දරුවෙක් වැදූ පමණින් හැමෝටම අම්මලා වෙන්න පුලුවන්ද ?

“ආනේ භාෂි අක්කා..ඔයා මේ වීක් එකත් නිවාඩු කියලා අපි හිතුවේ..”

භාෂිණී ස්ටාෆ් රූම් දොර ඇරගෙන ඇතුළට එනකොටම අපේ ස්ටාෆ් එකේ පුංචිම කෙල්ල චතූ ගිහින් භාෂිණීගේ අත අල්ලා ගත්‍තා.මහන්සි පාට වුණත් සන්තෝසෙන් ඔප වැටුණු ඇස් දෙක දිහා මම බැලුවේ ආදරෙන්.

“අනේ..අක්කගෙ ඇස් ඉදිමිලා.නිදාගත්තෙම නෑ නේද?”

චතූ ආයෙමත් කියනවා.භාෂිණී හිනා කටක් පුරවාගෙන වාඩි වුණා.

“චතූ දන්නේ නෑනෙ ඉතින් මුල් මාසෙ බට්ටෝ දෙන වදේ.අපේ කොල්ලො දෙන්නත් දෙපැත්තේ එල්ලිලා කුක්කු බොන්නේ.පීඩියාට්‍රීෂියන් ගාවට ගිහින් ඇඩ්වයිස් අරන් ඩේලි රූටින් එකකට ගත්තටම පස්සෙ මං ටිකක් සන්සුන් වුණේ..භාෂි, ඔයා ඩොක්ට එප්පාවල ගාවට ගියානෙ?”

මං එහෙම අහනකොට භාෂිණි උත්තර දෙන්න සූදානම් වුණා.තේ කෝප්පෙත් අරන් අපේ වයසකම සාමාජිකාව මිසිස් රූපසිංහ එතනට ආවේ මුහුණ පුරා සමච්චල් හිනාවක් දාගෙන.

“මව් කිරි තියනවනම් ළමයි අඬන් නෑ. ඔය ෆෝමියුලා පොවන හින්දා.”

චතූ මුහුණ කොරහක් කරගෙන මිසිස් රූපසිංහ දිහා බැලුවා.තවම පෙම්වතෙක් විතරක් ඉන්න කසාද නොබැන්ද චතූ ඉන්නේ භාෂි ගැන සතුටින්.මිසිස් රූපසිංහ ඉන්නේ භාෂිට හිනා වෙන්න බලාගෙන.කාලෙකට කලින් මට වගේම හිනා වෙන්න බලාගෙන.

“භාෂි අක්කට කිරි එරෙන් නෑනෙ මිසිස් රූපසිංහ.ඒ නිසා බබාට ෆෝමියුලා බොන්න වෙනවා.මොනව බිව්වත් බබාලා ටික දවසක් ගියාම තමන්ගේ රූටින් එකකට පුරුදු වෙනවා.එතකොට අක්කට නිදි මරන්න වෙන්නේ නෑ..”

භාෂිණි පැලඳගෙන ආව සන්තෝස මුහුණ දිය වෙමින් වැගිරෙනකොට මටත් දැනෙන්නේ වේදනාවක්.මිසිස් රූපසිංහ එකපාරටම මං දිහාට හැරුණා.

“සොනාලිටත් කිරි තිබ්බෙ නෑලුනෙ.බලෙන් බඩට ගන්න ළමයින්ටත් එහෙම තමයි. වාසනාවට පතාගෙන ආපු දරුවන්ට කිරි ගලනවා. භාෂිනිගේ ළමයා නම් අඬනව ඇත්තෙ මව් උණුසුම හොයලා.ළමයෙක්ට තමන් උපද්දපු අම්මා මිසක් වෙන ගෑනියෙක් වටින් නෑනෙ..”

භාෂිණී නැගිට්ටේ යන්න.නළ දරු උපතකට සූදානම් වෙන කාලේ ඉඳලම මිසිස් රූපසිංහගේ ඇනුම්පද අහලා අහලා මගේ පැංචෝ දෙන්නා ප්ලේගෘප් යන අද වෙනකම්ම කතා අහන මට දැන් මේවා හයියෙන් හිනා යන විහිළු ගාණයි.ඒත් භාෂිනීට තවම එහෙම නෑ. නළදරු උපතක් පවා අසාර්ථක වුණු තැන එයා වෙනත් අම්මා කෙනෙක්ගේ කුසෙන් වදපු දරුවෙක් හිතෙන් වදන තීරණයකට ආවා.මාතෘ නිවාඩු කිසිවක් නැතුව සති තුනක් පඩි රහිත නිවාඩු දාලා පුංචිත්තාට කැප වුණු එයා ඉස්සරලම ඔෆිස් ආව දවසේ මිසිස් රූපසිංහ කරන්නේ එයාව රිදවීම.

“මං කසාද බැඳලා මාස දෙකෙන් ලොකු පුතා හම්බෙන්න ආවා. ඊට පස්සෙ එයාට මාස අටක් නවයක් වෙද්දි කෙල්ල බඩේ.රස්සාවල් එක්ක කරදර නිසා ඔපරේෂන් කර නොගත්තනම් මටනම් ළමයි හය හතක් හදන්න තිබ්බා..”

මිසිස් රූපසිංහ එහෙම කියලා යන්න යනකොට චතූ හිචිස් කියලා හිනා වුණා.

“වෙලාව නේද අක්කා..මේ වගේ කුඩුකේඩු මිනිස්සු හයහතක්ම මේ ලෝකෙට ගෙනාවනං එහෙම එයා..”

කාමරයේ කොනක ඉඳන් අපේ කතාව අහගෙන හිටිය දිලිනි අපි ළඟට ආවේ ඒ වෙලාවේ.දිලිනි ඉන්නෙත් දරුවෙක් ගැන තියන අන්තිම බලාපොරොත්තුව පවා අත් ඇරලා.

“මටත් ඔයා බබාව ගත්තු ළමා නිවාසේ ගැන විස්තර දෙනවද භාෂි.ඔයාගෙ කතාව අහලා අපේ ආලෝකත් කීවා ඒ ඩිසිෂන් එකවත් ගමු කියලා..”

දිලිනි එහෙම කියල යන්න යද්දී මම භාෂිගේ අත අල්ලා ගත්තේ ලොකු දෙයක් කියන්න හිතාගෙන.

“භාෂි, මම IVf එකට ලෑස්ති වෙනකොටත් මිසිස් රූපසිංහ ඔහොම කට කැඩිච්ච කතා කිව්වනෙ..ඒවට මං හරියට මානසිකව වැටුණා.ඒත් මගේ පුතාලා ලැබුණම ඔයා මගෙන් විස්තර ඇහුවේ.මං හිතුවා මං තව කෙනෙකුට පාර පෙන්නුවා නේද කියලා.මට ඊටපස්සෙ කිසිම දුකක් තිබ්බේ නෑ.ඔයත් මේ දිලිනි අහපු දේ විතරක් මතක තියා ගන්න..”

භාෂිනි ඒ දේ විතරක් මතක තියා ගන්න ඇති.අපිට ඊටපස්සේ විවේක වෙලාවට කතා කරන්න ගොඩක් දේවල් තිබුණා.චතූගේ වෙඩින් එකට ලෑස්ති වෙන්න, දිලිනිට දරුවෙක් හොයන්න, භාෂිගේ පොඩ්ඩාගේ හුරතල් බලන්න, මගේ චන්ඩියෝ දෙන්නාගේ දඟ වැඩ ගැන කියන්න අපි කාලය ඉතුරු කර ගත්තා.මිසිස් රූපසිංහගේ හින්ට් වරින් වර ඊතල වගේ ආවා. අපි ඒවා ගණන් ගත්තේ නෑ.

මිසිස් රූපසිංහ හදිසියේ වැටිලා පැරලයිස් වුණු ආරංචිය ආවේ ඊට මාස කීපෙකට පස්සේ.විශ්‍රාම යන්න මාසයක්වත් ඉතුරු නැති ඇයට වුණු කරදරය ගැන අපි හදවතින්ම කණගාටු වුණා.පෞද්ගලික රෝහලට ගිහින් ඇයව බලලා එන්න කලින් අපි ඇගේ සේවිකාවගෙන් කළ යුතු දේ අහනකොට ඇය අපි දිහා බැලුවේ බැගෑපත් මුහුණකින්.

“අනේ නෝනා,රට ඉන්න බේබිත් එනපාටක් නෑ.ලොකු බේබිටවත් නෝනා බාර ගන්න කියලා බල කරන්න ඔය නෝනලාට බැරිද? මං ගෑනියෙක්නෙ නෝනා.උතුරන්න සල්ලි එව්වත් මට පුලුවන්ද ලෙඩෙක් බලා ගන්න..”

මිසිස් රූපසිංහගේ අත් උදව්කාරිය කියන්නේ කරදර මුහුණකින්.

“ආලෝකගේ ක්ලාස්මේට් කෙනෙක්නෙ මිසිස් රූපසිංහගේ පුතා.එයාගෙ වයිෆ්ට නොකරපු හතුරුකමක් නෑලු.බබාලා පරක්කුයි කියලා ඩිවෝස් කරවන්න පවා ගිහිං.දුව මැරි කරපු කෙනාගෙත් කුලේ අඩුයි කියලා පුදුම වදයක් දීලා.ළමයි සල්ලි එවලා ශේප් වෙනවා..මිස්ට රූපසිංහ නැති වුණෙත් ඕවා නිසා හිත කරදරෙන්ලු.”

දිලිනි අපිට කියන්නේ රෝහලෙන් එන අතරේ.

“ළමයි ඉක්මනින් බඩට ගන්න නම් ගොඩක් අම්මලට පුලුවන්.ඒත් ඉතින් අම්මා කෙනෙක් වෙන්න වැදූ පමණට බෑ.මිසිස් රූපසිංහට වුණේ ඒකයි.අපේ ගර්භාෂය ගැන කරදර වෙච්ච ගාණට එයා එයාගේ අම්මාකම ගැන හිතුවානම් මේ වෙනකොට දරුවෝ ඇඳ වටකරගෙන ඉඳී.ජීවිතේ සතුට හොයාගන්න දරුවෙක් නොහදා පෙන්ෂන් ප්ලෑන් එකට ළමයි හදලා එයාලා රූකඩ කරගන්න ගියාම ළමයි නූල කපාගෙන පැනලා යනවා..”

මං එහෙම කිව්වා.

ඇත්තටම අම්මා කෙනෙක් වීම පහසු නෑ.කුසයේ දරන තරමටම හදවතේ දරා ගැනීමත් අපහසුයි.ස්වභාවික, නළදරු මොන ආකාරයෙන් හරි ඉපදෙන දරුවොත් වෙනත් කුසයක ඉපදිලා අපි ළඟට එන දරුවොත් ආදරේ විතරක්ම දීලා උස්මහත් කරන්න ඕනෑ.අපේ හීන එයාලා මතින් දකින්න හිතාගෙන දරුවෝ හදන එක වාසනාව නෙවෙයි.ඒවාට කියන වචන ඕනෑතරම් තියනවා.

More Stories

Don't Miss


Latest Articles