පිණි මුතු පලසක් – 16

0
1582

“කටයුත්තක් කරල දෙන්න ලක්ෂිත තාම තරුණ වැඩියි කියලා හිතෙන්නෙ නැද්ද?”

ඒ ප්‍රශ්නයට අනෝමා කලේ මද හිනාවක් නගන එක පමණකි.

“ඒක නම් එහෙම තමයි. ඒ වුණාට මං මේ කිව්වෙ නම් ලක්ෂිත ගැන නෙවෙයි ඉස්කෝලේ නෝනා. ප්‍රභාත් ගැන” කියා අනෝමා කියද්දි තමන් හිතාගෙන ඉන්න දේවල් වැරදි බව තේරුණත් සද්ධානන්ද ලොකු ඉස්කෝලේ නෝනාට තිබුණ ලොකුම ප්‍රශ්නෙ ප්‍රභාත් ගෙදරින් ගියෙත් තාත්තා සමග අමනාප වීම හේතුවෙන් නිසා සමුධ්‍යා ආයේ ප්‍රභාත්ව ගමට අරගෙන එන්නට හේතුවක් වන්නේ කෙසේද කියා හිතාගන්න බැරිවීමය.

එහෙත් ඒ වනාහී තමන් විසින් ප්‍රශ්න කල යුතු දෙයක් හෝ තැනක් නොවන බව දන්න හන්දාම ඇය නිහඬවම උන්නාය. එදා පන්සලේ හිඳ ආපහු නිවස බලා එද්දීවත් සමුධ්‍යා ඉස්කෝලේ නෝනා එක්කවත්, ඉස්කෝලේ නෝනා සමුධ්‍යා එක්කවත් එකිනෙකාගෙ දෙසවණට වැටුණු කිසිවක් එකිනෙකා සමග බෙදාගන්න හිතුවේ නැත. එහෙත් මේ වෙච්ච සියල්ල සද්ධානන්ද ඉස්කෝලේ මහත්තයා එක්ක කියන්නත් ඈ අමතක කරේ නැත.

“ඒ මනුස්සයගෙ බලාපොරොත්තුව ප්‍රභාත් පුතා ගැන යෝජනාවක් සමුධ්‍යලගෙ ගෙදරට අරගෙන යන එක” කියන ගමන් ලයිට් එක නිවා දැමූ ඉස්කෝලේ නෝනා ඇඳ වෙත ඇවිද ගෙන එද්දි සද්ධානන්ද ඉස්කෝලෙ මහත්තයා මෙච්චර වෙලා කියවමින් උන්නු පොතත් කණ්ණාඩි කුට්ටමත් ඇඳ පැත්තක තිබෙන ලාච්චුව උඩින් තිබ්බේය.

“ප්‍රභාත් පුතා නරක ළමයෙක් නෙවෙයි. මං ඉස්සරත් නෝනා එක්ක කියලා තියෙනවනෙ මට දුවෙක් උන්නා නම් මං ඇත්තටම ප්‍රභාත් පුතාව බන්දලා දෙන තරමට ඒ දරුවට මං කැමතියි. අපේ දරුවන්ටත් වඩා ඒ දරුව හොඳ්අයි කියලා මම අනන්ත කියලා තියෙනවනෙ. සමුධ්‍යා දූ උනත් ප්‍රභාත් පුතා වගේ දරුවෙක්ට කැමති නම් යාලු වෙන එක අපිට ගැටලුවක් නෑ. අනෝමා නෝනා ඒ ගෙවල්වලට යෝජනාවක් අරගෙන යන එක උනත් ප්‍රශ්නයක් නෑ. ඔතන ප්‍රශ්නෙ තියෙන්නෙ සමුධ්‍යා දූ ඔය ලක්ෂිතව්ගෙ වෙස් මූණ ගලවන්න හදන එකත් එක්ක අනෝමා නෝනලා හිතාගෙන ඉන්න කාරනා කරන්න පුලුවන්ද කියන එක නෝනෙ.

ප්‍රභාත් පුතයි සමුධ්‍යා දුවයි කොච්චර දුරට හොඳ උනත් ගැලපුණත් ඒ වගෙ ප්‍රශ්නයක් තියෙන තැනක දෙන්නෙක්ට පෑහෙන්න ඉඩක් නෑ කියන එක නෝනෙටත් තේරෙනවා නේද? ඒ හන්දා හොඳම දේ අපි ඕකට අත කට නොදා ඉන්න එක. මොක උනත් අපි මේ ගමේ මැරෙන කම් ඉන්නෝන. අපිට යන්න වෙන ගමක් නැනෙ. එහෙම එකේ මේ ගමේ මිනිස්සු තරහ කරගෙන අපිට ජීවිතයක් ඉස්සරහට ගෙවන්න අමාරු විත්තිය හැම දේම කරන්න කලියෙන් අපි මතක තියාගෙන ඉන්න ඕන” 

පන්සලේ සිට ගෙදර යද්දිත් ලක්ෂිත උන්නේ සමුධ්‍යා විසින් කියන්නට යෙදුන වචන හිත ඇතුලෙන් ආයෙ ආයෙ වාදනය කරමින් “සමුධ්‍යා එහෙම දෙයක් කිව්වෙ ඇයි?” කියන ප්‍රශ්නෙට උත්තර හොයන ගමන් ය.

“ඒකිගෙ පුදුම ලොකුකමක්නෙ තියෙන්නෙ? කොල්ලෙක් කැමතිද ඇහුවම එකපාර උත්තර දෙන්න ඕන නෑ තමයි. ඒ උනාට නිකන් කිණ්ඩි හිනා දදා කැමති නෑ කිව්වෙ මේ මං නිකන් කවුරු කියල හිතාගෙනද දන්නෙ නෑ” කියන්න තරම් කේන්තියක්, ලැජ්ජාවක් ඒ වෙලාවේත් ලක්ෂිතගේ හිත අස්සේ තිබුණේය. වෙන වෙලාවක නම් “ඕන කෙල්ලෙක් එහෙම තමයි පළවෙනියට ඔහොම ඇහුවම ඔය වගේ ලොකු සීන් දානවා. පස්සෙ නිකන් කකුල් ලෙවකාගෙන එන්නෙ” කියා හිතන්නට පුලුවන්කම තිබුණත් සමුධ්‍යාගේ හිනාවෙ තැවරී තිබුණ සමච්චල් සහගත බවට තමන් නොදන්නා කුමක් හෝ ලොකු හේතුවක් තිබෙන බව නොසිත ඉන්නට හැටියක් ලක්ෂිතට තිබුනෙ නැත. එහෙත් පැරදෙන්නට හිතුවෙ ලක්ෂිත නොවේ. සමුධ්‍යා කැමති වෙන තුරුම පස්සෙන් යන්නටත්, ඇයට වදයක් වෙන තරමට ඇගේ ඇහැට ගැටෙන්නටත් ලක්ෂිත සිතුවේ “නිතර නිතර පස්සෙන් එද්දි කරගන්න දෙයක් නැති උනාමවත් ඕකි හා කියාවිනෙ” කියන තැනට තමන්ව පහලට දාගන්න ගමන් ය.

ලක්ෂිත තමන්ගේ සෙල්ලම නතර කරන්නේ නැති බව සමුධ්‍යා තේරුම් ගත්තේ ඉන් දවස් කිහිපයක් ගෙවෙන තුරුත් ලක්ෂිත පාසල අසලත්, තමන් යනෙන තැන්වලදිත් නිතරම දකින්නට ලැබුණ හන්දාය. ගස්සාගෙන පුප්පාගෙන යන එකත් ලක්ෂිත එක්ක හිනාවෙන්න යන එක තරම්ම බයානක හන්දා සමුධ්‍යා උන්නේ ලක්ෂිත වන් කිසිවෙකු තමන්ගේ ඇෂ ගැටෙන්නේ නැති අන්දමට ජිවත් වෙමිනි. ඇස් ඉදිරියටම ලක්ෂිත එමින් උන් තැන්වලදි පවා ඔහුව නාදුනන පරිද්දෙන්, කිසිවෙකුට වෙනසක් නොතේරී මග ගැර යන්නට කටයුතු කරන එක කොපමන අපහසුවක් වුවද සමුධ්‍යා එය කරාය. ලක්ෂිත උන්නේ මේ සියල්ල හේතුවෙන් මදින් මද උඩට මතුවන කෝපයකුත්, නොසන්සුන්කමකුත්, ලැජ්ජාවකුත් සමග ගැටෙමිනි. සමුධ්‍යා මේ කිසිම දෙයක් නිසා නොසැලෙමින් උන්නද ලක්ෂිතව පාසල අසලදි දකින්නට ලැබීම සත්සරාව මහත් බයට පත් කරන්නට හේතු වී තිබුණාය.

“ඒ තමයි ලකී මහත්තයා” කියා සත්සරා කියද්දිත් සමුධ්‍යා උන්නෙ ගෘහ විද්‍යා කාමරයේ කෙටි තාප්පය අසල තිබෙන රණවරා ගසේ හෙවණට මුවා වී ලක්ෂිතගේ ඊලඟ පියවර කුමක් විය හැකිද කියා කල්පනා කරමිනි. සමුධ්‍යා ගැස්සුනේ සත්සරාගේ හඬටය. සත්සරා කීයටවත් මෙතනට එන බව තමා නොසිතුව බව ඇත්තක් නමුත් සත්සරා ගේ දෙනෙත් සැලෙන්නේ ලක්ශිතව දැකීම නිසා ඇතිවුන බියට බව තේරුම්ගන්නට සමුධ්‍යාට අපහසු උනේ නැත.

“මං දන්නවා” කියා සමුධ්‍යා හීන් හඬින් කියද්දි සත්සරාගේ ඇස් ලොකු උනේ “ටීච කොහොමද ලකී මහත්තයව දන්නෙ?” කියන ප්‍රශ්නාර්තය එක්කමය.

“ලක්ෂිත ලොකු ඉස්කෝලේ මහත්තයලගෙ ගෙදර ආවා එයාලගෙ​ අම්මා එක්ක”

“මං ගැන අහන්නද?”

“ඒ කිව්වෙ?


“ලකි මහත්තයා ආවෙ නෝනගෙන් මං ගැන අහන්න්ද? අපි ඉස්පිරිතාලෙ එහෙම ගිය එක දැනගෙනද?”

“අනේ නෑ පුතේ. ඒ දෙන්නා ආවෙ නිකන් ලොකු ඉස්කෝලේ මහත්තයා එක්ක කතා කරන්න. මං එදා තමයි දැක්කෙ. පස්සෙ තමයි මං දැනගත්තෙ ඒ තමයි ඔයා කිව්ව ලකී මහත්තයා කියල”

“ලකි මහත්තයා ඉස්කෝලේ ළඟට එන්නෙ මට කරදර කරන්න කියල මට බයයි ටීච” කියා සත්සරා කියද්දී සමුධ්‍යා ආපිට හැරුණේ සත්සරාගේ උරහිස උඩින් අත තියාගන්න ගමන් ය.

“ඔයාට බය වෙන්න කිසිම හේතුවක් නෑ. ඒ ඉස්කෝලේ වගේ තව මිනිස්සු ඉන්න තැනකදි ලකී මහත්තය කීයටවත් ඔයාට කිසිම දෙයක් කරන්න එන්නෙ නෑ. මොකද එහෙම කරොත් ගමේ හැමෝම ඒක දැනගන්නවනෙ. ඒක එයාට ප්‍රශ්නයක්. ලකී මහත්තයා ඉස්කෝලේ ලඟට එන්නෙ ඔයාට කරදර කරන්න කියල මම හිතන්නෙ නෑ. ඔයා බයවෙන්න එපා”

“එහෙනම් ඇයි ටීච ලකී මහත්තය ඉස්කෝලෙ ලඟට එන්නෙ? මං මිට කලිනුත් දවසක දැක්කා” කියා සත්සරා ඇහුවාට එයට දෙන්නට උත්තරයක් සමුධ්‍යාට තිබුනේ නැත. ලක්ෂිත එන්නේ තමන් එක්ක කතා කරන්න යැයි කීමම සත්සරාගේ හිතේ තමන් ගැන තියෙන විශ්වාසය කැඩෙන්නට හේතුවක් බව දන්න හන්දාම සමුධ්‍යා සත්සරාගේ ඔලුව අත ගෑවා විනා එයට කිසිම උත්තරයක් දෙන්නට හිතුවේ නැත. 

මේ සියල්ල අතරේ අරුණ උන්නේ තමන් ඊලඟට කර යුත්තේ කුමක්ද කියා සිතමිනි. මේ වනාහී කතාවක් හෝ චිත්‍රපටයක් උනා නම් වීරයා වන්නට තමන්ට මේ කේස් එක භාරගෙන මල්ලිව නීතියේ රැහැනට හසු කර දී කුඩා ගැහැණු ළමයෙකු හෝ ළමයින් කිහිප දෙනෙකුගේ ජීවිත බේරගන්නට කටයුතු කරන්නට තිබුන බව ඇත්තකි. එහෙත් මේ චිත්‍රපටයක් හෝ කෙටි කතාවක් හෝ නොවේ. මේ ඇත්ත කතාවකි. යුක්තියක්, තමන්ගේකමත් නීතියේ තරාදියට දා වඩා බර පැත්ත මොන පැත්තදැයි කිරා මැන බලන කතාවකි. 

එකම වෙනස ඒ කිරා මැන බැලීමේදී තමන්ගේ දෑස් නීතියේ දෙවඟන ගේ මෙන් වසා නොතිබීමය. වඩා හොඳට සියල්ල පෙනෙන නිසාවෙන් කැමති පැත්තක් තෝරගන්නට තමන්ට නිදහස ඇත.

අරුණ දුරකතනය අතට ගත්තේ දම්මිටත් ශාරධාටත් තමන්ගේ තීරණය කියන අදහසිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here