අන්තරා බරාඳයෙන් මිදුලට බසිමින් සිටියා ය. අද අළුයමත් කඩා වැටුණු අහස, කිසි දෙයක් නො වුණා සේ දැන් නිහඬ ව නිසල ව බලා සිටී. මන්දාරම් ගතියක් උදේ කාලයේ වී ද දැන් නම් රත්තරං පාට හිරු කිරණක් පොළොව කරා ගලා හැලෙමින් තිබේ. දුරකතනය එහා ඉම හඬක් නැගෙනා තුරාවට අන්තරා ගේ දෑස් අවකාශය පුරා එක බැල්මක් ව විසිර ගියේ ය.
“හෙලොව්”
ඒ පිරිමි හඬ කවදා කොතැනකදී හෝ අසා පුරුදු මතකයක් අන්තරා ට දැනුණේ නැත. නමුත් පාරින්දි කීවේ ඔහු සිය මිතුරෙකු කියා ය.
“හෙලෝ… කවුද ඔයා…”
යුගාත්ම අහසට සිනහවක් පෑවේ ය. ඔහු ට මේ සිදු වූව තවමත් අදහාගත නො හැකි තරම් ය.
“මේ නංගි යාළුවෙක් කියල කිව්වට ඔයා මං කවුද කියල දන්නෑ. මං හිතන්නෙ ඔයා මාව දැක්කෙත් නෑ හරියට. හැබැයි මේ නංගිනං මාව අඳුරගත්ත”
මේ මොන විකාරයක් ද කියා මොහොතකට අන්තරා ට සිතිණ. පාරින්දි ඔහු මිතුරෙකු යයි කීවා ය. ඈ ඔහු දැකලාවත් නැති බව දැන් මේ තැනැත්තා පවසයි. මේ මොන පටලැවිල්ලක් ද?
“මට තේරෙන්නෑ. මං හිතන්නෙ ඔයාලට වැරදීමක් වෙලා…”
අන්තරා ගේ දෙ බැම අතරේ ඉසිහින් රැල්ලක් නැගිණි. ඈ දුරකතන සම්බන්ධය බිඳිනු ඇතැයි ඔහු කලබල වූයේ ය.
“නෑ නෑ මේකයි. පෙරේදා ඔය දෙන්නා පබ්ලික් ලයිබ්‍රරි එක ළඟ කොෆී ශොප් එකේ ඉද්දි මාත් එතනට ආව. අ… මට මතකයි ඔය දෙන්නව. මේ නංගිටත් මාව මතකයි. ඒ කියන්නෙ වැරදීමක් නෙවෙයි. ඒ ඔයාලම තමයි”
යුගාන්ත එක හුස්මට කියවාගෙන ගියේ ය. ඔහු ට ඕනෑ වූයේ ඈ දුරකතන සම්බන්ධය තුළ රඳවාගන්නටයි. මේ වූ කලී දෙවියන්ගෙන් ලැබුණු, යළි ලැබෙතැයි සිතිය නො හැකි මහානර්ඝ අවස්ථාවකි.
අන්තරා ගේ දෙබැම අතරේ රැල්ල වඩාත් පැහැදිලිව පෙනෙන්නට ගති. ඇයට අවැසි වෙමින් තිබුණේ හැකි ඉක්මනින් මේ සංවාදය නිමා කරන්නටයි.
“පාරින්දිට දෙනවද ෆෝන් එක”
අසීරු ම අවස්ථාවක වුණත් පුළුවන් තරම් ආචාරශීලීත්වය රකින්නට අන්තරා උත්සාහ කළා ය. කලබල වැඩිකමට යුගාත්ම ගේ කන් පෙති රෝස පාට ගැන්වෙමින් තිබිණ. දුරකතනය පාරින්දි අතට මාරු විය.
“කොෆී ශොප් එකේ හිටිය මනුස්සයෙක් යාළුවෙක් වෙන්නෙ කොහොමද ආ…”
ඒ බොරු නෝක්කාඩු වචන විසි කිරීමකි. නාඳුනන පිරිමියෙකු ට දුරකතනය දුන්නා කියා අන්තරා ට පාරින්දි සමග අල්ප මාත්‍රික අපැහැදීමක් දැනුණේ නැත. සැබවින් ඒ ආදර තරවටුවකි. නමුත් ඒ වචන ටික පිටතට – තවමත් නම හෝ නො දන්නා කඩවසම් පුරුෂයාට ඇහුණාදැයි දෙගිඩියාවක් පාරින්දි ට විය. ඇය ඔහු දෙසට ක්ෂණික බැල්මක් හෙළු යුවතිය,
“එහෙනං මං ඔයාට පස්සෙ ගන්නං”
කියා ඇමතුම බිඳ දැමුවා ය. ඊළඟට ඈ ඔහු වෙතට හෙළුවේ මෝඩ සිනහවකි. ඒ සිනහවෙන් කියන්නට උත්සාහ කළේ අන්තරා ඔහු ගැන කිසි ම අපැහැදීමක් නො පෙන්වූ බවයි. කෙටි ගවුමකින් සැරසී, හිස මුදුනට කොට දැමූ පෝනි ටේලයක් සහිතව, නළලතට කියඹු රැල් කපා දමා සිටිනා මේ හුරුබුහුටි ගෑනු ළමයා මගහැර නොගත යුතු බවට ඉවක්, යුගාත්ම ගේ යටි හිතට දැනෙමින් තිබිණ.
“ඉතිං… අපි මොනාහරි බොන ගමන් කතා කරමු. මං තාම ඔයාගෙ නම දන්නෙත් නෑ. මගෙ නම යුගාත්ම”
ඔහු ඇය වෙතට මිත්‍රත්වයේ සුරත පෑවේ ය. පාරින්දි වහා ඒ අත අල්වාගත්තා ය.
“මං පාරින්දි”
ඉනික්බිති අවන්හලක අඩ හෝරාවක් පමණ ගෙවිණි. ඇයව වැඩි වෙලාවක් කතාවට අල්වාගනු වස් ඔහු කෙටි කෑම වර්ග කිහිපයක් ද ඇනවුම් කළේ ය. ඒ මිත්‍රශීලය, දුරකතන අංක හුවමාරු කරගැනීම දක්වා දුරක් ගියේ ය. කොළඹ අවට සිය විලවුන් ප්‍රදර්ශනාගාරයක ශාකා කලමණාකාරවරයෙකු විදේශගත වීමට සූදානම් වන බැවින්, ඔහුගෙන් පුරප්පාඩු වන තනතුර පාරින්දි වෙත ලබා දීමට ද යුගාත්ම එකඟ වූයේ ය.
“ඒ වුණාට එකපාරටම එහෙම දේකට කැමති වෙන්නෙපා”
බසයට ගොඩ වූ ගමන් අන්තරා ට ඇමතුමක් ගෙන ඕපාදූපය පැවසූ විට ඇය කීවේ එසේ ය.
“දන්නෑනෙ ඔහොම කිව්වට කව්ද කින්ද මන්ද කොහොම මනුස්සයෙක්ද කියල. එක දවසක් අහම්බෙන් දැකපු කෙනෙක් එහෙම වෙන්න පුළුවන්ද කියල මට හිතාගන්න බෑ”
“මේ ආත්මෙ දැක්කෙ එක දවසක් වුණාට සංසාර පුරුදු මතකයක්ද දන්නෑනෙ”
පාරින්දි හයියෙන් සිනහ වූවා ය.
“බස් එකේ නේද ඔය ඉන්නෙ… පිස්සුවෙං වගේ හිනා වෙන්නෙ…”
“වගේ මොකද්ද අනේ… මට ඉතිං කොහොමත් පිස්සුනෙ. ඔයා දන්නැති වුණාට මං ජීවිතේ නැති කරගන්නත් ට්‍රයි කරපු කෙල්ලෙක්. තාමත් ඩීප්‍රෙශන් වලට බෙහෙත් ගන්න ගමං ඉන්නෙ. හතර වටෙංම මාව හිර කරන ප්‍රශ්නත් එක්ක… ජොබ් එකක් හම්බෙන්න තවත් කල් යනව කියන්නෙ… මං දන්නෑ මට මොනා වෙයිද කියල”
පාරින්දි ඒ විවර කළේ ඇගේ සමීපතමයන් පමණක් දැන සිටිනා ඈ පිළිබඳ යථාවයි. සිය හදවත ගැඹුරේ දැවුම් සංවේදනයක් අන්තරා අත්වින්දා ය. දැවැන්ත දැඩි අතකින් හදවත මිරිකෙනවා වාගේ ඇයට දැනිණ. සුසුමක කෙළවර, උගුර යටින් ඇය කතා කරගත්තා ය.
“ජීවිතේ නැති කරගන්නවනං මං මේ වෙද්දි සිය දහස් වතාවක් එහෙම කරල තියෙන්න ඕනෙ. මැරෙන්න ලේසියි පාරින්දි. ජීවත් වෙන්නයි අමාරු. ලේසි දේ කරන මිනිස්සු නෙවෙයි අමාරු දේ අමාරුවෙන්හරි කරන මිනිස්සුයි මනුස්සකමට අර්ථයක් දෙන්නෙ. අපි කොහොමහරි මේ ජීවිතේ අල්ලගෙන ඉමු. ඔයා කැමතිනං… අපි හවසට මීට් වෙලා තේ එකක් බොමු”
අන්තරා ගේ ඒ යෝජනාවට පාරින්දි එකහෙළා එකඟ වූවා ය. ඒ අනුව කතා කරගත් පරිදි නුගේගොඩ නගරයේ දී ඔවුහු හමු වූහ. මනුෂ්‍යත්වයේ නාමයෙන්, එක් ගෑනු ළමයෙකු වෙනුවෙන් හෝ ඉටු කරන්නට යුතුකමක් තිබේ යයි අන්තරා ට දැනෙමින් තිබිණ.
“ජීවිතෙං පැනල යන එක දුර්වලකමක් කියල එහෙම කරන්න උත්සාහ කරන කෙනෙක් වුණත් නොදන්නව කියල මං හිතන්නෑ අන්තරා. ඒත් බැරිම වෙලාවක…”
“බැරිම වෙලාව කියල හිතෙන වෙලාවත් ඊට ටික වෙලාවකට පස්සෙ ගෙවිල ඉවර වෙනව ළමයො. කොච්චර ලොකු කුණාටුවක් වුණත් හමං යනව. ඒක ගහං යනකං අපි හයියෙන් අල්ලං ඉන්න විතරයි ඕනෙ”
එය අවධාරණයෙන් කී කතාවකි. මේ පුංචි කෙල්ල ඒ කුරිරු වූ තීරණය ගතහොත් ඊට තමන් ද වගකිව යුතු වනු ඇතැයි ඇගේ හෘද සාක්ෂිය ගතු කියයි. ජීවිතය අතැර යන්නට ඕනෑ වනුයේ හඬන්නට උරහිසක් නොමැති මිනිසුන්ට ය. අල්වාගන්නට අතක් නොමැති මිනිසුන්ට ය.
“ඔයා ඕනම වෙලාවක මට කතා කරන්න. මහ රෑ ජාමෙක වුණත් දෙපාරක් හිතන්න ඕන්නෑ කතා කරන්න. බැරි වෙලාවත් කෝල් එක මිස් වුණොත්… පුළුවන් වුණ ගමන් මං ගන්නව. හරිද…”
“යූ ආ සෝ කයින්ඩ්”
පාරින්දි අන්තරා ගේ අතක් අල්වාගත්තා ය.
“මං පහුකරපු කාල වල හැටියට… මැරුණනං සොහොන උඩ ගසුත් පැළවෙලා. අපිට ඕනකරන තරං ඉක්මනට සොබාදහම දේවල් සිද්ධ කරන්නෑ පාරින්දි. හැම දේකටම ඒකට නියමිත වෙලාවක් තියනව. කාලයක් තියනව. මල් වුණත් ලස්සනටම පේන්නෙ ඍතුවට පිපුණහම. ඒත් අපි හැම දේටම කෙටි පාරවල් හොයනව. ඉක්මන් ප්‍රතිඵල බලාපොරොත්තු වෙනව. බීජ වපුරපු ගමං ගෙඩි කඩන්න බෑ ළමයො. ඒකට කාලයක් බලං ඉන්න වෙනව. ඉවසීමෙං බලං ඉන්න වෙනව. අපි ඉවසන තරමට අන්තිම ප්‍රතිඵල අපි බලාපොරොත්තු වුණාටත් වැඩි තරං වෙන්න පුළුවන්. ඊට පස්සෙ උදාවෙන්නෙ පුදුම සන්සුන්… සැනසිලිදායක… සාමකාමී කාලයක්. ඒක හරි ස්ථාවර කාලයක්. ඒ කාලය උදාවෙනකල් හෙමිහිට ඉවසීමෙන් ජීවිතේ දරාගෙන ඉන්න ඕනෙ. ජීවිතේට ඉඩදෙන්න ඕනෙ. ඔයාට තේරෙනවද…”
හොඳ සුවඳ විලවුනක් නිර්මාණය වන්නේත් ඒ ඒ සංයෝග වල නියමිත අනුපාත වලදී යයි අන්තරා නො කියා සිටියා ය. එසේ නොවත්දී සුවිශේෂ සුවඳක් බිහි වන්නේ නැත.
පාරින්දි හිස සැළුවේ දෙතොල් තෙරපාගත් මන්දස්මිතයකිනි. ඒ අතරේ ඈ වශීකෘතව වාගේ මේ අපූරු ස්ත්‍රිය දෙස බලා හිඳින්නට වූවා ය. ඇගේ වදන් භාවිතය මුණිවරියකගේ වාගේ ය. ඒ අමුතු පෞරුෂයකි. ස්ත්‍රීත්වයේ සාඩම්බර පෞරුෂයක් නොව ස්ත්‍රීත්වයේ ප්‍රතිමූර්තීමය පෞරුෂයකි. ඈ මවත්දී දෙවියන් නිවී සැනසිල්ලේ විවේකයෙන් සිටින්නට ඇතැයි පාරින්දි ට සිතිණි. ඇගේ මුහුණේ ඉසියුම් ම භාවයන් පවා අතිශය නිරවුල් ය. අන්තරා වාගේ යයි සිතිය හැකි රූපමය මතකයන් පෙළක් පාරින්දි ගේ සිත්හි නැගෙමින් මැකෙන්නට විය. ඒ සියල්ල අයිති වෙන්නේ පෙරදිග හා ග්‍රීක දෙවඟනන්ට ය.
“ඔයා හරිම ලස්සනයි අනේ”
පාරින්දි එසේ කීවේ හුරතලේට මුත් අවංකවමයි! ඇයට සුවඳ දැනුණේ ඒ වෙලාවේ ය. නමුත් ඒ එදා කෝපි හලෙහි දී අන්තරා ගල්වාගෙන සිටි විලවුන් සුවඳ නොවන බව හෝ ඇයට නිනව් වූවා නොවේ!
“ඒ පර්ෆියුම් එකේ බ්‍රෑන්ඩ් එක මොකද්ද කියල ඔයා පොඩ්ඩක් මට හොයල දෙන්න. පුළුවන්නං ඒ පර්ෆියුම් එකේ ෆොටෝ එකක් අරගන්න”
යුගාත්ම කියූ ඒ වදන් පාරින්දි ගේ සිහියට නැගුණේ ද අසරු සැනෙනි. එකෙණෙහි ඇගේ පපුව මැද සුළි කුණාටුවක් කැරකෙන්නට ද වූයේ ය. ඔහු නො කියා කීවේ ඒ තොරතුර මත ඇයගේ රැකියාව වුව තීරණය විය හැකි බව නොවේ ද? යුගාත්ම ඇයව යොදා ගත්තේ අන්තරා ගැන රහසිගතව තොරතුරු සොයනා ඔත්තුකාරියක වශයෙන් ද? ඈ සීතල වී ගියා ය. ගල්වනු ලබන සුවඳ විලවුනක් ගැන දැනගැනීම අතිශය පෞද්ගලික වූවක් නො විය හැකි ය. එය සුළු දෙයක් ලෙස ගත හැකි යයි සිතන්නට මේ මොහොතේ පාරින්දි වඩාත් රිසි වූවා ය.
“ඔයාගෙ පර්ෆියුම් එකේ සුවඳට මං ආසයි”
අන්තරා සියුමැලි මඳහසක් පෑවා මිස විලවුනෙහි නිජබිම, නිෂ්පාදකයා හෝ වෙළෙඳ නාමය ගැන කතාකරන්නට ඉදිරිපත් වූයේ නැත. එබැවින් ම පාරින්දි ට දැනුණේ ඉසියුම් ලැජ්ජාවකි. අනුන්ගේ වත්තක පිපුණු මලක් නෙලන්නට අනවසරයෙන් වත්තට පැන්නා වන් පසුතැවීමකි.
අන්තරා ස්වරාවී ගන්ධාරා යනු එක් සුවඳ විලවුන් වර්ගයක් පමණක් භාවිතා කරන්නියක නොවේ. ඇය විලවුන් තෝරාගන්නේ අවස්ථාව, සුවඳ පැවතිය යුතු කාලසීමාව සේ ම දේශගුණය ගැන ද සලකා ය. උදය ද දහවල ද සන්ධ්‍යාව හෝ රාත්‍රිය ද යන හෝරාව ගැන පවා ඈ සැලකිලිමත් වන්නී ය. ඊට අමතරව හමුවන්නේ කවර පුද්ගලයෙකු ද යන කරුණ මත පවා ඇගේ තෝරාගැනීම වෙනස් වේ.
සුවඳ විලවුන් වූ කලී අවබෝධයකින් තොරව ගැල්විය යුතු නිකං ම සුවඳ වාහකයක් නොවේ. සුවඳක් යනු හැඟීමකි. විවිධ සුවඳ, විවිධ චෛතසිකයන් උපදවයි. කෙනෙකු ගල්වන සුවඳක් තවත් කෙනෙකු අපහසුවට පත් නො කරන්නක් විය යුතුය යන සදාචාරය, විලවුන් භාවිතා කරන්නන් අතරේ අවබෝධයක් ලෙස පැවතිය යුතු ය. නමුත් බොහොමයක් දෙනා විලවුන් ගල්වන්නේ ඒ කිසිදු අවබෝධයකින් තොරව බවත් අන්තරා දනී.
“ජොබ් එකක් හෙමීට ලැබෙයි. ඒ කොෆී ශොප් එකේදි හම්බුණ මාත් එක්ක මෙච්චර ක්ලෝස් වුණා වගේ පිරිමි කෙනෙක්ටනං ලං වෙන්නෙපා… ජොබ් නෙවෙයි මොනා දෙනව කිව්වත්. පිරිමි ගැන ඕනතරං අත්දැකීම් මට තියනව පාරින්දි. පිරිමි හරියට පලිබෝධනාශක වගේ. ප්‍රවේසමෙන් තමයි පරිහරණය කරන්න ඕනෙ”
පාරින්දි හඬනගා සිනහ වූයේ සැහැල්ලුවෙනි. මේ ලෝකයේ වැඩිපුර ම සිනහ වෙන්නේ ඇතුළතින් කුණාටු තුළ ජීවත් වන පුද්ගලයන් ය යන්න අන්තරා නැවත නැවත ද ප්‍රත්‍යක්ෂ කරගනිමින් සිටියා ය.