අසල්වැසියෝ

එහා ගෙදරට අලුතින් කට්ටියක් ආව එක ගැන කසුනි හිටියේ හේතුවක් නැතිව අකමැත්තෙන්. හේතුවක් නැතිවම අකමැත්තක් ආවා කිව්වවට කල්පනා කරලා බලනකොට කසුනිට හේතු වැටහුණා. කසුනි මිදුල අතු ගාලා කුණු  කුණු ටික එහා වත්තට දාලා තමයි ගිණි තියන්න පුරුදු වෙලා හිටියේ.    එහා වත්තේ තිබුණ කරපිංචා, කතුරුමුරුංගා, අඹ, ජම්බු, පේර වැඩිපුරම බුක්ති වින්දෙත් කසුනිලාම තමයි.

” ඔය අනුන්ගේ ගෙවල් වල ජාති කඩන්න එපා කසුනි .. අඩුම අපි වතුර ටිකක්වත් දානවද?..”

සමහර වෙලාවට තරිඳු අමනාපෙන් කසුනිට අවලාද කිව්වේ කසුනිගේ  ඒ පුරුද්ද බලාගෙන ඉන්න අප්‍රසන්න අබ්ව දැනුනම. උදේ පාන්දරම වත්ත වටෙන් ගිහිල්ලා තමන්ගේ වගේ අස්වැන්න නෙලාගෙන ඇවිල්ලා හරි උජාරුවෙන් ඒ ගැන කියනකොට  තරිඳු කරන්නේම කසුනිව මඟාරින එක. ඒ අතරේ කසුනි ගැන තරිඳු පුදුමෙනුත්  හිතනවා.

” කඩෙන් අඹ ගෙඩියක් ගන්න බැරුවද ?.. ගෙදර කරපිංචා පැලයක් හිටවගන්න බැරුවද ? පෝච්චියක පොඩිවට හරි කතුරුමුරුංගා පැලයක් හිටවාගන්න බැරුවද ?..දවල් වරුවම ගෙදර ඉන්න එකේ, අර කමලාවතී එක්ක එකතු වෙලා මේ තියෙන ඉඩේ කොයි තරම් දේවල් කරගන්න පුලුවන්ද එයාට … පෝච්චි වල වගා කරන්න කියලා පෝච්චි ටිකක් ගේන්න හැදුවම ඒක කරන්න දුන්නේත් නෑ . ඒ ඔක්කොම හරි, වවන්න කම්මැලි නම් ඒක ඕනි නෑ .. ඒත් මට කිව්වා නම් ඔය හොරෙන් හොරෙන් ගිහින් කඩාගෙන එන  ඔක්කෝම මම ගේන්නේ නැතුවද ?… කොහෙන් හදාගත්ත පුරුදුද මන්දන්නේ නෑ ..කම්මැළිකම එක අතකට … මෙව්වා පොඩි කාලේ ඉඳන්ම නොහැදුන පුරුදු මම කොහෙන් හදන්නද ?.”

එහෙම හිතුවාට,  නිවාඩු පාඩුවේ ඉන්න වෙලාවට කසුනි එක්ක ඒ ගැන ටිකක් තදට කතා කරනවාම කියලා හිතාගෙන උන්නත් තරිඳුට ඒකට වෙලාවක් තිබුනේ නැහැ.

ඒ අතරෙදි තමයි  අලුත් අසල්වැසියෝ එහා ගෙදරට ආවේ. කසුනි ඒ ගැන විස්සෝප වෙන විදිය බල බලා තරිඳු කලේ මුනිවත  රැකපු එක. ඇයටම පිවිසුමක් ගන්න ඉඩ දීලා බලන් උන්න එක. දවස් දෙකකට පස්සේ කසුනිගේ කෝපය  තරිඳු ඉස්සරහ පුපුරලා ගියා.

” ආහ් තරිඳු …”

” ම්ම්ම්ම්ම්…”

” ඔයාට අබේපාල අංකල් කිව්වාද ගෙදර රෙන්ට් එකට දෙනවා කියලා…”

” හ්ම්ම් ….”

” ඔයා මට කිව්වේවත් නෑනේ…”

” ඒ මොකටද ඔයාට ඒකෙන් ඇති ප්‍රයෝජනේ .. ? අනෙක මට ඒක එහෙමට කියන්න මතක් වුනේ නෑ …”

” අපරාදේ, ශෝක් අඹ ටික..  මට ඇඹරැල්ලා ටික කඩව ගන්නත් තිබුනා කමලා අක්කට කියලා … ඔයාට කියන්න  අර ඉස්සරහ තාප්පෙන් එලියට වැටිලා තියෙන කාමරංගා අතු ටිකේ ගෙඩි පනහකට වැඩි …”

කසුනි එහෙම කියවගෙන යනකොට තරිඳු කලේ කලකිරීමෙන් පසෙකට හැරුණු එක. ඇයට තේරුම් කිරීමට වැය කරන වචන පවා පලක් නැති බව තරිඳුට දැනුන සිතුවිල්ල තව දැඩි වුනා මිසෙක අඩු වුනේ නැහැ.

ඉන් පස්සේ කසුනි එක්ක ඒ ගැන කිසිම දෙයක් කතා බහ නොකලත්, අසල්වැසියෝ ගෙදර නැති දවල් වරු වල කසුනි පරණ පුරුදු වලම නියැලෙන බව තරිඳු අහම්බෙන් දැක්කට පස්සේ නම් ඉවසීම ඉක්මවාලම ගියා.

” ඇත්තටම ඔයාට  පිස්සුද කසුනි ?..”

” ඇයි ?..”

” අනුන්ගේ වතු වලට එබිලා ඔහොම හොරකමේ යන්නේ ?…”

” මම වතු වලට එබුනේ නෑ අනේ.. ඒවා වත්තෙන් එලියේ තිබුනේ …”

” ඔයාට දෙයක් ඕනි නම් අනේ පින්සිද්දවෙයි ගිහින් සුපර්මාර්කට් එකෙන් ගන්නකෝ ..ලැජ්ජ නැද්ද ඔය වැඩේ…? ඒ අනුන්ගේ දේවල් …”

” අහල පහල ඔක්කොම දේවල් තියෙද්දී නිකන්  මොකටද අනේ වියදම් කරන්නේ ?… පිස්සු ඔයාට ..අනෙක ඒ මිනිස්සු වවපුවා නෙවෙයිනේ ඒ .. ඒගොල්ලන්ට තියෙන්නේත් අපිට තියෙන අයිතියම තමා ඒවාට .. අනෙක නිකන් නාස්ති වෙලා යනවට වඩා හොඳ නැද්ද කවුරුම හරි පාවිච්චි කරනෙක නරකද ?”

” වියදම් කරනෙක අඩු කරගන්න ඕනි නම්  ඔයා අපේ වත්ත හදාගන්න … අනෙක නාස්ති වෙනවට වඩා අපි පාවිච්චි කරනෙක හොඳයි කියලා හිතෙනවා නම්, ඔයා ඒගොල්ලෝ එක්ක කතා කරලා ඒ දේවල් ඉල්ලගන්න …”

” අනේ මේ .. විකාර කියන්නෙපා තරිඳු .. මේ මම අඹ  එකක් හැදුවා .. කමුද ?..”

” මට එපා…”

තරිඳු අමනාපෙන්ම කසුනිව මඟෑරියා. කසුනිගේ මේ අයහපත් පුරුදු මැඟෑරෙන්න නම් ඇය කාගෙන්ම හෝ ඒ ගැන පාඩමක් ඉගෙන ගන්නම ඕනැ බව තරිඳු විටෙක කල්පනා කලා.

” අන්තිමේ මිනිස්සු ඉස්සරහ හෙර කියලා නමක් හදාගන්නවා…”

තරිඳු කසුනිට අවලාද කිව්වා.

” මල විකාර ඔයාට … “

” මම මේ ඇත්තමයි කියන්නේ කසුනි … ඒ මිනිස්සු වුනත් අවධානෙන් ඉඳලා,  ඔයා ඔය කරන දේ අහු වුන දාට ඔයාට රෙද්දක් ඇඳගෙන ගෙදරින් එලියට බහින්න  බැරි වෙනවා…”

තරිඳු කොච්චර කිව්වාත් කසුනි එක කනකින් අහලා අනෙක් කනෙන් පිට කල එකයි කලේ. එදා හවස කසුනිලාගේ අසල්වැසියෝ කසුනිලාගේ ගෙදර ආවා. තරිඳු යම්  අපහසුවක් ලෙසින් දැනුන හැඟීම යටපත් කරගෙන ඔවුන් එක්ක කතා බහ කරන්න පටන්  ගත්තා.

” අනේ අපි අද වත්ත සුද්ද කලා… මේ ඒ ගමන් කඩාගත්ත පළතුරු, එලවලු ටිකක් අරගෙන ආවා…”

අසල්වැසි තරුණිය එහෙම කියනකොට, කසුනි ව්‍යාජ හිනාවක් පෑවා.  තරිඳු කසුනි දිහා නොබලාම උන්නා.

” මේ .. කසුනි නංගි දවල් වරුවට ගෙදරමද ඉන්නේ?..”

සතුටු සාමීචිය අතරේ අසල්වැසි නිවසේ තරුණිය එහෙම ඇහුවා.

” ඔව් අක්කේ … මම ඉතින් හවුස් වයිෆ් ..”

” අනේ නංගී .. අපි ඊළඟ මාසේ පඩියෙන් කොහොමම හරි වත්ත වටේ සීසීටීවී හතරක් ගහගන්න ඉන්නේ .. එතකල් ඔයා දවල් වරුවට චුට්ටක් අපේ වත්ත දිහාවට ඇහැ ගහගෙන ඉන්නකෝ …”

” ඇයි ?.. මොකක් හරි ප්‍රශ්නයක්ද ?..”

” එහෙමම ප්‍රශ්නයක් නෙවි බං … අර ඩ්‍රැගන් ෆෘට් වගයක් තියෙනවා නේ එහා පැත්තේ .. මේ පාර ඒක පීදිලා තිබ්බා… අපි ඒ ටික අබේපාල අංකල්ට ගිහින් දෙන්න උන්නේ.. ඒ අංකල් ඔය පැල හිටවලා තියෙන්නේ .. අනේ ඒක පැහිලා ඔන්න මෙන්න තිබුනේ කඩන්න .. කවුරු හරි කඩාගෙන ගිහින් …”

තරිඳු යන්තම් කසුනි දිහා බැලුවා. ඊයේ රෑ කාපු ඩ්‍රැගන් ෆෘට් කෑල්ල වමාරන්න තරිඳුට හිතුනා.

” මම .. බලන්නම් අක්කේ ..”

කසුනි අමාරුවෙන් කිව්වා.

” අපේ දෙයක් නොවන නිසා අපි ඒක අබේපාල අංකල්ට ගෙනිහින් දෙන්න හිතාගෙන ඉන්නකොට ඔන්න බලන්න ඉතින් වුන වැඩේ … ඔය අපි අවධානෙන් උන්න නිසා දැණගත්ත එක .. ඔයිට වඩා තව කොයි තරම් නැති වෙනවා ඇතිද ?.. නාස්ති වෙනවට වඩා කවුරුම හරි කන බොන එක හොඳයි තමා බං .. ඒත් ඒක වෙන්නෝනි පිලිවෙකල් තියෙනවානේ .. මට නම් එපාම වුනා ඒ සිද්දිය එක්ක …”

තරිඳු කසුනි දිහා යන්තම් බැලුවා. කසුනි ඔලුව බිම හරවගෙන එහෙ මෙහෙ බලන්න උත්සාහ කරමින් ඉන්න විදිය ඔහු දැක්කා.

” කමක් නෑ .. ජීවිතේ තමන් විසින් තමන්ට කරගන්න ලැජ්ජාව තමයි දරාගන්නම අමාරු .. කසුනි දැන් තේරුම් ගනියි, වැඩිය වටින්නේ තමන්ගේ මහන්සියෙන් කරගන්න දේවල් බව…”

තරිඳු කතාබහ අස්සේම එහෙම හිතුවා. 

ReplyForwardAdd reaction

More Stories

Don't Miss


Latest Articles