හද සාගරේ – 22

0
9649

රහසිගත ඇමතුම් දෙන්නිය හා ආදියා යනු දෙදෙනෙකු නොව එක් අයෙකු බව සහතික කර ගැනීම දෙව්රම් ට සතුටට කාරණයක් වුණත්, ආදියා ඉන් අපහසුවට පත් බවක් පෙනෙන්නට තිබිණ. එබැවින් සිය ප්‍රථම කාර්යය විය යුත්තේ ඇය ඒ අපහසුවෙන් මුදවා ගැනීම බව ඔහු වහා තීරණය කළේ ය.

“කොහොමහරි හැංගිමුත්තමෙන් මංනෙ දිනුවෙ. ඒක නිසා ඔයාට ට්‍රීට් එකක්නං දෙන්න වෙනවා”

නැවත ද ඇය රතු වූ වත බිමට හරවාගත්තා ය. දෙව්රම් ලිපිගොනු වල අදාල ස්ථානයන් හි අත්සන් තබා ෆයිල් එක ආදියා ට දුන්නේ දඟකාර බවක්  ගැබ් වූ දෑසකිනි. ඇයට හුස්මක් වැටුණේ වීදුරු කුටිය තුළින් පිටතට වන් කලයි.

“ඒක කොහොම ලැජ්ජාවක්ද කියල කවදාවත් ඔයාටවත් තේරුං කරල දෙන්නනං මං දන්නෑ මල්. දෙයියනේ… මිනිස්සුංව පොළොව යටට දාල පස් දාන්න ඕන මෙන්න මෙහෙම වෙලාවට”

ආදියා සිය උකුළේ ම මූණ හංගා ගනිමින් කීවා ය. නමුත් මල්ෂා ඒ ගැන කලබල වූයේ නැත. දෙව්රම් ගේ මඳහස් බැල්ම මේ පැත්තේ පා වෙනු ද ඇයට දැනිණ.

“මං කිව්වෙ ඒක එහෙමයි කියල. දැං තැපෑලෙන් ලැජ්ජ වෙලා වැඩක් නෑ. මොකද ඕක දැං එක්ස්පයර් වෙච්ච ලැජ්ජාවක්. චණ්ඩි රැජිණ වගේ ඉස්සරහට ගිහින් ලොකුකං කතා කරද්දිත් එයා දැනගෙනනෙ හිටියෙ”

“අනේ දැං මට මෙහෙට රෙසිග්නේශන්ස් දීල යන්න හිතෙනෝ අප්ප”

“මං හිතන්නෑ යන්න දෙයි කියල”

ආදියා වහා හිස නගා බැලුවා ය. මල්ෂා ගේ මුහුණේ නො කියූ කතා දහසක් රළ නගමින් තිබිණ.

එතෙක් කලක් පාවෙන්නා බඳුව දැනුණා වූ ඒ සියල් හැඟුමන් මත ටොන් ගණනක බරක් පැටවූවා සේ ඉනික්බිති දැනෙන්නට ගති. අලුත් ගින්දරක  බඩ පපුව අතරේ බුර බුරා නැඟිණ. දෙව්රම් සන්දනායක ට තව දුරටත් මුහුණ දීගත නො හැකිවා වාගේ හැඟීමක් ඇය පෙළමින් තිබිණ. ගෙදර ගියා ය කියා එහි හිතට සුවය දෙන නිදහසක් වන්නේ නැත. එහි වායු අංශුවක පවා වූයේ බරකි. නිවැසියන් ගේ මුහුණු වල වන්නේ ඊට නො දෙවෙනි බරකි. සාරධා සිටිනුයේ කෝපයෙන් පුපුරු ගසමින් කාගේ ඇඟේ එල්ලෙන්න ද වැනි නො රිස්සුමකිනි. හැම කෙනෙකු සමගින් ම වන කේන්තිය ඇය සිත්මි පිටින් යැව්වා ය. නිකරුණේ පොඩි දේටත් ඇයට බැන්නා ය. පිට මැදට අත් පහර දුන්නා ය.

“ළමයට ඔහොම තඩිබාන්න එපා ඕයි”

 බලා සිටිය නො හැකි ම තැන ආදියා කීවා ය. එතකොට සාරධා කළේ නංගී සමගින් ද පැටලෙන්නට එන එකයි.

“තමුසෙගෙ ළමයෙක් නෙවෙයිනෙ. මගෙ ළමයට ගහන්න බැරිනං මං කාගත්තත් තමුසෙට වැඩක් නෑනෙ”

“හරි හරි කාගන්නවකො එහෙනං”

යනුවෙන් ආදියා ද පිට කොට දැමුවේ සිය හදවත තුළ පිරී තිබූ අසහනකාරී බවයි. නමුත් සිත්මි කෙරේ දුකෙන් ඇය ටික වෙලාවක් දැරිය තුරුලු කරගෙන සිටියා ය.

“ඔයා හරි පව් පැටියො. එක අතකට ඔයා විතරක් නෙවෙයි… අපිත් පව්”

නමුත් ආදියා කියන්නේ  මොනවා දැයි සිඟිත්තිය දැන සිටියේ නැත. යහපත් ළමා වියක් ගෙවූ සාරධා අද මෙවන් තත්වයකට පත්ව ඇත්නම් මෙහෙව් ළමා වියක් ගෙවන සිත්මි ගේ අනාගතය කෙසේ නිර්මාණය වනු ඇත්ද කියා සිතන්නට පවා ආදියා බිය වූවා ය.

රාත්‍රිය උදා වන විට තත්වය තවත් නරක අතට හැරෙමින් තිබිණ. හඬමින් ද දොඩමින් ද බණිමින් ද ශාප කරමින් ද සාරධා දිගින් දිගට ම කියවන්නට වූවා ය. ඒ කං කරච්චලය කෙතරම් කනට අප්‍රසන්න හා හිතට කරදරකාරී වූයේ ද යත් ඉවසා ගන්නට බැරි තැන ආදියා කාමරයෙන් පිටතට ආවේ තමන්ව ම පාලනය කරගත නො හැකිව ය.

“මොකද්ද ආ මේ මළ වදේ… දවස පුරාම නැහිල නැහිල ගෙදර එන්නෙ ටිකක් සැනසිල්ලෙ ඉන්න. ඒකවත් නෑනෙ දැං මේ ගෙදර. පුදුම වදයක්නෙ මේ අම්මටයි තාත්තටයි දෙන්නෙ. තමුසෙ පව් පුරෝගන්නව ඕයි ඔය. අනිත් එවුං ගැනත් පොඩ්ඩක් හිතනවකො. තමුසෙව හැදුවෙත් මේ අම්මයි තාත්තයි නේද… ඉතිං කොහොමද ඔච්චර ආත්මාර්ථකාමී ගෑනියෙක් වුණේ… පොඩ්ඩක් හිතනවකො තමුසෙලගෙ ළමයිනුත් දවසක ඔහොම තමුසෙලව මරාගන්න හැදුවොත් කොහොමද… අර බේබද්ද ගියාට පස්සෙවත් නිදහසේ ඉන්න පුළුවං වෙයි කියල හිතුවෙ. දැං ඊට හපංනෙ”

ආදියා වෙව්ලමින් සිටියා ය. ජිනාදරී ඉක්මනින් ඇය වෙත දිවැවිත් ඇගේ අතකින් අල්වා ගත්තා ය. සාරධා තවත් පරල වීගෙන පැමිණියේ ඉනික්බිතියි.

“ඔව් මං දන්නව උඹල ඔක්කොටම අපිව මෙහෙං පන්නගන්නයි ඕනෙ කියල. යනව තමයි. තොපිලගෙ කතන්දර අහ අහ බාල්දු වෙවී මෙහෙම ඉන්නෑ. අපි යනව ඉක්මනට”

තවත් බොහෝ දෑ ඈ කියවාගෙන ගියේ හුස්මක් පවා නොගෙනයි. ආදියා සැබවින් වෙහෙසට පත් වී සිටියා ය.

“අනේ අම්මෙ මං බෝඩිමක් හොයාගෙන එතන නතර වෙනව අප්ප. මට බෑ හැමදාම මෙහෙම ඉන්න. මේගොල්ලො ගිය දවසක මං ගෙදර එන්නං”

ඈ කවදාවත් එහෙම කතාවක් කියන්නට සිටියා නොවේ. නමුත් ඒ  මොහොත තුළ ඊටත් වඩා හොඳ වන්නට කිසි සේත් ආදියා ට හැකි වූයේ නැත. ඇගේ හදවත වේගයෙන්  ස්ඵන්දනය වෙමින් තිබිණ. ඇය හුස්ම ගත්තේ ඉක්මනිනි.

“මොකද්ද ලොකු දුව ඔයාට මේ වෙලා තියෙන්නෙ… හැම වෙලේම වෛරක්කාරයො වගේ අපි දිහා බලන්නෙ ඇයි මේ… අර බේබද්ද මොනා කළත් ඉවසනව කියමු. ඒත් ඔයා මෙහෙම හැසිරෙනකොට අපි කොහොමද හිත හදාගෙන මේ සේරම දරාගන්නෙ…”

ජිනාදරී කතා කළේ වේගවත් ව වී ද ඇගේ හඬ ක්‍රමයෙන් දියාරු වෙන්නට ගත්තේ ය. එයින් ප්‍රබල වූ සාරධා තව තවත්   ප්‍රචණ්ඩ ලෙස බැණ වැදුණු අතර ඇය මේ දැන් ම දිනේශ් මෙහි ගෙන්වා ගන්නා බවට තර්ජනය කළා ය. මෙතෙක් නිහඬව ආලින්දයත් බරාඳයක් අතරේ සක්මන් කළ නිශ්ශංක, සිය සක්මන නවතා විදුලි වේගයෙන් බිරිඳත් ආදියාත් වෙතට පැමිණියේ ය.

“හොඳයි ගෙන්නගමු උන්දැව”

නිශ්ශංක ගේ මුහුණේ කෙතරම් කෝපයක් වී ද යත් මාංශ පේශියක් ගැස්සී ගියේ ය. ආදියා මුදු ලෙස තාත්තා ගේ අත් බාහුවකින් ඇල්ලූයේ ඔහු ගැන වේදනාත්මක බියකිනි.

“ගෙන්නගෙන හිටහල්ලකො ඌත් එක්ක. බලමු මොකද වෙන්නෙ කියල. බලමු  උන්දැ කොහොමද මේ නෝනාට කන්න බොන්න ටික හරි දෙන්නෙ කියල. ජිනා… ඇඳුං කෑලි දෙක තුනක් බෑග් එකකට දාගෙන ලෑස්ති වෙන්න. චූටි දුව දවස් කීපෙකට ඕනකරන දේවල් ලෑස්ති කරගන්න”

නිශ්ශංක සූදානම් වන්නේ කුමකට ද කියා ජිනාදරි ට හා ආදියා ට පමණකුදු නොව සාරධා ට හෝ සිතා ගත හැකි වූයේ නැත.

“අපි අනුකම්පා කරන්න කරන්න මුන්දැල අපේ කරට නැගලනෙ ඔළුවට අත හෝදන්නෙ. ඒ අනුකම්පා ඔක්කොම අදින් ඉවරයි. මට මේකිව ගෙයින් එළියට ඇදල දාන්න බෑ ජිනා බඩේ දරුවෙක් ඉන්න නිසා. හැබැයි දරුවනෙ කිය කිය තවත් ඉවසන්නෙත් නෑ මං. ලෑස්ති වෙන්න ඉක්මනට”

යන්නේ කොහේදැයි අසන්නටවත් ආදියා ට මුව විවර කරන්නට සිත් වූයේ නැත. තාත්තා වෙනුවෙන් ඇගේ හදවත පිපිරී යන්නට එයි. ඔහු මේ විදිහට කෑගහන්නේ දරාගත නො හැකි ලෙස හිත රිදුණු විට බව ඇය ඉඳුරා දනී. කතාව දුර දිග යන්නට හේතුව තමන් වූ එක ගැන ඇයට ඊටත් වැඩිය පසුතැවීමක් දැනේ.

“අනේ මට සමාවෙන්න තාත්තෙ. මට තව ටිකක් ඉවසන්න තිබුණ. අනේ තාත්ත චුට්ටක් කූල් ඩවුන් වෙන්නකො”

ආදියා එසේ මිමිණූයේ සෙමෙනි. ඇගේ හඬ පවා වෙව්ලමින් තිබිණ. නිශ්ශංක ආදියාව සිය සිරුරට ලං කොට ගත්තේ ඇය සනසන්නට මෙනි.

“අපියි චූටි දුවගෙන් සමාව ඉල්ලන්න ඕන. කසාදයක් බැඳගෙන මේ ගෙදරින් යන දවසක් වෙනකල් සැනසිල්ලෙ ඉන්න විදිහක් නැති කළාට”

“ඔව් ඔව්. එයා විතරනෙ මේගොල්ලොන්ගෙ. මාව අරං හදාගෙන තියෙන්නෙ”

“සාරධා. දැන්වත් කට වහගන්නවා”

ජිනාදරීත් ආදියාත් ඇඳුම් කැඩුම් ටිකක් බෑගයකට ඔබාගත්තේ නිශ්ශංක ගේ තීරණය වෙනස් නොවෙන බව පෙනුණ හෙයිනි. නමුත් තාත්තා සූදානම් වන්නේ කොතැනක යන්න ද කියා ආදියා දැන සිටියේ නැත. කල්පනා කොට හොඳ ම තීරණයක් ගන්නා බවට විශ්වාසයක් ඇයට තාත්තා කෙරේ විය. මේ වෙලාවේ ප්‍රශ්න අසමින් ඔහු වෙහෙස කරන්නට ඈ කැමති වූයේ ද නැත.

නිශ්ශංක මිදුලට ගොස් දෙව්රම් ට ඇමතුමක් ගත්තේ ය.

“මං පුතා කිව්ව දේ කරන්න තීරණේ කළා පුතා. වෙන මට කරන්න දෙයක් නැති ම වුණා. කරදරයක් නැත්තං… අපිට රැයක් ගෙවාගන්න ඉඩ දෙන්න පුතා”

“අංකල් මොනාද මේ කියන්නෙ… රැයක් නෙවෙයි ප්‍රශ්න විසඳගන්න පුළුවං වෙනකල් අපේ ගෙදර ඉන්න පුළුවං. ඒ ගැන පොඩ්ඩක්වත් වොරි වෙන්නෙපා. ඉන්න මං අංකල්ලව පික් කරන්න එන්නං. එතකල් කොහෙවත් යන්නෙපා”

 නිශ්ශංක ගේ දුරකතන ඇමතුම එන විට දෙව්රම් හිටියේ සංකේත් සමගින් ආදියා ගේ හොරය හසු වූ හැටි ගැන පවසමිනි.

“හරිනෙ එහෙනං… දැං බාර ගනිංකො පවුල පිටින්ම”

සංකේත් එසේ කීවේ නොමනාපයකින් නොව සතුටු සිනහවකිනි.

“හැබැයි මචං මං හිතන්නෑ කෙල්ල මෙහෙ එන්නනං කැමති වෙයි කියල. ඒකි එක ලෙවල් එකක ඉන්නෙ. එදා මට තේරුණානෙ කතා කරපු විදිහෙං”

“සමහර විට ආදියා දන්නැතුව ඇති මෙහේ එනව කියල”

“මොනාද බං උඹල රඟපාන ටෙලිඩ්‍රාමා වල තියන ස්ටෝරීස්. මේවනෙ ස්ක්‍රිප්ට් ලියන්න මරු කතා”

“මං උඹට වැඳල කියන්නං. ආදියා අවුල් වෙන විදිහෙ විහිළුනං කරන්නෙපා හරිද… මං දන්නව එයාට දැං මං ළඟදි මාර අන්කම්ෆටබල්. මුලින්ම කරන්න ඕනෙ ඒ අපහසුව එයාගෙ හිතෙං අයිං කරන එක”

“මං කොහොමත් එන්නෑ එහෙ යන්න. ඒක හරිත් නෑනෙ. එහෙනං ගුඩ් ලක් මස්සිනා”

දෙව්රම් ගේ ලස්සන සිනහව විකසිත විය.

යන්නේ කොහේදැයි ජිනාදරී ගෙන් ඇසුවාට ආදියා ට ඊට නිසි පිළිතුරක් නො ලැබිණි. “තාත්තගෙ යාළුවෙක් ගෙ දිහා වෙන්නැති” යන්න ඇගේ අඩමාන පිළිතුර විය. ඒ දෙව්රම්  ගේ ගෙදර යයි කීවොත් ආදියා නො එනු ඇතැයි ජිනාදරී අනුමාන කළා ය.

“කොහෙ ගියත් ඔයත් තාත්තගෙ හිතට කරදර වෙන දෙයක් කියන්නෙපා. මේ වෙලාවෙ අපි එයා කියන දෙයක් කරමුකො”

මතු ආරක්ෂාව වෙනුවෙන් ඇය එසේ ද කීවා ය.

“හැබැයි මං මේ තමුන්ලට දිනුම දීල ගෙදරින් දොට්ට බැහැල යනව නෙවෙයි. පොලීසියෙ පැමිණිල්ලකුත් කරලයි යන්නෙ අපිට නිදහසේ ගෙදර ඉන්න විදිහක් නෑ කියල”

ගෙයින් මිදුලට බහින්නට පෙර නිශ්ශංක සාරධා ට අවධාරණය කළේ ය.

“අර චණ්ඩි මිනිහව ගෙන්නගෙන පුළුවං ඉක්මනට යන අතක් බලාගත්තොත් හොඳයි. එහෙම නැත්තං අපරාදෙ කරදර වෙන්න පුළුවං”

සාරධා ගල් ගැසී බලා සිටියා ය. මොනවා කීවත් ඇත්තට ම ඔවුන් මෙලෙස දොට්ට බැස යනු  ඇතැයි සාරධා විශ්වාස කළේ ම නැත.

දෙව්රම් ගේ රිය ගේට්ටුව ළඟ නතර වෙත්දී ආදියා ගේ පපුවේ ගිනි දැල් නැවත ද මතු විය. ඔහු රියෙන් බහිනා ගමන් නෙතගින් ඇය දෙස බැලුවේ ය. ආදියා බිම බලාගෙන සිටියා ය. නිශ්ශංක ගේත් ජිනාදරීගේත් අත් වල වූ ගමන් මලු ඩිකියෙහි දැමීමෙන් පසු දෙව්රම් ආදියා දෙස බැලුවේ ය.

“මේ… චූටි දුව”

නිශ්ශංක එසේ කීවේ දෙව්රම් ට ආදියා හඳුන්වා දීමට මෙනි. ඔහු අඩ සිනහවක් පාමින් ඇය වෙතට ගොස් ගමන් මල්ල ගත්තේ ය.

“නගින්න”

ඒ තරම් සන්සුන් ස්වරයකින් පවා යුවතිය තිගැස්සුණා ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here