වියෝ ගී ගැයෙනා හදේ – 22

0
2377

“පෙත්මලී”

“පෙත්මලී” කීප සැරයක් කතා කරත් පෙත්මලී උන්නේ තමන් කියන දේ අහගෙන නොවන බව තේරුණ තැන පෙත්මලීගේ පාසලේ පංති භාර ගුරුතුමිය වුන නදීකා මිස් උන්නේ “වෙනදා මේ හොඳට ඇටෙන්ශන් එක දීගෙන ඉන්න දරුවා දැන් ටික දවසක ඉඳලා වෙනස් නේද?” කියල හිතන ගමන්‍ ය.

දෙතුන් පාරක් කතා කරාට පස්සෙත් පෙත්මලී ගුරුතුමිය දිහාවට හැරුනේ ලඟ වාඩිවෙලා ඉන්න රිතූ අතට තට්ටු කර “චීච ඔයාට කතා කරනවා” කියා කිව්වයින් පස්සේය. වෙනදා පෙති විහිදා සූරියකාන්ත මලක් වගේ සිනාසෙන කෙල්ල අද තමන් දිහා බලාගෙන ඉන්නෙ මලානික ඇස්වලින් බව නදීකාට නොතේරුනා නොවේ. එහෙත් මේ පංති කාමරය මැද්දෙ හැම දරුවෙක්ම බලාගෙන ඉන්න මොහොතක ගුරුතුමියක් විදියට තමන්ට එක දරුවෙක්ට විතරක් අවධානය දෙන්න බැරි එක ඇත්තකි. ඒ නිසාම පෙත්මලී එක්ක කතාකරන එක පස්සට තබා පෙත්මලී ලඟට ආ නදීකා පෙත්මලී බෝඩ් එක බලාගෙන පාඩම් පොතේ ලියාගත්ත කරුණු වල හරි වැරදි බැලුවාය.

නදීකාට පෙත්මලී එක්ක හරියට කතාබස් කරන්න ඉඩක් හම්බුනේ පංතියේ වැඩ කටයුතු අහවර කර අනෙක් දරුවන් සෙල්ලම් කරන්න ගියයින් පස්සේය. වෙනදාට සියල්ලන්ටම කලියෙන් පංතියෙන් එලියට ගොස් සෙල්ලම් කරන කෙල්ල මෙදා උන්නේ මේසයට වාඩි වී චිත්‍ර පොත දිග හැරගෙන පාට කරමිනි.

“සෙල්ලම් කරන්න යන්නෙ නැද්ද පුතා” කියා හීන් සැරේ පෙත්මලීට ලංවුනත් ලඟකදී සිට හැසිරීමේ වෙනස්කම් පෙන්වන, තනිවෙන්න බලාගෙන සිටින දරුවෙකු එක්ක කතාකරන්න ඕන කුමන විදියටද කුමනාකාරයේ දෙයක්ද ගැන හරියාකාර අදහසක් නදීකාට තිබුනේ නැත. 

“නෑ” කියා කියන ගමන් පෙත්මලී හීන් සැරේ ගුරුතුමිය දිහා බලා හිනාඋනාය. ඒත් හිනාවේ තිබුනේ වෙනදා පංතිය්  එහා මෙහා දුව පනිමින් උන්නු පෙත්මලීට උරුම වී තිබුන මනස්කාන්ත සිනාව නොවේ. මලානික, අඩපණ වූ හිනාවකි.

“ඒ මොකෝ?”

“සෙල්ලම් කරන්න කවුරුවත් නෑ”

“කවුරුවත් නෑ? ඇයි වෙනද සෙල්ලම් කරන අය”

“එයාලා කැමති නෑ මාත් එක්ක සෙල්ලම් කරන්න” කියද්දී පෙත්මලීගේ හිනාව වඩා ලංඋනේ හංග ගන්න හදන ඇඬුමකට බව නදීකාට නොතේරුනා නොවේ. 

“ඇයි ඒ ඔයා නෝටි බබෙක් වුණාද?” කියා හුරතල් තාලෙට ඇහුවත් නදීකා පෙත්මලී ඊලඟට මොකක් කියාවිද කියා බය නොවුනාම නොවේ.

“එහෙනම් රිතූගෙ අම්මියි තාත්තියි කිව්වලු අපේ තාත්ති මාව දාලා ගිහින් කියල. රිතූ කිව්ව තාත්ති මාව දාලා ගිහින් තියෙන්නෙ මම නෝටි නිසා කියල. මම නෝටිද චීච?” කියා අහද්දි මෙච්චර වෙලා පෙත්මලී මෙච්චර දවසක් හිත අස්සේ හංගගෙන උන්නු වචන වලට හරවන්න තේරෙන්නෙ නැති සියලුම වේදනාවන් කඳුලු වල ලියවී දියවී කම්මුල් රෝස පාට කරමින් ගලා යද්දී නදීකා මොහොතකට ගල් ගැසුණ බව ඇත්තකි. ඒත් ඊලඟ නිමේශයේ හද වෙඬරු පිඬක්ව දියව යද්දී නදීකා පෙත්මලීව පපුවට තුරුලු කරගත්තාය.

“අනේ ඔයා හරි ශෝක් නෙ පෙත්මලී. ඔයා පොඩ්ඩක්වත් නෝටි නෑ. අනික චුට්ටක් නෝටි උනා කියල තාත්ති කවදාවත් ඔයාව දාලා යන්නෙ නෑ. තාත්ති ඔෆිස් එකේ වැඩකට බිසී වෙලා ඇති. ඒකයි ගෙදර එන්නෙ නැත්තෙ” කියා කිව්වද ඇත්තටම වෙලා තියෙන දේ මොකද්ද කියා තේරුම්ගන්න පුලුවන්කමක් නදීකාට තිබුනේ නැත. බාගදා තමන් නොසිතුවත් පෙත්මලීගේ තාත්තා පෙත්මලීව හැරදා වෙනතක ගොස් තිබෙන්නට හැක. අද කාලේ සබඳතා කොහොමත් එහෙමය. බොහෝ අය සබඳතා භාරගන්නේ වඩා සිල්ලරවය. 

“නෑ තාත්ති නෑ. අපි ඉන්නෙ අත්තම්මලගෙ ගෙදර. දැන් ගොඩාක් දවස්. අම්මි කිව්ව අපි ආයෙ යන්නෙ නෑ කියල තාත්තිගෙ ගෙදර. තාත්ති වීකෙන්ඩ් එකේ එනව මාව බලන්න තෑගි අරන්. තාත්ති කිව්වෙ නෑ මම නෝටි කියල.  ඒ උනාට රිතූගෙ අම්මියි තාත්තියි එහෙම කියනවලු” 

“හරී අපි අහමුකො පස්සෙ තාත්තිගෙන්ම හොඳේ. ඔයා දැන් දුකෙන් ඉන්න එපා. මම තාත්තිට කතාකරන්නම්කො බබීව බලන්න එන්න කියල. ඔයා සෙල්ලම් කරන්න යන්නෙ නැතුව ඉන්න එපා පුතේ. කවුරුත් කිව්වට ඔයා නෝටි නෑ. ඔයා හරිම ශෝක්. දැන් ඔයාගෙ බර්ත් ඩේ එක එනවා නේද ටූ වීක්ස් වලින්”

“තාත්ති කිව්ව එනව කියල කේකුයි අයිස්ක්‍රීනුයි දෙකම අරන්”

“ඒකනෙ බබී නෝටි නම් තාත්ති එහෙම කරන්නෙ නෑනෙ. ඒකියන්නෙ බබී නෝටි නෑ. ඒ නිසා හොඳ දරුව වගේ ක්ලාස් රූම් එකටම වෙලා ඉන්න එපා හොඳේ” කියා එදා එතනින් කතාව නතර කලත් මේ වනාහී එසේ නිහඬව හිඳින්න හොඳ තත්ත්වයක් නොවන බව නදීකාට නොතේරුනා නොවේ. එහෙත් ලබන සතියේ දිහාවට පෙත්මලීගේ උපන් දිනය වෙලාවේ ඇගේ අම්මත් තාත්තත් හමුවන නිසාවෙන් එදිනටම මේ ගැන කතාකරන්න නදීකා හිතුවාය. පෙත්මලීගේ තාත්තත් අම්මත් අතර සිදු වී ඇත්තේ කුමනාකාරයේ ගැටලුකාරී තත්ත්වයක් උනත් ඕනම අම්මා කෙනෙකුගේත් තාත්තා කෙනෙකුගේත් යුතුකම වන්නේ එවන් ගැටලුකාරී තත්ත්ව නිසා වෙන් විසිවෙන ගිනි පුපුරු පුංචි එවුන්ගේ හිත් අස්සට විසි වී මහ ගින්දරක් ව දැල්වෙන්නට ඉඩ නොහැරීමය. එහෙත් ප්‍රශ්න ආ විට මිනිසුන් හැසිරෙන්නේ තමන් සැමියා බිරිඳ අම්මා තාත්තා කියා සිතා නොවේ. මිනිසුන් කියා සිතාය. තමන්ගේ ප්‍රශ්න තමන්ගේ හිසට කරදරයක්ව පවතින වෙලාවක එයින් මිදෙන්න සිතෙනු විනා ඒ මිදීම තමන් වටේ සිටින තවත් අයට දැවෙන්නට හේතුවක් වනු ඇතැයි කියා සිතන්න ප්‍රශ්නයක් තියෙන වෙලාවක හැකියාව තියෙන්නෙ එහෙමත් කෙනෙකුටය.

හැම කෙනෙක්ම අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් වන්නට සුදුසු නොවන්නේ ඒ නිසාය. අම්මාගේත් තාත්තගෙත් වෙන්වීම පෙත්මලීව වෙනදට වඩා නිහඬ, මුලු ගැන්වුන ළමයෙකු බවට පත් කරද්දී මේධාවිණී උන්නේ එය නොදකින තරම් කාර්‍යබහුල වීය. ඒ රාජකාරියේ මෙන්ම වලාකුලු වීරවර්ධන විසින් හිමින් සැරේ හිතත් ජීවිතයත් ඇතුලත එන්නට ඉඩ හදාගන්න අතරේය. 

“මම ඩිවෝස් වෙච්ච ළමේක් ඉන්න අම්මා කෙනෙක්” මේධාවිණී එලෙස කිව්වේ වලාකුලු වීරවර්ධන නිරපරාදේ තමන් ගැන බලාපොරොත්තු තබන එක වලක්වාගන්නටත් වඩා මෙහෙම දෙයක් කිව්වයින් පස්සේ වලාකුලු වීරවර්ධන තමන් ගැන හිතන්නේ මොකද්ද කියන එක ගැන දැනගන්නටය. එ ගැන තිබුනේ ලොකු කුතුහලයක් ය.

“මං දන්නව. ඔයා දැන් ඉන්නෙ ඔයාගෙ අම්මලගෙ ගෙදර. ඔයාගෙ බබා ඉන්නෙ ග්‍රේඩ් 2 වල. ඒ ඔක්කොම මම දන්නවා. මම නොදන්නෙ එකම දෙයක් විතරයි”

“මොකද්ද ඒ?”

“ඔයාවගේ කෙනෙක්ව අතෑරල දාන්න තරම් නැතිකරගන්න තරම් ඔයාගෙ එක්ස් හස්බන්ඩ්ට තිබුන හේතුව මොකද්ද කියන එක” කියා වලාකුලු කියද්දිත් “ඇත්තටම ඒ ඩිසිශන් එක මම මට උවමනාවට ගත්ත එකක් මිසක් චිරත්ට උවමනා උන එකක් නෙවෙයි” කියා කියන්න මේධාවිණී වචන හෙව්වේ නැත. ඒ වෙනුවට ඈ රැක්කේ නිහඬතාවයයි.

ඒ නිසාම වලාකුලු කතාවේ ඉතුරු ටික කරගෙන යන්න හිතුවේය.

“ඒත් එදා ඔයා අපේ ඔෆිස් එකට ආව දවසෙ කිව්ව දෙයින් මට ඒකට උත්තරේ හම්බුනා”

“මොකද්ද?”

“තමන්ගෙ දේවල් පරිස්සම් කරගන්න, බලා කියාගන්න ඕන තමන්ම නේද? අනුන්ට තමන්ගෙ දේවල් බලාගන්න දෙනවා කියන්නෙ තමන්ට ඒ දේවල් නැතිවෙන්න ඉඩක් තියෙනවා කියන එක”

“මොකද්ද ඔයාට ඒකෙන් හම්බුන උත්තරේ?”

“ඔයාගෙ එක්ස් හස්බන්ඩ් ඔයා එයාගෙ දෙයක් කියලා හිතලා නෑ. එයාගෙ දෙයක් කියල හිතුවනම් එයා ඔයාව පරිස්සම් කරගන්නවා නේද?” කියා වලාකුලු වීරවර්ධන මතුපිටින් විතරක් දුටුව තමන්ගෙත් චිරත්ගෙත් ආදර කතාව ගැන ඔහුට හිතුන දේ කියාගෙන කියාගෙන යද්දී ඒ නිවැරදි කරන්නට, ඇත්ත කතාව කුමක්ද කියා කියන්නට මේධාවිණීට උවමනා උනේ නැත.

ඇත්ත කියනවට වඩා, චිරත් එහෙම කෙනෙක් නොවේයැයි කියා කියනවට වඩා කාගෙ හෝ ඇස් දෙකක් ඉදිරියේ හදවතක් ඉදිරියේ තමන් බොරුවට හෝ නිවැරදිකරුවෙකු වීම හිත වෙනස්ම ආකාරයට කුල්මත් අසරණ බවක හෙලන බවත් එය විටෙක කෙනෙක්ගේ හිත බොරුවට ආශක්ත කරන හැඟීමක් බවත් මේධාවිණී එවෙලේ හිතුවාය.

අතීතයේ දමා ආ චිරත් කෙනෙකුව රකින්නට වෙහෙසන වට වඩා වර්තමානයේ හමුව ඉන්න වලාකුලු ඉදිරියේ අසරණ නිවැරදිකාරියක වීම වඩා සුන්දර බව මේධාවිණීට එවෙලේ හිතුනාය.

නිහඬ බව රැකුණේ ඒ අනුවය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here