(අ)හිමි වීම

නිකේතනීගේ මුලු ජීවිතේම ගෙවුණේ සසංකගේ වටේ. උදේ  නැගිටින වෙලාවේ ඉඳලා ආයේම රෑට නිදාගන්නකල් හැම තත්පරයකම සසංක උන්නා. ඒත් සසංකගේ ජීවිතේ තමන්ට ඒ වගේ ඉඩක් තියෙනවාද කියලා නිකේතනී ඇත්තටම දැනගෙන හිටියේ නැහැ. ඒ ගැන හාරා අවුස්සන්න උත්සාහ කරන හැම වතාවකම සසංක කලේ ඇයට සයිලන්ට් පනිශ්මන්ට් දෙන එක. ඒ නිසාම නිකේතනි පුරුදු වෙලා උන්නේ සසංකව තමන්ගේ ජීවිතේ ප්‍රේමය කරගෙන ආදරෙන් ඉන්න.  

සසංක වුනත් නිකේතනීට ආදරේ නොකලා නෙවෙයි, ඒත් සසංකගේ ජීවිතේ තිබුණේ වෙනමම විදියක්. ඉතා කෙටි කාලීන ප්‍රේම සම්බන්ධතා වල පැටලෙමින්, ඒවාගෙන් ලිහෙමින් ඒත් එක්කම හිතුමතේ සම්බන්ධතා ගොඩ නඟා ගනිමින් සසංක ගෙව්වේ යම් සෙල්ලක්කාර ජීවිතයක්. මිල මුදලින් හිඟයක් නොතිබුණ නිසාත්, පවුලේ එකම පිරිමි දරුවා වුන නිසාත් ජීවිතේ ගැන එතරමට බරක් පතලක් තිබුනෙත් නැති වීම තරුණ වයසට එලැඹෙන කාලේ ඉඳන්ම සසංකව ඇදලා දාලා තිබුණේ සෙල්ලක්කාර ජීවිතයකට.

ඒත් නිකේතනීගේ තත්වය ඊට වඩා වෙනස්. ඇය මධ්‍යම පාන්තික පවුලක බාල දියණිය. ජීවිතය ගැන වගකීම් සහ වගවීම් ඇයට තිබුණා. සරසවි ජීවිතයෙන් පස්සේ හැබෑ කරගන්න හීන ඇයට තිබුණා. ඒත් ඇගේ ජීවිතය සසංක වටා කැරකැවෙමින් ගෙවුනා මිසක් ඒ හීන වලට ගැලපෙන පාට හොයන්න ඇය උත්සුක නොවුන තරම්.

එක දවසක් අහම්බෙන් නිකේතනීට සසංකව මුණ ගැහුනේ වෙනත් ටහියක් එක්කල. එදා නිකේතනි යක්ෂාවේශ වුනා. ඇගේ ඉවසීම් කොහෙ විසිවුනාද කියලා ඇයටම හිතා ගන්න බැරිව ගියා. සසංකවත් දැනගෙන උන්නේ නැහැ නිකේතනී ලඟ එහෙම වේශයක් තියෙන බව. සසංක කලබලෙන් අනෙක් තරුණියවත් අරගෙන එතැනින් පිට වෙනකොට නිකේතනීත් ඒ පස්සෙන් දිව්වා.

අන්තිමේදී නිකේතනී නවාතැනට ආවේ මුලු ජීවිතේම ඇයට අහිමි වුනා කියන හැඟීම එක්ක. සසංකගේ මේ සම්බන්ධතා ගැන එහෙන් මෙහෙන් සරසවි මිතුරෝ කියලා තිබුනත්, නිකේතනී වඩා විශ්වාස කලේ සසංකව. ඒ හින්දාම ඕ ඒ කතන්දර මායිමකටවත් නොගෙනම අත් හැරියා. ඒත් අවසානේදී ඇයට සියල්ල අහිමි වෙලා ගියා.නිකේතනී තමන්ගේ කාමරේ ඇතුලට වෙලා දොර වහගත්තා. අනෙක් මිතුරියන් තවම නොපැමිණිලා තිබීම ගැන ඇයට දැනුනේ යම් අස්වැසිල්ලක්. කණ්ණාඩියෙන් තමන් දිහාම බැලුවා. රතු වෙලා තියෙන ඇස් වලින් නිකේතනීට පෙනුනේ තමන්ට විලිස්සගෙන ඉන්න සසංකව. අවුල් වෙලා තිබුන හිස කේ නිකේතනී දෑතින්ම සකසා ගත්තා.

” ඇයි මට එහෙම කලේ?.. ඇයි ?.. මොකක්ද මම ඔයාට කල වරද ? ඔයාට කොච්චරක් ආදරේ කලාද ?.. ඔයාවම කොයි තරම් විශ්වාස කලාද ?.. මගේ ගෙදර මිනිස්සුන්ට වඩා මගේ ජීවිතේ ඔයාට ඉඩ හදාගෙන උන්නේ… ඔයා කිව්වාම මොන දේට වුනත් වෙලාව හදාගත්තා.. ඔයාට ආසායි කියපු හැමදේම හද හදා කැව්වා … කීයට වුනත් ඔයා එක්ක එලියට යන්න ආවා… ඔයාගේ අම්මලාගේ ප්‍රශ්න ගැන ඔයා කියන හැමදේම පැය ගනන් අහගෙන උන්නා…. මගේ ජීවිතේ හීන නෙවෙයි තිබුනේ මට .. ඔයා එක්ක හීන .. අපි ගැන හීන …. ඔයා ගැන යාලුවෝ කොච්චරක් කතා කිව්වාද සසංක … මම ඒ එක කතාවක්වත්  ගානකට ගත්තේ නෑ .. දැන් උන් මට හිනා වේවි .. උන් මට පස්සෙන් හිනාවේවි .. මං උන්ට දිවුරුවා ඔයාව මට විශ්වාසයි කියලා.. එහෙව් මට නේ ඔයා මෙහෙම කලේ … එහෙව් මට නේ …. “

නිකේතනී මහ සද්දෙන් අඬ අඬා කණ්ණාඩියටම කියෙව්වා. ඊට පස්සේ එහෙමම නෑවා. පැය දෙකකින් විතර නාන කාමරෙන් එලියට ඇවිල්ලා ගවුමක් දාගෙන කෙටි ආහාරයක් හදාගෙන කෑවා. ඒ අතරේ තමයි  යාලුවෝ නවාතැනට ආවේ. එදා නිකේතනී දේශන වලටත් සහභාගී වෙන්නේ නැතිවම කොහේ ගියාද කියලා හිතාගන්න බැරුව උන්න යාලුවෝ නිකේතනී නවාතැනේ ඉන්නවා දකිනකොට පුදුම වුනා.

” උඹ සසංකව මුණ ගැහෙන්න ගියා කියලා අපි හිතුවේ ..මොකෝ මේ වේලාසන ..”

වෙනදාට සසංකව මුන ගැහෙන්න ගියාම රෑ නවය දහය වෙනකල් නවාතැනට නේන නිකේතනීගෙන් එක් අයෙක් ඇහුවා. නිකේතනි උත්තර දුන්නේ බිත්තිය දිහා බලාගෙන.

” මට නෝට් එක ඔනි ලියාගන්න … ආයේ මගෙන් සසංක ගැන අහන්න එපා .. ඒක ඉවරයි …”

නිකේතනීගේ හඬේ ඇති වෙන්න බිඳීම තියෙන බව වටහා ගත්ත යාලුවෝ එවෙලේට නිහඬ වුනා. ඒත් නිකේතනී ගැන ඇහැ ගහගෙන ඉන්න නිහඬවම ගිවිසගත්තා.

පහුවෙනිදා උදේ ඉඳන් නිකේතනීගේ ජීවිතේ වෙනස් වුනා. උදේම නැගිටලා සසංක එක්ක වුන අමනාපකම්, රණ්ඩු වලට සමාව ඉල්ලන නිකේතනී මැරිලා ගිහින් තිබුණා.  ඇය සූර්‍ය නමස්කාරය කරන්න පටන් ගත්තේ යූ ටියුබ් වීඩියෝ කිහිපයක් අනුගමනය කරලා. යාලුවොත් ඇයට එකතු වුනා.  

නිකේතනි වෙනදාට වැඩිය උනන්දුවෙන් දේශන වලට සහභාගී වුනා. දේශන නැති වෙලාවට යාලුවෝ එක්කම පුස්තකාලයට යන්න පුරුදු වුනා. සති අන්තේ අම්මලා බලන්න ගමේ ගියා. ඒ අතරේ පොඩි ඔන්ලයින් ව්‍යාපාරයක් පටන් ගත්තා.

ඒත් සසංක වහගෙන උන්න ජීවිතේ හිස් තැන් සසංකවම ඉල්ල ඉල්ල නිකේතනීට කරදර කරන එක අඩු වුනේ නැහැ. ඇය යාලුවොන්ගෙන් කඳුලු හංගගෙන ශක්තිමත් බව පෙන්නන දින කිහිපයක්ම ගෙවලා දැම්මා.

සසංක සතියක් විතර නිහඬව ඉඳලා, ඉන් පස්සේ ආයෙම නිකේතනීගේ ජීවිතේට එබෙන්න ගත්තත්, නිකේතනී හිතා මතාම කාර්‍යබහුල වෙවී සසංක වෙනුවෙන් වෙන් කරලා තිබුණ ජීවිත ඉඩ වහන්න උත්සාහ කරමින් උන්න නිසා සසංකට ලේසියෙන් ඇයට ලං වෙන්න ඉඩ ලැබුනේ නැහැ. ඇය අසීරුවෙන් නමුත් සසංකට ඉඩ නොදි, එකම පණිවිඩයකටවත් ප්‍රතිචාර නොදක්වාම ඉස්සරහට ඇවිදගෙන ගියා.

ඒත් සසංකගේ ඇමතුම් සහ කෙටි පණිවිඩ වලට  ඉවරයක් තිබුනෙත් නැහැ. සමහර ඇමතුම් දිහා බලාගෙන නිකේතනී ගල් වෙලා වගේ බලාගෙන උන්නා.

” උඹට ඕනි නම් අඬන්න නිකේතනී ..ඔහොම කාගෙන ඉන්න ඕනි නැහැ …”

මාසෙකට විතර පස්සේ යාලුවෝ නිකේතනීට එහෙම කිව්වාට පස්සේ, නිකේතනී ඒ තරම් කල් ආයාසයෙන් හංගගෙන උන්න වේදනාව පුපුරලා  යන්න ඉඩ දුන්නා. ඇය දුක ක්ෂය වෙන්නේ කඳුලු වලින් බව හිත හිතා ඇඬුවා.  යාලුවෝ නිහඬවම ඇයට උරිස්ස දුන්නා. නිකේතනී මේ අරගෙන තියෙන තීරණය ඇයට යහපතක්ම මිසෙක අයහපතක් නොකරන බව යාලුවොන්ටත් විශ්වාසයි.

එදයින් පස්සේ නිකේතනී තවත් ධෛර්‍යමත් වුනා. ඇගේම කඳුලු වලින් ඇය ජීවිතේ තීරණ වලට පන්නරය ගත්තා. සසංක කොයි තරම් උත්සාහ කලත් ආයෙම ඔහුට අවස්තාවක් නොදී ඉන්න තීරණය කලා.

” මේ අහිමි වීම මට ලේසි නෑ .. මගේ මුලු ජීවිතේම කැරකුණේ සසංක වටේ.. ඒත් මේ අහිමි විමට පස්සේ මට මාව හිමි වෙනවා .. ඒ නිසා මම මේ අහිමි වීම පිලිගන්නවාමයි …”

නිකේතනී දිනපොතේ එහෙම ලියලා ඇගේ ඔන්ලයින් ව්‍යාපාරයේ ඇණවුමක් දිහාවට යොමු වුනා.

ජීවිතේ සමහර අහිමි වීම් මහා ප්‍රාමාණික හිමිවීම් වෙනුවෙන් පාර කියනවා. 

ReplyForwardAdd reaction

More Stories

Don't Miss


Latest Articles