නිලැසි -33

විශාල කටයුත්තක් ගැන කාර්යබහුල වී සිටි තිසරු විස්මයට පත් වුනේ අවසර ගැනීමකින් තොරව තම කාර්යාල කාමරයට කඩාපාත් වූ නිලැසි නිසා ය.කිසිම චකිතයකින් තොරව මිතුරෙකු ට වඩා වැඩි පුද්ගලයකු ලෙස සමාජයට පෙනෙන ලෙස එරන්ද සමඟ සමඟ ඡායාරූප සමාජජාලාවල උඩුගත කිරීමට පෙලඹී සිටින නිලැසි නිසා තිසරුගේ සේවකයන් ඇය ගැන විවිධ ඕපාදූප නිර්මාණය කරමින් හුන් කාලයකි ඒ.එහෙත් තම ලගම මිතුරෙකුට පමණක් පවසා දික්කසාදය සම්බන්ධ කටයුතු වලට සූදානමින් සිටි තිසරු ඒ සියලුම රහස් ලෝකයෙන් සඟවා ගන්නට සමත් වූවකි.

නිලැසි ආවේගයෙන් කඩා වැදුණේ තිසරු එසේ ගෞරවාන්විත වෙන් වීමක් සැලසුම් කරද්දි ය.

“ඇයි බබා..වාහනෙ හප්පා ගත්තද ආයෙත්..”

තමා ඉදිරියේ සිටි ගිණුම් අංශයේ නිලධාරිනියට සැකයක් නොසිතෙන ලෙස තිසරු එසේ ඇසුවේ හිනැහෙමිනි.නිලැසි හුස්ම ඉහළ පහළ දමමින් බලා සිටියා ය.

“ඔයාගේ වාහනේ ආයෙ හදන් නෑ නිලූ මම.හරි දැන් වාඩි වෙලා හොඳ හුස්මක් ගන්නකො.මිස් ජානකී..මං ඔයාට ට්වෙන්ටි මිනිට්ස් වලින් කතා කරන්නම්..”

සියල්ල සමබර කරගෙන ගිණුම් නිලධාරිනිය පිටතට යැවූ තිසරු නිලැසි දෙස තද බැල්මකින් බැලුවේ ය

“ඇයි ආවේ නිලැසි? මම ඔයාව ආයේ මුණ ගැහෙන කැමැත්තක නෑ ඇත්තෙන්ම..”

නිලැසි කුරිරු සිනාවක් මුව රඳවා බලා සිටියා ය.තිසරු තිගැස්සී ගියේ සමහර අවස්ථාවල මේ ගැහැනිය ක්‍රියා කරන්නේ අමුතුම පන්නයේ ක්‍රමයකට බව දන්නා නිසා ය.

“මං ඩිවෝස් එක දෙන් නෑ.”

ඇය ඉතා තිර හඬකින් පවසද්දී තිසරු ඉවසිලිවන්ත සිනාවකින් බලා සිටියේ ය.මුව විට දක්වා ගිලී තිබෙද්දි නහය ගිලී යන තුරුම නිලැසි තම උද්දච්චකම් අඩු කර ගන්නට නොකැමති ය.

“විත්තිකාරි ඔයා..ඔයාට සාක්ෂි වලට විරුද්ධ වෙන්න පුලුවන් වුණොත් ඩිවෝස් එක නොලැබෙයි.ඒත් එහෙම වුණත් ඔයාට ඉතුරු වෙන්නේ කසාද සහතිකේ විතරයි නිලැසි.මට ඔයාව මගේ කරගන්න තවදුරටත් කිසිම හැඟීමක් නෑ..”

තමා අතින් සිදු වූ සියලු වැරදිවලට සමාවෙන්නැයි පවසා සැබෑවටම තිසරුට ආදරය කරන බවත් එරන්ද යනු අහම්බකාරකයක් බවත් පවසා හැඬූයේ නම් නිලැසිට නැවතත් තිසරු වෙත එන්නට ඉඩක් තිබෙන්නට ද තිබිණ.නමුත් ඇය එසේ අතීතය ගැන ළතැවෙන්නියක නොවේ.

“දැන් අපි කරන්න ඕන ඒ කතාව බොරුවක් කරන එක මිසක් ඇත්තක් කරල තිසරුට දිනන්න දෙන එක නෙවේනෙ..”

එරන්ද පවසන සියල්ල දේව වාක්‍යය මෙන් අදහන්නිය තිසරු සමඟ ගැටුමට මුල පිරුවේ ඒ වචන වලින් හයිය රැගෙන ය.

“ඔයා මාව කසාද බැන්දෙ මෙහෙම අත් අරින්න නෙවේනෙ.මං දික්කසාද ගෑනියෙක් වෙන් නෑ.මම වෙන බෝයි ෆ්‍රෙන්ඩ් හොයාගන්න ඔයාගේ මොකක්ම හරි දුර්වලතාවයක් තියෙන්න ඕන නේද? එහෙනම් ඒ දුර්වලතාව ලෝකෙම දැනගනී..”

ගෞරවාන්විතව ජීවත් වෙන තිසරු මෙවැනි තර්ජනය කිරීම් වලින් බියට පත් කළ හැකි තරුණයෙකු නොවේ.ඔහු නිලැසි අසලින් මේසය මත හිඳ ගත්තේ ය.

“මේ එක්දාස් අටසිය ගණන් නෙවේ නිලැසි.මේ කාලේ කෙල්ලො කොල්ලො හනිමුන් වෙනකන් එකාට එකා නාඳුනන මිනිස්සු වෙන්නේ නෑ.කසාද බඳිනකම් ඔයාට මගෙ අඩුපාඩු පෙනුණේ නෑ කියන එක කවුරුත්ම විශ්වාස කරන්නේ නෑ.අපි මැරි කරන්න කලින් කොච්චර ඇවිද්දද? ඔයාගේ වැරදි මිසක් මගේ වැරදි එතනින් එළි වෙන් නෑ නිලැසි.මම ඔයාට ලැජ්ජා නොකර ඔයාගෙන් ඈත් වෙන්න බැලුවේ.ඒත් මෙහෙම නටන්න ගත්තොත් ඔයාට උපරිම ලැජ්ජා වෙන්න වෙයි..”

තර්ජනය නොකර නිලැසිව පාලනය කර ගත නොහැකි බව තේරුම් ගත් තිසරු එවැනි හඬකින් ඈ ඇමතී ය.ඇය දෑස් පියන් වේගයෙන් ගසමින් තිසරු දෙස මොහොතක් බලා සිට නික්ම ගියේ සුළි සුළඟක වේගයෙනි.තිසරු පුටුව මත වැටී අත මානයේ තිබූ වතුර වීදුරුව එක හුස්මට හිස් කළේ ය.

“බාඳුරා මල්..” ඔහු කුඩා කාලයේ උගත් කතාවක් සිහියට නැගිණ.සුන්දරත්වයෙන් අනූන මේ ගැහැනියක මොනතරම් විෂ සහිතදැයි තිසරුට සිතේ.නිර්මාණ අතර ද සැබෑ ලෝකයේ කතා අතර ද බහුලව හමු වන්නේ පිරිමින් රවටන ගැහැනු ගැන කතා ය.නමුත් තමන් වැනි මිනිසුන් ද මේ ලෝකයේ නොවේදැයි ඔහු කම්පිතව සිතුවේ ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles