“එයා කොච්චර අනුන් ගැන හිතුවත් එයා මාව රිජෙක්ට් කරනවා…අනෙක් ඔක්කොටම එයා සලකන්නේ හරිම සොෆ්ට් ඇටිටියුඩ් එකකින්.හැබැයි මා එක්ක විතරක් එයා ලොකු ගැප් එකක් මේන්ටේන් කරනවා…”
“ඒකට හේතුව අර එයා එහෙ ආව ෆස්ට් ඩේ එකේම මං එයාගෙ ඔලුවේ මගෙ ගැන ඇති කළ ඉම්ප්‍රෙශන් එක වෙන්න ඇති. ඒක නිසා වෙන්න ඇති මෙහෙම වෙන්නෙ.”
බ්‍රයන් මොහොතකට පසු සිහි එළවා ගත්තේය.ස්ටීව් මේ කියවන්නේ හොඳ සිහියෙන් බවට සැකයක් නොමැති වුවද මේ කිසිවිටකත් තමා බලාපොරොත්තු වූවක් නොවේ.ස්ටීව් සහ නෙළී අතර ආරම්භයේ පටන්ම තිබුණේ නුරුස්සන සුලු හැසිරීම්ය.එයට ප්‍රධාන ස්ටීව් ගේ හැසිරීමයි.මාලිකාට අනුව නෙලී ස්ටීව් ගැන එසේ සිටීම කිසිදු වරදක් නැත.ස්ටීව් ගැන කොපමණ දැන සිටියද මාලිකාගේ අදහසට බ්‍රයන් ද එකඟ විය.
ස්ටීව් ගේ ජීවිතයේ බොහෝ දේ තමා දැන උන්නද නෙලී සම්බන්ධයෙන් ඔහුගේ ඇති මෙම පසුතැවීම බ්‍රයන් වටහාගෙන උන්නේ ද නැත.මේ දක්වා ස්ටීව් ඒ බවක් හෙළි කළේ නැත.මාලිකා සහ බ්‍රයන් නිරුත්තරව බලා උන්හ.
“සොරි! මම මේ දේවල් ඔයාලට කියෙව්වට.ඔයාලට මේකට කරන්න දෙයක් නැහැනේ.ඒක මගේ වැරැද්ද.මම වෙන කෙනෙක් ගැන නම් මේ විදිහට රිග්‍රෙට් කරන්නේ නැහැ.ඒත් නෙළී කියන්නේ හරි හොඳ කෙනෙක්.මෙලා..ඔයා හරි ලකී ඒ වගේ යාළුවෙක් අහම්බෙන් හරි හම්බ වෙච්ච එක ගැන.එහෙනම් මම යනවා..see you guys..”
ස්ටීව් ආයාසයෙන් සිනහවක් පා නැගී උන්නේය.
“Take it easy ස්ටීව්.කාලය එක්ක නෙලී වුණත් තේරුම් ගනීවි ඔයා එහෙම කලබල වුණ වෙලාවල් වල කියූ දේවල් එහෙම සීරියස්ලි කළ එව්ව නෙවෙයි කියලා..”
නිහඬව සිටින්නට නොහැකිම තැන මාලිකා පැවසුවාය.මේ කරුණු නෙලී සමගින් පැවසීමට ඇය සිතා ගත්තාය.ස්ටීව් සහ නෙළී අතර මිතුදමක් ඇරඹුණහොත් එය ස්ටීව් ගේ මානසිකත්වය හොඳ අතට හරවා ගන්නට අමනා රුකුලක් වනු ඇති බව බ්‍රයන් ද පැවසුවේය.
“මං මුල ඉඳලම ඔයාට කිව්වේ ඒකයි.නෙළී කියන්නේ කෙනෙක්ව හීල් කරන්න පුළුවන් කෙනෙක්.ඔයත් ඒක දන්නවනේ.ස්ටීව්ට ඉන්නෙ යාළුවො ටික දෙනයි. හැබැයි ඒ අයටවත් ස්ටීව්ව වෙනස් කරන්න බැහැ. මම වෙනස් කරනවා කියන එකෙන් අදහස් කලේ ස්ටීව් ඔය හිරවෙලා ඉන්න ජීවිතෙන් එළියට එන එක.අවුරුදු තිස් හතරක් කියන්නේ මනුස්සයෙක් ඔය තරම් ටෙන්ෂන් එකෙන් ඉන්න ඕන වයසක් නෙමෙයි.ඔය අවුරුදු තිස් හතරටම ස්ටීව් උන්න ටෙන්ෂන් එකෙන් එයාට දැනුයි එළියට එන්න ඕන වෙලා තියෙන්නේ.ඒ වගේ දේකට උදව් කරන්න හොඳ යාලුවෙකුට පුළුවන්..”
“මම ස්ටීව්ගෙ කසින් උනාට , එයාගේ ක්ලෝස් සර්කල් එකේ ඉන්න යාළුවෙක් උනාට..මටවත් ඒ දේ කරන්න බැහැ.හැබැයි නෙළීට ඒ හැකියාව තියෙන බව මමත් දන්නවා.මේරි ආච්චි වගේ කෙනෙක්ව නෙළී වෙනස් කරපු හැටි දැක්කම ස්ටීව්ට වුණත් ලොකු trust එකක් තියෙනවා එයා ගැන.මෙලා…මේ දෙන්නගෙ අතරේ ෆ්‍රෙන්ඩ් ෂිප් එකක් අපේ ඇති කරමු කොහොම හරි.ඔයා බයවෙන්න එපා.ඒ friendship එක ස්ටීව්ට වගේම නෙලීටත් හොඳක්ම වෙයි…”
මාලිකා නිහඬවම හිස සැලුවාය.මේ සම්බන්ධයෙන් නෙලී කුමන ආකාරයේ ප්‍රතිචාරයක් දක්වයි ද යන්න සිතා ගන්නට නොහැක.ඇය ස්ටීව් ගේ චර්යාවන් හේතුවෙන් දෙවතාවක්ම සිත රිදවා ගත්තාය. නිකරුනේ චෝදනාවන් වලට ලක්වීමට ඇයට සිදුවිය.එහෙයින් ස්ටීව් සහ ඇය අතර ඇති පරතරය ටිකෙන් ටික වැඩි වෙමින් පැවතුණි.
මාලිකා මේ සංවාදයේ තොරතුරු නෙලී සමගින් පැවසුවේ බ්‍රයන් සහ ස්ටීව් නොමැතිව යෙහෙළියන් දෙදෙනා හමුවූ මොහොතකය.
“ඔයා මේරි ආච්චිගේ ගෙදරට ආ දවසේ ඉඳලම සිද්ධ වෙච්ච ඔක්කොම දේවල් මම දන්නවනේ නෙලී.ඒත් මේ දේ මට ඔයාට නොකියා ඉන්න බැරි වුණා.අපි හැමෝම ස්ටීව්ගේ බාහිරෙන් දැක්ක දේවල් වලට වඩා එයාගේ ඇතුලෙ තියෙනවා ලොකු පීඩනයක්. ඔයා එයාට දක්වන වෙනස් ප්‍රතිචාර ගැන ඔහොම සීරියස්ලි හිතයි කියල මම කවදාවත් හිතුවේ නැහැ.මම මේ දේවල් කියන්නේ ඔයාට බලපෑමක් කරන්න නෙමෙයි.ඒත් මට හිතුනා ඔයාට මේක කියන එක හොඳයි කියලා..”
නිලංගා නිහඩවම අසා උන්නාය.
“මෙලා, මතකද අපි සෙවන් සිස්ටර්ස් ගියපු දවස.අපි යන ගමනට වඩා එන ගමනේ දී ස්ටීව් මාත් එක්ක ගොඩක් කතාකළා.ඇත්තෙන්ම මම හිතුවා එයා හරි හොඳ කෙනෙක් කියලා.එයාගේ හොඳ ගතිගුණ ඔක්කොම එයාගේ ඔය අමුතු හැසිරීම් නිසා යටපත් වෙලා තියෙන බව මටත් තේරුණා.ඒත් බලන්නකෝ ගිහින් ඇවිල්ල දවස් කීයද ගියේ ආපහු එයා අර වගේම හැසිරෙන්න පටන් ගත්තනේ..ඇත්තෙන්ම මම ඒ වගේ ප්‍රතිචාර වලට කැමති නැහැ.ඒක නිසා තමයි මම හිතා ගත්තේ එයාට සිල්වියා මැඩම්ලට වගේම මගේ බොස් කෙනෙක් කියන තැන තියලා respect කරනවා කියල. ඒ වගේ සැරින් සැරේට මිනිස්සු වෙනස් වෙනකොට ඔයා, බ්‍රයන් වගේ මට එහෙම අයත් එක්ක ෆ්‍රෙන්ඩ්ශිප් එකක් තියාගන්න බැහැනේ.”
නිලංගා නිදහසේ කලබලයක් නැතිවම පැවසුවාය.
“මම සාමාන්‍ය මනුස්සයෙක් මිස සුපර් හියුමන් කෙනෙක් නෙවේනෙ මෙලා.ස්ටීව් වගේ අය එක්ක ආශ්‍රය කරලා එයාලාව වෙනස් කරන්න මට පවර් එකක් ඇති කියලා ඔයාලා හිතුවට….අන්තිමට වෙන දේ මම කියන්නද.? මං මේ ඉන්න මට්ටමෙනුත් මානසිකව පහළට ඇද වැටෙයි..එච්චරයි..”
නෙලී පවසන දෙයෙහි ඇගේ පසින් ඇති සත්‍යය බැහැර කළ නොහැක.ඇය ජීවිත කාලය පුරාම දුක් විඳි කෙල්ලකි.ඇයට ඇගේ ජීවිතයේ මානසික සුවය බෙහෙවින් වටී.අවසානයේදී කාලයට දෙදෙනාටම යහපත් දෙයක් කරන්නට ඉඩදී නිහඬ වීමට මාලිකා සිතා ගත්තාය.ළඟ ළඟ එන විවාහයේ ඇති වැඩ කටයුතු ඔස්සේ කාර්යබහුල වන්නට ඇති හෙයින් මේ කාරණය ඔස්සේ දිගින් දිගටම කාලේ යොදවන්නට තමාටද හැකියාවක් නැත.
කාලය ගෙවී ගියේ අසුරුසැණිනි..විවාහ උත්සවයේ වැඩ කටයුතුවලදී නිලංගා සහ ස්ටීව් බොහෝ විට උනුන් හමුවීම ඒ අතර සිදුවිය.විවාහ කටයුතු සම්බන්ධයෙන්ම කතාබහ කලද කාලයත් සමග ඔවුන් දෙදෙනා අතර දුරස්ථ භාවය ටිකෙන් ටික මැකීයමින් යළිත් සාමාන්‍ය කතාබහ ඇතිව තිබුණි.ආච්චී සම්බන්ධ කාරණා වලදී මෙන්ම මෙලාගේ විවාහ කටයුතු වෙනුවෙන්ද අදහස් එකිනෙකා අතරේ නිතර කතාබහට ලක්වීම ඔවුන් අතර වූ වැරදි වැටහීම් ආදිය යම්තාක් දුරට නිවැරදි කරගන්නට රුකුලක්ද විය.
“නෙලිට මේ ඉරිදා මොකුත් යොදාගත්ත වැඩක් තියෙනවද?”
එවන් දවසක ස්ටීව් විමසුවේ නිලංගා, මේරි මර්ෆි ඇවිදවන ව්‍යායාමයන් හි යොදවා අවසන් කළ පසුවය.
“නැහැ…”
ප්‍රශ්නාර්ථයක් ඇස රඳවා ගෙනම නිලංගා පිළිතුරු දුන්නාය.
“පොඩි ගමනක් යන්න එනවද මාත් එක්ක..”
ස්ටීව් විමසුවේ මඳ සිනහවැතිවය.නිලංගා කුතුහලයෙන් බලා උන්නාය.බ්‍රයන් ,මාලිකා සමග තරමටම නැතත් ගත වූ සති කිහිපය තුළ ස්ටීව් සමගින් විවිධ කටයුතු සඳහා ඇයට ගමන් බිමන් යාමට සිදුවූ හෙයින් එය එතරම්ම විශේෂයක් ලෙස නොදැනුණි.
“කොහෙද ? මේ මාලිකාගෙ වෙඩින් එකේ ගමන් ගිහින් ම මට දැන් පණත් නෑ…”නිලංගා මැසිවිල්ලක් ලෙස පැවසුවද ඇයගේ වතෙහි කිසිදු අමනාපයක්, නොරිස්සුමක් නොවීය.
“යන්නේ කොහෙද කියලා කලින්ම කිව්වම ඒකෙ තියෙන වටිනාකම නැතිවෙන ගමනක් මේක.ඒ නිසා ගිහිල්ලම බලමු.ඒ නිසා එනකොට ඔයාගේ කැමරාවත් අරන් එන්නකො.”
ස්ටීව් පැවසුවේ මද සිනහවක් ඇතිවය. ඉතා කළාතුරකින් ඔහුගේ මුහුණේ නැගෙන ඒ සිනහව කෙතරම් ඔහුට ආලෝකයක් දෙන්නේ දැයි ඔහු නොදන්නවා ඇත.
“ඒ ගමන මොකද මගේ දිහා බලාගෙන කල්පනා කර කර ඉන්නේ…”
ස්ටීව් විමසන තුරුත් ඇය උන්නේ ඒ කල්පනාවේය.නිලංගා සිනාසී “මම කල්පනා කළේ ….ස්ටීව් දන්නෙ නැතුව ඇති…ඔයා හිනාවෙන කොට හරිම ලස්සන බව…කියලා” පැවසුවාය.ස්ටීව් මේ අපූරු තරුණියගේ නොපැකිලෙන අදහස් පැවසීමේ ආකාරය ගැන පුදුම වූවේය.ඇය කියයුතු දේ කෙළින්ම කියන්නීය.
“දන්නවා දන්නවා…ගිය අවුරුද්දෙ මං හිනාවෙලා ඉන්න ෆොටෝ එකක් ඇප් එකකටත් ඉල්ලගත්තා….”
නිලංගා ස්ටීව්ගේ එවදන් අසා විමතියෙන් බලා උන්නාය.
“ඇප් එකකට ..ඒ මොකක්ද?”
නිලංගා විමසුවාය.
“ආ ඒකට ඔයාට ඇක්සස් ගන්න බෑ..ඒක මෙහෙ නෙවේ ඒක තියෙන්නේ අර ඔයාලා කියන අපායෙ…Hell අන්න එහේ..”
ස්ටීව් හඬ නගා සිනාසුණේය. අමනාපය මුසුව ගත් බැල්මෙන් ස්ටීව් දෙස බලා උන් නිලංගාගේ මුවෙහිද ඉබේම සිනහවක් ඉතිරී ගියේය.
කෙතරම් ඇවිටිලි කළද ගමන ගැන ස්ටීව් ඉන් පසු වදනකින් හෝ ඉඟියක් නොදුන්නේය.ඉරිදාවේ ඔහු නිලංගා කැඳවාගෙන යන්නට පැමිණෙන විට නිලංගා නොඉවසිල්ලෙන් සූදානම් ව උන්නාය.
“මෙලාගෙ වැඩකට …”
සිල්වියා ගමන ගැන කුතුහලයෙන් මෙන් ඇසූ ප්‍රශ්නයට ස්ටීව් පිළිතුරු දුන්නේ ගණනකට නොගෙනය.නිලංගා ඒ කතාබහ අතරට නොයා පසෙකට වූවාය.
“ස්ටීව්, මෙලාගේ වැඩ ඉවර වුණාම අන්න අර ජෝජ් අංකල් හම්බ වෙන්න යන්න. එයා දැන් සෑහෙන කාලෙක ඉඳන් නෙ බලන් ඉන්නෙ.මෙලාගේ බ්‍රයන්ගේ වැඩ කළාට කමක් නෑ.තමන් ගැනත් අනාගතය බලාගන්න ඕනනෙ..”
සිල්වියා පැවසුවේ දැඩි ස්වරයකිනි.
“මමී..මේ..ප්ලීස්…කරුණාකරලා මගෙ යකා අවුස්සගන්නෙ නැතුව ඉන්නවද? ඇට් ලීස්ට් මේ නෙලී ඉන්න නිසාවත් මෙතන…මම ඔයාට ඕකට උත්තරේ දීලා ඉවරයි..ඒක මතක තියාගන්න..”
ස්ටීව් දැඩි හඬින් එහෙත් ස්වරය පාලනය කරගනිමින් පැවසුවේය.සිල්වියා තවත් යමක් පවසන්නට ගියද ස්ටීව් අත ඔසවා එම කතාබහ නවතා නිලංගා දෙස බලා හිසෙන් “යමු” යැයි සන් කලේය.