පිණි මුතු පලසක් – 21

0
1658

ඒ හිමිදිරි උදෑසනේ සමුධ්‍යා උන්නේ කොළඹ බලා යන්නට බස් එකට නැගය. සත්සරාගේ ආරකෂාව තහවුරු කරන බව ළමා හා කාන්තා කාර්‍යංශයේ නිළධාරින් කී නිසාවෙන්ම සමුධ්‍යා උන්නේ අරුණ මුණ ගැසීම සඳහා කොළඹ බලා එන ගමනකය.

“ඒ දරුවටයි ආච්චි අම්මටයි කොළඹ එන්න අමාරු ඇති නේද?සමුධ්‍යාට පුලුවන්ද අර මම ඉල්ලුව ඩොකියුමන්ට්ස් ටික මට ලැබෙන්න සලස්වන්න? මම ඔෆිස් එකේ ඉන්නවා වීකෙන්ඩ්ස් වල” කියා අරුණ බ්‍රහස්පතින්දා කතා කර වෙලේ සමුධ්‍යා එකඟ වූයේ කොහොමත් එය තමන් ගිහින් බාර දෙන එක හැමෝටම පහසු බව දන්න නිසාවෙන් ය. සාමාන්‍යයෙන් මෙවන් කටයුත්තකදි යා යුත්තේ කරදරයට පත් වූ තැනැත්තාගේ භාරකාරයෙක් වුවත් සිදුවීමත්, එහි වටපිටාවත් වඩා හොඳින් වටහාගෙන උන් නිළධාරින් සමහර අවස්තා වල දුන් සහය ඇත්තටම සමුධ්‍යා මුලු හදවතින්ම අගය කරාය. 

සමුධ්‍යා කොළඹට පැමිණියේ අඟහරුවාදා දහවලකය. මාස ගණනාවකට පසු ඇගේ පළමු නිවාඩු දිනය, විවේකයක් නොවන රාජකාරියක් උදෙසා ලබාගැනීම ගැන සද්ධානන්ද ලොකු ඉස්කෝලේ මහත්තයා අකමැති නොවූ නමුත් “ඔය දරුව මේ කරන්න යන දේ නරකක් මං දකින්නෙ නෑ. ඒ උනාට දරුවො ඔය හැප්පෙන්න හදන මිනිස්සු එක්ක හැප්පෙන එක ඔය දරුවා වගේ පොඩි ගෑණු ලමයෙක් ට කරන්න පුලුවන් දෙයක්ද කියන සැකේ නම් මගෙ හිතේ තියෙනවා” කියා කියන්නට ඔහු අමතක කලේ නැත. සද්ධානන්ද ලොකු ඉස්කෝලේ මහතාගේ අනුදැනුම මත සමුධ්‍යාට නිවාඩු ගන්නට අපහසු නොවුනේ  දරුවාගේ වෙනස්කමක ලක්ෂණ දුටු පළමු වැඩිහිටියා ඇය වූ බැවිනි. 

සමුධ්‍යා නීතිඥ කාර්‍යාලයේ වාඩි වී උන්නේ තමන් අතේ රැඳි ෆයිල් කවරය වඩා හොඳින් ඇඟිලි වලින් තද කරගෙනය. නීතිඥ කාමරය තිබුනේ වඩා නිහඬ වාතාවරණයක් ආරූඩ කරගෙනය. ඒ නිහඬතාවය අස්සේත් ඒ කාර්‍යාලයේ තිබුණ පිරිසිදු, පිළිවෙල සමුධ්‍යාගේ ඇහැ ගැටුණාය. ඉදිරිපස පිළිගැනීමේ මේසයේ සිටි කාන්තාව මෘදු ලෙස සිනාසෙමින් ඇයට රැඳී සිටින ලෙස ඉල්ලා සිටියාය. 

“මිස්ට අරුණව හම්බුවෙන්න නේද මිස් ආවා කිව්වෙ? සර් පොඩි මීටින් එකක. ඉවර වෙච්ච ගමන් කතා කරන්නම් කිව්වා” කියා ඇය කියද්දි සමුධ්‍යා දෙනෙත්වලින් ද සිනාවෙමින් හිස වැනුවේ ඒ වදන් හා එකඟ වෙමිනි.

සමුධ්‍යාට කාර්‍යාල කාමරය ඇතුලට එන මෙන් පණිවිඩය ලැබුනේ ඉන් පසුවත් විනාඩි කිහිපයක් ගෙවී ගියයින් අනතුරුවය. සමුධ්‍යා වසා තිබුන දොරටුවෙන් කාර්‍යාල කාමරය තුළට ගියේ එක්තරා අන්දමක බියකිනි. දුරකතනය ඔස්සේ කතා කරද්දි කුමක් කීමේ හැකියාව තිබුනද කෙනෙකුව සැබෑවට මුණ ගැසීමේදි හිත චකිතයක රෙදි පොරවගන්නා බව සමුධ්‍යාට තේරුණේත් ඒ මොහොතේය. අනෙක් අතට අරුණ ඉඳියේ සමුධ්‍යාට කෙසේ මුහුණ දෙන්නද කියා සිතාගත නොහැකිවය. මොක උනත් මේ ඉන්නේ තමන්ගේ මල්ලීව අද හිර කූඩුවක තබන්නට කටයුතු කල තැනැත්තියකි. මල්ලී කොපමණ වැරදි කරද ලෙයට ලෙය හුණුවන බව අරුණට පවා පිළිගන්නට වුණ කතාවක් විය. අරුණ හිස ඔසවා නොබලාම, දිගටම තම දෙනෙත් මේසය මත තිබූ ෆයිල් කවරය අස්සේ ඔබාගෙන උන්නේ සමුධ්‍යා දෙස එක එල්ලේම බලන්නට හිතට දිරි ගන්නට මෙනි.

අරුණ හිස නූස්සාම “වාඩිවෙන්න” කියා කියද්දිත් සමුධ්‍යා උන්නේ තම දෙනෙත අරුණ වෙතම අලවාගෙන ඔහු කොයි මොහොතේ හිස උස්සා තමන් දෙස බලාවි කියා හිතමිනි. අරුණ හිස එසෙව්වේ ඒත් එක්කමය.

දුරකතනයෙන් ඇසුණ මියුරු, හුරතල් හඬ අයිති මෙතරම්ම සුන්දර කෙල්ලකට බව නොදැන උන් නිසාමදෝ දෙදෙනාම උන්නේ එක එල්ලේ දෙදෙනාගේම ඇස් අස්සේ පැටලී තප්පර කීපයක් නිහඬව සිතුවිලි වල සිරවී සිටියහ.

“මිස් සමු…සමුධ්‍යා…” කියා අරුණ වචන පටලැවෙමින් කියද්දි සමුධ්‍යා මෙතෙක් අරුණගේ සුන්දර එහෙත්, මෙයැයි කියා කියන්නට නොහැකි හුරුපුරුදු බවක් පෙන්වන දෙනෙත්වලින් තම දෙනෙත් මුදවාගෙන මෙතෙක් වේලා අතේ රැඳී තිබුන ෆයිල් පත අරුණ වෙත දිගු කලාය.

“මම දෙව්නිට කෝල් කරා. දෙව්නි කිව්වා පුලුවන් උනොත් එයා ඇවිත් යන්නම් කියල. ඔක්කොම ඩොකියුමන්ට්ස් එයා මට ඊමේල් කරලත් තිබුණා” කියා අරුණ කියද්දී සමුධ්‍යා හිස වැනුවේ එයට පිළිතුරු ලෙස කියන්නට දෙයක් ඇයට නොතිබුණ නිසාවෙනි.

“මට සමුධ්‍යාගෙන් මේ කේස් එක ඔයා අයිඩෙන්ටිෆයි කරගත්ත එක ගැන විස්තර ටිකක් දැනගන්න ඕන. ඉශු එකක් නෑ නේද මම ඒව ඇහුවට?” කියා අරුණ අහද්දිත් සමුධ්‍යා කරේ හිස වනා එකඟ වෙන එකය.

ඒ හිස වැනීම අවසාන වෙනවාත් එක්කම මෙතෙක් වේලා ලිපි ගොනුවෙන් පරිගණකය වෙතත්, පරිගණකයෙන් ලිපි ගොනුව වෙතත් හුවමාරු වෙමින් තිබුණ අරුණගේ දෙනෙත සමුධ්‍යාගේ දෙනෙත් වල ආයෙම වරක් පැටළුණේය. ඉන්පසුව ගෙවුණේ දෙපැත්තම දෙතොල් වලින් නිහඬ වුන නමුත් ඇස්වලින් කතාකරන්නට යෙදුන තප්පර කිහිපයකි. ඒ නිහඬතාවය මුලින්ම බිඳ දැමුවේ අරුණය. මෙතෙක් වේලා පුටුවට හේත්තු වී උන් උසැති, කෙට්ටුත් නැති මහතත් නැති සිරුර  මේසය පැත්තට නැඹුරු කර අත් දෙක මේස දාරයට තබා ඉදිරිපසින් වාඩි වි උන් සමුධ්‍යා වෙතට පහත් වී අරුණ “ඔයාට කතා කරන්න බැරිද?” කියා අහද්දී සමුධ්‍යාටත් අරුණටත් එක සැරේම එකම විදියට බකස් ගා හිනා ගියහ.

මෙතෙක් වේලා “මේ ඉන්නේ තමන්ගේ මල්ලීගේ අනාගතේ විනාස කරන්නට ආ ගැහැණිය” යන සමුධ්‍යා ගැන හිත අභ්‍යන්තරයේ ඇලවී තිබුණ නොමනාපකම් පහව යනු අරුණට දැනුණේය.

“ඔයා උදේමද ආවෙ ආණමඩුවෙ ඉඳලා?” කියා අහන අතරවාරයේ ආයෙම වතාවක් අරුණ දෙනෙත්  ලිපි ගොනුවෙන් පරිගණකය වෙතත්, පරිගණකයෙන් ලිපි ගොනුව වෙතත් හුවමාරු කරේය.

“ඔව් උදේ හයේ බස් එකේ ආවෙ”

“ගෙදරින් කැමති උනාද ඔච්චර දුශ්කර පැත්තක රස්සාවකට ගෑණු ලමයෙක්ව යවන්න?”

“කළින් මම හිටියෙ ඊටත් ඈත. ඒ හන්දා අම්මල කැමති උනා පොඩ්ඩක් හරි ලඟට එනවට. ඔයා ඇවිල්ල තියෙනවද එහෙ?” කියා සමුධ්‍යා අහද්දි අරුණ ගැස්සුනේ එයට දෙන්නෝන උත්තරේ කුමක් විය යුතුද කියා හිතමිනි.

“ආණමඩුවෙද?”

“ඔව්?”

“ඇයි එහෙම ඇහුවෙ?”

“නෑ කිව්වනෙ ආණමඩුව දුශ්කරයි කියලා. ඒකයි මං ඇහුවෙ. ඇවිල්ලා නැත්තම් දන්නෙ නෑනෙ කියල හිතලා”

“ඒක මිසක්” කියා කිව්වා මිසක අරුණ එතනින් එහා උත්තර දෙන්නට හිතුවේ නැත. නීතිඥ කාර්‍යාලයේ කාර්‍යාල කාර්‍ය්‍ය සහායක වරයෙකු විසින් අරගෙන එන්නට යෙදුන තේ කෝප්පය තොලගාමින් උන් සමුධ්‍යාද ඉන් එහා කිසිවක් නොකියා අරුණට තමන්ගේ රාජකාරිය නිස්කලංකයේ කරගෙන යන්නට ඉඩ දුන්නාය.

එහෙත් දෙහිතක් තිබුණේ දොඩමලු වෙමිනි. 

විටෙන් විට පැමිණ එකිනෙකාගේ දෙනෙත්වල පැටලෙන දෙනෙත් සැරයන් සමග දොඩමලු වෙමිනි.

අරුණගේ කාර්‍යාලයට ඇවිත් කරන්නට තිබුන වැඩ රාජකාරි වෙනුවෙන් වෙලාව වැය කල සමුධ්‍යා ඉන් එලියට එද්දිත් අහස තිබුණේ දියවී කඩා වැටෙමිනි. ඒ වැස්ස වනාහී කොළඹට මෙතෙක් වැස්ස සුවිසල්ම වැස්ස වෙන්නට හැකි බව සමුධ්‍යා හිතුවේ කුණාටු සුලඟක් විත් මෙන් ගස් වැල් අඹරවමින් ඒ ගස්වල කොළ පාර දිගේ විසුරුවමින් කරන්නට යෙදුණ රංගනය දැකය. අතේ කුඩයක් රැඳී තිබුන මුත් මේ වැස්සේ පාරට බැස යන එක මොළේ ඇති වැඩක් නොවන බව දන්න හන්දාම සමුධ්‍යා වැස්ස මදක් පායන තුරු යැයි සිතා අරුණගේ කාර්‍යාලයේ පඩිය උඩට වී වැස්ස දෙස බලාගෙන කල්පනා කරන්නට විය. 

කාර්‍යාල කාමරය ඇතුලෙන් ඇහෙන අරුණ දුරකතනයෙන් කා එක්ක හෝ කතාකරන හඬ විටෙන් විට වැස්සේ හඬට වඩා මදක් වැඩිව ඇහුණත් සමුධ්‍යා උන්නේ ඒ කතාවට සවන් දෙන අදහසක නොවේ. උදේ තේක විතරක් වී ආණමඩුවෙන් පිට වී ආ ගමන හන්දා කුසගින්න තිබුනේ පොඩ්ඩ පොඩ්ඩ ඉහල නගිමිනි. ඉක්මණින් ගෙදර ගොස් සාරිය ගලවා, ඇඟපත සෝදාගෙන මොනා හෝ බඩට දාගන්න තිබුණා නම් හොඳ බව හිතුනත් වැස්ස හන්දාමදෝ පික් මී, ඌබර් කිසිම වාහනයක් සමුධ්‍යා රැගෙන යන්නට සම්බන්ධ උනේ නැත.

“වැස්සට කමක් නෑ කෝමහරි යනවා” කියා සමුධ්‍යා හිතුවේත්, ඇය අඩියක් ඉදිරියට තැබුවේත් අරුණ කාමරයෙන් එළියට ආවේත් එකම මොහොතකය.

“ඔයා තාම ගියේ නැද්ද?” කියා ඇසූ අරුණගේ පැනය සමග ආපසු හැරුණ සමුධ්‍යාගේ දෙනෙත් අරුණගේ දෙනෙත්වල පැටළුවේ ඒ අනුවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here