නිලැසි -18

දිගැසි කමලා සාදා දුන් දොඩම් වීදුරුව ද රැගෙන අක්කා වෙත ගියා ය.යහනට වී ඉකි බිඳින ඇය ගැන දිගැසිට කෝපය පරදා ශෝකයක් දැනිණ.ඇය දොඩම් වීදුරුව පසෙක තබා අක්කාගේ හිස අත ගෑවා ය.ඒ ස්පර්ශයට ගැස්සී ගිය නිලැසි හිස එසවූවා ය.

“මොකක්ද අක්කා මේ විකාරේ?”

දිගැසි අසන්නේ කෝපයෙනි.නිලැසි වහා යහනේ හිඳ ගත්තා ය.ආදරය වෙනුවෙන් හදවත මොනතරම් රිදුම් දුන්නද නංගි හමුවේ සවිමත් ව හිඳින්නට ඇය අදිටන් කර ගත්තා ය.

“මං ගෙදරින් ආවා..”

නිලැසි එසේ කීවේ දොඩම් යුෂ වලින් දෙතොල තෙමා ගන්නා අතර ය.දිගැසිගේ තියුණු බැල්ම නිසා ඇයට එක එල්ලේ නැගණිය දෙස බලන්නට නොහැකි ය.නමුත් නැවත තිසරු වෙත නොයන බව කියන්නට නිලැසිට උවමනා ය.

“ඇයි ඒ? ඔයාට මොකක්ද එහෙ තියෙන ප්‍රශ්නෙ?”

දිගැසි අසද්දී නිලැසි ඈ දෙස බැලුවේ තරහිනි.නංගි එරන්ද ගැන දන්නා බව නිලැසි දන්නී ය .නමුත් ඒ වග නොදන්නා සේ ඉන්නා නැගණිය ගැන නිලැසිට කෝපයක් ද ඉපදිණ.ඇය නංගි දෙස බැලුවේ නොරිස්සුම් සහගතව දෑස කුඩා කරගනිමිනි.

“මං තිසරුට එරන්ද ගැන කිව්වා..”

දිගැසිට ඒ වචන ඇති කළේ කම්පනයකි.ඇය මේ විනාසය අපේක්ෂා නොකළා ය.එරන්ද කවර වර්ගයේ මිනිසෙකුදැයි නිලැසි ඉක්මනින් වටහා ගනීයැයි ඈ සිතා සිටියා ය.නමුත් දෛවය ඉතා නරක අන්දමින් නිලැසිව හසුරවන බව දැන් පැහැදිලි ය.ඇය සියතින්ම ගෙල සිඳ ගනිමින් හිඳින්නී ය.

“ඉතිං..තිසරු අයියා යන්න කිව්වද ඔයාට?”

තිසරු ඒ කතාව පිළි නොගත් බවත් තමන් ගැන ඔහු සොයා නොබලන බව සිතමින් නිලැසි බොරු කතාවක් ගෙතූ බවට සිතන බවත් නිලැසි නැගණියට හෙළි කළා ය.දිගැසි ඒ අසා සැනසුම් සුසුමක් හෙළුවා ය.

“තිසරු අයියට එහෙමම හිතන්න දෙන්න අක්ක.කරුණාකරල මෝඩ වැඩ කරන්න එපා.මට තේරෙන් නැත්තේ ඇයි ඔයා තිසරු අයියව අත් අරින්න් හදන්නේ කියන එක.මොකක්ද ඒ මනුස්සයගෙ තියන අඩුපාඩුව?”

ප්‍රේමය හදවත සසල කළ යුතු හැඟීමකි.වචනවලින් පවා ආදරය උතුරා ගලා හැලෙන මිනිසෙකු මුණ ගැසුණු පසු තිසරු වැනි කෙනෙකු සතුව ප්‍රේමයක් නොමැති බව වැටහී යයි.තමන් දැන් හිඳින්නේ ඒ යථාර්ථය අවබෝධ කරගෙන බව නිලැසි කියද්දී දිගැසිට දැනුණේ අවඥා සහගත සිනාවකි.

“සුමාල් අයිය මැරි කරන්න ඔක්කොම ලෑස්ති කරල ඉද්දී ඔයාට ඒ මනුස්සයගෙ යාලුවගෙ ආදරේ දැනෙන්න් ගත්තු හැටි අපි අමතක කරේ තිසරු අයියා හින්ද අක්කෙ.ඒ නැතුව අපි ඔයාව විශ්වාස කරේ නම් නෑ.ඒ උනාට අපි හිතුවා ඔයා තිසරු අයිය එක්ක හොඳින් ඉඳී කියල..”

දිගැසි ඒ අවඥා සහගත සිනාවෙන්ම හෙළි කළා ය.අක්කා හැදෙන්නේම නැති ගැහැනියක බව සිතද්දී ඇයට වේදනාවක් නොදැනුණාම නොවේ.

“ඔයාට රශ්මිට වගේ මට හොඳ සමාජ තත්වයක් තියන,සමාජේ පිළි ගත්ත රස්සාවක් කරන මිනිහෙක් වීම විතරක් ආදරේ කරන්න සාදකේ නෙවෙයි නංගි.මට ඕන ආදරේ දන්න මිනිහෙක්.මං ආදරේ ළඟදි පිස්සු වැටෙනව.එරන්ද කියන්නේ පිස්සු වැටෙන තරම් ආදරයක් දෙන කොල්ලෙක්.තිසරුගේ සල්ලි එක්ක එයාගේ ආදරේ මැනල බලන්න මට ඕන නෑ..”

නිලැසිගේ කතා ගැන සිතා බැලිය යුතු තැනක්වත් දිගැසිට නොවේ.ජීවිතය පටලාගෙන ඒ පටලාගත් තැන් සාධාරණියකරණයට වෙහෙසෙන අක්කාව ඇයට වෙහෙසකි.

“ඔයා තිසරු අයියගෙන් ඩිවෝස් වුණාම එරන්ද ඔයාව මැරි කරනවද? ලොකු හෑලි අවශ්‍ය නෑ අක්කේ.ඔව්ද නැද්ද කියන්න.”

නිලැසි ඒ ප්‍රශ්නයට කෝප වූවා ය.

“කොළ කෑලිවල ලියලා ආණ්ඩුවට බයේ මාව අයිති කරගන්න එරන්දට ඕන නෑ..”

ඇය ඒ කෝපත් හඬින්ම කියද්දී දිගැසි උස් හඬින් හිනැහෙන්නට ගත්තා ය.දශක තුනක ජීවිතය තුළ අක්කා උගත් යමක් ඇත්තේම නැතිදැයි සිතද්දී හිනැහීම නොව මහ හඬින් හැඬීම තෝරා ගත යුතුයැයි ඈ අනතුරුව සිතුවා ය.

“කවුද ඕවා එරන්දද කියන්නේ? ඒ මේ උගෙ ගැලවිල්ලට කියන කතා කියල නොතේරෙන තරම් ඔයා මෝඩද අක්කා?”

දිගැසි එසේ අසද්දී නිලැසි යහනෙන් නැගිට කාමරයේ ඒ මේ අත ඇවිදින්නට පටන් ගත්තා ය.ඈ තුරුලට ගෙන ප්‍රේමය ගැන එරන්ද පවසන සුන්දර වදන් දිගැසි කිසි දිනක දුලාජ්ගෙන් අසා නැති බව නිලැසිට සක් සුදක් සේ විස්වාස ය.මේ හණමිටි අදහස් දරමින් සාම්ප්‍රදායික ගැහැනියක ලෙස කෑගසන්නට දිගැසි ක්‍රියා කරන්නේ ඒ නිසා ය.

“හෙටක් ගැන නොහිතා හැකි උපරිමෙන් ,මෙන්න මොහොත විඳින්න.බරපතල නීතිමය ලියවිලියි කසාදයි අහකට දාලා නිදහසේ ආදරෙයි කියන්න කියලනෙ ඕෂෝ කිව්වේ.මේ මං ආදරේ විඳින මොහොත, එච්චරයි.”

නිලැසි දෑත් විදා එරන්දගේ වචන පුනුරුච්ඡාරණය කළා ය.ඈ දෙස බලා සිටි දිගැසිට අක්කාට හොඳ පහරක් දෙන්නට තරම් කෝපයක් ඇති විණ.

“ඕෂෝ කියන්නේ සුන්දර මනුස්සයෙක්.එරන්ද වගේ උන් තමන්ගෙ ජරා ඇජෙන්ඩා වලට ඒ මනුස්සය යොදෝන එක තමයි කැත.මොනවයින් හරි මත් වෙලා සිගරට් එකකුත් කටේ ගහගෙන ඕෂෝ ගැන මොනමොනව හරි කියල කසාද බැන්ද ගෑනු අන්දන එකද උන්ගෙ අමුතු විදියට හිතන ප්‍රේමෙ කියන්නෙ? ඒක ආදරේ නෙවෙයි අක්කේ.ඒකට කියන්නෙ වෙන වචනයක්.ඔන්න ඕකට අහු වෙලා නාස්ති නොවී ඉන්නව..”එසේ කී දිගැසි අනතුරුව අක්කා වැලඳ ගත්තා ය.ඇය මෙතරම් විනාශ වී යාම දිගැසිට උසුලා ගන්නට අපහසු ය.

“ඔයාට තිසරු අයියගෙ මොකක්ම හරි අඩුවක් පේනවනම් ඩිවෝස් වෙන්න.ඔයාට ඇත්තටම ආදරෙත් දෙන වැදගත් විදියට මේ ලෝකෙ ජීවත් වෙන්නත් දන්න මනුස්සයෙක් ඔයාට හම්බ වෙයි අක්කා.හැබැයි මං කැට තියල කියන්නං..ඒ එරන්ද නම් නෙවේ..”

නිලැසි නැගණියගෙන් මෑත් වූයේ කෝපයෙනි.

“ආදරේ ගැන මෙලෝ දෙයක් නොදැන ජීවිතේ ගෙවන්න ඔයාලට පුලුවන් ඇති.මට බෑ.මං එරන්ද අත් අරින් නෑ නංගි.එච්චරයි..”

අධිෂ්ඨානය පිරුණු නිලැසිගේ දෑස ඈ අගාධයට ගෙන යන මාර්ගය දෙසට විවරව තිබිණ.දිගැසි කම්පනයෙන් බලා සිටියා ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles