සඳැස් සමගින් සමනල් මත්තේගොඩ ගෙදරට යන විටත් දිවාකර රෝද පුටුවට වී ජනේලයෙන් පාර දෙස බලා උන්නේ ය. පියගැට පෙළෙහි පියවර ගැටෙනා හඬ ඇසෙත්දී ඔහු නො සන්සුන් බවකින් රෝද පුටුව හරවා ගත්තේ ය.
“අංකල් නිදාගන්න තිබුණනෙ. අපරාදෙනෙ නිදිමරාගෙන බලං හිටියෙ”
සමනල් දිවාකර ඉදිරියේ නතර වූයේ ය.
“බබූට මොකද…”
“ප්‍රෙශර් ටිකක් වැඩි වෙලා. ඒක නිසා අද රෑට ඇඩ්මිට් කරගත්ත. ඕනනං ගෙදර එක්කං එන්න තිබුණ අංකල්. ඒත් රෑ නිසා කෝකටත් හොඳයිනෙ හොස්පිට්ල් එකේ නවතින එක”
සමනල් වචන තෝරා බේරා ගත්තේ පරිස්සමට ය.
“මොකක් හරි ලොකු අසනීපයක්ද…”
“නෑ නෑ අංකල්. එයා මොකක් හරි ගැන තදට හිතල වගේ. සමහර විට ඔෆිස් එකේ මොකක්හරි ප්‍රශ්නයක් වෙන්නත් පුළුවන්. මං හෙට තඹරු එක්ක හෙමිහිටබකතා කරල ඒ ගැන දැනගන්නංකො. කොහොමත් දැන්නං බය වෙන්න කිසිම හේතුවක් නෑ අංකල්. මං ඩොක්ටර් එක්ක කතා කළානෙ. අංකල් කාල බීලද ඉන්නෙ…තේ එකක් කෝපි එකක් එහෙම හදල දෙන්නද…”
“එපා පුතා. එහෙනං මං ඇඳට යනව. එතකොට හෙටත් රන්මුතුට බබූ ළඟ ඉන්න වෙයි නේද…”
“ම්…බලමුකො අංකල්. අපි උදේට යනවනෙ”
සඳැස් තාත්තාව යහනට කොට අවශ්‍ය දේ සපයා දුන්නේ ය. ඔහු දිවාකර ගේ අත් උදව්වට ඉදිරිපත් වන්නේ ඉතා කලාතුරකිනි. අම්මා හෝ අක්කා ගෙදර නැත්නම් පමණි. එද තාත්තා සමගින් අත්‍යාවශ්‍ය වචන කිහිපයක් මිස හුවමාරු කරගන්නේ නැත.
දිවාකර ඇඳට දැමීමෙන් පස්සේ සඳැස් සමනල් ට දිය නා ඇඳුම් මාරු කර ගන්නට අවස්ථාව උදා කොට දුන්නේ ය. සඳැස් ගේ ඇඳුම් වලින් සමනල් ට පිරිමසා ගත හැකි විය. ඉන් පසු ඔවුන් දෙදෙන පහළට ගොස් කෝපි දෙකක් දමාගෙන බීහ.
“අයිය කාලත් නැතුව ඇති. මොනාහරි කනවද…”
“එපා සඳැස් දැන් කන්න බෑ. යාළුවෙක් එක්ක බියර් එකකට සෙට් වෙලා ඉන්නකොටයි ආන්ටි කතා කළේ”
“මං මේ කල්පනා කළේ අයියෙ..හෙට උදේ පාන්දරම ඉස්කෝලෙට යන්න තියනව. මට හොස්පිට්ල් එකට යන්න විදිහක් නැති වෙයි”
“හරි බං ඒක අවුලක් කරගන්න එපා. මං උදෙන්ම හොස්පිට්ල් එකට යන්නං. අර ගර්ල් කැෆේ එක බලාගනීනෙ. ආන්ටි කැමති විදිහක් කරයිනෙ ඊට පස්සෙ”
කෝපි එක බීමෙන් පසු සඳැස් සිය කාමරය සමනල් ට නිදන්නට සූදානම් කොට දී අක්කා ගේ කාමරයට ගියේ ය. අක්කා හෝ අම්මා නැති ගෙදර, කල්පයකින් වැසි නොලද කාන්තාරයක් වාගේ කර්කෂ ව ඔහු ට දැනේ. මේ කොහොමටත් නිදනා රාත්‍රිය වී ද හිතට දැනුණේ කෑ ගසා හඬන්නට හිතෙනා පාළුවකි. ගෙදර කියන්නේ ම අම්මා ට හා අක්කා ට යයි ඔහු ප්රත්යක්ෂ කොට ගත්තේ ය.
ඇඳට වැටුණා ට නින්ද ගිය නො ගිය තරම ය. අරුණ උදා වී තිබිණ. සමනල් හා සඳැස් ගෙදරින් පිටත් වී යාමට වහ වහා සූදානම් වූහ. තාත්තාටත් එක්ක කිරි තේ එකක් හැදුවේ සඳැස් ය. එය ඔහු අතට ගෙන ගොස් දෙත්දී යෞවනයා ගේ උගුර හිර විය. පෙර කිසි දාක තාත්තා ගැන නො දැනුණ විදිහේ ස්නේහී හැඟීමක් පපුව තද කරන්නට විය.
“තාත්තට උදේට කන්න දෙයක් මෙහෙං තියල යන්නං. අම්ම කියයි දවල්ට මොනාද කරන්නෙ කියල”
“මං ගැන වද වෙන්න ඕන නෑ පුතා. ඉක්මනට කෙල්ල සනීප වෙලා ගෙදර ආවොත් ඇති”
දුෂ්කර අවස්ථාවන් ජීවිත වෙත උදා වන්නේ ඇතැම් විට ජීවිතය ගැන අප නො දැන සිටි කාරණා අපට කියා දෙන්නට ම ය. බැඳීම් ගැන අපට නොහැඟුණු කාරණා වලින් අප සංවේදී කරන්නට ය.
දිවාකර ගේ කෑම බීම ගැන රන්මුතු ගේ හිත වද වූයේ ය. ඔහු නැගිට කිසිත් කරගන්නට බැරි මිනිසෙකි.
“එහෙනං ආන්ටි කැබ් එකක් දාගෙන ගෙදර ගිහිං අවශ්‍ය දේවල් බලල ආයෙ එන්න. එතකං මං තඹරු ළඟ ඉන්නං”
සමනල් ට කියන්නට තිබුණේ එපමණකි.
“එහෙනං පුතා ඉන්නවද…බබූ තාම ඊයෙ ඇඳං හිටිය පිජාමා එක පිටින්. අපි ඇඳුං අරං ආවෙත් නෑනෙ. මං එහෙනං ඇඳුමකුත් අරගෙන…අංකල්ට මොනාහරි උයල තියල ඉක්මනට එන්නං”
“ඒත් ඔයා ඔෆිස් යන්න ඕන නැද්ද…”
ඒ අතුරු ප්රශ්නය තඹරු ගෙනි.
“ඒකෙ අවුලක් නෑ. ආන්ටි ගිහිං එන්නකො”
රන්මුතු සමගින් පහළට ගිහින් ඇයව ත්‍රිරෝද රියකට නංවා ආවේත් සමනල් ය. ඔහු යළි ගිලන් කුටියට එන විට තඹරු යහනේ වැතිරීගෙන සිටියා ය. ඇගේ විලාශය දැක සමනල් වෙතින් සුසුමක් ගිලිහිණ.
“අන්තිමට වුණේ ඔයා අසනීප වුණ එකනෙ”
ඇගේ ඉහ ඉද්දර අත් දෙක බැඳගෙන ඔහු බලා උන්නේ සන්තාපයෙනි.
“මට ලෙඩ වෙන්න ඕන වුන්නෑ සමනල්. මං දන්නෑ මට මොනා වුණාද කියල”
“දැන් කොහොමද ඔයාට…”
“හරි අමුත්තක් දැනෙනව වගේ. ඔළුවෙ ඉඳං යටිපතුල් වෙනකල් ම රිදෙනව වගෙයි දැනෙන්නෙ. ඒත් අල්ලල බැලුවට රිදෙන තැනක් නෑ”
පුටුව පසෙකට කොට සමනල් තඹරු ගේ පාද පාමුලට වන්නට යහනේ හිඳගත්තේ ය. ඊළඟට ඇගේ පාද ඔහු ගේ දෑතින් ගෙන සිය දෙකකුල් මතින් තබා ගත්තේ ය. ඇගේ යටි පතුල් ද පා ඇඟිලි ද පිටි පතුල ද ඔහු ගේ අතැඟිලි වලින් පිරිමැදුණේ තඹරු ට සුවයක් දනවමිනි. එපා කියන්නට සිතුණ ද එසේ කියන්නට ලෝභකමක් ද හිතේ නැගී සිටියේ ය.
ඔහු ඒ පාද පිරිමැද්දේ මල් පෙත්තක් ස්පර්ශ කරනා තරම් පරිස්සමට ය. තඹරු අසනීප වීම හිතට කරදරයක් වී ද මෙවන් මොහොතක් උදා වූයේ ඒ නිසායි සිතෙත්දී සමනල් ට සතුටක් ද නො දැනෙනවා නොවේ. නො එසේ වී නම් ඇයට මේ තරම් සමීප වන්නට ඈ ඔහු ට ඉඩ දෙනු ඇත්ද?
“මං කිව්වනෙ ඔයා එක්ක මං ඉන්නව කියල. ඒ මගෙ තාත්ත තමයි. ඒ වුණාට…ඔයාට හිතෙන ඕන දෙයක් මට කියන්න. තනියම හිතන්නෙපා. මට කරන්න පුළුවන් ඕනම දෙයක් මං කරනව. තනියම කල්පනා කරල ඩීප්‍රෙස් වෙන්නෙපා. මට ඔයාගෙං ඉල්ලන්න තියෙන්නෙ මාව විශ්වාස කරන්න කියල විතරයි”
ඔහු පරිස්සමට යළි ඇගේ දෙපා යහන මතින් තබා නැගිට ගත්තේ ය. එහෙම ම ඉන්න ය කියා කියන්නට තඹරු ට ඕන විය. තව බෝ වෙලාවක් ඒ සුවය දනවමින් සිය දෙපා පිරිමදින්න ය කියා කියන්නට ඇයට ඕනෑ විය. ඔහු ගේ අතැඟිලි සිය පා ඇඟිලි අතරේ දැවටෙත්දී දැනුණේ කිසි දාක විඳ නැති මිහිරක් යයි කියන්නට ඇයට ඕනෑ විය. නමුත් තඹරු ඒ කිසිත් නො කියා සිටියා ය.
සමනල් ඇගේ ඉහ අද්දර ට පුටුව ඇද එහි හිඳගත්තේ ය. ඔවුන් ගේ සිව්නෙත් අතරේ තිබුණේ අඩියකටත් වඩා අඩු පරතරයකි. ඒ පරතරය විද්‍යුත් චුම්භක ක්ශේත්‍රයක් සේ විය.
“මට ඔයාව විශ්වාසයි කොහොමත්”
ඇය ඒ චුම්බක ක්ශේත්‍රය තුළ සිය දෑස් බලය යොදා පහළට හරවා ගෙන කෙඳිරුවා ය. දෙවැලමිට දෙදණහිස් මත රඳවා අතැඟිලි එනිනෙක පටලවාගෙන ඔහු ඇදෙස ම බලා සිටියේ ය.
“ඒත් මට මේක දරාගන්න හරි අමාරුයි සමනල්. හැම දේම දැනගත්තට පස්සෙත් මට කරන්න පුළුවන් මොනාද කියල හිතනකොට…පිස්සු හැදෙන්න එනව වගේ…කොතනින්ද මං පටන් ගන්න ඕන කියල මං දන්නෑ”
“ඒත් මං දන්නව. ඔයා සනීප වෙලා ඉන්න”
“සම..නල්…”
“සොබාදහම නඩු අහන දවසක් එනව තඹරු. එදාට අපි වැරදි කරල තිබුණොත්…කාගෙන් මුවා වෙලා හිටියත් සොබා දහමෙන් හැංගෙන්න බෑ. ඒක මං විශ්වාස කරන ධර්මය”
“අනේ ඔයා හරි හොඳයි”
සමනල් අඩ සිනහවක් පෑවේ ය. ඒ සිනහව ඔහු ට ලස්සනයි කියා වෙනදා වාගේ ම අදත් ඇයට සිතිණ.
රන්මුතු යළි පැමිණෙන තුරු තඹරු ගේ සියල් ආවතේව කළේ සමනල් ය. වරක් ඇය “වොශ් රූම් යන්න” කියා ඇඳෙන් බහින්නට ගියා ය. සමනල් වහා ඇගේ අතින් අල්වා වාරු කොට ගත්තේ ය.
“මට පුළුවන්”
තඹරු ඔහු මඳ ලැජ්ජාවකින් ඔහු මගහරින්නට හැදුවා ය.
“අම්ම ආවහම තනියම යන්න. එයා එනකල් මං කියන විදිහට කරන්න. ප්‍රෙශර් අඩු වුණ නිසයි මෙහෙම ඇඳෙන් බහින්න හරි ඉඩ දීල තියෙන්නෙ. පැහෙන්නැතුව පරිස්සමට වොශ්රූම් ගිහින් එන්න”
ඔහු සැර කොට ඇය අල්වා ගෙන නාන කාමරය වෙත ගෙන ගියේ ය. පරිස්සමට ඊට ඇතුළත් කොට ඇය පැමිණෙන තුරු දොරකඩ බලා සිටියේ ය. නාන කාමරයෙන් පිටතට පැමිණි තඹරු ගේ ඇස් වෙනදා නො දැනෙන ඈ නො දන්නා හැඟීමකින් බර වී ගෙන තිබිණි. නාන කාමරයේ දොරකඩ සිට යහනට යන තුරු යළිත් ඔහු යන්තමින් ඈ වාරු කොට ගෙන ගියේ ය.
“කොහොමත් ඔයා ටිකක් පැහිල වැඩියි. අපි කියන්නෙ තනි මිනිස්සු නෙවෙයිනෙ. අපි වටේට ඉන්නව අපිට ආදරේ කරන මිනිස්සු ටිකක්. මට නැතත් ඔයාට ඉන්නව. ඒක නිසා ඔයා ජීවත් වෙන්නෙ තනියම කියල හිතාගෙන පණ්ඩිත වැඩ කරන්න ගිහින් අනිත් මිනිස්සුන්ට දුක් දෙන්නෙපා. දැන් බලන්න ඊයෙ රෑ ඉඳල අර මනුස්සයො තුන් දෙනා මොනතරං ගින්දරක්ද උහුලන්නෙ…”
එවර ඇත්තට ම ඔහු ට කේන්ති ගොස් තිබිණ. නමුත් ඒ කේන්තිය සමග එකට එක කරනු වස් වැඩියෙනුත් කේන්ති ගන්නවා වෙනුවට තඹරු මන්දස්මිතයක් නගා ගත්තා ය.
“බණින්න හොඳද අනේ ඔහොම…ලෙඩෙකුට…”
ඇදෙස කෙලින් බැලූ සමනල් ගේ දෙතොල් ක්ෂණිකව සිනහවකට විකසිත විය. ඔහු බැන්නේ කුමකටද කියාත් ඇගේ වත දුටුවන ඔහු ට අමතක ව තිබිණ.