දිනේශ් වාගේ අමනුස්සයෙකු හිඳිනා ගෙදරකට දෙව්රම් ව කැටිව ආ එක වරදක් යයි මහා පසුතැවීමක් ආදියා තුළ ඇති විය. දිනේශ් කෙළින් ම චෝදනා කළේ දෙව්රම් දෙස බලාගෙන ය. ඔහු ඉදිරියට ආවේ පහර දෙන්නට වාගේ ය. ආදියා කෑගසන්නට උත්සාහ කරමින් දෙව්රම් ඉදිරියෙහි සිටගත්තා ය. නමුත් සැබවින් ඇයට කෑගැසුණේ නැත. උගුරෙන් වචනයක් පිට නොවෙනා තරමට ඇය බියපත් වී සිටියා ය. දිනේශ් කියන්නේ ඇයට නුහුරු නුපුරුදු චරිතයක් නොවේ. ඈ බිය ගත්තේ දෙව්රම් නමිනි. වන මෘගයෙකු වාගේ මිනිසෙකු අතින් තවකෙකුට කරදයක් වෙන එක අරුමයක් නොවේ. දිනේශ් ඉදිරියේ දෙව්රම් වූ කලී සැබෑ පිරිමියෙකි.
“උඹ වගේ හිකනලෙක් මට්ටු කරන්න මොකටද මිනිහො චණ්ඩි…”
කියමින් නිශ්ශංක දිනේශ් ගේ බෙල්ලෙන් අල්වා පසෙකට තල්ලු කොට දැමුවේ ය. ඇල්කොහොල් නිසා ශරීරයේ සමබරතාවය කොහොමත් ගිලිහී ගොස් තිබි දිනේශ් විසි වී ගොස් නො වැටී බේරුණේ පුටුවක එල්ලී ගැනීමෙනි. සාරධා මුව අයා බලා සිටියා මිස කෑගැසුවේ නැත.
“උඹව උස්සල පොළොවෙ ගහන්න මේ තනි මට පුළුවං. හැබැයි පුතෝ උඹ ඔයතරං දඟලන්නෙ එහෙම සල්ලං වෙන්න තමයි වගේ…”
“ඒ කියන්නෙ උඹ නේ මුන්ට මේ ඔපීනියන් දෙන්නෙ…”
පුටුව අල්වාගෙන කෙලින් වූ දිනේශ් ගේ අවධානය දෙව්රම් වෙතට මිස නිශ්ශංක වෙත යොමු වූවා නොවේ. ආදියා තවත් තැති ගත්තා ය.
“ලොකු දුව මෙන්න මේ බේබද්දව ඇදං ගිහිං කාමරේට දාල වහනව. මේක මාර වැඩක්නෙ. දැං අපේ ගෙදර අපිට ඉන්නත් මූගෙ අවසර ගන්න වෙලානෙ”
ජිනාදරී මැදිහත් වූයේ සාරධා කම්පිත කරවාගෙනයි. දිනේශ් බීමතින් විත් කෙතරම් රණ්ඩු සරුවල් කළ ද මීට පෙර අම්මා හා තාත්තා මේ විදිහට මූණට ම ඔහු සමගින් පැටළෙන්නට විත් නැත. එසේ නම් මේ හයිය දෙව්රම් ගෙන් ම විය යුතු යයි සාරධා වහා නිගමනය කළා ය.
“දැන්නෙ මට තේරෙන්නෙ. මේ අලුත් බෑණා පොඩ්ඩ වෙන්න ඇති නේ…”
වෙඩි වරුසාවක් සේ සාරධාගෙන් පිට වූ ඒ වචන ටිකෙන් ආදියා තුළ පමණකුදු නොව නිශ්ශංක හා ජිනාදරී තුළ පවා ඇති වූයේ ලැජ්ජාවකි.
“මොනාද ලොකු දුව මේ දොඩවන්නෙ… පිස්සුද…”
දෙව්රම් දෙස බලන්නට පවා අපහසුවෙන්, ජිනාදරී එසේ කීවේ හඬ පහත් කොට කෝපයෙනි.
“ඔව් ඔව් මට පිස්සු. මට හැමදාම කළේ වෙනස්කං. අරය තමයි මැණික. දැනුත් මට නිදහසේ ඉන්න දෙන්නෙ නෑ. මොන කරුමයක්ද දෙයියනේ මේ… මට දරුවෙක් හම්බවෙන්න ඉන්නව නේද… ඇයි මෙහෙම කරන්නෙ… මං අරං හදාගත්ත දරුවෙක්ද…”
ජිනාදරී කම්මුලක අත තියාගත්තා ය. මේ නම් පිස්සන් කොටුවක් වාගේ ය. ආදියා ගේ කොපුල් තලා දිග කඳුළු දෙපෙළක් ගලා යමින් තිබිණ. ඇයට ලැජ්ජ ය. දුක ය. බිය ය. කුමකින් කුමක් සිද වනු ඇත්ද කියා සිතාගත නො හැකි ය.
දිනේශ් නැවත ද වැනි වැනී කියවාගෙන ආවේ ය. කෙතෙක් කීවත් ඔහු සිය සීමාව තේරුම් ගත්තේ නැත. නිශ්ශංක සමග පැටලී බේරෙන්නට බැරි තැන ඔහු පටලවා ගන්නට හැදුවේ ආදියාවයි.
“මේකි තමයි මේ ඔක්කොම කරන්නෙ… කුටු කුටු ගගා මහ එවුං දෙන්නව අවුස්සන්නෙ. මං දන්නෑ කියලද හිතං ඉන්නෙ නෝනා හාමු. මං දන්නව උඹ තමයි එදා පොලිස්සියට කෝල් කළේ කියලත්. උඹ හිතන්නෙ දිනුව කියලද… ආ…”
කියමින් ආදියා ට සමීප වූ දිනේශ් ඇගේ කෙස් වැටියෙන් අල්වා ගන්නට ගියේ ය.
” අත තියන්නෙපා ආදියාට. හරි හමං පිරිමියෙක්නං ගෑනු ළමයෙක්ට අත තියනවද මනුස්සයො…”
මෙතෙක් නිහඬව ම සියල්ල දෙස බලා සිටි දෙව්රම් මුණිවත බින්දේ ඒ වෙලාවේ ය. ඔහු සියල්ලන් ඉදිරියේ ආදියා ගේ අතක මැණික් කටුව අසලින් තදින් අල්වාගත්තේ ය. ඇය වෙව්ලමින් සිටියා ය.
“අනේ එපා මිස්ට දෙව්රම්… මේවට පැටලෙන්න එපා මිස්ට දෙව්රම්”
“ඇයි උඹ අයිතිකාරයද..”
අසමින් දිනේශ් දෙව්රම් වෙතට කඩා පැන්නේ ය. ඔහු ගේ කම්මුල හරහා දැඩි අතුල් පහරක් එල්ල වූයේ ඒ වෙලාවේ යි. ඒ පහරින් දිනේශ් කැරකී ගිය අතර පහර එල්ල වූයේ දෙව්රම් වෙතින් යයි සිතූ හෙතෙම පසෙක වූ ප්ලාස්ටික් පුටුවක් ඔසවා ඉන් දෙව්රම් ට දමා ගසන්නට ගියේ ය. නමුත් ඒ අතුල් පහර නිශ්ශංක ගෙනි. හෙතෙම දැඩි ආවේගයකින් සිය බෑණාව ඇදගෙන ගොස් ගෙදොරින් පිටතට තල්ලු කොට දැමුවේ ය. සාරධා යටිගිරියෙන් කෑගැසුවා ය.
“එයාට ගහන්න එපා…”
“අනේ දෙයියනේ මෙච්චර දවසක් මං තාත්තව මේවට ගාවන්නෙ නැතුව ඉන්න හැදුවෙ මේක වෙන බව දන්න නිසා තමයි. අපිට අපේ පාඩුවෙ ඉන්න දීල මෙන්න මේ කාලකණ්ණියව අරං පලයං සාරධා…”
අන්තිම ටික කියවෙද්දී ජිනාදරී ගේ හඬ බිඳී ඇයට හැඬුම් ආවේ ය. නිශ්ශංක දිනේශ් ව ඇදගෙන ගොස් ගේට්ටුවෙන් පිටතට දමා එහි අගුළු ලූයේ ය. ඊට පෙර දිනේශ් ද නිකං සිටියා නොවේ. මාමණ්ඩිය සමගින් පොර බදා ඇතුළට ම එන්නට දැඟලුවේ ය. නමුත් නිශ්ශංක ගේ කාය ශක්තිය කෙසඟයෙකු වූ දිනේශ් ට සම කළ හැක්කේ නොවේ. හෙතෙම වේගයෙන් ගේ දෙසට ඇවිද විත් සාරධා ඉදිරියෙහි නතර විය.
“ඔය බූ රුවට ආයෙ මේ හතර මායිමේ පස් පාගන්න බෑ. තමුන්ටත් ඉන්න බැරිනං ඌත් එක්කම දොට්ට බැහැල යන්න පුළුවං”
එවන් තර්ජනයක් කළාට දිනේශ් යළි මෙහි නෑවිත් නො සිටිනා බව නිශ්ශංක දනී. ඔහු පුටුවක් මතට වැටුණේ දෑතින් හිස බදාගනිමිනි. ඒ තරම් ඔහු ගේ සිත වියවුල් වී තිබිණ. දිනේශ් කියන මිනිහා ඔවුන්ගේ ජීවිත පාඩුවේ ගත කරන්නට නො දීම කෙතරම් කරදරයක් ද?
“තාත්තෙ…”
නිශ්ශංක වෙතට ගිය ආදියා පුටු අත මතින් හිඳ ගනිමින් නිශ්ශංක ගේ ගෙල වැළඳගත්තා ය.
“අනේ තාත්තෙ අපි මේක විකුණල දාල වෙන කොහෙටහරි යං”
“වෙඥ කොහෙචහරි යඥ්ඥ…”
සාරධා ඈ කියූව ප්‍රතිරාව කළේ සමච්චලයටයි.
“මේව මටත් අයිතියි. තමුසෙට විතරක් නෙවෙයි”
“අයියෝ අක්කෙ. මට මේ මොනාගෙවත් අයිතියක් ඕන්නෑ. දෙයියනේ කියල අම්මටයි තාත්තටයි මෙහෙම වද නොදී ඉන්නකො”
දෙව්රම් පුටුවක් මත හිඳ නිකට පිරිමදිමින් කල්පනා කළේ ය. ඔහු ට මේ ප්‍රශ්නයේ බැරෑරුම් කම මැනවින් දැනෙන්නේ දැනුයි. මේ මිනිසුන් මේ තරම් දවසක් මේ විදිහට මේ ගෙදර ජීවත් වූ එන ගැන පුදුම ය. ආදියා කාර්යාලයට විත් ඒ තරම් සැහැල්ලු යෞවනියක ලෙස හැසිරුණ විදිහ ගැන ඊටත් වඩා පුදුම ය. ඔහුගෙන් විටින් විට සුසුම් බැහැර විය. ඔවුන් යළිත් දෙව්රම් ගේ ගෙදරට ගියේ හොඳට ම හිත් බිඳුවාගෙනයි.
“ඒ ප්‍රශ්නෙ හරියටම විසඳගෙන මිසක් ආයෙ ගෙදර යන්නනං එපා අංකල්”
දෙව්රම් කීවේ ඔවුන් ගැන සැබෑ අනුකම්පාවකිනි.
“පේනවනෙ පුතා ඉතිං තත්වෙ… මේ යකා සතෙක් වගේනෙ. කොහොම කියලවත් තේරුං කරල දෙන්න බෑ”
“ආදියා එක්කත් මිනිහා කේන්තියෙන් ඉන්නෙ. ඒ ගැන ඔක්කෝටම වඩා හිතන්න වෙයි අංකල්”
“මූට ගේ දොර දීල අපිට පාරට බහින්න බෑනෙ පුතා”
අවසාන තීරණය වූයේ නැවත ද පොලීසියට ගොස් පැමිණිල්ලක් ගොනු කිරීමයි. දිනේශ් බීමතින් කරදර කිරීම මත ගෙදර සිටිත නො හැකි තත්වයක් උදා වී ඇති බැවින් ඔහු සිය බිරිඳ හා බාල දියණිය සමගින් ගෙදරින් පිට වී හිඳින බවත් දිනේශ් ව මහ ගෙදරින් පිටත් කොට දෙන ලෙස ඉල්ලාත් පැමිණිල්ල ගොනු විය. දිනේශ් ගේ දුරකතනයට ඇමතුමක් දී පසු දා උදයේ පොලීසියට පැමිණෙන ලෙස දැනුම් දුන්නේ ඒ වෙලාවේ ඔහු බීමතින් සිටි බැවිනි.
අඳුරට සුසුම් එක් කරමින් වැරැන්ඩා කුළුණකට හේත්තු වී ආදියා අවකාශය දෙස බලා සිටියා ය. අන් සියල්ලට වඩා කෙනෙකුට වටිනුයේ අභ්‍යන්තර සාමය බව යළි යළිත් ඇයට පසක් වෙමින් තිබේ. පිටස්තර පුද්ගලයන් නිසා එකී සාමය පළුදු නො කර ගත යුතු බැව් සැබවි. නමුත් එසේ සිටීම පහසු නැත. පුහුදුන් මිනිසුන් වශයෙන් හිතක් බලන්නේ ම යමක ඇලෙන්නට ය.
“දැං ඕව ගැන කල්පනා කරන්නෙපා”
පිටුපසින් ඇසුණ දෙව්රම් ගේ මෘදු පිරිමි හඬ හදින් උරාගන්නා ගමන් ඈ දෑස් විදා බැලුවා ය. ඇස් පොතක් කොට ඔහු ට කියවාගන්න දෙන්නට මෙන් බැලුවා ය. ඒ බැල්මේ හැම අහු මුල්ලක ම ඉහිර තිබුණේ වේදනා අංශු ය.
“ඒක කොහොමටවත් ඔයාගෙ ප්‍රශ්නයක් නෙවේනෙ. ඒ මනුස්සය මහ මෝඩයෙක්. නීතියෙන් විසඳගත්තහම ඉවරයි”
“මට දරාගන්න බැරි දේවල් දෙකක් තියනව මිස්ට දෙව්රම්. එකක් අම්මයි තාත්තයි මේ විඳින දුක. අනික අක්ක. එයයි මායි චූටි කාලෙ පුදුම බැඳීමකින් හිටියෙ. අපි දෙන්නම ඇන්දෙ එකම විදිහට. හැමෝම හිතුවෙ අපි නිවුන්නු කියල. එයා කොහොමද මෙහෙම වෙනස් වුණේ කියල මට හිතාගන්න බෑ. මට ඉන්නෙ එයා විතරනෙ මිස්ට දෙව්රම්. එයත් නැති වුණාම මට කවුද ඉන්නෙ…”
හදවත මත මහ බරක් පැටවී උගුර රිදී දෑස් දැවී ආදියා ගේ ඇස් වලින් කඳුළක් ගිලිහිණි.
“අපිත් එක්කම ඉඳල… එයා දැං හැසිරෙන්නෙ අර හොරුංගෙ පැත්තට වැටිච්ච ගිරා පැටිය වගේ. අපේ ගේ අපිට අයිති වුණත්… අක්කව අපිට නැති වෙලා තියෙයිද කියල මට බයයි. පුංචි පුංචි කිය කිය පස්සෙන් එන අර කෙල්ල… මගෙම දරුවෙක්ට වගේ මං ආදරෙයි එයාට”
“අඬන්නෙපා ඉතිං”
හුඟක් දේවල් හිත ළඟ හිර වී තිබුණත් දෙව්රම් ට කියාගත හැකි වූයේ එපමණකි. පවුලක් කියන දේ කොයි තරම් වටිනවා ද කියා ඔහු නො දන්නවා නොවේ. පවුලක් බිඳ වැටී එහි සාමාජිකයන් විසිර යාම හදවතෙන් කොටසක් කැඩී ගිය තරමට රිදුම් දෙන හැඟුමක් බව ද ඔහු නො දන්නවා නොවේ. නමුත් ජීවිතය වූ කලී අපට අවැසි දේවල් ම නොව අපට ලැබෙනා දේවල් බව ජීවිතය විසින් ම අපට පසක් කරනවා ඇත.