වියෝ ගී ගැයෙනා හදේ – 45

0
3511

පෙත්මලීව අරගෙන චයිල්ඩ් කවුන්සලර් ලඟට යන්න වුණයින් මේධාත් චිරතුත් වෙනදාට වඩා හමුවුණ බව ඇත්තකි. පෙත්මලීව විෂයෙහි චිරත්ගේ හැසිරීම වෙනස් බවත් මේ දැන් ඉන්න චිරත් වනාහී තමා ඉස්සර දැනගෙන උන් චිරත් නොවන බවත් දැනගැනීම මේධා වෙනදාට වඩා චිරත් දිහා මධ්‍යස්තව බලන්නට හේතුවක් කරගත්තාය. එහෙත් චිරත් උන්නේ මේධා දිහා පරණ පුරුදු ආදරයෙන් බලන්නට හෝ  එහෙම දෙයක් ගැන හිතන්නටවත් වෙලාව වෙන් කරගන්නේ නැතුවය.

කිසිම අඩුවක් පාඩුවක් ප්‍රමාදයක් නොකර අම්මාත් තාත්තාත් දෙන්නාම එක්ක එකම වාහනයක නැගී තමන් එක්ක මෙහෙම සතියකට දෙකකට වරක් ගමනක් යන්න ඒම ගැන පෙත්මලී ඇත්තටම උන්නේ සන්තෝසයෙනි සැනසිමෙනි. ඒ සතුට සහ සැනසීම මෙතෙක් දිනක් පෙත්මලීගෙන් ඈතට ගොසින් උන්නු පරණ පුරුදු බටිති මලිති සුරංගනා හීන පස්සෙ දුව ගිය පුංචි ආත්මය ආයෙ වතාවක් ඈ වෙත අරගෙන එන්නට ඇයට උදව් කලාය. ඒ නිසාම පෙත්මලී උන්නේ හීන් සැරේ සුවපත් වෙමින් ය. වෙනදා මෙන්ම හිනාවෙන පොඩි කෙල්ලව දැක චිරත් උන්නේද එක්තරා අන්දමක සැනසීමකිනි. දරුවා ඉන්නේ සන්තෝසයෙන් ය. ව්‍යාපාරය තිබෙන්නේ විශාල ජනප්‍රසාදයක් ලබමින් දිනෙන් දින දියුණූ වෙමිනි. 

පෙත්මලීත් චිරතුත් උන්නෙ එලෙස සැනසුම් වැස්සක් අස්සේ තුරුල් වෙමින් උනත් මේධාවිණී උන්නේ සැනසීමක සේයාවක්වත් අසලක නැතුවය. මෙතෙක් දවසක් වලාකුලක සිහිලසත් සැනසුමත් සැහැල්ලුවත් ලබා දුන් වලාකුලු මේ දවස්වල හැසිරෙන්නේ මහා වැස්සක්ව වැටෙන්නට පෙර වලාකුලු අන්ධකාර පැහැය අරගන්නවාක් මෙන් කෝපයෙන් මුහුණ අන්ධකාර කරගෙනය.

“මං ඔයාට ආදරේ බව ඇත්ත මේධා. ඔයාලගෙ ගෙදරිනුත් අපේ අෆෙයාර් එක දන්න එකේ, කොටින්ම අපිට ඊලඟට කරන්න තියෙන්නෙ මේ මැරේජ් එක රෙජිස්ටර් කරන එක විතරක් වෙච්ච එකේ ඔයා ළමයගෙ වැඩකට හරි අර යකා එක්ක ඩොක්ටර් ලඟට යන එකට මම කැමති නෑ. ඔයාගෙයි මගෙයි අෆෙයාර් එක ඔයාගෙ ඔෆිස් එකේ අයයි මගෙ ඔෆිස් එකේ අයයි දෙගොල්ලොම දන්නව. අපෙ යාලුවො පවා දන්නවා එහෙම එකේ ඔයා ඒ මිනිහ එක්ක ළමයව උස්සන් එහෙ මෙහෙ යනවා දැක්කම දකින මිනිස්සු මොනවද හිතන්නෙ? උන් මං ගැන මොනවද හිතන්නෙ? කොන්ද පණ නැති මිනිහෙක් කියල හිතනවා ඇති” කියා වලාකුලු තමන්ගේ අමනාපය ඇඟවූ අවස්තාවන් පසුගිය දින කිහිපයේ කොතෙක් හම්බවුනද මේධා උන්නේ ඒවාට එකඟ වන්නටවත් එරෙහි වන්නටවත් ශක්තියක් නොමැතිව, දෙඅතක දෝලනය වෙමිනි.

“අනේ මං ගැන එහෙම හිතන්න එපා වලාකුලු. ඔයා හොඳටම දන්නවා මම කවදාවත් එහෙම කරන මනුස්සයෙක් නෙවෙයි කියන එක. හිතේ සැකයක් තියෙනම් ඒක කෙලින්ම කියන්නකො ඔය වගේ වටෙන් පිටෙන් එන්නෙ නැතුව”

“මං කියන්න තියෙන දේ කෙලින්ම තමයි මේධා කිව්වෙ. මං මේ කියන්නෙ මට ඔයාව සැකයි කියල නෙවෙයි මට අවිශ්වාස අර යකාව. මට ඌ නම් තඹ සතේකට විශ්වාස නෑ. ඩිවෝස් එක ගත්තට පස්සෙත් ඌ ඔය ආයෙ මේක අස්සෙ රිංගන්න හදන්නෙ නම් එච්චර හොඳකට නෙවෙයි කියන එක තමයි මම නම් ඔයාට කියන්නෙ. මං ආයෙ මේක කියන්නෙ නෑ මේධා. මොකද මම කොච්චර කිව්වත් වැඩක් නෑනෙ ඔයා ඒක තේරුම්ගන්න එකනෙ ඇත්තටම වෙන්න ඕන. මම කොච්චර කිව්වත් ඒක තේරුම්ගන්නෙ නැත්තම් වැඩක් නෑනෙ” කියා වලාකුලු කියද්දිත් මේධා අපමණ උත්සහ කලේ වලාකුලුට ඇත්ත තේරුම් කරවන්නටය. එහෙත් ඒ වෑයම් කිරීමම හිත මහා බරකින් ඔත්පල කරන්නට හේතුවෙන බව මේධාට පවා තේරුණේ තමන් මොන දේ කිව්වත් තේරුම්ගන්න අඩියක වලාකුලු උන්නෙ නැති හන්දාය.

“ඔයා තේරුම්ගන්න, බොරුවක් නෙවෙයි කරන්නෙ, අරක මේක කිව්වට මං කොහොමද මේධා ඒ හැමදේම ඇත්තක්ම කියල පිළිගන්නෙ? ළමය පිටින් දාලා ඔයා ආයෙම අර මනුස්සය එක්ක එහෙ මෙහෙ යන එක ඔයා මට කියන්නෙ සන්තෝසෙන් අනේ හරි ශෝක් මේධා ඔයා ඕන තැනක ගිහිල්ලා එන්න කියල අත වනන්න කියලද? මට ඒක කරන්න බෑ මේධා.මාත් මනුස්සයෙක්. මමත් ආසයි මං ආදරේ කරන මට සම්බන්ධයක් තියෙන ගෑණි මගේ විතරක් වෙලා ඉන්නවට,මට ආඩම්බරයක් වෙන කෙනෙක් විදියට ඉන්නවට”

“ඉතින් වලාකුලු මං චිරත් එක්ක සම්බන්ධයක් නෑ, මට එයත් එක්ක තියෙන් එකම බැඳීම පෙත්මලී විතරයි. ඉන් එහා මට කිසිම බැඳීමක්, හැඟීමක් මට එයා ගැන නෑ. අනික මම කවදාවත් ඔයාට ලැජ්ජාවක් වෙන දෙයක් කරලවත් කරන්නෙවත් නෑ. එහෙම එකේ ප්ලීස් මට ඔහොම කතාකරන්න මම ගැන ඔහොම හිතන්න එපා” කිව්වට වලාකුලු උන්නේ එයට උත්තර දෙන සිතුවිල්ලක නොවේ. මුහුණ කලු කරගෙන හිත හොඳටම රිද්දාගෙන ඉන්න වලාකුලුගෙන් වචනයක් එලියට ගන්න එක අසීරු බව දන්න හන්දාම මේධා මග නතර කල කතාව ආයෙම වතාවක් ඉදිරියට කරගෙන යන්නට හිතුවාය.

“ඔයාට ඒක මාරම හිත රිද්දන දෙයක්නම්, ඔයාට මොකක් හරි සැකයක් තියෙනවනම් චිරත් මේ දරුව පිටින් දාගෙන එන්නෙ වෙන මොකක් හරි ගේම් එකකට කියල ඔයත් එන්න කවුන්සලර් ලඟට යද්දි. ඔයාට පුලුවන් නෙ කාරෙකේ හරි ලොබි එකේ හරි ඉන්න. අනික චිරත් කොහොමත් දැන් දන්න එකේ මට ඔයා එක්ක අෆෙයාර් එකක් තියෙනව කියල ප්‍රශ්නයක් නෑ නේද ඔයා එන එක? මම කැමතියි ඇත්තටම ඔයා එනවනම් මොකද කවදහරි පෙත්මලී ඉන්නෙ අපි දෙන්න මැරි කරපු කාලෙක අපි ලඟ හන්දා”

“මේධා මේ පිස්සු කියවන්න එපා. ඔයාගෙ ළමයයි, ඒ ළමයගෙ තාත්තා ඒ කියන්නෙ ඔයාගෙ ඩිවෝස් කරපු මනුස්සයයි එක්ක ඔයා චයිල්ඩ් කවුන්සලර් කෙනෙක් ලඟට යද්දි මාත් ඒක අස්සෙ රිංගන්න තරම් මට පිස්සුවක් නෑ. අනික මම මොනවද එතනට ඇවිත් කරන්නෙ? අර මිනිහා පස්ස පැත්තෙන් හිනාවේවි මට මාත් ඕක අස්සෙ රිංගන්න ගියොත්. ප්ලීස් ඔයාගෙ ඔය පරණ පවුල අස්සට මාව රිංගවගන්න හදන්න එපා මේධා.

මම මෙහේ මේ ඔයාගෙ තාත්තා එක්ක බිස්නස් එක ගොඩ දාගන්න නැහෙනවා. ඒ අස්සෙ ඔයා මෙතන වෙන එක එක පිස්සු කතන්දර කියනවා” කියා වලාකුලු තමන් අල්ලාගන්නට යෙදුන ඔහුගේ අත ගසා දමා කියද්දිත් මේධා උන්නේ ඇත්තටම මේ ප්‍රශ්නෙට දෙන්න ඕන උත්තරේ මොකද්ද කියා හිතාගන්න බැරුවය.

“මට වෙලාවකට තේරෙන්නෙ නෑ ආලෝකා මේ පිරිමින්ව” කියා ආලෝකා ලඟ දිග හැරුනේ ඒ හිතාගන්න බැරිකම නිසාම හිත රිද්දවූ හඟීමය.

“උඹට වලාකුලුව තේරුම් ගන්න බැරි ඇයි කියල දන්නවද?”

“ඇයි?”

“උඹට කවදාවත් චිරත්ව තේරුම්ගන්න උවමනා උනේ නැති හන්දා. චිරත් කවදාවත් බලෙන් ඌව උඹට තේරුම්කරවන්න ට්‍රයි එකක් දුන්නෙ නැති හන්දා. හැබැයි දැන් වලාකුලු ඒක බලෙන් උඹ ලව්වා කරගන්න උත්සහ කරන හන්දා. උඹට අමාරු ඒක. මේ අමාරුකම් මීට කලින් තිබිච්ච ජීවිතේදි ඇවිත් නැති එක තමයි උඹට දැන් ඔය අමාරුකමක් විදියට දැනෙන්නෙ” කියා ආලෝකා කිව්වයින් පස්සේ මේධා ඇත්තටම ඒ කතාව ඇත්තක්ද කියා සිතා බැලුවාය.

“ඔයාගෙ හිත සනසන විදියක් ගැන මට ඇත්තටම හිතාගන්න බෑ වලාකුලු. මං දන්නෙ නෑ මං මොකද්ද කරන්න ඕන කියලා. ඔයා දන්නවනම් මට ඔයාගෙ හිත සැනසෙන විදියට කරන්න පුලුවන් දෙයක් ගැන. මට ඒක කියන්න. ඒක මොන ජාතියෙ දෙයක් උනත් මම ඒක කරන්නම්. මට පෙත්මලීව අතාරින්න කියන්න එපා. මට ඒක කරන්න බෑ. ඔයා මට මුලින්ම පොරොන්දු උනා ඔයා පෙත්මලීට ඔයාග් දරුවෙක්ට වගේ ආදරේ කරනවා කියලා. ඒ ඉල්ලීම ඇරෙන්න ඔයා වෙන ඕන දෙයක් ඉල්ලන්න, මම ඒක කරලා දෙන්නම්” කියා මේධා කියද්දී වලාකුලු නෙත් ඔසවා බලද්දී ඒ දෙනෙත් අස්සේ තේරුම්ගන්නට බැරි මොකක් හෝ දෙයක් ලියවී තිබෙන බව මේධාට තේරුණාය.

“ඔයා ඔය ඇත්තටමද කියන්නෙ?” කියා වලාකුලු අහද්දී “ඔව් ඇත්තටමයි කියන්නෙ” කියා කිව්වත් වලාකුලු මොනවා ඉල්ලන්න යනවද කියන සැකයක බයක සේයාවක් හිත අස්සේ දිවයනු මේධාට තේරුණි.

“හරි, එහෙනම්…” කියා වලාකුලු කියද්දී මේධා හිත ඇතුලෙන් තිගැස්සුනත් වලාකුලු මේ කියන්නට යන්නේ, ඉල්ලන්නට යන්නෙ කුමක්ද කියා දැනගන්නට උන්නේ නොඉවසිල්ලකිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here