තාදී ෂෙරීන්ව වැළඳගෙන බොහෝ වේලා හැඬුවාය.ධීර ද ඒ දෙස බලා උන්නේ කඳුළු පිරි දෑස් වලිනි. තාදී දැන් තනි නැත යන සතුටුදායක හැඟීම ධීර ගේ සිත වෙලා ගෙන තිබුණි.
ෂෙරීන් සමග කතාබහ කළ ධීර තාදීව කැටුව යාමට වාහනය වෙත ආවේ බොහෝ හැඟීම් සහිතවය. මෙවැනි වූ සතුටුදායක ආරංචියක් තාදී වෙත පවසන්නේ කෙසේද සහ තාදී එය කෙසේ පිළිගනීද යන්න සිතා ගැනීමට නොහැකිව ධීර වාහනයේ දොර ඇර ඉන් බසින ලෙස තාදීට කීවේය.
” කවුද ධීර ඒ ? ඔයා කතා කළාද ? ”
තාදී වාහනයෙන් බැස්සේ එසේ අසමිනි. ධීර කිසිවක් නොකියා ඇගේ අතින් අල්ලාගෙන ෂෙරීන් සිටි දෙසට යාමට පියවර තැබුවේය. එහෙත් තාදී ඔහුව නතර කළේය.
” ඇයි ? ”
” ඇයි අහන්නේ? කවුද ඒ ? ”
” යන් තාදී. ගිහිල්ලම බලමු කවුද ඇවිල්ලා ඉන්නේ කියලා “
තාදී ධීර පසුපසින් ෂෙරීන් සිටි ස්ථානයට පැමිණියාය. දුර තියාම ඇයව දුටු විට ධීර ට දැනුණු හුරු පුරුදු බවම දැනුනත් තාදී ෂෙරීන් වෙත ආවේ පුදුමයෙනි. තවමත් මේ සිදුවන කිසිම දෙයක් සිතාගත නොහැකි තැනක තාදී සිටියාය.
” මගේ දුව ”
ෂෙරීන් ඉදිරියට පැමිණ තාදී ගේ දෑත් වලින් අල්ලා ගත්තාය. තාදී පුදුම වී ධීර දෙස බැලු අතර ෂෙරීන් ගේ දෑස් වලින් නොනවත්වාම කඳුළු කඩා හැලෙන්නට විය.
” මේ ඔයාගේ අම්මා තාදී ”
ධීර තාදීට ඇසෙන්නට මිමිනුවේය. තාදී නැවතත් හැරී තමාගේ දෙඅත් අල්ලාගෙන හඬා වැටෙන කාන්තාව දෙස හොඳින් බැලුවාය. තමාට ඇත්තේද මේ මුහුණුවරමය. එහෙත් තාදී ට මෙය විශ්වාස කළ නොහැකි විය. වසර ගණනාවක් පුරාවටම හෝඩුවාවක්වත් නොමැතිව සිට තමා සොයා පැමිණි මේ කාන්තාව තමාගේ මව යැයි ධීර පවසන්නේය. එසේ නම් මෙය විශ්වාස කළ යුතුව ඇත.
” අම්මා ”
තාදී වෙව්ලන දෙතොල් වලින් මිමිනුවාය. ධීර මේසය මත තිබූ ලිපිගොනුව අතට ගෙන තාදී වෙත දිගු කළේය.
” මේකේ ඔයාගේ හැම විස්තරයක්ම තියෙනවා. ඔයා ඉපදුන දවසෙ ඉඳන් ,සෙවණට ඔයාව බාර දුන්න දවස වෙනකන් වගේම , ඔයාගේ සීයා ඔයා වෙනුවෙන් වියදම් කරපු හැමදේම මේකේ තියෙනවා. මං ඒ හැමදේම බැලුව තාදී ”
තාදී ෂෙරින්ව වැළඳ ගත්තාය. මේ තමාට තම මවගේ උණුසුම දැනෙන පළමු වතාවය. තාදී ඇයව වැළඳගෙන බොහෝ වේලා හැඬුවාය. වසර ගණනාවක් පුරාවටම හදවතේ පතුලක සඟවාගෙන සිටි වේදනාව දිය වී යනතුරුම තාදී හඬා වැටුණාය.
” මට ඔයාට කියන්න හුඟක් දේවල් තියෙනවා පුතේ ”
තාදීගේ හැඬුම මදක් නතර වනතුරු සිට ෂෙරීන් කීවාය. ධීර තාදීව වාඩි කරවූ අතර ෂෙරීන් ද වාඩි වූවාය. ධීර තාදී ගේ දෙකොපුල් මත වූ කඳුළු පිස දමන අයුරු ෂෙරීන් බලා සිටියේ ආදරයෙනි.
” ඔයාගේ තාත්තත් ඔය වගේම මට ආදරේ කළා තාදී ”
තාදී ෂෙරීන් දෙස බැලූවාය. තමා මේ සිටින්නේ සිහිනයක නොවේ. සැබැවින්ම තමා වැදූ මව දැන් තමා ඉදිරියේ සිටි.
” තාත්තා කො ? ”
තාදී ඇසුවේ දෙගිඩියාවෙනි. එකත් එකටම ඔහු තමා කුඩා කාලයේදීම තමාවත් මවවත් හැර යන්නට ඇතැයි තාදී සිතුවාය.
” එයා ඇක්සිඩන්ට් එකකින් නැති උනේ ඔයාව හම්බවෙන්න ඉද්දිමයි පුතේ. ඔයාව හම්බවෙන්න ඉන්නවා කියලවත් වගක් නැතුව මං මාස ගානක්ම ඇඬුවා. ඔයාගේ සීයයි ආච්චියි තමයි මාව බලා ගත්තේ. කොටින්ම මං ඔයාගේ තාත්තව බැන්දට පස්සේ පොඩියට ගාර්මන්ට් එකක් පටන් ගත්තා. ඒකත් වැහිලා ගියා ඔයාගේ තාත්තා නැති උනාට පස්සේ ”
” එතකොට අම්මා ඇයි මාව ළමා නිවාසට දුන්නේ? ”
” මං ඔයාව දුන්නේ නැහැ. ඔයාගේ සීය හරිම නපුරු කෙනෙක්. එයාලගේ අකමැත්ත පිට තමයි මං ඔයාගේ තාත්තව බැන්දේ. ඔයාගේ තාත්තා නැතිවුනාට මගේ තාත්තා මාත් එක්ක හිටියේ හරිම තරහෙන්.වෙන කරන්න දෙයක් නැති කමට මාව ගෙදරට බාරගත්තට තාත්ත හරියට මට මූණ දුන්නෙවත් නැහැ ”
ෂෙරීන් මොහොතකට කතාව නතර කළාය. රිදුම් දෙන අතීතය සිහිපත් කිරීම පවා හදවතට වේදනාවකි. තමා පණ සේ ආදරය කළ ස්වාමිපුරුෂයා හදිසි අනතුරකින් මිය යාමෙන් පසුව තමාට අත් වූ ඉරණම ෂෙරීන් ට මේ මොහොතේ පවා ගෙන ආවේ කඳුලකි.
” ඔයාගේ තාත්තා නැති වෙච්ච වේදනාවට මං හරියට කෑවෙ බිව්වෙවත් නැහැ. ඩොක්ටර්ස්ලා කිව්වේ මං වගේම ඔයත් හරිම දුර්වලයි කියලා. ඒත් ඇත්තටම මට හැම වෙලාවෙම හිතුනෙ මැරෙන්න තිබුනනම් හොඳයි කියල. ඔයාව හම්බ වෙනකොට මට ගොඩක් අමාරු වුණා. ඉතින් ඔයා හම්බ වෙද්දිත් නැති වෙලා හිටියේ කියලා මට මගේ අම්මයි තාත්තයි කිව්වම මට ඒක විශ්වාස නොකර බැරි වුණා ”
තාදී ගේ දෑස් වල වූ කඳුළු අලුත් වූයේ ඒ කතාවටය. තමාගේ මව මේ තාක් කල් සිතා ගෙන ඉන්නට ඇත්තේ තමා ඉපදෙන විටම මෙලොව හැරගොස් ඇතැයි කියාය.
” මට ඒ වේදනාව දරා ගන්නත් සෑහෙන කල් ගියා පුතේ. ඔයාගේ තාත්තා ඉතුරු කරල ගිය සල්ලි වලින් අර වැහිලා ගිය ගාමන්ට් එක මං ආපහු පටන් ගත්තා. මට ටිකක් හරි හිත හදා ගන්න පුළුවන් වුණේ ඒ බිස්නස් එක හින්දා. මගේ තාත්තට ඕන වුණා මාව හොඳ තැනකට බන්දල දෙන්න. මගේ තාත්තා හිටපු ප්‍රාදේශීය මන්ත්‍රී කෙනෙක්. ඉතින් එයාට ඕන තරම් යාළුවො හිටියා. එයාට ඕන වුනේ සල්ලි තියෙන තැනකට මාව බන්දලා දෙන්න. ඒත් මං කවදාවත් ඒ එකකටවත් කැමති වුණේ නැහැ. මං අවුරුදු ගානක් තිස්සේම මගේ බිස්නස් එක දියුණු කරගෙන තනියම ජීවත් වෙන්න පටන් ගත්තා ”
ධීර මෙන්ම තාදීත් ෂෙරීන්ගේ කතාව සාවධානව අසා හුන් අතර තාදී නොනවත්වාම හැඬුවාය. ෂෙරීන් හැඬුම ආයාසයෙන් පාලනය කරගෙන අතීතයේ කතාව තාදී ඉදිරියේ දිග හරිමින් උන්නාය.
” ගිය අවුරුද්දේ ඔයාගේ සීයට කැන්සර් එකක් හැදුනා. එයා ඒකෙන් සෑහෙන දුක් වින්දා. මීට සතියකට කලින් එයා නැතිවුණා. ඒ නැතිවෙන වෙලාවෙදි තමයි එයා කිව්වේ ඔයා ජීවත් වෙනවා කියලා. මාත් එක්ක තරහෙන් හිටපු නිසයි , දරුවෙක් එක්ක මං තනිවෙනවා බලන් ඉන්න බැරි නිසයි ඔයාව ළමා නිවාසට බාර දුන්නේ කියලා. ඒ කාලේ එයා ප්‍රාදේශීය මන්ත්‍රී නිසා එයාට හරි ලේසියෙන්ම ඒක කරන්න පුළුවන් වෙලා තියෙනවා.අනික ඒ ළමා නිවාසය අයිති ඔයාගේ සීයගෙ යාළුවෙක්ට. එයයි එයාගේ නෝනයි දෙන්නම ඉන්නේ ඇමරිකාවේ. ඔයාට අවුරුදු 18 ක් වෙනකන්ම ඔයාගේ හැම වියදමක්ම බලලා තිබුණේත් ඔයාගේ සීයා ”
ෂෙරීන් දෑස් වලට නැගුණු කඳුළු පිස දැම්මාය. තම කුසින් වැදූ දියණිය දැන් අවුරුදු විසි අටක රූමත් තරුණියකි. ඇය මලක් මෙන් පැහැබරව දැන් තමා ඉදිරියේ සිටියි. මේ අවුරුදු විසි අට පුරාවටම ඇය මොනතරම් දුක් කම්කටොළු වලට මුහුණ දෙන්නට ඇති දැයි සිතමින් ෂෙරීන් යටි සිතින් කම්පා වූවාය.
” අවුරුදු විසි අටක් තිස්සේ ඔයා කොහොම ජීවත් වෙන්න ඇතිද කියලා මට හිතා ගන්න බැහැ පුතේ .ඒත් මං හිතනවා ඔයත් මං වගේම හිත හයිය කෙනෙක් වෙන්න ඇති කියලා ”
” ඔයාටත් වඩා තාදී හයියයි අම්මේ ”
ධීර කීවේය. වසර ගණනාවක් පුරාවට එකිනෙකාට මගහැරුණු මේ මව සහ දියණිය මින් මතුවට එකට සිටිය යුතු යැයි ධීර සිතුවේය. දැන් කාත් කවුරුත් නැති බව කියමින් තාදීට අපහාස කිරීමට කිසිවෙකුට නොහැක. ඇය ඉතා වත් පොහොසත්කම් ඇති ගෞරවාන්විතව ජීවත් වන කාන්තාවක ගේ දියණියකි. ධීරට ෂෙරීන් ගැන දැනුනේ අප්‍රමාණ ගෞරවයකි. ඇය අහිමි වූ තම සැමියා සහ දියණිය ගැන සිතමින් වසර විසි ගණනක් ගෙවා අවසන් කර ඇත.
” මගේ තාත්තගෙ මරණේ වැඩ කටයුතු නිසයි මේ ටික දවස හරි පරක්කු උනේ ඔයාව හොයා ගන්න. මීට කලින් හරි මං දැනගත්තනම් ඔයා ජීවතුන් අතර ඉන්නවා කියලා මං ඔයාව හොයාගෙන එනවා තාදී ”
ෂෙරීන් වාඩිවී හුන් තැනින් නැගිට තාදී වෙත ආවාය. තාදී ෂෙරීන් ට තුරුළු වී නැවතත් හඬන්නට පටන් ගත්තාය. ජීවිතයේ මෙතෙක් දුර පැමිණි තමා මුහුණ දුන් දුක් කම්කටොළු , අභියෝග බොහෝමය. ධීර තමාගේ ජීවිතයට පැමිණීමට පෙර තමාට හයියක් වීමට කිසිවෙකු සිටියේ නැත. වචනයකින් හෝ තමාට ශක්තියක් වූයේ නැනෝ අම්මා පමණි. එහෙත් දැන් , තමා වැදූ මව තමාව සොයා ගෙන ජීවිතයට පැමිණ සිටියි.
” හැමදේම අලුතෙන් පටන් ගමු තාදී. අදින් පස්සේ ඔයාට ඕනම දේකට මම ඉන්නවා ”
ධීර ද ෂෙරීන් අසලට ආවේය. ෂෙරීන් ඔහුවද ලඟට ගෙන වැළඳ ගත්තේ සැබෑම මව් සෙනෙහසකිනි. දැන් තාදීගේ ජීවිතයට පැමිණෙන සෑම නපුරක්ම පලා යනු ඇතැයි සැනසිලිදායක හැඟීමක් ධීරට දැනෙන්නට පටන් ගත්තේය.
ReplyForwardAdd reaction |