තරුණ මහලු කාන්තා පිරිමි බේදයක් නැතුව ඉවුම් පිහුම් අද අපි හැමෝටම සමීප වෙලා තියෙනවනේ.
ඉවුම් පිහුම් ගැන කැමැත්තෙන්, උනන්දුවෙන් ඉන්න ඔබට දැනගන්නම ඕන කුස්සියේ වැඩ කටයුතු ලේසි පහසු කරන ක්‍රම කීපයක් ගැන ඔබට කියල දෙන්නයි මේ ලිපියෙන් අපි මේ සූදානම් වෙන්නෙ.
එහෙනම් බලමු ඒ මොනවද කියල?
පරිප්පු, කව්පි, කඩල වගේ ධාන්‍ය වර්ග ගබඩා කරල තියාගද්දි ඒ ධාන්‍ය වර්ග වලට ගුල්ලො වගේ කෘමි සතුන්ගෙන් වෙන හානි වළක්වා ගන්න හොඳ වියළි රම්පෙ කෑලි දෙක තුනක් හෝ කරපිංචා කොල අහුරක් එකතු කරල තියන්න පුළුවන්.
සීනි බෝතලේට කූඹි එනවනන් වියළි කරාබුනැටි කීපයක් එකතු කරගන්න පුළුවන්.
ඔබ බත් බඳිද්දි වැඩි වෙලාවක් නරක් නොවී තියාගන්න නම් බත් සහ ව්‍යාංජන වල නිමෙනකන් ඉඳල බත් මුල බැඳගන්ඩ ඔබට පුළුවන්.
ඔබ හදපු මොකක් හරි හොද්දකට ලුණු වැඩියි කියල තේරුනොත් හොඳට සෝදල පිරිසිදු කරගත්ත අල ගෙඩියකින් අල පෙත්තක් කපල හොද්දට දැම්මොත් අල පෙත්තට ලුණු උරාගෙන ලුණු රස අඩු කරගන්න පුළුවන්.
කොළ පාට එළවළු උදාහරණයක් විදිහට බෝංචි බ්‍රොකලි වගේ එළවළු වර්ග ලස්සන තද කොළ පාටට උයාගන්න අපි ගොඩක් දෙනෙක් කැමතිනෙ.
මේ එළවළු වර්ග ඔබට අවශ්‍ය කොළ පාට ලැබුනෙකම් උයාගත්තට පස්සෙ ලිපෙන් ඉවත්කරල වෙනම භාජනේකට මාරු කරගැනීමෙන් එළවළු වල පාට භාජනේ රස්නය නිසා වෙනස් නොවී තියාගන්න පුළුවන්.
මාළු හෝදන කොට ලුණු කැට, ලුණු කුඩු එහෙමත් නැත්නම් දෙහි ඇඹුල් චුට්ටක් මාළු හෝදන වතුර වලට එකතු කරල මාළු හෝදගත්තොත් මාළු වල පිලී ගඳ යවාගන්න පුළුවන්.
ඒ වගේම මාළු ශීතකරණයේ ගබඩා කරල තියාගද්දි කහ කුඩු ටිකක් එක්ක ලුණු කුඩු ටිකක් අතගාල පෙට්ටියකට දාල තිබ්බම ටිකක් වැඩිකාලයක් තියාගන්න පුළුවන්.
නූඩ්ලස් සහ පැස්ටා තම්බාගද්දි ලුණු ටිකක් එක්කම තෙල් ටිකක් එකතු කරල තම්බා ගද්දි නූඩ්ලස් සහ පැස්ටා වල ඇලෙන ගතිය අඩු කරගන්න වගේම තම්බගද්දි තෙල් එකතු කරන්න අමතක වුනොත් එහෙමත් නැත්නම් තෙල් එකතු කරලත් පැස්ටා නූඩ්ලස් ඇලෙන ගතිය තියෙනව නම් තම්බාගෙන ඉවරවෙලා වතුර බේරල ඇල් වතුරෙන් හෝදල වතුර බේරල දාගන්න පුළුවන්.
මාළු මස් හෝදල ඉවර වුනාම අත් දෙකෙන් එන අප්‍රසන්න / පිලී සුවඳ නැති කරගන්න අත්වල දෙහි බෑයක් අතුලන්න ඔබට පුළුවන්.
හොඳ දෙහි බෑයක් ඕන නෑ. මිරිකල ඉවර වුන දෙහි ලෙල්ලකින් වුනත් මේ දේ කරගන්න පුළුවන්.
සම්බෝල අඹරලා ඉවර වුනාම අත දනවනම් පොල් තෙල් ටිකක් අතේ ගාගෙන අත ලිපේ රස්නෙට අල්ලල රත් කරගත්තම අතේ දැවිල්ල අඩු වෙනව.
සම්බෝලෙට දෙහි එකතු කරද්දි දෙහි වල රේණු එක්කම මිරිකලා සම්බෝලට දාගනිද්දි රස වැඩියි.
මස් උයද්දි සියඹලා ටිකක් එකතු කරාම මස් වල හයිය ගතිය අඩුවෙලා මස් මොළොක් කරගන්න පුළුවන්.
ගෙදර හාල් දාල තියෙන භාජනේට වියළි දෙහි කොළ කීපයක් එකතු කරල තියාගත්තම හාල් වලට ගුල්ලො ගහන එක වළක්වගන්න පුළුවන්.
අලුත් මුට්ටියක් පදම් කරගන්ඩ හාල් හෝදපු වතුර මුට්ටියට දාල වතුර පස්සවගන්ඩත් එහෙමත් නැත්නම් අමු පොල් කුඩු ටිකකට වතුර එකතු කරල වතුර පස්සව ගන්ඩත් පුළුවන්.
ආප්ප හදද්දි තාච්චිය ඇලෙනව නම් ඒකට විසඳුමක් විදිහට තෙල් ටිකකට සාලයා කරවල ඔලු ටිකක් දාල පිච්චෙනකන් කර කරගෙන තෙල් ටික තාච්චිය වටේටම ගාගත්තම පුළුවන්.
එහෙනම්, මේ කුස්සියේ රහස් ඔබටත් උදව් වේවී කියල අපි විශ්වාස කරනව.
සටහන – දුලානි නවෝද්‍යා