“කීයටද ඒ ළමයි එනවා කිව්වෙ?” කියා අම්මා තාත්තගෙන් අහනවා සප්තමීට කාමරේට ඇහෙනවා. සමුද්‍ර එනවා කිව්වෙ හවස හතට විතර කියන එක ඉතින් අම්මට කියන්න බෑනෙ. එහෙම කිව්වොත් අම්මා අනිවාර්යෙන්ම “ඔයා කොහොමද ඒක දන්නෙ? ඔයාලා දෙන්න කතාකරනවද?” කියලා අහන බව දන්න හන්දම තමයි සප්තමී සද්ද නැතුව උන්නෙ.
“මං ඒත් කතාකරා, හය හමාර හත විතර වෙද්දි එනවා කිව්වා. කොහොමත් ඉතින් රෑ කෑමට එන්නෙ ඒ වෙලාවටනෙ” කියල තාත්ත කියනවත් එක්කම වගේ තමයි සප්තමී වොශ් එකක් දාගන්න කියල හිතාගෙන එතනින් නිකන් කතාව ඇහිච්ච නැති තාලෙට වගේ මාරුවෙලා ගියේ. වොශ් එකක් දාගෙන ඇවිල්ලම අම්මට උයන පිහන ඒවට උදව් වෙනවද කියල හිතුවට සමුද්‍ර ආසයි කිව්ව විදියට සොසේජස් තෙල් දාලා හදන්නෙ කොහොමද කියන එකයි අම්මට ඒකෙ මුකුත් අමුත්තක් තේරෙන්නෙ නැති විදියට කියන්නෙ කොහොමද කියන එකයි තමයි සප්තමීට වොශ් එකක් දාන අස්සෙත් කල්පනා වෙච්ච එකම දේ.
“මං කැමති කියල කිව්වොත් අම්මා අහවි ඕක ඉතින් මේ අදම හදාගන්න ඕනද කියල. සමුද්‍ර ආස හන්ද හදනව කියලා කියන්න බෑනෙ? මල්ලිව අල්ලගෙන මෑන්ස්ට ආස හන්ද හදල දෙනව කියල කිව්වට මල්ලි අපෝ මොනව කියාවිද දන්නෙ නෑ ඒ භූතයා පස්සෙ” කිය කිය හිතන ගමන් සප්තමී හැම පැත්තෙන්ම වගේ හිතුවා මොන විදියටද ඔය සොසේජස් බදින වැඩේ කරන්නෙ කියන එක.
“අම්මා මොනවද රෑට හදන්නෙ?” කියාගෙන සප්තමී කුස්සිය පැත්තට රිංගුවෙ ඕන්න ඔය වගේ එක එක ඒව කල්පනා කරන ගමන් තමයි. අම්මා ඒ වෙද්දිත් උන්නෙ රෑට කන්න හදන එලවලු බත් එකට ඕන කරන එලවලු හීනියට ලියන ගමන්.
“තාත්තා මේ ඒ ලමයට කන්න එන්න කිව්වට ඒ ළමයා කන්න ආස ජාතිවත් අපි දන්නෙ නෑනෙ, මං හිතුවෙ එලවලු බත් එකක් හදලා චිකන් හදලා, සැලඩ් එකකුයි, පරිප්පුයි, කට්ලටුයි, වම්බටු මෝජු හදන්න කියලා. ඇතිද? ඔම්ලට් එකකුත් දාන්නද?” කියල අම්මා කියද්දි තමයි සප්තමී දැනගත්තෙ ඕන්න මේක තමයි හොඳම චාන්ස් එක කියලා සොසේජස් කතාව එලියට ඇදලා අරගන්න.
“ඔම්ලට් නෙවෙයි එහෙනම් මම සොසේජස් බදින්නද?”
“අනේ මන්දා ඒ ළමයා කනවා ඇද්ද සොසේජස්? ඔයාලා එක්ක ඔය ශූටින් වලට ආවම එයා කන්නෙ මොනවද කියලා දැකල තියෙනවද?”
“මං ඉතින් ඒ මනුස්සය කන්නෙ මොනවද කියලා බලාගෙන ඉඳල නෑ අම්මෙ. අපි කන්නෙ වෙනමනෙ. එයාලා කන්නෙ අපි එක්ක නෙවෙයි” කියල කියද්දි උනත් සප්තමී ඇස් දෙක අම්මගෙ ඇස්දෙකෙන් ගලවගෙන ෆ්‍රිජ් එක අස්සට දාගෙන උන්නෙ ඇස් දෙකෙන් හරි අම්මා තමන්ගෙ හිත කියන එක එක ඒව තේරුම්ගනීවි කියන එක.
“මං ඒත් මේ තකහනියෙ කල්පනා කරේ ඒ ළමයව එදා අපිට නිකන් කතාකරගෙන වගේ දියතෙදි හම්බුවෙච්ච එක” කියන ගමන් අම්මා හීන් සීරුවේ ඇස් දෙක දෝණියැන්ද ඉන්න පැත්තට යැව්වට මොකෝ දෝණියැන්ද උන්නෙ මූණ අහක හරවගෙන හන්දා ඒ මූණෙ ඇඳිල තියෙන්නෙ හිත කියන මොන වගේ කතන්දරයක්ද කියන එක අම්මට හිතාගන්න පුලුවන් උනේ නැ. හැබැයි අම්මගෙ කතාව හන්ද සප්තමී නම් උන්නෙ පොඩ්ඩක් විතර හිත ගස්සගෙන. අම්මා එකපාර ඒ වගෙ කතන්දරයක් කිව්වෙ මොකක් හරි දෙයක් දන්න හන්ද හරි එහෙම නැත්තම් තේරිච්ච හන්දා හරි කියල හිතුවට මොකෝ අම්මා දන්නෙ මේ කතාවෙ කොච්චර දුරක්ද කියන එක දන්නෙ නැති එක සප්තමීට නිකන් දැනුනෙ පපුව උඩ අලි පත ගලක් තියලා වගේ. පපුව පිච්චෙන තරමට දැන් නම් සොසේජස් බදින්න ලිප පත්තු කරන්න ඕන නැති විත්තියත් සප්තමී ඔය ඔක්කොම අස්සෙ හිතුවා.
“ඇයි අම්මා එහෙම කිව්වෙ?” කියල දෝණියැන්ද නිකන් වෙව්ල වෙව්ල වගේ කියද්දි ඔය වෙව්ලීම පිටිපස්සෙ මේ අවුරුදු පණහකට කිට්ටු වෙච්ච අම්මට නොතේරෙන තියරියක් නැති විත්තිය අම්මා දැනන් උන්නට දෝණි දැනන් උන්නෙ නෑ ඉතින්.
“නෑ ඉතින් මං කල්පනා කරේ දැන් මේ මං ඕනතරම් එලියට යනවා, තාත්තට යනවා. එහෙම එකේ ඔයත් එක්කම දියතට ගිය දවසක එහෙම එකපාර ඒ ළමය ආ එක මං කල්පනා කරේ. අනික ඊට පස්සෙ අපිව ගෙදර එක්කරගෙන එන්න අහපු එක ගැනත් මං ඒත් හිතුවා”
“මොනවද අම්මා හිතුවෙ?”
“නෑ ඉතින් පිරිමි ළමයි ඉතින් ආසයිනෙ ලස්සන ගැණූ ළමයි ඉන්න තැන්වල ගැවසෙන්න. අනික ඒ ළමයත් එහෙම පෙනුම කට නරක ළමේක් නෙවෙයිනෙ. අපිට වඩා ඔයා ඒ ළමය එක්කල කතා බස් කරලා ඇතිනෙ ඔය ශූටින් වලට එහෙම ගියාම. එහෙම එකේ මං ඒත් කල්පනා කරා ඔය දෙන්න මේ කතා බස් කරගෙන නොදන්න තාලෙට දියතෙදි හම්බුනාද කියන එක” කියල අම්මා ආයෙ වතාවක් ඇස් දෙක දෝණියැන්ද දිහා පා කරාට මොකෝ ඇත්තටම යන වෙලාවට වඩා වැඩි වෙලාවක් අරගෙන සොසේජස් පැකට් එක කප කප උන්නු දෝණී නම් නිකමටවත් නෙවෙයි අම්මා දිහාව හැරිලා බැලුවේ. “හොර හිත” කියලා අම්මා කිව්වට මොකෝ ඒ කිව්වෙ නම් තරහෙන් නෙවෙයි.
“අනේ මං මොකටද එයා එක්ක එහෙම කතා කරන්නෙ? ඔච්චර සැක නම් ඔය තියෙන්නෙ මගෙ ෆෝන් එක අරගෙන බලන්නකො” කියල සප්තමී කිව්වට ඔය වයස පහුකරලා ආව අම්මව ඉතින් ඔය වගේ ගොරක වලින් නම් තම්බන්න බෑ කියන එක තේරුම් ගන්න තරම් සප්තමී මෝරලා උන්නෙ නෑ.
“නෑ නෑ මං එහෙම මේ සැකේකට කිව්ව නෙවෙයි. මං නිකන් කිව්වෙ. මං අනික ඔයා ගැන නෙවෙයි කිව්වෙත් ඒ ළමයා ගැන. හරි හරි දැන් ඕක හදන්නකො. හදල මල්ලිට කෝකටත් පංගුව වෙන කරල තියන්න. දන්නවනෙ හතට කන මිනිහනෙ අනික සොසේජස් කන්න ආස එකෙ මම එයාගෙ පංගුව කලින්ම වෙන් කරලා තියෙනව කියලා හිතුවෙ” කියල අම්මා කතාව නතර කරපු එක නම් නිවන් ගියා ලෙවල් එකකින් තමා සප්තමීට දැනුනෙ. වෙනදටත් වඩා වැඩ දාලා කෑම උයලා, ආයෙම මූණ පොඩ්ඩක් හෝදගෙන, කොන්ඩෙ පීරන් , සමුද්‍ර එනකම් බලාගෙන උන්නු වෙලාවෙ සප්තමී අම්ම බලාවි වගේම සැක හිතාවි කියල හන්දා ෆෝන් එක නිකමටවත් ඇල්ලුවෙ නැ. ඒ වෙනුවට බොරුවට කෑම පිඟන් එහෙම අස්පස් කරලා, පිලිවෙලට ඇරේන්ජ් කරනවා වගෙ වැඩ ටිකක් කරන එකයි මල්ලි එක්කයි කතා කරන එකයි තමයි කර කර හිටියෙ. හයහමාර කිට්ටු වෙද්දි, හවුසින් ස්කීම් එකේ පල්ලෙහ වාහන හෝන් කරනවා වගේ ඇහෙද්දි ඒ තාලෙට හිත ගැස්සුනේ “ඒ ඇවිත් ඉන්නෙ සමුද්රද?” කියලා හිතන ගමන්.
කොහොමහරි ඔය ඔක්කොම අස්සෙ සමුද්‍ර ආවෙ ගෙදර අයටයි, මල්ලිටයි, කෙල්ලටයි ඔක්කොටම එක එක ජාතියෙ ඒව උස්සගෙන. එදා වැරදිලා මාලවීගෙ ගෙදර අරගෙන ගිය ජාතියේ චොකලට් එකක් ගන්න හිත කිව්වත් හාට් හැඩේ චොකලට් අරගෙන ගිහින් ඕක අංකල් කාරයටවත් නෝට් උනොත් වස නෝණ්ඩිය හන්දා තමා සමුද්‍ර නිකන් චොකලට් එකක් ගත්තෙ. මල්ලි ආස වෙයි කියල හිතල අයිස්ක්‍රීම්, බිස්කට් අරව මේවත් අරගෙන සප්තමීගෙ තාත්ත කිව්ව විදියට ගෙදර අංකෙ හොයාගෙන එන ගමන් මාලවීගෙ ගේ ලඟින් දුවගෙන වගේ ගිහින් කොහොමහරි සමුද්‍ර සප්තමීගේ ගෙට කිට්ටු කලා. “යන ගමන ගැන මිසක් ගමනාන්තය ගැන තමයි හිතන්න ඕන” කියල කවුද මන්ද කියල තිබ්බට මාලවීගෙ ගෙවල් ලඟින් යද්දි නම් “මේ ගෑණි මාව දකීවිද?” කියන එක මතක් වෙලා ගමනාන්තයයි, ගමනයි දෙකම සමුද්රට මෙනෙහි වුණා.
නොහිතුව විදියට තමයි සප්තමීගෙ ගෙදර මිනිස්සු බෝම ආදරෙන්, හිතවත්කමෙන් සමුද්රව ගෙදරට පිළිගත්තෙ.
හැබැයි ඒ ඔක්කොම මල්වෙඩි වලට පස්සෙ නම් අංකල් කාරයා පත්තුකරේ ගිනි බෝම්බයක් නේද කියන එක හිතුනෙ සමුද්රට විතරක්ම නෙවෙයි.