගැට ගසා බාරයක් වූවා ය.

“අනේ දෙයියනේ මේ සැනසීම ආයෙ ඉක්මනට අපේ ජීවිත වලට උදාවෙන්න ඕනෙ”

ඇය බෝ මළුවෙන් නැගිටගත්තේ එහෙම කියමිනි. වැව ආශ්‍රිත උද්‍යානයෙහි රුක් සෙවනේ බංකුවක් මත හිඳගත් විට වැව පිස හමනා තෙත සුළං ඇවිත් ඔවුන් පිළිත්තේ ය. ආදියා මඳ වෙලාවක් ඒ සුළඟට මුහුණ මත දඟලන්නට ඉඩ දී ඇස් පියාගෙන සිටියා ය. ඊලඟට ගොස් කන්නට බොන්නට නොයෙකුත් දේවල් ගෙන ආවා ය. ඒ  ගැන ජිනාදරී දියණියට තරවටුවක් කළා ය.

“මෙච්චර දේවල් මොකටද…නිකං බොරුවට සල්ලි නාස්ති කරන්නෙපා”

“කන්න අනේ. කාල බීල ජොලියෙ ඉන්න”

“හ්ම්. ජොලි තියෙයි දැං ගෙදර ගියාම”

කෙතරම් නිදහස් ලෝකයක මොහොතකට නතර වුව ද ඔවුන් ගේ හදවත් වලට යටින් ඒ ගිනි පුපුර තිබේ. කොයි මොහොතක හෝ ගිනි ඇවිලීමේ සූදානමින් එය බලා හිඳී.

“ඇත්තටම දැං මේක ඇති තාත්තෙ. අක්ක අපේ  තමයි. අර පොඩි එකාත් පව් තමයි. ඒත් අපිට දිගින් දිගටම මෙහෙම ජීවත් වෙන්න පුළුවන්ද කියල හිතන්න ඕනෙ නේද තාත්තෙ… මාර මානසික වදයක්නෙ මේක”

ආදියා මේ ගැන කතා කරන්නට වෙලාවක් හොයමින් හිටියා ය. නමුත් ඒ ගේ ඇතුළේ දී දැන් ඔවුන්ට එහෙම කතා බහකටවත් අවස්ථාවක් නැති තරමි. දිනේශ් ට මතු නොව සාරධා ට වුව වචනයක් වැරදී ඇහුණොත් කනක් ඇහී දවස් ගානකට ඉන්නට විදිහක් නැත.

“මේ මිනිහ බීගෙනමනෙ ගෙදර එන්නෙ. සිහියකින් පතකින් කොයි වෙලාවකවත් නෑනෙ කතා කරන්න”

“අනේ අම්මෙ ඔය මිනිහ එක්ක සාම සාකච්ඡා පවත්තලනං ඇති වැඩක් නෑ”

“යුද්ද කරන්න පුළුවං චූටි දුව. ඒත් මට බයයි තාත්තව ඕවට පටලවන්න”

“අපි පොලීසියෙ කම්ප්ලේන් එකක් දාමුද තාත්තෙ…”

“මමත් ඔය ගැන හිතල තියනව චූටි. ඒත් අපි අපේම එවුන්ට විරුද්ධව පොලීසි යන්නෙ රෙද්දක් ඇඳගෙනද…”

“එක්කො අපි රෙන්ට් එකට හරි ගෙයක් අරං යන්ද…”

“ශෝක් එකට තියෙයි. දිනේශයට ගේ දීල අපි පාරට බැස්ස වගේනෙ එතකොට”

“අනේ අම්මෙ… ගේකට වැඩිය අපිට හිතේ සැනසීමෙං ජීවත් වෙන එක ලොකු නැද්ද… හවසට ගෙදර ආපු   වෙලාවෙ ඉඳල එළිවෙනකල් පිච්චි පිච්චි ඉන්න ඕනෙ. ඒක ජීවිතයක්ද… අනිත් එක මේක අපේ ප්‍රශ්නයක්නං කමක් නෑ. දිනේශ් අයිය අපේ ජීවිත වලට අනවශ්‍ය කරදරයක් වෙලා තියෙන්නෙ. අක්ක අපේ තමයි. ඒත් එයාගෙ පවුල කියන සර්පයාව අපේ ගේ අස්සෙ දාගෙන කනෝ කනෝ කියල දඟලන්නනෙ අපිට වෙලා තියෙන්නෙ. හොඳින් කියල බැරිනං අපි මේක පොලීසිය මාර්ගෙං හරි විසඳගන්න ඕනෙ. බලන්නනො… අපිට බඩගිනි නැති වුණත් රෑට ඉක්මනට ගිල්ලෝල කාමර වල දොරවල්    වහන්නනෙ අම්ම බලන්නෙ. ඒ අර හොල්මන එන්න කලින්… අපිට අපේ ගෙදර අපිට ඕන වෙලාවට කාල අපිට ඕන වෙලාවට නිදියන්නත් නෑනෙ. මේක තව කොච්චර දවසක් ඉවසන්නද… කෙළවරක් නෑනෙ අප්ප”

 “චූටි කියන එක ඇත්ත. කොච්චර නැති බැරි වුණත් අසරණ වුණත් කමක් නෑ කියල ඔහෙ ඉන්න දෙන්න බැරියෑ. මටත් ඉවසන්න බැරි මූගෙ චණ්ඩි පාට් තමයි”

“ඔයා තාත්තව ඇවිස්සුව වගේ නෙවෙයි චූටි දුව අන්තිමට තාත්ත කරදරේක පැටළුණොත්…”

අම්මා ගේ ඇස් වල වූ භීතිය තේරුම් ගන්නට බැරි කමක් ආදියා ට වූයේ නැත. නමුත් සිය පවුලේ මානසික නිදහස දිනා ගනු වස් යම්කිසි අරගලයක් සිදු කරන්නට වන බව මේ  වන විට ඇගේ ගැහැනු ඉවට දැනෙමින් තිබිණ.

අඳුරත් සමග ඔවුන් ගෙදර ගියේ රාත්‍රී ආහාරයට බිත්තර ආප්ප හා ප්ලේන් ආප්ප මල්ලක් රැගෙන ය. ඊට අමතරව බෙල්ලන්විල උද්‍යානයේ දී සිතුමි වෙනුවෙන් මිල දී ගත් විශේෂ ආහාර වර්ග කිහිපයක් ම විය. ආප්ප කන ගමන් නිශ්ශංක සාරධා ට කතා කරන්නට සිතුවේ ය.

“ලොකු දුව මේ ගැන දිනේශ්ට පැහැදිලි කරල දෙන්න. මේ මනුස්සය බේබද්දෙක් වගේ බීගෙන ඇවිත් ගෙදර කෑ කෝ ගහනව. මේ ගෙදර අපි කවදාවත් පිටට ඇහෙන්න කතා කරල නැති මිනිස්සු කියල සාරධා නොදන්නව නෙවෙයිනෙ. මං මේක හුඟක් බලං හිටිය. හුඟක් ඉවසීමෙන් බලන් හිටිය. හැබැයි ඉවසන්න ඉවසන්න ගහන එකත් මෝඩය ගහන්න ගහන්න ඉවසන එකත් මෝඩය කියල කියනව. ලොකු දුව දිනේශ් එක්ක කතා කරල කුළියට පොඩි ගේ කෑල්ලක් ගන්න බලන්න. කී මනී එක ගැන බලමුකො… මම හරි ඒක ගෙවන්න බලන්නංකො. හැබැයි දිනේශ් පිළිවෙළට මාසෙ කුළිය ගෙවාගෙන ඉන්න ඕනෙ. අනික දැං ඕගොල්ලොන්ගෙ පවුල තව ලොකු වෙනව අනිත් දරුවත් හම්බ වුණාම. එතකොට ඕගොල්ලොන්ටත් ඉඩකඩ ඕනෙ. අපි ඔක්කොටම මේ ගෙදර ඇහිරිලා ඉන්න ලේසි නෑ. ඔයා අපේ ලොකු දුව තමයි. හැබැයි දරුවො පවුල් පන්සල් වුණාම වෙනම ඉන්න තරමට හිත් හොඳ තියාගන්න පුළුවං. අපිට කරන්න පුළුවන් දෙයක් නොකර ඉන්නෙ නෑනෙ කොහොමත්…”

තාත්තා ගේ ඇඟට ගොඩ නොවී හෝ ඇනුම්පද නො කියා සාරධා ඒ අසා සිටි එකත් ලොකු දෙයක් යයි ජිනාදරී සිතුවා ය. නමුත් මුහුද සන්සුන් වී තිබෙන්නේ සුනාමියක් එන්නට බව වැටහුණේ පහුවදා – ඉරිදා හැන්දෑවේ ය.

“තොපි අපිව මේ ගෙදරින් එලෝගන්න නේ හදන්නෙ… ඒව කොහෙද මේ මාත් එක්ක… තොපි මොනාද මට දුන්නෙ… ඈ… නිකංම ගෑනියෙක්ව මගෙ ඇඟේ ගැහුව. මටයි කියල මොනාද ලැබුණෙ… වෙන ගෑනු කසාද බැඳල එන්නෙ දෑවැද්දක් අරං… හැබැයි මට… යකෝ මට මොනාද ලැබුණෙ… මාව දොට්ට දාන්න බෑ මේ ගෙදරින් හරිද… මටත් අයිතියක් තියනව මේවයෙ. මේ ගෙදරින් බාගයක් මගෙ ගෑනිට අයිතියි. ඒ කියන්නෙ මට අයිතියි. බලන්න යවපල්ල එහෙනං මාව”

බී මතින් පැමිණි දිනේශ් ගේ යළි යළිත් කියනා ලද එක ම කතාවේ සාරාංශය එයයි. ඔහු හැන්දෑවෙන් ම පැමිණි නිසා ආදියාව කාමරයට යවා සිය කාමරයට වැදෙන්නට ජිනාදරී ට හැකියාවක් වූයේ නැත. එබැවින් ඇගේ හදවත තදින් ගැහෙන්නට විය. ආදියා අම්මා ට සමීප වූවා ය.

“උඹ දැං කනමදය වගේ බීලනෙ… වෙරි හිඳුනහම කතා කරමු අපි”

නිශ්ශංක ඉවසීමෙන් මුත් තදින් කීවේ ය.

“මොනා කතා කරන්නද… අපේ කොටහ අපිට ලියල දීපල්ල. එච්චරයි. නැත්තං මං නරක මිනිහ කියන්න එපා”

කීවා සේ ම ඉන් පසු ඔහු ගේ කරදර පෙරටත් වැඩියෙන් වැඩි විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here